Saturday, July 15, 2017

සනාථන ධර්මය - 1 කොටස [සංවර්ධනය හා සාහිත්‍ය]

පුරාණ ඉන්දියාවේ රදළ පන්තිය වූ බ්‍රාහ්මණයන්ගේ ආගම හැර පොදු ජනයාගේ ආගම් හා ඇදහිලි විශේෂයන් ලෙස යක්ෂ, නාග හා වෙනත් භූතයන් පිදීම ගෙනහැර දැක්විය හැක. මුල්ම කාලයේ ඉන්දියාවේ තිබුනේ මාතෘ දේවතා වන්දනයක් හා වාසුදේව නම් දෙවියෙකුට වන්දනාමාන කිරීමක්‍ ය. [ක්‍රිෂ්ණා දෙවියාගේ පියාගෙත් නම වාසුදේව. එනමුත් මේ පවසන්නේ ඔහු පිලිබඳ නොවේ.] වාසුදේව වන්දනාව පැවතියේ බටහිර ඉන්දියාවේ ය. බෙස්නගරයේ කුළුණු පිහිටවූයේ මෙම දෙවියා උදෙසාය. එහි පැවති ලේඛන වලින් මෙය පැහැදිලි වේ. බටහිරින් පැමිණි ආක්‍රමණිකයන් පවා මෙයට ආධාර කල බව සඳහන් වේ.
බෙස්නගරයේ කුළුණු

වැඩි කල් යන්නට මත්තෙන් විෂ්ණු නම් වෛදික දෙවියාත් වාසුදේවත් එකම දෙවි කෙනෙකු ලෙස පිලිගැනෙන්නට විය. බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි සදහන් වන නාරායන නම් දෙවියාද විෂ්ණු යැයි සලකන ලදි. එමෙන්ම ඉන්දීය ජනයා අතර මුඛ පරම්පරාගතව ආ යුද්ධ පිලිබඳ කතා ඇතුලත් ග්‍රන්ථයක් වන මහා භාරතයේ එන කෘෂ්ණ නම් වූ වීරවරයාද විෂ්ණු හා සම්බන්ධ කරන ලදි.

 සාමාන්‍ය ජනයා ඇදහූ විවිධ දෙවි දේවතාවුන් විෂ්ණු හා සංයෝග කල අතර ඒ නිසා විෂ්ණු හා ඔහු සම්බන්ධ අනෙක් දෙවි දේවතාවුන්ගේ චරිත ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් වැඩී ගියේය. සත්ව ස්වරූප ඇති දෙවියන් වන්දනයක්ද එකල පැවතුනි. වරාහ [සූකර] නම් දෙවියෙකුට නැගෙනහිර මාලවා ප්‍රදේශයේ ජනතාව වන්දනා කලහ. මෙම වරාහ දෙවියාගේ දේවතා ලක්ෂණද විෂ්ණු කෙරෙහි ආරෝපණය විය. ඒ ගුප්ත යුගය වන විටයි.

එඩේරුන් අතර ජනප්‍රිය වූ බටනලා වයන එඩේර ලක්ෂණ ඇති දෙවිකෙනෙක් වීය. මෙකල වන විට විෂ්ණුගේ අවතාර දහයෙන් එකක් වූ [මෙම අවතාර දහය පිලිබඳ දීර්ඝව පසුව සාකච්ඡා කෙරේ] පෙර සදහන් කල කෘෂ්ණ නම් වීරවරයා හා සංයෝග විය. බ්‍රාහ්මණ ග්‍රන්ථ වල එන පරශුරාම නම් වීරවරයාද විෂ්ණු හා මේ ආකාරයටම සංයෝග විය. රාමායනයේ කථානායක වූ රාම ද මධ්‍ය යුග වන විට වෛශ්ණව දේවතා මණ්ඩලයට එකතු වන ලදි.
විෂ්ණු

 හරප්පා සංස්කෘතියේ සිට නොනැසී ආ බ්‍රාහ්මන නොවන ජනයා අතර පැවති සශ්‍රීකත්ව දෙවියෙක් ප්‍රමුඛව ආවේය. ඒ වෛදිය යුගයට අයත් රුද්‍ර හා සංයෝග වූ ලිංග මාර්ගයෙන් පිදුම් ලැබූ ශිව දෙවියාය. කදකුමරු හා ඇත් හිසක් ඇති ගණදෙවියාද ශිව හා සම්බන්ධ කරන ලදි. ගුප්ත අවධිය වන විට දේවතාවියන් වැදගත් තැනක් ඉසිලූහ.[ පෙරදී මා ලියූ මාතෘ දේවතාවිය ලිපිය කියවන්න] මධ්‍ය යුගයේ මුල වන විට යන්ත්‍ර මන්ත්‍ර ඇදහීම හා ආගම් නමින් ලිංගික කටයුතු වල යෙදීම හා සත්ව බිලි පූජා ක්‍රමක්‍රමයෙන් නැගී එන්නට විය.

