Thursday, May 14, 2020

සැවොම සොයන ඇට්ලැන්ටිස් ඇත්තක් ද?


ප්ලේටෝ යනු ග්‍රීසියේ සිටි අදටත් බොහෝ දෙනා නමින් හඳුනන ප්‍රකට දාර්ශනිකයෙක්. ප්ලේටෝ තමන්ගේ දර්ශනය තුල මිනිස් ජීවිතය පිළිබඳ බොහෝ අවස්ථාවලදී ‘ඇත්ත’ ප්‍රකාශ කළ නිසා සියවස් ගණනාවකට පසුත් ඔහුගේ නාමය නිතර කතාබහට ලක්වේ.

ඔහුගේ කතාන්දර අතරින් ඉතා ප්‍රකට වූයේ මිත්‍යාවක් වූ ඇට්ලැන්ටිස් නම් වූ ශිෂ්ටාචාරයේ කතාන්දරය. නමුත් ප්ලේටෝ මියගොස් වසර 2300කට පසුත් මෙම ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය පිළිබඳ කතාබහට ලක්වන්නේ ඇයි? මෙම සටහන එය සොයා බැලීමටයි.

“මේ කතාව මිනිසුන්ගේ පරිකල්පනය තදින් අල්ලාගන්නවා” යැයි මහාචාර්ය ජේම්ස් රොම් පවසයි. “මේක ප්‍රබල මිත්‍යා කතාවක්. මිනිස්සු ආදරය කරන හීනෙන් මවන බොහෝ අංග මේ කතාන්දරයේ තියෙනවා”

ප්ලේටෝ මෙම කතාව පවසන්නේ ක්‍රි.පූ. 360 දී. ආසන්න වශයෙන් අදින් වසර 2300කට පෙර. ඔහු පවසන ආකාරයට ඇට්ලැන්ටිස් හි නිර්මාපකයන් අර්ධ මිනිස් හා අර්ධ දේවත්වයෙන් යුතු පුද්ගලයින්. ඔවුන් මෙම යුටෝපියානු ශිෂ්ටාචාරය බිහිකර ශක්තිමත් නාවික බලයක් ද අත්කරගන්නවා. ප්‍රධාන දිවයිනකට මැදිව එය වටා පිහිටි දිවයින් කිහිපයකින් මෙම ශිෂ්ටාචාරය සමන්විත වනවා. වටේ පිහිටි දිවයින් රත්තරන්, රිදී ඇතුලු වටිනා ලෝහ රැසකින් සමන්විත වෙයි.

ඇට්ලැන්ටිස් තිබුනු ස්ථානය ගැන ඉතිහාසය පුරාවට මතවාද බොහොමයක් පවතියි මධ්‍යධරණී මුහුද, ස්පාඥ්ඥයේ වෙරළබඩ තීරය , ඇන්ටාක්ටිකාව ස්ථාන කිහිපයකි. “සිතියමෙන් ඕනම තැනක් තෝරගන්න, කවුරුහරි කෙනෙක් කියල තියෙනවා ඇට්ලැන්ටිස් තියෙන්නෙ එතන කියලා” යැයි නිව් යෝර්ක් ප්‍රාන්ත කෞතුකාගාරයේ චාර්ල්ස් ඕර්සර් පවසයි.

ප්ලේටෝ පැවසුවේ ඇට්ලැන්ටිස් තිබුනේ ඔහුගේ කාලයට වසර 9000කට පෙර බවයි. පසුව මෙම කතාන්දරය කවියන්, ලේඛකයින්, පූජකවරුන් විසින් වර්ධනය කරන්නේ තම තමන්ගේ හිතලු එකතු කරමින්. මෙය ඉතිහාසගත කතාන්දරයක් සාමාන්‍යයෙන් අද දක්වා පැමිණෙන ආකාරයයි. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මවක් තම ළමයින් “පලවෙනියෙන් ලෝකයට බිහිවුනේ කව් ද?” යැයි ඇසූ විට දුන් පිළිතුර වසර දහස් ගණනක් වර්ධනය වී අද බයිබලයේ උප්පත්ති පොතට පැමිණ තිබේ. උප්පත්ති බොහෝ බොහොමයක් කතාන්දර වල මූලය පැමිණෙන්නේ පෙර කියූ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන්. නෝවාගේ නැව, කතාකරන නයා, ඒදන් උයන, බාබෙල් කොත යන කතන්දර මෙසපොතේමියාවේ ළමයිනුත් උගෙන තිබේ.

“මේ ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වුනු කිසි කෙනෙක් ඇට්ලැන්ටිස් ඇත්තටම තිබුනා කියල නැහැ” යැයි පවසන්නේ සාගර ගවේෂක රොබර්ට් බැලර්ඩ් විසින්. 1985 දී ටයිටැනික් නැව මුහුදු පතුලේ සොයාගත්තේ ඔහුයි. ඔහු තවදුරටත් පවසන ආකාරයට ඇට්ලැන්ටික් පිළිබඳ කතාන්දර තර්කානුකූල දෙයක් බවයි. ඒ අති විශාල ගංවතුරවල්, ගිනිකඳු පිපිරීම් වැනි සාධක නිසයි. මෙයට යම් සමානත්වයක් දැක්විය හැකි සිදුවීමක් වන්නේ මීට වසර 3600 කට පමණ පෙර ගිනිකඳු පිපිරීමක් නිසා ග්‍රීසියේ ඒජියන් මුහුදේ සැන්ටෝරිනී දූපතේ තිබූ සියලු දෑ අතුරුදහන් වීම දැක්විය හැකියි. නමුත් මේ ඇට්ලැන්ටිස් බව බැලර්ඩ් පිළිගන්නේ නැහැ. ඒ ඇට්ලැන්ටිස් විනාශ වූ කාලය පිලිබඳ ප්ලේටෝ කියූ දෑ මෙම සිදුවීමත් සමඟ නොගැලපෙන නිසා.

ප්ලේටෝ මෙම ඇට්ලැන්ටික් කතාන්දරය තම දාර්ශනික මතවාද මිනිසුන්ට කීමට ගත් එක් ආකාරයක් ලෙසත් තවත් විද්වතුන් පවසා සිටිනවා. මිනිසුන්ගේ චරිතය, සියල්ලෙන් සපිරි සමාජයක්, මිනිසාගේ වැටීම් වලට හේතු වැනි කාරණා මිනිසා වෙත කීමට ඔහු යොදාගත් එක් ආකාරයක් ලෙස ඇට්ලැන්ටිස් කතාන්දරය ඔවුන් විස්තර කර සිටියි.

ඇට්ලැන්ටිස් පිලිබඳ කතාන්දරයෙන් කියැවෙන්නේ සදාචාර සම්පන්නව, ධාර්මිකව ඉතා ඉහළ දැනුමකින් හෙබි සමාජයක් ආත්මාර්තකාමීව, සාරධර්ම වලින් ගිලිහී ව ජීවත් වූ නිසා දෙවියන් කෝප වී ඔවුන්ට විරුද්ධව කටයුතු කරයි. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම වූයේ එක් රැයකින් ගින්දර හා භූමිකම්පා වලින් ඇට්ලැන්ටිස් නගරය විනාශ වී මුහුදුබත් කිරීමයි.

මිත්‍යා කතාවකින් වුව ද ඉගෙනගැනීමට දෙයක් ඇත්නම් එය විචාරා ජීවිතයට ඇතුලත් කරගත යුතු බව මගේ විශ්වාසයයි. ඉතිහාස කතාන්දර තුලින් මෙන්ම මිත්‍යා කතාන්දර තුල ද ජීවිතයට ගත හැකි ආදර්ශ බොහොමයක් ගැබ්ව පවතියි. ඉතිහාසය කියවන විට ඒ ඒ ශිෂ්ටාචාර හා අවධි වල මිත්‍යා කතා අධ්‍යනයට මම වැඩිපුර කැමැත්තක් දක්වන්නේ ඒ නිසාවෙන්.

‘ඇට්ලැන්ටිස් සොයාගැනීමට වෙහෙසුනාට කමක් නැත. නමුත් ඔවුන් මෙන් වීමට උත්සහ ගන්න එපා’


Monday, May 11, 2020

මළ සිරුරක් ලෙස නඩුවකට සහභාගි වූ පාප්වරයා

රෝමානු ධීවරයන් කිහිප දෙනෙක් ටයිබර් ගංගාවෙන් ගොඩගත් සිරුර පාප්වහන්සේ කෙනෙකුගේ සිරුරක් බව දැනගත් විට පුදුම වන්නට ඇති. ඒ ෆෝමෝසස් පාප්වහන්සේගේ සිරුර. නමුත් පාප්වහන්සේ කෙනෙක්ගේ සිරුරක් ගඟක තිබෙන්නේ කෙසේ ද? මෙම සටහන එය සොයා බැලීමට.

ෆෝමෝසස් පාප්තුමා සිටියේ නමවන ශතවර්ෂයේ. එකල යුරෝපයේ වියවුල්ව තිබූ කාලයක්. ක්‍රි.ව. 872 සිට 965 දක්වා කාලයේ දී පාප්වරු 24 දෙනෙක් රෝමයේ දී පාප් ධූරය සදහා පත්ව තිබුනි. 896 සිට 904 කාලයේ දී වසරකට එක් පාප්වරයෙක් පත් වුනි. එසේ වීමට පාප්වරු සිරගත කිරීම් හා ඝාතන හේතු විය. යුරෝපයේ රාජ්‍යත්වය සඳහා පල්ලියේ සහභාගීත්වය තදින්ම තිබුනු නිසාත් පාප්වරු වාර්ෂිකව වෙනස් වූ නිසාත් යුරෝපයේ දේශපාලන අස්ථාවරභාවයකට මුල පිරීය.

එකල රජපවුල් වල ප්‍රශ්න සදහා පාප්වරු කාදිනල්වරු බිෂොප්වරු සහභාගි වූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. මෙම ආගමික නායකයන්ගේ සහය හිමිවූයේ එක් රජකෙනෙක්ට නොවේ. ෆෝමෝසස් බිෂොප්වරයෙක්ව සිටි කාලයේ දී කැරොලින්ජියන් රජ කෙනෙක් වූ ආර්නල්ෆ් හට සහයෝගය දක්වයි. ඔහු ඉතාලියේ රජකම ගැනීමට මාන බලමින් සිටි රජ කෙනෙකි. මෙවන් රජෙක් ඉතාලියේ රජ වුවහොත් රෝමයේ ස්වාධීනත්වය නැති බව කියූ එකල අට වන ජෝන් පාප්වහන්සේ ෆෝමෝසස් ඇතුලු ඔහුගේ සහයකයන්ව රෝමයෙන් නෙරපයි. මෙහි දී ෆෝමෝසස් හට උදව් කිරීමට පෙළබෙන්නේ ස්පොලෙටෝ හි තුන්වන ගයි නම් පාලකයෙක්.

ටික කලක් ගත වූ පසු පලමු මැරිනස් පාප්තුමා ෆෝමෝසස් හට තිබූ දඬුවම ඉවත් කරන අතර 891 දී ස්ටෙෆන් පාප්තුමාගේ මරණින් පසු ෆෝමෝසස් පාප් ධූරයට පත්වේ. ඔහු පාප්ධූරයට පත් වූ විගසම ඔහු රෝමයෙන් නෙරපා සිටි අවධියේ දී ඔහුට උදව් කළ තුන්වන ගයි ඉතාලියේ රජකමට පත්වෙයි. මෙම රජුගේ මරණින් පසු ඔහුගේ පුත්‍රයා වන ලැම්බර්ට් රජකමට පත්කිරීමට ෆෝමෝසස් පාප්වරයාගේ අනුමැතියත් මේ අතර ලැබෙයි. ඉන් වසර තුනකට පසු තුන්වන ගයි රජු මියයන අතර ඔහුගේ පුත්‍රයා ලැම්බර්ට් රජකමට පත්වෙයි. ඒ රෝමානු අධිරාජ්‍යයා වශයෙන්.

ලැම්බර්ට් රජකමට පත් වීමට පෙර සිටම ෆෝමෝසස් ඔහුගේ රජකමට අනුමැතිය දුන්නත් ඔහු පිළිබඳ කැමැත්තකින් සිටියේ නැහැ. ඒ නිසා ෆෝමෝසස් නැවතත් තමා පිටුවහල් වීමට ප්‍රථම සහය දැක්වූ කැරොලින්ජියන් රජකෙනෙක් වූ ආර්නොල්ෆ් සමග සම්බන්ධතාව ගොඩනංවා ගැනීමට සැරසෙයි. ලැම්බර්ට් රජකමට පත්වූ විට ආර්නොල්ෆ් තම හමුදාව රැගන විත් මාළිගාව වටලයි. මේ ක්‍රියාවට ෆෝමෝසස් පාප් තුමා සම්බන්ධ බව දැනගත් විට ලැම්බර්ට් රජුගේ හිතවතුන් ෆෝමෝසස් පාප්තුමාව අල්ලා සිරගත කරයි. නමුත් ආක්‍රමණිකයන්ගේ මෙම සටනින් ජයගත් නිසා ෆෝමෝසස් හට නිදහස ලැබේ. ආර්නෝල්ෆ් රජකමට පත්වෙයි. ඔහුට ශාන්ත පීතර බැසිලිකාවේ දී ඔටුනු පළන්දන්නේ ෆෝමෝසස් පාප්තුමා අතින්.

