ලොව පුරා ජනාදරයට පත් ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කළ ඇවටාර් චිත්‍රපටය ඔබ නරඹා ඇතැයි සිතමි. එහි ඇති ශාක සියල්ල ඔවුනොවුන්ගේ මූල පද්ධතිය තුලින් එකිනෙකට සම්බන්ධ වී තිබේ. එමගින් ළඟ ඇති ශාක පමණක් නොව දුරස්තව ඇති ශාක අතර ද සන්නිවේදනය සිදුකල හැකියි. මෙය හුදෙක් චිත්‍රපටයක පමණක් දක්නට ඇති දෙයක් නොවේ. සැබෑ ලෝකයෙත් මෙවැනිම ජාලාකාර පද්ධතියක් ශාක තුළ පවතියි. අද කතාව ඒ ගැන.
මෙම ජාලයට හේතු
වන්නේ මයිකොරයිසා නම් දිලීරයක්. මෙම දිලීරය බොහෝ විට වැඩෙන්නේ ශාකයේ මූල පද්ධතියේ.
එම දිලීරයේ තන්තු, අවට ශාක වල මූල පද්ධතිය සමග සම්බන්ධ වේ. මෙසේ සම්බන්ධ වීමට එකම වර්ගයේ
ශාකයක් වීම අනිවාර්ය වන්නේ නැත. ශාක වර්ගය වෙනත් එකක් වුවද දිලීර, තන්තු මගින් ඒවායේ
මූල පද්ධති සම්බන්ධ කරනු ලබයි. මෙම ජාලය මගිනුයි ශාක ශාක අතර සන්නිවේදන සිදුවන්නේ.
මයිකොරයිසා
දිලීරයට තනිවම කාබෝහයිඩ්‍රේට් නිපදවීමේ හැකියාවක් නැත. ඒ නිසා දිලීරයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට්
සපයන්නේ එය සම්බන්ධ වී ඇති ශාකය මගිනුයි. ශාකයක මූල පද්ධතියට වඩා කාර්යක්ෂමව මෙම දිලීරයට
පසෙහි ඇති ජලය, නයිට්‍රිජන් හා පොස්පරස් වැනි දෑ අවශෝෂණය කළ හැකියි. මේ හේතුවෙන් මූල
පද්ධතියට සම්බන්ධව ඇති මයිකොරයිසා දිලීර මගින් ශාකයට උක්ත සදහන් දෑ අවශෝෂණය කරදෙනු
ලබයි. ශාකයත් මෙම දිලීරයත් අතර තිබෙන්නේ එවන් සබදතාවක්.
මෙම දිලීරය
ශාකයකට සම්බන්ධ වීම තුලින් එම ශාකය තුල රෝග වලට එරෙහිව ක්‍රියා කරන රසායනික ද්‍රව්‍ය
නිපදවීම වැඩි කරයි. එමගින් ශාකයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු වේ. මෙසේ ජාලාකාර පද්ධතියක්
ඇති පරිසරයකට යම්කිසි හානිකර බැක්ටීරියාවක් හෝ දිලීරයක් ආදිය පැමිණුනා යැයි සිතන්න.
එවිට එම දිලීරය පලමුව හදුනාගත් ශාකය තම ජාලය මගින් අනෙකුත් ශාක වලට එම තොරතුර සන්නිවේදනය
කරයි. එවිට ඒ ශාක හානිකර බැක්ටීරියා හා දිලීර වලට මුහුණ දෙන්නේ පෙර සූදානමක් ඇතිවයි.
එවිට ඒ ශාකවලට සිදුවන හානිය අවමයි.
එපමණක් නොව
ශාකයක් වැඩීම සදහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ යම් ශාකයකට හිඟ වුවහොත්, මෙම ජාලයේ ඇති ශාකයක්
තමන්ගේ පෝෂ්‍ය පදාර්ථ වලින් කොටසක් එම ශාකයට ලබාදෙයි. මෙය වඩාත් වැදගත් වන්නේ සුහුඹුල්
අවධියේ ඇති ශාක වලටයි. කුඩා කල දී මෙම ශාක වලට පෝෂ්‍ය පදාර්ථ රැස් කර ගැනීම අපහසුයි.