 හින්දු ආගමේ විකාශනය කෙරෙහි දකුණු ඉන්දියාවෙන් ලැබූ ද්‍රවිඩ ආභාශය බොහෝ දුරට බලපෑවේය. දකුණු ඉන්දියාවේ ඇදහිලි හා වතාවත් කෙරෙහි ආර්ය බලපෑම නිසා ඊශ්වරවාද පහල විය.[ඊශ්වරවාදය පිලිබඳ පසු ලිපි වලදී සාකච්ඡා කරනු ලැබේ] එහි ප්‍රධාන ලක්ෂණය වූයේ අභිනන්දනීය ශ්‍රද්ධාවයි.

 මෙම කාලය වන විට ආගමික ග්‍රන්ථ බොහෝ ප්‍රමාණයක් ලියැවුනි. වේද, බ්‍රාහ්මණ හා උපනිෂද් කෘතීන්  හැදෑරීම බ්‍රාහ්මණයන්ට පමණක් සීමා විය. බ්‍රාහ්මණ ආගමේ ධර්ම ග්‍රන්ථ මෙන් නිව හින්දු ආගමේ ධර්ම ග්‍රන්ථ ස්ත්‍රීන් ඇතුලු සියලුම දෙනාට හැදෑරිය හැකි වීය. ඒ ග්‍රන්ථ අතර රාමායණ, මහා භාරතය, පුරාණ, ධර්ම ශාස්ත්‍ර, ධර්ම සූත්‍ර ග්‍රන්ථ හා ආගමික කාව්‍යයන් අයත් වේ.
පුරාණ

 පුරාණ යනු පුරාවෘත හා ආගමික උපදෙස් වලින් සමන්විත වූ ග්‍රන්ථ එකතුවකි. ප්‍රධාන පුරාණ 18ක් පවතියි. ඒ අතරින් වැදගත් වන්නේ වායු, විෂ්ණු, අග්නි, භවිෂ්‍ය හා භාගවත පුරාණයන් ය. මේවා අද පවතින තත්වයට විකාශනය වූයේ ඉතා ඈත අතීතයේ සිට නිවේ. මෙම පුරාණ ගුප්ත යුගයට වඩා පැරණි නොවේ. කෙසේවෙතත් මෙහි ඇති කතා පුවත් අතිෂයින් පැරණි වේ.

 දොලොස්වන සියවසේ විසූ ජයදේව නම් බෙංගාලි කවියා ලියූ ගීතගෝවින්දය විශේෂ වේ. මෙය ආගමික ගීත රාශියකින් සමන්විත වේ. තුරුවල්ළුවර් විසින් ලියන ලද තිරුක්කුරල් නම් ග්‍රන්ථයද විශේෂ වේ. මෙය ක්‍රි.ව. හතරවන හෝ පස්වන සියවසට අයත් යැයි සැලකුණද සමහර වියතුන් මෙම කෘතිය ඊට බොහෝ කලකට පෙර සංස්කරණය වූ බව පිලිගනියි. හත්වන සියවසේ සිට දහවන සියවස දක්වා කාලයේදී තිරුමුරයි නම් නම් වූ ශුද්ධ ග්‍රන්ථ එකොලහ සම්පාදනය විය.
තිරුවල්ළුවර්
මේවයේ අඩංගු වන්නේ නායනාර් හෙවත් ආචාර්යවරුන් හැට තුන් දෙනෙක් විසින් කල දේව ස්තෝත්‍ර සංග්‍රහයකි. මෙම ග්‍රන්ථ එකොලහ අතරින් වැදගත් වන්නේ අප්පර්, ඥාන සම්බන්ධර් හා සුන්දරමූර්ති යන තිදෙනා විසින් ලියූ ගීත අඩංගු තේවාරම් ග්‍රන්ථයත්, මාණික්කවාශගර් ගේ තිරුවාසගම් නම් ග්‍රන්ථයත් ය. ආල්වාර් හෙවත් නිකායේ සන්තුවරයන් දොලොස් දෙනා විසින් ලියන ලදැයි සැලකෙන කවි අඩංගු නාලායිරම් නම් ග්‍රන්ථයත් වැදගත් වේ.