මින් මාස කිහිපයකට පසු ෆෝමෝසස් පාප්තුමා මරණයට පත්වෙයි. ඒ වන විට ඔහුගේ වයස 80ක් වූ අතර මරණයට හේතුව ස්වාභාවික හේතුවක් ද නැතිනම් වස දී මරා දැමීමක් ද යන්න සැක සහිතයි. සමහරු ඔහුට ගෞරව කල අතර තවත් සමහරු ඉතාලියානු රජෙක් වෙනුවට ආර්නොල්ෆ් නම් ජර්මානු රජෙක්ට රාජ්‍යත්වයට ඒමට උදව් දීම ගැන සිටියේ වෛරයෙන්.

ෆෝමෝසස් පාප්තුමා දැන් මියගොසින්. එනමුත් කතාව එතැනින් අහවර වන්නේ නැත. ෆෝමෝසස් ට පසු හයවන බොනිෆස් පාප්ධූරයට පත්වුනත් ඔහුට එහි සිටිය හැකිවූයේ දින 15ක් පමණයි. ඉන්පසු හයවන ස්ටීවන් පාප්ධූරයට පත්වේ. ස්ටීවන් පාප්තුමා ෆෝමෝසස් පාප්තුමා සිටි කාලයේ දී ජර්මානු ආර්නොල්ෆ් හට පක්ෂපාතීව සිටි අයෙක්. නමුත් මෙම රජතුමා නගරයෙන් පිටව සිටි අවස්ථාවක දී ඉතාලියානු පවුලකින් පැවත එන ලැම්බර්ට් රෝමය අල්ලා ගනියි. නමුත් තවමත් ෆෝමෝසස් පාප්තුමාගේ අනුගාමිකයන් නගරය තුල සිටින නිසා ෆෝමෝසස්ගේ ගෞරවය නැති කරන ලෙස ලැම්බර්ට් විසින් ස්ටීවන් පාප්තුමා හට පවසයි.

ඔවුන් ෆෝමෝසස් පාප්තුමාගේ ගෞරවය නැති කිරීමට යොදාගත්තේ නඩු විභාගයක්. එකලතිබූ නීති වලට අනුව චෝදනා එල්ල වන පුද්ගලයා නඩුවට සහභාගි වීම අනිවාර්ය යි. නමුත් මේ වන විට ෆෝමෝසස් පාප්තුමා මියගොස් මාස හතකටත් අධිකයි. නමුත් නීතියේ ලෙසට ඉටු කිරීමට ෆෝමෝසස් පාප්තුමාගේ මියගිය සිරුර නඩු විභාගයට ගෙන එන ලෙස ලැම්බර්ට් සහ ස්ටීවන් පාප්තුමා අණ කරයි.

නඩු විභාගය සදහා බිෂොප්වරු කාදිනල්වරු ඇතුලු බොහෝ දෙනෙක් පැමිණ සිටි අතර පාප්වරයෙක්ගේ ඇදුම් කට්ටලයෙන් සැරසී සිටි මියගිය ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර පුටුවක් මත හිඳවා තිබුනා. ඔහුට විරුද්ධව නැගුනු ප්‍රධාන චෝදනාව වූයේ පාප්ධූරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීමයි. ස්ටීවන් පාප්තුමාගේ කවුන්සිලය ෆෝමෝසස් පාප්තුමා දෙස බලා ජීවත්ව සිටින්නෙකුගෙන් අසන ආකාරයට ප්‍රශ්න නැගූ අතර එයට පිළිතුරු දුන්නේ ෆෝමෝසස් පාප්තුමා වෙනුවෙන් පෙනී සිටි ඩීකන් කෙනෙකි. වාර්තා වල සදහන් වන ආකාරයට එම පිලිතුරු මුල සිටම පිටපතකට අනුව සිදුවූ බව පවසයි. නඩු විභාගයෙන් අනතරුව ෆෝමෝසස් පාප්තුමා වරදකරු බවට පත්වූ අතර ෆෝමෝසස් පාප්තුමා ඇඳ සිටි පාප්ධූරයට හිමි ඇඳුම් නඩු ශාලාවේ දීම ඉරා දැමුවා. එතැනින් නොනැවතුනු ඔවුන්, මිනිසුන්ට ආශිර්වාද කිරීමට යොදාගන්නා ෆෝමෝසස් පාප්තුමාගේ ඇඟිලි තුනක් කපා දැමුවා. ඉන්පසු මළ සිරුරට සාමාන්‍ය ඇඳුම් අන්දවා නගරයෙන් පිට විදේශිකයන් මිහිදන් කරන ස්ථානයක ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර මිහිදන් කිරීමට ස්ටීවන් පාප්තුමා විසින් අණ කරයි. මෙම දඬුවමින් සෑහීමකට පත් නොවූ ස්ටීවන් පාප්තුමා ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර නැවත ගොඩගෙන ටයිබර් ගඟට දමන්නැයි අණ කරයි.

ෆෝමෝසස් පාප්තුමාට කළ දේවල් නිසාත් මෙම පිළිගත නොහැකි නීතිය නිසාත් පසුකාලීනව ස්ටීවන් පාප්තුමාව සිරගත කර එල්ලා මරා දමයි. ඉන් වසර දෙකකට පසු නමවන ජෝන් පාප්ධූරය සඳහා පත්වූ අතර ඔහු මියගිය පුද්ගලයින් සදහා නඩු විභාග කිරීම තහනම් කරයි. කෙසේ හෝ කතෝලික සභා ඉතිහාසයේ කළු පැල්ලම් වලින් එකක් සනිටුහන් කල මෙම සිදුවීම 897 දී අවසන් වන්නේ ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර ගෞරව සහිතව නැවත මිහිදන් කිරීමෙන්.



මෙතෙක් සොයාගත් විශාලතම ළමා බිළි පූජාව

මහාචාර්ය ගේබ්‍රියෙල් ප්‍රියෙටෝ දිනක් විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙක් සමග පේරු හි නැගෙනහිර වෙරළ තීරයේ හුවන්චකිටෝ හි කැනීමක් සිදු කරමින් සිටියේ ය. එක් විශ්වවිද්‍යාල සිසුවෙක්ට කැනීම අතරතුර හිස්කබලක රුවක් දක්නට ලැබුනි. ඉතා කල්පනාකාරීව ඔහු තම බුරුසුවෙන් පිහදා එම හිස් කබල නිරාවරණය කරගත්තේ ය. ඒ සිටියේ කුඩා දරුවෙක්. වැඩි කාලයක් යාමට මත්තෙන් මෙම ස්ථානයට තරමක් උතුරට වන්නට වූ ස්ථානයක කැනීමකින් තවත් සොහොනක් හමුවිය. 2011 දී ආරම්භ වූ මෙම කැනීමෙන් මේ වන විට ළමුන් 269 ක් සොයාගෙන තිබේ. මෙය මෙතෙක් සොයාගෙන තිබෙන විශාලතම ළමා බිළි පූජාවයි.