විශේෂයෙන් සෙවණක වැඩන කුඩා පැළයක් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නේ ඉතා අපහසුවෙනි. මේ
නිසා අවට සිටින තම වැඩිහිටි ශාක මෙම කුඩා ශාක වලට තම ජාලය තුලින් උපකාර කරයි. මෙම උපකාරය
නොමැති වුවහොත් කුඩා පැළ කුඩාකල දීම මිය යා හැකියි.
අන්තර්ජාලය
තුලින් යම්කිසි වෛරසයක් පරිගනකයකින් තවත් පරිගනකයකට ඇතුල් විය හැකියි. ශාකවල පවතින
මෙම ජාලය තුලිනුත් එය විය හැකියි. උදාහරණයක් ලෙස කළු වොල්නට් ශාකය මෙම ජාලය මගින් පසට
හානිකර විෂ ඇතුල් කිරීමෙන් ඒවාට ඔරොත්තු නොදෙන අවට ශාක මිය යයි.
මේ ජාලය ගැන
දැනුම වර්තමානයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු නිසැකයි. වඩා විශාල පරිණත ශාක තුල මෙම ජාලය
අනෙක්වාට පුළුල්ව පැතිරී පවතියි. ශාක දිනෙන් දින අතුරුදහන් වන කාලයක මෙවැනි විශාල ජාලයක්
පවතින ශාක ආරක්ෂා කිරීමෙන් නැවත වන වගාව වේගයෙන් සිදුකල හැකියි. මෙම ජාලය මගින් පලිබෝධකයන්
ඒම වලක්වාගන්නා ක්‍රම ශාකය තුලම තිබෙන බැවින් ඒවා වැඩිදියුණු කර කෘෂිකර්මාන්තය සදහා
යොදාගත හැකියි.
යම්කිසි ශාකයක් මියයන විට හෝ නැවත අලුත් ශාකයක් ඇතිවන විට අවට සිටින ශාක තමන්ගේ පෝෂ්‍ය පදාර්ථ වලින් කොටසක් එම ජාලයට නිකුත් කරන බව මවිසින් පෙර සදහන් කරනු ලැබුවා. එසේ සිදුකරන්නේ එම ශාක වලට තනිව නැගී සිටිය නොහැකි නිසා. මෙහි විශේෂයෙන් සදහන් කළ යුතු කාරණය නම් පෝෂ්‍ය පදාර්ථ හුවමාරු කිරීමට එසේ මියයන හෝ අලුත ඉපදෙන ශාකය තමන්ගේ වර්ගයේ ශාකයක් වීම අනිවාර්ය නොවීමයි. අපගේ ජීවිතයටත් මෙයින් ගත හැකි ආදර්ශය කුමැක්දැයි සිතා බලන්න.
අද ලෝක පරිසර දිනය. ලෝක පරිසර දිනයක් ලෙසින් දිනයක් යොදා ඇත්තේ දිනෙන් දින පරිසරය විනාශ වන බැවිනි. තුන්සිය හැට පස් දවසක් ම ලෝක පරිසර දිනයක් යැයි සිතා සියලුම දෙනා කටයුතු කරනවා නම් මැනවි.
මූලාශ්‍ර:
[1] "The Earth's Internet: How Fungi Help Plants
Communicate". 2018. [Film]
s.l.: s.n.
[2] Boller,
T., 2015. "Plant phosphorus acquisition in a common mycorrhizal
network: regulation of phosphate transporter genes of the Pht1 family in
sorghum and flax", s.l.: s.n.
[3] Fleming,
N., 2014. BBC. [Online]
Available at: http://www.bbc.com/earth/story/20141111-plants-have-a-hidden-internet
[4] Robinson,
D., 1997. "Intraspecific transfer of carbon between plants linked by
a common mycorrhizal network", s.l.: s.n.
[5] Robinson,
D., 1999. "The magnitude and control of carbon transfer between
plants linked by a common mycorrhizal network", s.l.: s.n.
[6] Zhang,
N., 2013. ”Role of arbuscular mycorrhizal network in carbon and phosphorus
transfer between plants", s.l.: s.n.
++++++++++++
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDelete