Monday, October 23, 2017

දිනෙන් දින දියවී යන වව්නියාවේ කොක්එළිය ගම්මානය

වව්නියා නගරයෙන් තරමක් ඈත්ව පිහිටි ගම්මානයකි කොක්එළිය ගම්මානය. කොක්කු සිටි වෙල් එළිය පසු කාලීනව කොක්එළිය වී ඇත. අවට ගම්මාන අතුරින් ඇති එකම සිංහල ගම මෙයයි. ගම්මානයේ සභාපති වන විමලසිරි මහතාගෙන් මා මෙම ගම්මානය කුමක්ද යැයි පලමුව විමසූ විට ඔහු පැවසුවේ "දවසෙන් දවස දියවෙලා යන නමට සිංහල ගමක්" කියාය.

සිංහල හා දෙමළ මිනිසුන් අතර ගැටුම් කිසිවක් මෙම ප්‍රදේශ තුල නැත. මෙම ප්‍රදේශයේ දෙමළ දරුවන් පන්සලේ දහම් පාසලට පවා පැමිණෙන බව ගමේ පන්සල වන ශ්‍රී බෝධිමළු විහාරයේ විහාරාධිපති කැලණියේ කාශ්‍යප හිමි කියා සිටියේය. උන්වහන්සේ මෙම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මීට වසර තුනහමාරකට පෙරයි. ඊට පෙර සිටි ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේ යුද්ධ කාලයේදී කොටි ත්‍රස්ත්‍රවාදීන් විසින් පැහැරගෙන ගොස් ඇත.

 මෙය තනි ගම්මානයක් ලෙස සැලකුවද සැබවින්ම මෙහි ගම්මාන දෙකක් තිබේ. එකක් යුද්ධ කාලයට පෙර පටන්ම පැවතගෙන ආ පැරණි ගම්මානය වන අතර අනෙක රණවිරු ගම්මානයයි. පෙරදී මෙම ගම්මානය නමට සිංහල ගම්මානයක් ලෙස පැවසුවේ ගම්මානය තුල වැඩිමනක් දෙමළ ජනතාව සිටින බැවිනි. එයටද හේතුවක් තිබේ. රණවිරු ගම්මානයේ ඇති ඉඩම් හා නිවාස විවිධ පුද්ගලයන් විසින් ඒවා තමන්ගේ යැයි කියා තවත් පුද්ගලයන්ට කුණුකොල්ලයට විකුණා ඇත. සමහර ඉඩම් රුපියල් විසිදහස , පහලොස්දහස, හාරදහස හා පන්දහසට පවා විකිණී තිබීම ඛේදජනක සිද්ධියකි. එකල අදාල පුද්ගලයන්ට මුදල් මිටි මෙලවූ විට ඉඩමේ ඔප්පුව සකසා ගැනීමද අපහසු නොවීය. මේ ආකාරයෙන් ගම්මානයෙන් අඩකට අධික ප්‍රදේශයක ඉඩම් කොල්ලයක් සිදුවී තිබේ.

 මෙම ප්‍රදේශයේ වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය යි. එනමුත් ජලය හිඟ කම නිසාවෙන් එයත් බොහෝදුරට අඩාල වී තිබේ. ලිං වලින් ජලය ලබා ගැනීමත් මෙම ප්‍රදේශය තුල සීමාකාරී වී ඇත්තේ වැඩිමනක් ප්‍රදේශ උස්ව පිහිටා ඇති බැවිනි. එමනිසා ලිඳක් අවම වශයෙන් අඩි 30 ක් හෝ 40ක් වත් හෑරිය යුතු වේ. එමනිසා නළලිං භාවිතය යෝග්‍ය වුවත් නළලිං ඇත්තේද පවුල් අතලොස්සකට පමණි.

  යුද්ධ කාලයේදී ප්‍රදේශයේ බොහෝ වැසියන් නොච්චියාගමට ගිය අතර ගමේ නතර වූ අයගෙන් දැනට ජීවත්ව සිටින්නේ එක් අයෙක් පමණි. ඔහුද දෙමළ අය සමග එම කාලයේ එකට සිටි නිසා පණනල රැක ගැනීමට හැකිවී තිබේ. ප්‍රදේශයට පලමු වරට විදුලිය ලැබුනේ 2011 වසරේදී ය. 2010 දී නැවත පදිංචි කිරීම සිදුවිය.
විමලසිරි මහතා

 ප්‍රදේශයේ දෙමළ දරුවන්ගේ අධ්‍යාපනය සදහා පාසල් කිහිපයක්ම ප්‍රදේශය තුලම පවතියි. එනමුත් සිංහල දරුවන්ගේ අධ්‍යාපනය සදහා වව්නියාව නගරයේ ඇති ගාමිණී මහා විද්‍යාලය වෙත යා යුතු වේ. 5 වසර තෙක් ඉගෙනීමට තවත් පාසලක්ද වව්නියාව නගරයේ තිබේ. කෙසේවෙතත් මැතකදී සිංහල දරුවන්ට ඉගෙනීමට පාසලක් ප්‍රදේශය තුල ආරම්භ කරන ලදි. අවාසනාවට කරුණ වන්නේ පාසලේ සිටින්නේ විදුහල්පති ඇතුලු ළමුන් 6 දෙනෙක් පමණි. ගම් වැසියන් අදාල ස්ථාන සියල්ලකටම පාහේ මේ බව දැන්වුවත් එම බලධාරීන්ගෙන් කිසිදු ප්‍රථිචාරයක් මේ වනතෙක් ලැබී නැත. ගම තුල බස්‍ රථ ධාවනයක් සිදු නොවන බැවින් වව්නියා නගරයේ පිහිටි පාසලට යෑමද දුෂ්කරයි.

වෛද්‍ය ක්ෂේත්‍රයෙන් දෙයකට කියා ගම තුල ඇත්තේ පන්සලේ ප්‍රථමාධාර පෙට්ටිය පමණි. ගම තුල රෝහලක් නැත. ෆාමසියක්වත් නැත. පෙරදී ගම්මානයට මාස දෙකෙන් දෙකට වෛද්‍යවරු දෙදෙනෙක් පැමිණියද ගමේ කිසිවෙක් ඔවුන් හමු වීමට නොයන ලදි. එමනිසා එම වෛද්‍යවරුද ගමට පැමිණීම නතර කරන ලදි.

 ප්‍රදේශයේ කෝවිල් දෙකක් ඇති අතර තවත් කෝවිලක් සෑදෙමින් පවතියි. ක්‍රිස්තියානි පවුල් කිහිපයක් සෑම ඉරිදාවකම ගමේ පිහිටි එක්තරා නිවසක රැස්වී ඉරිදා පූජාව සිදු කරයි. මේ සදහා පියතුමෙක්ද එම නිවසට පැමිණෙයි.

 වීදි ලාම්පු නොමැති නිසා රාත්‍රී කාලයේ ගමනාගමනය අතිශය දුෂ්කරයි. ගම්මානය වටේට පාරවල් ඇති අතර එයින් වටවූ ගම්මනයේ මධ්‍ය ප්‍රදේශයේ පාරවල් නැත. ඇත්තේ මිනිසුන් සාදාගත් අඩි පාරවල් පමණි.

 ගංජා භාවිතයට මෙහි තරුණයන් හා වැඩිහිටියන් ඇබ්බැහි වීම නිසා එය ප්‍රශ්න බොහොමයක මූලයක් වේ. මෙම ප්‍රදේශයේ පමණක් නොව මුලු වව්නියා ප්‍රදේශයම ගංජා උවදුර නිසා දිනෙන් දින පරිහානියට පත්වීම ඛේදජනකයි. [මේ පිලිබඳ වැඩි විස්තර පසුවට]

 අවසාන වශයෙන් කීමට ඇත්තේ ජාතිවාදී ගැටුම් කිසිවක් මෙම ප්‍රදේශයේ නොමැති අතර ඊට එහා ගිය ගැටලු බොහොමයක් තිබෙන බවයි. අදාල බලධාරීන්ගේ ඇස් ඇරේවා කියා මම මෙතැනින් නවතිමි. කොක්එළිය ගම්මානය පිලිබඳ තවදුරටත් විස්තර පසුව ලියන්නම්.

 ගම්මානය පිලිබඳ තොරතුරු ලබා ගැනීමට උදව් උපකාර කල විමලසිරි මහතාටත් වව්නියාවේ උප ප්‍රාදේශීය ලේකම් සාරධා මහත්මියටත්  කොළඹ දියෝකීසියේ සාමය හා සමඟි කිරීම පිළිබඳ කාර්යංශය සමඟ ජාතික සහජීවනය සදහා වූ තරුණ සංවාද මණ්ඩපයටත් තරුණ කණ්ඩායමටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.


11 comments:

  1. වාසිතය සහෝදරයාණෙනි ඔබගේ ලිපිය මගේ නෙතට කඳුලක් එක්කරන්නේ මගේ පියාගේ මතකය නිසාය. ඔහු වව්නියාවේ සිටි කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගතකලේ කොකෙලිය ගම්මානයේ නිසාය යුධ සමයේද නොසැලී පැවතී සිංහල ගමක් නිසා එය ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරී තිබුණි. මගේ පියා සිටියානම් මිඉට වඩා කරුණු ඔබට ගෙනහැර දක්වනු ඇත.
    විචාරක දියණිය

    ReplyDelete
  2. ‍ඔයා නම් ගිය ආත්මේ බෞද්ධයෙක්ද කොහෙද?
    මොකද සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි කාරයෙක් මේ වගේ ලිපියක් ලියනවානම්
    සිංහලයා බල්ලා,
    තම්බියා යකා,
    දෙමලා දෙවියා කියන මානසික තත්වයෙන්.

    ReplyDelete
  3. බලන්න යන්න වටින ගමක්.... ස්තුතියි මිත්‍රයා!

    ReplyDelete
  4. ඔය අනුරාදපුරේ පැනපු ගමන් යාපනේට යනකම් තියෙන්නේ හරිම දුශ්කර කලාපයක්
    යුද්දෙ කාලේ මිනිස්සු කොයි තරම් පීඩා විදින්න ඇත්ද
    අනිත් එක මම දන්න විදිහට සිංහල දම්ල සාමාන්‍ය ජනතාව අතර ජාතිවාදයක් නැ
    ඒ ගින්න පත්තු කරන්නේ දේශපාලනය විසින්
    සාමාන්‍ය මුස්ලි්ම්වරු අතරත් නැ නමුත් ඔය ජාතිය ආගම කියන දේකම එයාලගේ කුරානය එක්ක බැදිල තියෙන හින්ද යමි යමි ප්‍රශ්ණ තියෙන තැන් තියෙනවා

    ReplyDelete
  5. ඔයා නියමෙට හොයල තියෙනව මල්ලි

    ReplyDelete
  6. Valuable post dude, the story of this village should be revealed to entire country by mass media. Nicely written. This blog doing outstanding service to social interest as well. Hats off to you dear Dyone. Cheers !

    ReplyDelete
  7. your writing is superb sir.
    S@m

    ReplyDelete
  8. හොඳ විමර්ශණයක්

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...