ළමුන්ව පූජා කළ අවස්ථා ගැන ලෝක ඉතිහාසයේ මෙන්ම ආගමික සාහිත්‍යන්ගේත් දක්නට ලැබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ ආබ්‍රහම් තම දරුවාව දෙවියන්ට පූජා කරන්නට තැත් කරයි. එය එක් උදාහරණයක්. මෙම සොයාගැනීමට ප්‍රථම විශාලතම ළමා පූජාව පැවැත්වූ ස්ථානය ලෙසට හදුනාගෙන තිබුනේ ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ ටෙනොචිට්ලන් (වර්තමාන මෙක්සිකෝව) නගරයේ ය. එහි 15 වන සියවසේ දී ළමුන් හතලිස් දෙදෙනෙක් පූජා කළ බවට සාක්ෂි හමුව පවතියි.

පේරුහි මෙම සොයාගැනීමේ මිහිදන් කර තිබුනේ කුඩා ළමුන්ව පමණක් නොවේ. ඔවුන් සමග ලාමා සත්වයින්වත් (466ක්) මිහිදන් කර තිබුනි. මෙම සත්වයින්ගේත් ළමුන්ගේත් පපු ප්‍රදේශයේ ඉළ ඇට හරහා යන කැපුම් දක්නට ලැබේ. සාමාන්‍යයෙන් එකල බොහෝ ශිෂ්ටාචාර වල තිබූ චාරිත්‍ර වලට අනුව යෙමෙක් මිහිදන් කරන විට ඔවුනොවුන් භාවිතා කළ බඩුබාහිරාදියත් ඒත් සමගම තැන්පත් කරයි. නමුත් මෙම සමූහ ළමා මිනී වළෙන් එවන් කිසිවක් දැකගැනීමට හැකියාවක් තිබුනේ නැත.

මෙම සමූහ මිනීවලවල් හමුවූ ස්ථානයේ අතිතයේ තිබුනේ චිමූ ශිෂ්ටාචාරය යි. 15 වන සියවස වන ඔවුන් තම පැවැත්ම තහවුරු කරගැනීමට දැරුවේ විශාල වෙහෙසක්. එක් අතකින් එල් නිනෝ වැනි ස්වභාවික සංසිද්ධිත් අනෙක් අතට ඒ අසලම තිබූ ඉන්කා ශිෂ්ටාචාරයෙන් ආ ප්‍රහාරයන් නිසාත් ඔවුන් පැවැත්ම සදහා විශාල සටනක යෙදුනේ ය. අවසානයේ දී ඉන්කා ශිෂ්ටාචාරය 1470 දී මෙය අල්ලාගනියි. ඉන් සියවසකට පමණ පසු ස්පාඥ්ඥයින් මෙම පෙදෙසට විත් ඉන්කා ශිෂ්ටාචාරයත් අල්ලා ගනියි.

මෙම ළමයින් පුජා කිරීම සම්බන්ධව හේතු විමසීමේ දී මෙම ප්‍රදේශයේ පැවති එක් ජනකතාවක් උදව් සපයයි. එනම් රජ කෙනෙක් මියගිය විට තමන් සතු වටිනාම වස්තුව පූජා කිරීම සම්බන්ධ ජනකතාවක්. යම් අයෙක්ට තමන්ගේ ජීවිතයට වඩා වටිනා දෙයක් ඇත්නම් ඒ තමන්ගේ ළමයින්. තමන්ගේ පවුලේ අනාගතය ශිෂ්ටාරයේ අනාගතයි ඔවුන් පූජා කරන්නේ. මේ නිසා රජතුමා මියගිය පසු ළමුන් පූජා කිරීම ගැන ජනකතාවක් මෙම ප්‍රදේශයේ ජනතාව අතර පවතියි. නමුත් චිමූ ශිෂ්ටාචාරයේ කීමට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැති නිසාත් එහි ඉතිහාසය කියවීම බොහෝ දුරට පුරාවිද්‍යාත්මක සාක්ෂි මත යැපීම නිසාත් ළමා සොහොන සොයාගන්නා තෙක් එම ජනප්‍රවාදය හුදෙක් කතාවකට සමාන විය.

දැන් ඊට තුඩු දෙන පුරාවිද්‍යා සාක්ෂි හමුව ඇති නිසා මෙය රජෙකුගේ මියයාමක් නිසා දුන් බිළිදීමක්දැයි සොයාබැලීමට උක්ත පුරාවිද්‍යාඥයින් වෙහෙසුනා. ළමුන්ගේ හා සතුන්ගේ පපු ප්‍රදේශයේ කැපුම් සැමගෙම පාහේ බොහෝ දුරට එකම තැනක තිබීමත් පපුවට පිහිය එල්ල කරන විට (හදවත ඉවත් කිරීමට) පැකිලීමකින් තොරව එල්ල කළ සලකුණු තිබීමත් යන සාධක බිළි පූජාවක ලක්ෂන වන නිසා මෙයත් එයට අයත් බවට විශ්වාස කරයි. මෙය පමණක් නොව මීට කිට්ටු කන්දක් මුදුනේ තවත් ළමා සිරුරු නමයක් සොයාගත්තේ ය. එහි ළමුන්ව හම් රෙදි වලින් ඔතා තිබුනු අතර පපු ප්‍රදේශයේ කැපුම් තිබුනේ නැත. නමුත් හිස් කබල තැනින් තැන කැඩී තිබුනු බවක් දක්නට ලැබුනි.

නමුත් තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න කිහිපයක් පවතී. මෙම ළමුන් බිළි දුන්නේ දුප්පත් පවුල් වලින් ද පොහොසත් පවුල් වලින් ද? මිහිදන් කිරීම සමග බඩුබාහිරාදිය කිසිවක් තැන්පත් නොකිරීම නිසා මෙයට පිළිතුරු ලබාදීම අපහසුයි. පවුල් කීයකට ළමුන් අහිමි වුනා ද? ළමුන්ව බිළි දුන්නේ බලහත්කාරයෙන් ද? තවමත් මේවාට පිළිතුරු සොයමින් පවතියි. ඉතිහාසයේ අනාවරණය වීමට තවත් බොහෝ දේ ඇත.



Saturday, May 9, 2020

අවශ්‍යතාවක් සපුරා ගැනීමට ඝාතනය නිවැරදි ද?

