Thursday, May 28, 2020

අමරණීය රාජධානිය

මරණයෙන් පස්සේ සිදුවෙන්නේ මොකක්ද? ස්වර්ගයට යනව ද? නැවත ඉපදෙනව ද? එහෙම නැත්නම් මරණයෙන් පස්සේ මුකුත්ම නැද්ද? මේ ප්‍රශ්නය ලෝක ඉතිහාසය පුරාවට මිනිසුන්ගේ සිත් වලට වද දුන්නා. දිළිඳු ගොවියෙක්ට කම්කරුවෙක්ට මේ ගැන සිතුනු දෑ අපට අද දැකගන්න දැනගන්න හැකියාවක් නැහැ. කලා නිර්මාණයක පොත පතක ඈත ඉතිහාසයේ දී ඒවා ගැන ලියවුනේ නැහැ. නමුත් මරණයෙන් පසු සිදුවෙන්නේ කුමක්දැයි රජකෙනෙක්ගේ අදහස් අද අපිට දැකගන්න පුලුවන්. චීනයේ හිටපු රජ කෙනෙක් හිතුවා මැරුණට පස්සේ කොහේ ගියත් තමන්ගේ ආරක්ෂාවට හමුදාවකුත් තියෙන්න ඕන කියලා. ඒ නිසා තමන් ජීවත් වෙලා ඉන්න කාලයේ දීම මරණයෙන් පසු ජීවිතයට ඒ රජතුමා ලෑස්තිවෙනවා. අද කතාව ඒ ගැන.

1974 අවුරුද්දේ ගොවීන් පිරිසක් ළිඳක් හාරමින් ඉන්නකොට එයාලට දැකගන්න ලැබෙනවා දැකලා හුරු නැති දෙයක්. පොළොව යට ගොඩනැගිල්ලක්…! පුරාවිද්‍යා ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් ළකුණු කරගෙන ‘ටෙරාකොටා පිළිම’ තිබූ පොළොව යට කුටීර එදා සොයාගත්තා. පිළිම කිහිපයක් එක් තැනක දි සොයාගන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් මෙතනින් ජීවමාන ප්‍රමාණයේ මැටි හමුදා පිළිම 8000ක් සොයාගත්තා. මීට පෙර එවැනි සොයාගැනීමක් සිදුවෙලා නැහැ.

මේ හැමදේටම මූලික වෙන්නේ චීනයේ පළමු අධිරාජ්‍යයා වුනු ‘ෂින් ෂෝ වන්ඩී’. රාජ්‍යයන් හතකට බෙදී තිබුනු චීනය අධික ලේ වැගිරීමකින් තනි පාලනයකට ගත් පළමු පාලකයා තමා මේ. අවුරුදු 37ක රාජ්‍ය කාලයක මේ අධිරාජ්‍යයා තමන්ගේ නම ඉතිහාසයේ රඳවන්න බොහෝ දේ සිදුකරා. ස්කන්ධය කිරා ගැනීමට විවිධ මිනුම් භාවිතා වීම ගැටළුවක්. මේකට විසඳුමක් විදිහට ස්කන්ධය කිරා ගැනීමට සම්මත ක්‍රමයක් හදුන්වලා දෙනවා රාජ්‍ය කාලය තුලදී. මුලදි රාජ්‍යයන් හතකට බෙදී තිබුනු චීනයේ එක් එක් රාජ්‍යයන් වල භාවිතා වුනේ විවිධ අක්ෂර. දැන් රාජ්‍යන් සියල්ල එක්සත් වෙලා තියෙන නිසා මේක ගැටලුවක්. මේකට විසඳුමක් විදිහට මුලු චීනයටම සම්මත අක්ෂර පද්ධතියක් හදුන්වලා දෙනවා. ඒත් එක්කම අනෙකුත් රාජ්‍යයන් වලින් වන සතුරු උවදුරු වලින් බේරෙන්න ආරක්ෂක විධි විධානයක් විදිහට මේ අධිරාජ්‍යයා හදනවා තාප්පයක්. පස්සේ කාලයේ මේකට තවත් කොටස් එකතු වෙලා හදුන්වනවා ‘චීන මහා ප්‍රාකාරය’ කියලා.

අධිරාජ්‍යයා මරණයෙන් පසු අනාගතයට ලෑස්ති වෙන්නේ රාජ්‍ය කාලයේ පළමු අවුරුද්දේ ඉඳන්. පොළොව යට මේ ගොඩනැගිල්ල කුටීර කිහිපයකින් සමන්විත වෙනවා. පලමු කුටීරයේ ජීවමාන ප්‍රමාණයේ සෙබලු 6000ක් ද දෙවන කුටීරයේ අශ්වයන් සහිත අශ්ව රථ 130ක් සහ අශ්වයින් 600ක් ද තෙවන කුටීරයේ අණ දෙන නිළධාරීන්ගෙන් ද සමන්විත වෙනවා. හතරවෙනි කුටීරයේ තියෙන්නේ අධිරාජ්‍යයාගේ මරණය නිසා (ක්‍රි.පූ. 210 දී) වැඩ අවසන් නොවූ පිළිම. මීට යාබදව තවත් කුටීර කිහිපයක් තියෙනවා. ඒවයේ ගොවීන්, මාළිගාවේ සුළු සේවකයන්, සංගීතඥයින්, රාජ්‍ය නිළධාරීන් වගේම සත්තුන්ගේ පිළිමත් තියෙනවා. මේවා දැක්කම හිතෙන්නේ මේ අධිරාජ්‍යයාට මරණින් පස්සේ යුද්ධයකට එහා ගිය දෙයක් උවමනා කරලා තියෙනවා කියලා.

