Tuesday, April 12, 2016

මගේ සහෝදර ඇතැන්ස් වැසියනි

මගේ සහෝදර ඇතන්ස් වැසියනි,

මට එල්ලවී ඇති චෝදනාවන් නිසා ඔබේ සිත් සතන් තුල ඇතිවන වෙනස්කම් මම නොදනිමි. එහෙත් මා සම්බන්දයෙන් ගත් විට එම චෝදනාවෙන් මා කවුද යන්න මටම අමතක වන තත්වයක් උද්ගත වී ඇත. එනම් මාගේ චෝදකයන් විසින් හුවා දක්වන " මම " නිසා මම කවුද යන්න වටහා ගැනීමට මටම දැන් අපහසු වී ඇත. ඇතන්ස් ජනතාව වන ඔබ සිහිකල්පනාවෙන් සිටිය යුතු බවත් නොඑසේනම් මාගේ වාග් චාතුර්යයට ඔබ මුලාවීමට ඉඩ ඇත යනුවෙනුත් ඔවුන් කියා ඇත. මා කතාකරන්නට පටන්ගත් විට වහාම ඔවුන්ගේ සැබෑ ස්වභාවය හෙළිදරව් වන බව නිශ්චිතව දනිති. ඒ නිසා ඔවුන් කියන්නේ මා කතාකරන විට සිදුවන්නේ ඔවුන්ගේ සැබෑ ස්වරුපය හෙළිදරව් වීමක් නොව ඔබ මාගේ වාග් චාතුර්යයේ බලමහිමයට ගොදුරුවීම පමණක් බවය.

මාගේ වාග් චාතුර්යයේ බලමහිමය යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ සත්‍ය වදන් වල බල මහිමය නම් එවන් චාතුර්යයක් මා සතු බව මමද පිලිගනිමි.

ඔවුහු ඇත්ත නොකියති එහෙත් මම ඔබට සපුරා ඇත්ත කියමි. මා කතා කරන්නේ ඔවුන් මෙන් කල් තබා සුදානම් කරගත් අලංකාර වදන් සහ යෙදුම් සහිත සාදාගත් භාෂාවකින් නොවේ. මේ මොහොතේදී මා තුල පහළවන වචන හා අදහස් අනුවය. මක් නිසාද යත් මා කියන්නට යන දෙයෙහි සත්‍යතාවය පිළිබඳව මා තුල කිසිදු සැකයක් නැති බැවිනි.

සහෝදර ඇතන්ස් වැසියනි, මේ අවස්තාවේදී දක්ෂ කථිකයෙකුගේ සාඩම්බර වාග් විලාසය මා වෙතින් බලාපොරොත්තු නොවන්න. කඩපොලේදී මගතොටේදී හෝ වෙනත් කොතැනකදී හෝ මා භාවිතා කරන හුරු පුරුදු වචන භාවිතා කරමින් ඔබ ඇමතීමට මට ඉඩ දෙන්න. මට දැන් වයස හැත්තෑවට වැඩිය. මා මෙවන් අධිකරණයක් හමුවට පැමිණ ඇත්තේ ජීවිතයේ පළමු වතාවටය. ඒ නිසා මේ ස්ථානයේ භාවිතාවන භාෂාවට මම සහමුලින්ම ආගන්තුක වෙමි. එහෙයින් මා ආගන්තුක යැයි සලකා මට හුරු පුරුදු භාෂාවෙන් කතාකිරීමට ඉඩ දෙන්න. මා කථාකරන ශෛලිය හෝ ආකාරය වැදගත් නොවේ. මගේ වචනවල ඇත්ත ගැන පමණක් සිතන්න. එයට සවන් යොමුකරන්න. කතාකරන්නාට අවංකව කතා කිරීමට විනිශ්චයකරුවාට සාධාරණ තීන්දුවක් ගැනීමට ඉඩ දෙන්න.

ගාම්භීර අලංකාර වචන භාවිතා කරමින් ඇත්ත බොරුව කරන, බොරුව ඇත්ත කරන, වරද කරුවන් නිවරදිකරුවන් කරන, නිවැරදි කරුවන් වරද කරුවන් කරන උන්ගේ උසාවිය ඉදිරියේ නිර්මල සත්‍ය වදන් වලට විවෘත වූ ස්ථානයක් බවට පත් කර ගැනීම වෙනුවෙන් සොක්රටීස් අසීරු උත්සාහයක යෙදුනේ එසේය. අවසානයේ සත්‍යයේ නාමයෙන් උන්ගේ වස කෝප්පය ඉතා සතුටින් හා නිර්භයව බී මෙලොවෙන් සමුගත්තේය.

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...