මොහොතකට සිතන්න ඔබට ඔබගේ අවශ්‍යතාවයක් සපුරා ගැනීමට ඝාතනයක් කිරීමට සිදුවන අවස්ථාවක්. මෙම අවශ්‍යතාව සපුරා නොගතහොත් ඔබට මියයන්න සිදුවෙයි. එවිට ඔබ එම ඝාතනය සිදු කරනවා ද? එසේ වූ අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වූ ආකාරය විස්තර කිරීමට මම මීට සියවසකට එහා සිදුවූ සිදුවීමක් ඔබ හමුවේ තබන්නම්. මෙම නඩුව ලොව පුරා ප්‍රකට වන්නේ QUEEN VS DUDLEY AND STEPHENS නඩුව ලෙසයි.

මෙහි දී කතාවන්නේ අවශ්‍යතාවයක් උදෙසා ඝාතනයක් සිදු කල හැකි ද? යන්නයි. 1884 වර්ෂයේ දී එක්තරා නැවක් එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාව දක්වා ගමන් කරයි. අප්‍රිකාවේ සුබ පැතීමේ තුඩුව අසල දී මෙම නැව විනාශයට පත් වන අතර නැවේ සාමාජිකයන් හතර දෙනෙක් ආරක්ෂක බෝට්ටුවකින් එතැනින් ඉක්මනින් ඉවතට යයි. එහි සිටියේ ඩඩ්ලි (කැප්ටන්), ස්ටීවන්ස් (දෙවෙනියා), බෘක් (නාවිකයෙක්), පාකර් (Cabin boy) යන අයයි. හදිසියේ ආරක්ෂක නැවට ගොඩවූ නිසා ඔවුන් රැගන ආවේ ආහාර ටින් දෙකක් පමණයි. දින කිහිපයකින් පසු ඔවුන්ට මුහුදෙන් කැස්බෑවෙක් ද ආහාරය සදහා සොයාගත හැකි විය. නමුත් 19 වන දින විටත් ඔවුන්ට ගොඩබිමක් සොයාගත හැකි වූයේ නැත. මේ නිසා හතර දෙනා අතර ඉරටු කැබලි තෝරා කොටම කැබැල්ල ලැබන කෙනා ජීවිතක්ෂයට පත් කර ඔහුගේ ලේ හා මස් අනුභව කරමින් ඉතිරි තිදෙනා ජීවත් විය යුතු බව කැප්ටන් වූ ඩඩ්ලි යෝජනා කරයි. නමුත් මෙයට බෘක් කැමති වන්නේ නැහැ.

මේ වන විට පාකර් (Cabin boy) මුහුදු වතුර බීම නිසා බොහොම දුර්වල තත්ත්වයට පත්ව තිබුනි. ඔහු අනාථ නිවාසෙක හැදී වැඩුනු නිසා ඥාතියෙක් ද නැත. වයස 18ක් පමණ වන නිසා විවාහ වී නොතිබුනි. මේ සියල්ල නිසා ඔහුව මරා කෑමට ඩඩ්ලි යෝජනා කරයි. බෘක් මෙයට අකමැති වුවත් ඩඩ්ලි ඔහුගේ සහයක ස්ටීවන්ස් සමග එක්ව කුඩා පිහියක් අධාරයෙන් පාකර් ව මරයි. ඉන්පසු තිදෙනාම එක්ව පාකර්ගේ සිරුර ආහාරය ලෙස ගනියි. දින කිහිපයකට පසු නැවක් පැමිණ මොවුන්ව මුදවාගන්නා අතර එංගලන්තයේ අධිකරණය වෙත මොවුන්ව වහාම ගෙන යන ලදි. එංගලන්ත අධිකරණය නඩු තීන්දුව ලබා දීම සදහා කරුණු කාරණා සකස් කරගත් ආකාරය පහත සාකච්ඡා කරයි.

ඔබ ඉදිරියට තුවක්කුවක් රැගන යමෙන් පැමිණෙනවා සහ ඔබ අත පිහියක් ඇති බව සිතන්න. ඔහු ඔබව මරන්නට තැත් කරන විට ඔබ කෙසේ හෝ ඔහුව ඝාතනය කිරීමට සමත් වේ. මෙහි දී ඔබ ඝාතනය සිදු කරන්නේ ඔබගේ ආරක්ෂාව සලසා ගැනීමට යි. අපගේ සිදුවීමේ දී ඩඩ්ලි පාකර්ව මරණ විට පාකර් ඩඩ්ලිට තර්ජන කළේ නැහැ. එමනිසා එම සන්ධර්භයෙන් ඩඩ්ලි හා ස්ටීවන්ස් වැරදිකරුවන් වේ.

දැන් මෙසේ සිතන්න. කලින් ඔබට තුවක්කුවෙන් වෙඩි තැබීමට තර්ජනය කළ පුද්ගලයා ඔබට වෙඩි තබන්නේ තවත් අයෙක්ව ඔබ ඝාතනය නොකළහොත් පමණි. ඔබට ජීවත් විය හැක්කේ තව අයෙක්ව ඝාතනය කිරීමෙන්. මෙය අපගේ සිදුවීමට බොහෝ දුරට සමානයි. මිය යා යුතු පුද්ගලයා පාකර් වන අතර ඝාතනය කල යුතු පුද්ගලයා ඩඩ්ලි ලෙස ගත හැකියි. තුවක්කුවක් ගෙන ඝාතනය කිරීමට පවසන පුද්ගලයා බඩගින්නේ මියයමින් සිටින පුද්ගලයන්ගේ එම අවස්ථාව ලෙස ගත හැකියි. පාකර්ව ඝාතනය නොකලහොත් පරිසරය විසින් (බඩගින්න) ඩඩ්ලි ඇතුලු පිරිසව ඝාතනය කරයි. මෙම අවස්ථාවේ දී ඩඩ්ලි හට පාකර් ව ඝාතනය කල නොහැකි බව එංගලන්ත අධිකරණය පවසයි. පරිසරය විසින් ඝාතනය වීමෙන් වැලකීමට නම් තමන් සියදිවි නසා ගැනීම සිදු කල හැකිව තිබූ බව පවසයි. කිසි විටකත් අහිංසක පුද්ගලයෙක් ව මෙසේ ඝාතනය කල නොහැකි බව අධිකරණය තවදුරත් කියා සිටියි.