 හින්දු ආගමට සම්බන්ධ විශේෂිත කෘති දෙකක් වූ රාමායණය හා මහාභාරතය පිලිබඳව කෙටියෙන් පැවසිය නොහැකි බැවින් ඊළඟ කොටසින් ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

මූලාශ්‍ර:
1)අසිරිමත් ඉන්දියාව - ඒ. එල්. බෂාම්

2)ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ

3) https://www.quora.com/How-did-Lord-Vishnu-and-Lord-Shiva-originate

4) https://www.google.lk/amp/s/www.ancient.eu/amp/1-11591/

5) https://en.m.wikipedia.org/wiki/Hinduism

ප.ලි. මෙම ලිපි මාලාව මගින් කිසිදු ආගමක් ප්‍රවර්ධනය කිරීමක් හෝ නිශේධනය කිරීමකට මා උත්සහ නොකරයි. ඉතිහාසයට කැමති අය උදෙසා මවිසින් මෙම ලිපි සම්පාදනය කරන බව වටහාගන්න.

11 comments:

  1. නොදන්නා කරුණු බොහෝමයක් ඇති ලිපියක් මේ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලංකාවේ කතෝලික ආගම අදහන අයගෙන් බහුතරය කලින් හින්දු භක්තිකයින්ගෙන් හෝ හින්දු ආගමට වැඩියෙන් නැඹුරු වූ බෞද්ධයින්ගේ පැවතෙන්නන්.
    අපේ නලීන් ද සිල්වා තුමා මේ ගැන අපූරු පැහැදිලි කිරීමක් කලා.
    බුද්ධාගමේ නිදහස වැඩියි ඒ නිසා බෞද්ධයෙක්ට අවශ්‍ය නම් බුද්ධාගම අදහන අතරම ක්‍රිස්තියානි කාරයෙක් වගේ සිටිය හැකියි.
    මුස්ලිම් වරුන්ට නිදහස අවමයි. ඒ නිසා ආගම අතහැරීමට පෙළඹීම අඩුයි.
    හින්දු ආගමිකයන්ට බෞද්ධයන්ට තරම් නිදහසක්වත්, මුස්ලිම් වරුන්ට තරම් තහංචිත් නෑ.
    ඒ නිසා ඔවුන් වැඩියෙන් කිතු දහම වැළඳ ගන්නවා.

    මම ඉහත කරුණ දැක්වූයේ එහි ඇති අපූරු තර්කාණුකූල බව නිසයි.
    මගේ අදහස ඊට වෙනස්.
    හින්දු ආගම යනු බමුණන් විසින් ඉන්දියාවේ පැවති ඇදහිලි වර්ග 3ක් එකට එක්කර තැනූවක්.
    එම ඇදහිලි වර්ග නම්
    බටහිර ඉන්දියාවේ පැවති බිලිපූජා, යාග
    නැගෙනහිර ඉන්දියාව අශ්‍රීත බෞද්ධ, ජෛන වැනි ඉගැන්වීම
    දකුණු ඉන්දියාවේ පැවති බහුදේව වාදය.

    ලංකාවේත් හින්දු ලෙස පැවතුනේ දකුණු ඉන්දියානු ඇදහිලි තමයි.
    හින්දු දෙවිවරු ගණනාවකට වඳින්න පුදන්න පුරුදුවුන මිනිහෙක්ට කතෝලික සාන්තුවරු ගණනාවකට වඳින්න පුරුදුවීම බෞද්ධයෙක්ට කතෝලික ආගම වැළඳ ගැනීමට වඩා පහසුයි. ඔවුන්ට එහි ලොකු අමුත්තක් දැනෙන්නේ නෑ.
    ඒවගේම ලංකාව තුල බමුණු කුලය නොමැති වීමත්, කතෝලික ආගමේ දියුණු සංවිධානයක් තිබීමත් තවත් හේතුවක්.

    ඇනෝ තුමා ඇවිදින් මේක අල කරන්න කලින් මෙම ආලෝචනාව දාන්න ලැබීම ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. හින්දු ආගම ඇදහිලි තුනකින්ම ආවාය කියන්න අමාරුයි... මොකද හින්දු ආගම ඊට වඩා සංකීර්ණයි... හින්දු ආගමේ එක දෙවි කෙනෙක් ගත්තොත් එයා හැදිලා තියෙන්නේ කලින් තිබුණු ඇඳහිලි බොහොමයක එකතුවකින්... පුරාතනයේ ඉදන් ඉන්දියාවෙ තිබ්බ ඇඳහිලි කාලාන්තරයක් තිස්සෙ සංයෝග වෙලා තමා හින්දු ආගම හැදෙන්නේ... මේ නිසා හින්දු ආගමේ සමහර ඇඳහිලි බෞද්ධ , ජෛන ආගම් වලට වඩා පරණයි... හරප්පා සංස්කෘතිය දක්වාම යනවා...

      Delete
  3. කෘෂ්ණ නෙවෙයි මිතිල ක්‍රිෂ්ණ කියලයි මම අහල තියෙන්නෙ

    ReplyDelete

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...