Friday, May 8, 2020

අතීත දේශපාලන වේදිකාවෙන් ඇසුනු කවි

දේශපාලන වේදිකාව තුල කවි හරඹ අද වන විට විටින් විට දක්නට ලැබේ. නමුත් අතීතයේ දී මෙම කවි හරඹ බහුලව දක්නට ලැබුනු බව අතීතය කියවිට විට පෙනී යයි. මෙම සටහනෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුනු රසවත් කවි කිහිපයක් ඔබ හමුවේ තබන්නට සූදානම්. ලෝකයේ පළමු අගමැතිනිය ලෙස පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව දේශපාලන වේදිකාවේ මෙවන් කවි සටන්පාඨ ඇසෙන්නට විය. ඔවුන් මේවා මුද්‍රණය කර බෙදා හරින ලද අවස්ථාද එමටයි.

සිරිම කිරිල්ලිට එන්ට කියා පිය

මේවට උත්තර දෙන්ට කියාපිය

“සිරිමක්කේ මේ අහන්න

රටම නොකා ගෙදර යන්න”

 

ඉතා උණුසුම් මැතිවරණයක් වූ 77 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පෙළපාලි ගියේ මෙසේ කියමින්;

සීනි නැතුව තේත් එපා

පිටිත් නැතුව පාන් එපා

මිරිස් නැතුව හොදිත් එපා

පොදු පෙරමුණ අපට එපා

 

චිං චිං නෝන මේ අහන්න

බඩගින්නේ අපට ඉන්න

තොපට හොඳට සැප විඳින්න

දැං පලයං ගෙදර යන්න

 

සිරිම කිරිල්ලිට එන්ට කියාපිය

මේවට උත්තර දෙන්ට කියාපිය

නොබැඳි මගුල් තව කන්න කියාපිය

රටට හාමතේ ඉන්න කියාපිය

 

මෙවන් කවි සටන් පාඨ ඇසෙන විට සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගේ සමගි පෙරමුණට බලන් සිටිය නොහැකියි. ඔවුන් තම පෙළපාලිවල ගියේ පිළිතුරු කවියක් කියමින්;

මැතිනි අපේ සීදේවී - රට ගොඩනගලා දේවී

අපේ මැතිනි අපට හොදා - අම්මා වගේ අපට හොදා

හාල් නැතුව බත් කනවෝ - සීනි නැතුව තේ බොනවෝ

අපේ මැතිනි කියනවනන් - පිදුරු වුනත් අපි කනවෝ

 

56 මැතිවරණ වේදිකාවෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට විරුද්ධ පක්ෂයෙන් ගෙතුවේ මෙවන් කවි.

 

සෙවල බණ්ඩා අපට එපා

ගමට එපා රටට එපා

හොරගොල්ලෙන් කොළඹ යන්ඩ

කොළඹ ගිහින් නැව් නගින්ඩ

 

සිව්වරක් ලංකාවේ අගමැති ධූරයට පත්වූ ඩඩ්ලි සේනානායක මහතා ගැන කියූ කවියක් පහත දැක්වේ. මෙහි දෙවන හා තෙවන කවි දක්නට ලැබුනේ දැදිගම ප්‍රදේශයෙන්. මෙකල ප්‍රාදේශීය පුවත්පත් බිහිවූ අතර ඒවායේ නොයෙක් ආකාරයේ කවි සංකල්පනා එළිදැක්වුණි. එමෙන්ම දේශපාලන කවි පොත් ද ප්‍රකාශකයට පත් වූ අවස්ථා තිබේ.

 

කෑම බීම දුන්නේ නොකරම අඩුව

අස්වැද්දුවා හැම ඉඩමක් තිබූ මුඩුව

ආගම දහම රට තුල හොඳ ලෙස වැඩුව

ඩඩ්ලියි අපේ පෙරදිග බබලන තරුව

 

රටටම හුරු

හොද ගුණ ගරු

බලයට හුරු

ඩඩ්ලි කුමරු

 

නැහැ කවදත් බොරු

රටටම කළෙ ගරු

ආවොත් රට සරු

අපි කාටත් මරු

 

එකල මඤ්ඤොක්කා සිටවීමට හා හාල් සේරු හයක් කැපීමට විරුද්ධව දේශපාලන වේදිකාවේ මෙවන් කවි ගායනා විය.

 

බඩු මිල ඉහළ ගොස් ඇත නොසිතුව ලෙසට

පඩියක් හය මසක ඕනෑ එක මසට

පවුලේ අඬ දබර කෑමට ගිය කලට

පොඩි දරුවෝ අඬයි මඤ්ඤොක්කා විසට

 

මල් වෙඩි මෙන් පැතිරී ගිය මෙම කවි කටපාඩමින් කිව හැකි උදවිය අදත් සිටියි. අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නිදහස් පක්ෂයෙන් කියූ කවි දෙකකින් මගේ සටහන අහවර කරන්නම්.

 

ණය වී ලොවට බඩුගෙනවිත් පිරෙව්ව ට

බඩවල් මහත්වන තුරු බත් කැවෙව්ව ට

අල්ලට සීනි අහුරක් ගෙන ලෙවෙව්ව ට

රට සරුවේද ණය ගනිමින් කැවෙව්ව ට

 

කන්නට අඳින්නට ඉන්නට නවා තැන

නිදහස් පක්ෂයයි දුන්නේ කව්ද වෙන

බේගල් දෙසා බෑවත් හැම තැනට පැන

මැතිනිය අපේ අම්මා නොවැ කව්ද වෙන


මූලාශ්‍ර:

ලංකාදීප, මව්බිම, සිළුමිණ පුවත්පත් 

ලංකාවේ අපේ දේශපාලඥයෝ - ධර්මරත්න තෙන්නකෝන් 




4 comments:

  1. අපරාදේ, මිතිල. 'මඩ ගොහොරුවක පචවී' පොස්ටුව ලියන දවස්වල මේ වගේ කවි ගැන මට කල්පනා වුනේ නැහැනේ. 1970 ඩඩ්ලි මහත්තයාව ඇන්දුව එක ගැන විතරක්ද කොහෙද ලීවා.

    ඔයාගේ පොස්ටුව කියවද්දී ඒ අතීතයට ගියා. ස්තුතියි!

    ReplyDelete
  2. සිංහල මිනිස්සු ඉස්සර චන්දෙදී බඩගින්න ගැනමයි හිතලා තියෙන්නේ.
    එහෙම නැත්නම් මේ වගේ කවි ලියවපු දේශපාලන ආධාරකාරයෝ සිංහලයෝ ගැන එහෙමයි හිතලා තියෙන්නේ.

    වාසනාවට දැන් ඒ කැත පුරුද්ද සිංහලයන්ගෙ අඩුයි.

    ReplyDelete
    Replies
    1. මේකනෙ අන්තෝනියෝ අද උනත් ගොඩක් මිනිස්සු චන්දෙ දෙන්නෙ බඩගින්නට මිසක් දුර දිග හිතලා නෙමේ... නැත්තන් අරෙහෙම කට්ටියක් පාර්ලිමේන්තු යවයිද...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...