Thursday, April 14, 2016

පාවහන්වත් නොමැතිව මැරතන් දිවීම

ඔලිම්පික්‌ උළෙලකදී රනින් ගෙල සරසා ගත් පළමු අප්‍රිකානුවා වුයේ ඉතියෝපියාවේ අබේබී බිකිලා ය. 1960 දී පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ සත්කාරක රට වුයේ ඉතාලියයි. එම උළෙල ඉතාලියේ රෝම නගරයේ උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය. ඔලිම්පික්‌ උළෙලක දුෂ්කරතම ඉසව්ව වන්නේ සැතපුම් විසිහයක්‌ සහ යාර තුන්සිය අසූපහක්‌ දිවයන මැරතන් ඉසව්වයි. මෙම ඉසව්ව වෙනුවෙන් තරඟ වැදීමට ලොව නන් දෙසින් තරඟකරුවන් රෝමයට පැමිණියේ ඉතා සුඛෝපභෝගී ක්‍රීඩා ආම්පන්න රැගෙනය. එහෙත් ඉතියෝපියාව නියෝජනය කරමින් පැම්ණි අබේබී බිකිලා සතුව පාවහන් යුවලක් හෝ නොතිබුණි.

කුඩා කල තම පියාගේ ගව පට්‌ටියේ නාඹර වස්‌සන් හා කටු අකුල්, ගල් තලා මතින් හා තම උපන් ගම්මානය වූ ජාටෝ හි [Jato] දූවිලි පිරුණු ග්‍රාමීය මාර්ග හරහා දිව ගොස්‌ ඇති ඔහුට සැතපුම් විසිහයක්‌ සහ යාර තුන්සිය අසූපහක්‌ රෝමයේ මග දිගේ තම මව් බිමේ අභිමානය වෙනුවෙන් ධාවනයේ යෙදීමේ අභියෝගය භාර ගැනීමට ඔහුට පාවහන් යුගලක වැදගත් කමක් නොදැනුනි. ඉතිහාසයේ පළමු වරට සියල්ලන් මවිත කරමින් ඔලිම්පික්‌ ධාවකයෙක්‌ පාවහන් නොමැතිව මැරතන් තරගයේ දිව යාම ආරම්භ විය. මැරතන් තරගය ආරම්භ වූයේ ඉතාලියේ මහා සිත්තරා හා ගෘහනිර්මාණ ශිල්පියා වන මයිකල් ආන්ජලෝ [Michel Angelo] විසින් නිර්මාණය කළ කොම්පිඩෝගිලෝ චතුරශ්‍රය [Campidoglio Squre] අසලිනි. අබේබී බිකිලා අප්‍රිකානු කඟවෙනෙකු සේ එකි නෙකා පරයමින් රෝමයේ වීදි දිගේ ඇදී යද්දී අප්‍රිකානු සිහිනය සැබෑ වෙමින් තිබුණි. ඔහු හා කරට කර තරඟයක් දීමට හැකි වූ එකම ක්‍රීඩකයාද පැමිණියේ අප්‍රිකානු කලාපයෙන් වීමද විශේෂයකි. මොරොක්‌කෝවේ රාදී බෙන් අබ්ඩෙස්‌සෙලාම් [Rhadi Ben Abdesselam] රිදී පදක්‌කම සමගින් තරගය අවසන් කළේය. අබේබී බිකිලා රෝම මැරතන් තරඟය පාවහන් නොමැතිව දිවයමින් වාර්තා පොතට එකතු වීමෙන් නොනැවතී එතෙක් පැවති මැරතන් ලෝක වාර්තාවද බිඳ දැමීය.

සුප්‍රසිද්ධ කොලොසියම් [Colosseum] ගොඩනැඟිල්ල අසලදී තම ඉසව්වේ සමාප්තිය සටහන් කළ බිකිලා ඓතිහාසික මැරතන් ගමන් මගට සුවිශේෂී අගයක්‌ එකතු කළ බව අබේබී බිකිලා ඉහළින් අගය කරමින් රෝම නගරාධිපතිවරයා පැවසුවේය. නිරුවත් දෙපයින් දිව ගොස්‌ මෙම සිහින් කළු මිනිසා කළ ඉතිහාස ගත වෙනස නිසාවෙන්, ලෝකයෙන් හුදකලාවී, තමන්ගේ ජීවිත දුගී භාවයෙන් වැළලී තිබූ ඉතියෝපියාවේ වැසියන්ට ජීවිතයේ පළමු වරට ප්‍රීතියෙන් උදම් වීමට කාරණයක්‌ ඇතිවිය. ඔහු තැබූ මැරතන් ඉතිහාසයේ දිගු පියවර මේ තාක් අප්‍රිකානු කලාපයෙන් කිසිවෙකුට උදුරා ගැනීමට නොහැකි වී ඇත.

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...