මේ පිළිම හදන්නේ රතු පාටට හුරු පිළිස්සූ මැටි වර්ගයක් වුනු ටෙරාකොටා වලින්. ඒත් එක්කම මේවා හදන්න කම්කරුවන් 720,000ක් තරම් අති විශාල ප්‍රමාණයක ශ්‍රම දායකත්වයක් ලැබිලා තියෙනවා කියලා වාර්තා වල සදහන් වෙනවා. මේ පිළිම පෙළගස්වලා තියෙන්නේ හමුදා නිලය අනුව. එක් එක්කෙනා වෙනත් ඇඳුම්, ආයුධ සහ කොණ්ඩා මෝස්තර වලින් සැරසිලා ඉන්නවා. ඒ විතරක් නෙමේ මේ පිළිම වලට විවිධාකාර මුහුණේ ඉරියව් වගේම විවිධ කන් පෙති ත් ලබාදීලා තියෙනවා. මේ හැම පිළිමයකටම විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා.

කෙතරම් ටෙරාකොටා පිළිම සොයාගත්තත් වැදගත්ම දේ එතන තිබුනේ නැහැ. ඒ අධිරාජ්‍යයාගේ සොහොන. නමුත් ඉතා මෑත කාලයක දී කරපු කෑනීමකින් ටෙරාකොටා පිළිම තිබූ ස්ථානය කිට්ටුවෙන් පොළොව යටින් අධිරාජ්‍යයාගේ සොහොන සොයාගන්නවා. එහි තවත් පිළිම අති විශාල ප්‍රමාණයකුත් රත්තරන් මුතු මැණික් මෙන්ම සොහොන තුලින් ගමන් කරන රසදිය ගංගාවක් ඇති බවත් ලේඛන වලින් දැනගන්න ලැබෙනවා. එමෙන්ම එම ලේඛන වල සඳහන් වන ආකාරයට මෙම අධිරාජ්‍යයා පොළොව යට සියලු අංග වලින් සපිරුණු රාජධානියක් නිර්මාණය කරනවා. පොළොව යට ගොඩනැගිල්ලේ සිවිලිමේ රාත්‍රී අහස නිරූපනය වී තිබෙන අයුරු පැරණි ලේඛන සාක්ෂි දරනවා,

නමුත් අවාසනාවකට එම සොහොන සොයාගත්තද අද තාක්ෂණයේ දුර්වලකම් නිසා එම වස්තූන් සියැසින් දැකගත නොහැකියි. එම වස්තු සම්භාරයට හානි නොවී තබාගැනීමට නම් එම සොහොන විවෘත නොවී තිබිය යුතු බවයි පුරාවිද්‍යාඥයින්ගේ අදහස.

තාක්ෂණය දියුණු වූ දිනෙක වසර දෙදහසකට අධික කාලයකට පෙර තාක්ෂණයෙන් සෑදූ සොහොන අපි සියැසින් දැකබලා ගමු. එතෙක් ඉවසන්න.


5 comments:

  1. චීන ජාතික ඉංජිනේරු මහතා මොකද කියන්නේ මේ ගැන? පිලිපින් කම්කරු මහත්වරුන් භය වෙලා කිව්වලු.

    ReplyDelete
  2. කතාව මරු. මෙහේ ඉන්න උදවියක් ඔය වගේ දෙයක් කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඈත අතීතයේ ඉඳන් හැම ශිෂ්ටාචාරයක මිනිස්සු මැරුණට පස්සේ ජීවිතයට ලෑස්ති වුනා... පිරමීඩ ඇතුලෙ වුනත් බඩු මුට්ටු තිබුනා පාරාවෝට මැරුණයින් පස්සේ පාවිච්චි කරන්න... මේ චීන අධිරාජ්‍යයා ඒක වෙනම ලෙවල් එකකින් කරා...

      Delete
  3. බොහෝ අධිරාජ්යවරු මරණින් පස්සේ ජිවිතේට ලෑස්ති තියනවා නේද? මේ කතාව මන් මිට කලින් යන්තමින් අහල තියෙනව වගේ මතකයි.එත් අද තම හරියටම දැනගත්තේ.

    ReplyDelete
    Replies
    1. හැම ශිෂ්ටාචාරයකම වගේ මේ විදිහට මරණින් මතු පැවැත්මට ලෑස්තිවෙලා තියෙනවා. සොහොනත් එක්ක ජීවත්වෙලා ඉන්න කාලෙ භාවිතා කරපු දේවල් තැන්පත් කළේ ඒ නිසා.

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...