හොරකම සහ ඝාතනය ගත් විට වඩා බරපතල ඝාතනය බව අමුතුවෙන් කිව යුතු නැත. ඝාතනයකින් බේරීමට ඉතා බලවත් හේතුවක් අවශ්‍යයි. හොරකමින් ගැලවීමටත් හේතුවක් අවශ්‍යයි. නමුත් එය ඝාතනයෙන් ගැලවීමට තරම් බලවත් හේතුවක් විය යුතු නැත. එමනිසා යමෙක් හොරකම යන කරුණෙන් බේරීමට නොහැකි නම් ඝාතනය යන කරුණෙන් කිසි විටකත් බේරීමට නොහැකියි. යමෙක් ආහාර සහ ජලය යන අවශ්‍යතාව සදහා හොරකම් කරන්නේ නම් එය නීතියෙන් වරදක්. ඩඩ්ලි ඇතුලු පිරිසටත් අවශ්‍යව තිබුනේ ආහාර සහ ජලයයි. එමනිසා ඩඩ්ලි පාකර්ව මැරීම මොහොතකට අමතක කර ඔහු පාකර් සතුව තිබූ ආහාර සොරා ගත්තා යැයි සිතුවොත් එයත් නීතියෙන් වරදක්. මේ සියල්ල අවසන් වන්නේ ඩඩ්ලි හා ස්ටීවන්ස් හට මරණ දඩුවම හිමි වීමෙන්.

එමනිසා තම අවශ්‍යතාවයන් සදහා ඝාතනයක් සිදු කිරීම නීති ප්‍රාකාරව වරදක්.



Friday, May 8, 2020

අතීත දේශපාලන වේදිකාවෙන් ඇසුනු කවි

දේශපාලන වේදිකාව තුල කවි හරඹ අද වන විට විටින් විට දක්නට ලැබේ. නමුත් අතීතයේ දී මෙම කවි හරඹ බහුලව දක්නට ලැබුනු බව අතීතය කියවිට විට පෙනී යයි. මෙම සටහනෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුනු රසවත් කවි කිහිපයක් ඔබ හමුවේ තබන්නට සූදානම්. ලෝකයේ පළමු අගමැතිනිය ලෙස පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව දේශපාලන වේදිකාවේ මෙවන් කවි සටන්පාඨ ඇසෙන්නට විය. ඔවුන් මේවා මුද්‍රණය කර බෙදා හරින ලද අවස්ථාද එමටයි.

සිරිම කිරිල්ලිට එන්ට කියා පිය

මේවට උත්තර දෙන්ට කියාපිය

“සිරිමක්කේ මේ අහන්න

රටම නොකා ගෙදර යන්න”

 

ඉතා උණුසුම් මැතිවරණයක් වූ 77 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පෙළපාලි ගියේ මෙසේ කියමින්;

සීනි නැතුව තේත් එපා

පිටිත් නැතුව පාන් එපා

මිරිස් නැතුව හොදිත් එපා

පොදු පෙරමුණ අපට එපා

 

චිං චිං නෝන මේ අහන්න

බඩගින්නේ අපට ඉන්න

තොපට හොඳට සැප විඳින්න

දැං පලයං ගෙදර යන්න

 

සිරිම කිරිල්ලිට එන්ට කියාපිය

මේවට උත්තර දෙන්ට කියාපිය

නොබැඳි මගුල් තව කන්න කියාපිය

රටට හාමතේ ඉන්න කියාපිය

 

මෙවන් කවි සටන් පාඨ ඇසෙන විට සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගේ සමගි පෙරමුණට බලන් සිටිය නොහැකියි. ඔවුන් තම පෙළපාලිවල ගියේ පිළිතුරු කවියක් කියමින්;

මැතිනි අපේ සීදේවී - රට ගොඩනගලා දේවී

අපේ මැතිනි අපට හොදා - අම්මා වගේ අපට හොදා

හාල් නැතුව බත් කනවෝ - සීනි නැතුව තේ බොනවෝ

අපේ මැතිනි කියනවනන් - පිදුරු වුනත් අපි කනවෝ

 

56 මැතිවරණ වේදිකාවෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට විරුද්ධ පක්ෂයෙන් ගෙතුවේ මෙවන් කවි.

 

සෙවල බණ්ඩා අපට එපා

ගමට එපා රටට එපා

හොරගොල්ලෙන් කොළඹ යන්ඩ

කොළඹ ගිහින් නැව් නගින්ඩ

 

සිව්වරක් ලංකාවේ අගමැති ධූරයට පත්වූ ඩඩ්ලි සේනානායක මහතා ගැන කියූ කවියක් පහත දැක්වේ. මෙහි දෙවන හා තෙවන කවි දක්නට ලැබුනේ දැදිගම ප්‍රදේශයෙන්. මෙකල ප්‍රාදේශීය පුවත්පත් බිහිවූ අතර ඒවායේ නොයෙක් ආකාරයේ කවි සංකල්පනා එළිදැක්වුණි. එමෙන්ම දේශපාලන කවි පොත් ද ප්‍රකාශකයට පත් වූ අවස්ථා තිබේ.

 

කෑම බීම දුන්නේ නොකරම අඩුව

අස්වැද්දුවා හැම ඉඩමක් තිබූ මුඩුව

ආගම දහම රට තුල හොඳ ලෙස වැඩුව

ඩඩ්ලියි අපේ පෙරදිග බබලන තරුව

 

රටටම හුරු

හොද ගුණ ගරු

බලයට හුරු

ඩඩ්ලි කුමරු

 

නැහැ කවදත් බොරු

රටටම කළෙ ගරු

ආවොත් රට සරු

අපි කාටත් මරු

 

එකල මඤ්ඤොක්කා සිටවීමට හා හාල් සේරු හයක් කැපීමට විරුද්ධව දේශපාලන වේදිකාවේ මෙවන් කවි ගායනා විය.

 

බඩු මිල ඉහළ ගොස් ඇත නොසිතුව ලෙසට

පඩියක් හය මසක ඕනෑ එක මසට

පවුලේ අඬ දබර කෑමට ගිය කලට

පොඩි දරුවෝ අඬයි මඤ්ඤොක්කා විසට

 

මල් වෙඩි මෙන් පැතිරී ගිය මෙම කවි කටපාඩමින් කිව හැකි උදවිය අදත් සිටියි. අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නිදහස් පක්ෂයෙන් කියූ කවි දෙකකින් මගේ සටහන අහවර කරන්නම්.

 

ණය වී ලොවට බඩුගෙනවිත් පිරෙව්ව ට

බඩවල් මහත්වන තුරු බත් කැවෙව්ව ට

අල්ලට සීනි අහුරක් ගෙන ලෙවෙව්ව ට

රට සරුවේද ණය ගනිමින් කැවෙව්ව ට

 

කන්නට අඳින්නට ඉන්නට නවා තැන

නිදහස් පක්ෂයයි දුන්නේ කව්ද වෙන

බේගල් දෙසා බෑවත් හැම තැනට පැන

මැතිනිය අපේ අම්මා නොවැ කව්ද වෙන


මූලාශ්‍ර:

ලංකාදීප, මව්බිම, සිළුමිණ පුවත්පත් 

ලංකාවේ අපේ දේශපාලඥයෝ - ධර්මරත්න තෙන්නකෝන් 




Sunday, May 3, 2020

නිර්මාපකයාට මරණය ගෙනදුන් පත්තිරිප්පුව

නුවර දළදා මාලිගාව වෙත යන ඕනෑම අයෙකුට විශේෂයෙන් ඇස ගැටෙන ස්ථානයකි පත්තිරිප්පුව. මෙය නිර්මාණය කළේ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් යටතේ සේවය කළ අති දක්ෂ ඉංජිනේරුවෙක් වූ දේවේන්ද්‍ර මූලාචාරී විසිනි. පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්තු (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දෙමළ වදන් වලිනි. රජතුමාගේ පෞද්ගලික අවශ්‍යතා සදහා දෙහිගම දියවඩන නිළමේගේ අදහසකට අනුව අෂ්ටාස්‍රාකාරව පත්තිරිප්පුව සාදා ඇත.

මෙය සාදා ඇත්තේ පෙර දී එතැන තිබූ රාජකීය මුළුතැන්ගෙය කඩා දමා ය. මෙහි වහලය නිම වීමට තිබුනේ කේතු ආකාරයට යි. නමුත් දැව කණු විවිධ මිමිවලට කපා දැමීම හේතුවෙන් වහලය ආනත දෙකකට සෑදී වහලය කෙටි වන්නට විය. මේ සඳහා අවශ්‍ය නා, හල්මිල්ල හා තේක්ක වැනි දැව ගෙනත් තිබෙන්නේ මාතලේ නාවුල ප්‍රදේශයෙන්.

රජතුමාට මහජනයා ඉදිරියේ පෙනී සිටිමින් දළදා පෙරහැර නැරඹීමට, රජතුමාගේ විවේකාගාරය ලෙස, මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන් ආදී තරඟ නැරඹීමට, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමාව බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී නොයෙක් හේතු කාරණා මත පත්තිරිප්පුව නිර්මාණය විය. මේ නිසා මෙම නිර්මාණය දළදා මාළිගාවේ කොටසක් නොවන බවට ද මතයක් පවතියි. මෙය 1812 වසර වන විට නිමවා අවසන් කරන ලදි.

දේවේන්ද්‍ර මූලාචාරී පත්තිරිප්පුව පමණක් නොව මඟුල් මඩුව, මහනුවර වැව, ජය තිලක මණ්ඩපය, දිය අගල ආදී නිර්මාණ රැසක් කළ නිර්මාපකයෙකි. මේ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශිල්පියෙකුට ලබා දිය හැකි උසස්ම ගෞරවය වන රජුගේ නළල් පටිය දේවේන්ද්‍ර මූලාචාරී හට ලබා දී තිබේ. ඇතැම් ජනකතා වල ඔහුගේ මරණයට පත්තිරිප්පුව සම්බන්ද බව පවසයි. දිනක් නුවර වැසියන්ට දේවේන්ද්‍ර මූලාචාරී නුවර වැවේ ගිලී මැරී සිටිනු දකියි. සමහර ජනකතා වල කියැවෙන ආකාරයට දේවේන්ද්‍ර මූලාචාරීව මැරුවේ රජතුමායි. ඒ තවත් එවන් නිර්මාණ වෙන අයෙක් සදහා කරාවි යැයි තිබූ බිය නිසයි.

තවත් කතාවක තිබෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරී තමන්ගේ නිර්මාණ සදහා රජුගෙන් වරප්‍රසාද ලබා ගැනීමට සැරසෙන බව සිතූ ඇතැම් ඇමතිවරු පත්තිරිප්පුවේ කණු විවිධ මිමි වලට කැපීම ගැන රජුට කේලම් කීවා යැයි ඔහුට දැනගන්නට ලැබෙයි. එම වරද නිසා රජු තමන්ගේ ඇඟිලි කැපීමට නියෝගයක් ලබා දුන් බව දැනගෙන ආත්ම ගරුත්වය අන් කවර දේකටත් වැඩි යැයි සිතා තමන්ම නිර්මාණය කළ මහනුවර වැවට පැන සියදිවි නසාගත් බවත් පවසයි.

යටත් විජිත සමයේ දී පත්තිරිප්පුව මහනුවර කච්චේරිය ලෙස ද භාවිතා කොට ඇත. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් මෙය කාර්යාලයක් ලෙස භාවිතා කර ඇති අතර පසුකාලීනව සිරමැදිරියක් ලෙස ද භාවිතා විය. පත්තිරිප්පුව පුස්තකාලයක් ලෙසත් භාවිතා වූ අතර 1966 දී මෙය තඹ සන්නසක් මගින් ලංකා රජයට භාර දෙන ලදි.

පසුව පත්තිරිප්පුව හා එහි පුස්තකාලය ලෙස භාවිතා වූ කොටස නඩත්තු කටයුතු සඳහා විශේෂ කමිටුවකට භාර දී තිබේ. මෙම කමිටුව විසින් පත්තිරිප්පුවේ අයිතිය මල්වතු පාර්ෂවයට ලබා දී ඇති අතර එකල එහි කිසිදු තේවා කටයුත්තකට අස්ගිරි පාර්ෂවය සහභාගී වී නැත.

1989 දී එම කමිටුවේ අවසන් සාමාජිකයා වූ මල්වතු පාර්ෂවයේ සිරිමල්වත්තේ ආනන්ද නායක හිමියන් අපවත් වූ පසු හිටපු දියවඩන නිලමේ පත්තිරිප්පුව සහ එහි වූ පුස්තකාලයට අගුළු දමා සීල් කර කිසිවෙකුට ඇතුල් වීම තහනම් කර බෞද්ධ කොමසාරිස්වරයා ඇතුලු රාජ්‍ය නිළදාරීන්ට දන්වා පත්තිරිප්පුවේ තේවාවන් සදහා හිමිනමක් වැඩම කරවාගෙන ඇත. එදා පටන් දළදා මාළිගාවේ තේවාව භාර පාර්ෂවය පත්තිරිප්පුවේ තේවා කටයුතු සිදු කරයි.  

මූලාශ්‍ර:

  • මහනුවර යුගයේ අප්‍රකට විත්ති - චාමිකර පිළපිටිය
  • උඩරට රාජධානියේ සැඟවුණු විරු චරිත - තිස්ස මාලගමුව
  • දිවයින, ලංකාදීප පුවත්පත්

ප.ලි. දේවේන්ද්‍ර මූලාචාරී පිලිබඳව ලිපියක් ඉදිරියේ දී….

