Wednesday, November 20, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [3] බාලගිරි දෝෂය අද නොවේ හෙට


නිමාලි - ඔයාලා දන්නවද අපේ නැන්දට ඊයෙ බබෙක් හම්බුනා..

කමනි - ඇත්තට, හරි ෂෝක් නේ.

නිමාලි - ඔව් නංගි කෙනෙක්. මම තමයි ගෙදර උළුවස්සේ ‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ කියල ලිව්වෙ.

මෙසේ කියනවාත් සමග ගජනායක ඉස්කෝලෙ මහත්තයා ඇවිදින් පන්තියේ හිඳ ගත්තේ ය.

ඉස්කෝලෙ මහත්තයා - මටත් ඊයෙ ආරංචි වුනා නිමාලිගෙ නැන්දට පොඩි දුවෙක් උපන්න බව. දන්න කෙනෙක් කියන්න බලන්න බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා හැම ගෙදරකම පාහෙ දොරේ උළුවස්සෙ ලියන්න හේතුව.

සහන් - අපේ ගෙදරත් ඕකම ලියල තිබ්බා. අම්මගෙන් අහුවම අම්මත් දන්නෙ නෑ කිව්වා.

ඉස්කෝලෙ මහත්තයා - ඔන්න එකෝමත් එක කාලෙක දඹදිව ඒ කිව්වෙ ඉන්දියාවෙ සිංහකුමාර රජ්ජුරුවන්ටයි හංසවතී බිසවටයි හිටියා රූමත් දූ කුමරියක්. මේ පවුලට තව හිටියා වැඩිමහල් සහෝදරයෙක් වුන දළ කුමාරයත්. දූ කුමරිය ඉපදුන වෙලේ නක්ෂත්‍රකරුවන් කීවෙ කවදාහරි මේ දූ කුමරිය තමන්ගේ සහෝදරයා වෙන දළ කුමාරයාත් එක්ක සංවාසයේ යෙදෙනවා කියල. මේකට රජතුමයි බිසවයි බොහෝම කලකිරුණා වගේම බිය වුණා. මේ නිසා කුඩා කාලෙදිම මේ දූ කුමරියව ලෙනක සඟවලා තිබ්බා දළ කුමාරයාට මුන ගැහෙන්න නොදී.

ප්‍රසන්න - හරියට පණ්ඩුකාභය රජතුමාගෙ අම්මා උන්මාද චිත්‍රාව එක්ටැම් ගේක හංගලා තිබ්බා වගේ.

සහන් - ඒ හංගලා තිබ්බෙ උන්මාද චිත්‍රාට ලැබෙන දරුවා එයාගෙ මාමලා දහදෙනාව මරනවා කියලා නක්ෂත්‍රකාරයො කිව්ව නිසානේ.

නිමාලි - ඉතින් ඒ මාමලා දහ දෙනාව මැරුවද?

සහන් - දන්න තරමින් නම් ඔක්කෝවම මැරුවෙ නැහැ.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් පුතේ, පණ්ඩුකාභය රජතුමා මාමාවරු දස හෙනාවම මැරුවෙ නැහැ. අට දෙනයි මැරුවෙ. අභය හා ගිරිකන්ඩශිව කියන මාමලා දෙන්නට කිසි කරදරයක් කලේ නැහැ. උන්මාද චිත්‍රාව තිඹිරිගෙය තුලදිම මරන්නයි අභය හැර නෙක් මාමලාගේ අදහස වුනේ. ඒත් වැඩිමහල් සොහොයුරු අභයගේ අදහසට අනුවයි උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරලා තියන්නේ. අනෙක් මාමා වෙච්ච ගිරිකන්ඩශිවගෙ දුව වුන ස්වර්ණපාලි බිසව ව තමා පන්ඩුකාභය රජතුමා විවාහ කර ගන්නේ.

හොදයි දැන් අපි ආයෙම අපේ කතාවට එමු. දූ කුමරිය දළ කුමාරයාත් එක්ක සංවාසයේ යෙදෙයි කියල බයට කුමරියව ගල් ලෙනක හංගලා තියනවා. මේ නිසා කුමරියට ‘ගිරි දේවිය’ කියල කියනවා. දැන් ඔහොම කාලයක් ගතවුනා. කුමරියත් දැන් තරුණ වයසේ. දළ කුමාරයා දැන ගන්නවා එයාගෙ නංගිව ලෙනක සඟවලා තියෙන බවක්. ඉතින් මේ ලෙනට ඇතුලු වෙන්න දළ කුමාරයා උත්සහ කරත් මුලදි නම් ඇතුල් වෙන්න ලැබෙන්නෙ නැහැ. හැබැයි අවසානයේ කොහොමහරි ලෙන තුලට ගිහින් තමන්ගේ සහෝදරියව මුනගැහෙනවා. නැකැත්කරුවො කිව්වත් වාගෙම දළ කුමාරයා යි ගිරි දේවිය යි සංවාසයේ යෙදෙනවා.

පස්සේ තමන්ගේ සහෝදරයා අතින් කෙලෙසුනු නිසා ගිරි දේවිය දුකින් බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා. මේක දැකපු සක්‍රයා ගිරි දේවියගේ සිරුර සඟවනවා. තමන්ගෙ සහෝදරිය මැරුණා කියල දැනගත්ත දළ කුමාරයා ලෙනට ගියත් සිරුරක් දකින්න ලැබෙන්නෙ නැහැ. මේ නිසා දළ කුමාරයා උන්මත්තකයෙක් අගේ ගම් නියම් ගම් පාළු කරමින් සතුන් මරමින් ගමින් ගමට යන්න ගත්තා.

මේ නිසා මේක නවත්තන්න කියලා සක්‍රයා ගිරි කුමරියගේ සිරුරට පණ දීලා සිරුර දළ කුමාරයාට පෙන්නලා සක්‍ර භවනට ගියා කියලයි කියන්නෙ. දළ කුමාරයා මැරිලා ආයෙක් යකෙක් වෙලා උපදිනවා. ඒ යකාට තමා ගරා යකා කියන්නෙ. 

නිසල් - ගිරි දේවි ටයි දළ කුමාරයාටයි වෙන් වුනු ලංකාවෙ කෝවිල් එහෙම තියෙනව ද?

ඉස්කෝලෙ මහත්තයා - එහෙම කෝවිල් නම් නැහැ. හැබැයි මේ දෙන්නව ප්‍රයෝජනයට අරගෙන ගම් වල මිනිස්සු ඉඩෝර කාලෙට යාතුකර්ම කරනවා. දළ කුමාරයාගෙයි ගිරි දේවියගෙයි නිරුවත් රූප හෙකක් අඹලා රෑ වෙන්න අදුර වැටෙනකොටම දෝලාවකින් මේ රූප දෙකම වැව් පිටියට අරගෙන යනවා. ඊට පස්සෙ ඒක තැන්පත් කරලා මිනිස්සු ගෙවල් වලට යනවා. මේ රූප කවුරුත් දකින්න් කලියෙන් වැස්සෙන් හේදිලා යනවා කියලයි ගම්මු විශ්වාස කරන්නෙ.

ඔය ගිරි දේවියගේ ආකාර නැත්නම් අවතාර දොළහක් තියෙනවා. එයින් බාලගිරි වෙසින් ඉඳලා කුඩා ළමයි ලෙඩ කරනවනවා කියලයි විශ්වාස කරන්නේ. ඒවා තමා,

1.           මදනගිරි
2.           හපුමල් ගිරි
3.           බාලගිරි
4.           මෝලන් ගිරි
5.           භූත ගිරි
6.           නීල ගිරි
7.           රත්න ගිරි
8.           හඳුන් ගිරි
9.           පට්ට ගිරි
10.        කොටගිරි
11.        අඳුන් ගිරි
12.        වලියක් ගිරි




3 comments:

  1. යස ආදර අන්දරයක්!

    මේකෙනුත් කියන්නේ දෛවය වෙනස් කරන්න බැරි එකමද?

    ReplyDelete
    Replies
    1. මහ බබා කෙටුව හැටියටලුනෙ දේවල් සිද්ධ වෙන්නෙ...

      Delete
  2. https://www.imsc.res.in/~rao/ramanujan/newnow/namagiriindex.htm

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...