දළදා මාළිගාව 1929 දී (periodpaper.com)


Saturday, May 2, 2020

කැප්පෙටිපොළගේ මරණය හා හිස්කබල

1818 කැරැල්ල ලාංකිකයන් පරාජය වීමත් සමග කැරලි නායකයන්ට එරෙහිව යුද්ධ නීතිය යටතේ දඬුවම් කිරීමට ඉංග්‍රීසි රජය කටයුතු කළේ ය. එහි දී කැප්පෙටිපොළ නිලමේ හට එල්ල වූ චෝදනා හතරකි.

  1. රාජද්‍රෝහියෙකු ලෙස රාජාඥාවකින් ප්‍රකාශයට පත් කළ කැප්පෙටිපොළ ආණ්ඩුවට විරුද්ධව යුධ වැදීම.
  2. මහනුවර රජකමට උරුම කමක් ඇතැයි කියූ ව්‍යාජ රජෙක් යටතේ අදිකාරම් පදවිය භාරගැනීම.
  3. කැරළිකරුවන් සමග එක් වී රාජ පාක්ෂික වැසියන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කිරීම.
  4. එංගලන්තයේ රජතුමාට විරුද්ධව කැරළි ගැසීම.

නඩුව විභාග කෙරුනු අතර මෙම චෝදනා සියල්ලටම මොනරවිල කැප්පෙටිපොළ වරදකරු විය. දඬුවම වශයෙන් කැප්පෙටිපොළ මහ නිළමේත් හා මඩුගල්ලේ දිසාවත් මහනුවර බෝගම්බර දී නොවැම්බර් 26 දින උදෑසන 8 ට මරණයට පත් කළ යුතු බව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා නියෝග කරයි.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට මහනුවර සියලුම ඉංග්‍රීසි සොල්දාදුවන් පැමිණිය යුතු බව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක් ද විය. දඬුවම ලබා දීමට නියමිත අවස්ථාවේ මහනුවර නගරයේ ආරක්ෂාව තර කර තිබුනු අතර දැඩි කලබලකාරී වාතාවරණයක් දක්නට ලැබුණි. වධක භූමියට යාමට මත්තෙන් මොවුන් දෙදෙනා දළදා සමිදු වැඳපුදා ගත්තෝ ය. දළදා සමිදුන් පිදීමට කිසිවක් තමන් අත නොවූ නිසා කැප්පෙටිපොළ නිලමේ තම තුප්පොට්ටිය ගලවා එය පූජා කළේ ය.

මඩුගල්ලේ දිසාවේ සිටියේ තරමක් නොසන්සුන් බවකිනි. ඔහු වැදුම් පිදුම් අවසන් වූ පසු නැවත හඳුන් කුටියට පැමිණ තමන්ට අභය දානය ලබා දෙන ලෙස කියමින් දළදා වහන්සේ යදින්නට විය. මේ දෙස කම්පාවෙන් බලාගෙන උන් කැප්පෙටිපොල “මඩුගල්ලේ, අඥාන වෙන්න එපා” යැයි කියා සිටියේ ය.

ඉන්පසු දෙදෙනාවම හිස ගසා දමන ස්ථානය රැගන ආවේ ය. වර්තමානයේ මෙම ස්ථානය ඇත්තේ මහනුවර කැප්පෙටිපොළ ශාලාව ආසන්නයේ පැරණි බෝධි වෘක්ෂය අසලයි. කැප්පෙටිපොළ නිලමේ දඬුවමට සූදානම් වීමට තම කෙටි වැටිය හිස මුදුනට කර බැඳ ගත්තේ ය. ඉන් ඔහු පසු ජල බදුනක් ගෙනෙන්නට පවසා මුහුන කට සෝදා ගනියි.

පසුව දළදා මැදුර දෙස බලමින් බිම දණ ගසාගෙන තම ඉනෙහි වූ ධම්මපදය අඩංගු පොතක් ගෙන ගාඨා කිහිපයක් කියවයි. ඔහු එම පොත වධක භූමිය භාර නිළදාරියා වෙත දී එය තම හිතවත් සෝවර්ස් මහතා වෙත ලබා දෙන්න යැයි පවසයී. දැන් දඬුවම ලබා දෙන වේලාවයි. කැප්පෙටිපොළ නිලමේ වධකයා අමතා තමන් අරහං බුදු ගුණය සිහි කල විට එක්වර හිස ගසා දමන ලෙස අණ කරයි.  

“සො භගවා ඉතිපි අරහං”

කී සැනින්ම වධකයාගේ කඩුව කැප්පෙටිපොළගේ බෙල්ලට එල්ල විය. නමුත් ඔහුගේ ගෙල එක පහරින් සිඳුනේ නැත. මෙසේ තිබිය දී කැප්පෙටිපොල තමා සිටි ඉරියව්වෙන්ම සිටීම අවට රැස්ව සිටි සැවොම පුදුම කරවන කරුණක් විය. දෙවෙනි වර ගෙලට එල්ල කල පහරින් හිස කඳෙන් වෙන් වූ අතර වධකයා එම හිස කැප්පෙටිපොළගේ පපුව මත තැබීය.

මෙම සිදුවීම නැරඹීමට හෙන්රි මාර්ෂල් වෛද්‍යවරයෙක් පැමිණ සිටියේ ය. කැප්පෙටිපොළගේ හිස් කබල එංගලන්තයට රැගෙන ගොස් පරීක්ෂා කිරීමට ඔහු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගෙන් අවසර ගත්තේ ය. ඒ අනුව එම හිස්කබල එංගලන්තය වෙත ගෙනයයි. මෙම හිස් කබල නැවත ලංකාවට ගෙන එන්නේ 1954 වසරේ ලංකා රජයේ ඉල්ලීමකට අනුවයි. ඉන්පසු ටික කලක් මෙම හිස් කබල ලාංකිකයන්ට නැරඹීම සඳහා ප්‍රදර්ශනය කළේ ය. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයකි.

මෙම හිස් කබල සංරක්ෂණය කර කෞතුකාගාරයක තැන්පත් කිරීම වෙනුවට එවකට රජය සිදු කළේ මෙය මහනුවර මහා මළුවේ ස්මාරකයක් ඉදි කර තැන්පත් කිරීමයි. ජාතික අභිමානය ඇතිවෙන්නේ එම ස්මාරකය දැකීමෙන් ද නැතහොත් හිස්කබල සියැසින්ම දැකීමෙන් දැයි ඔබම සිතා බලන්න.

මූලාශ්‍ර:

  • මහාවංශය
  • මහනුවර යුගයේ අප්‍රකට විත්ති -චාමිකර පිළපිටිය
  • A General description of the Island and Its Inhabitants – Henry Marshall


ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...