Wednesday, April 13, 2016

හචිකෝ

හචිකෝ


සෑම වසරකම අප්‍රේල් මස අට වන දින ජපානයේ ටෝකියෝ නුවර ශිබූයා දුම්රිය ස්ථානය අසල සන්සුන් වූත් ගරු ගාම්භීර වූත් උත්සවයක් පැවැත්වෙයි. ජපානයේ සහ ලොව පුරා වෙසෙන සුනඛයන්ට ආදරය කරන පිරිස් එදිනට මෙම උත්සවයට සහභාගි වන අතර ඔවුන් මෙහි රැස් වී තම ස්වාමියා
ට දැක් වූ අසීමිත හිතවත්කමින් මුළු ලොවම විශ්මයට පත් කල හචිකෝ නම් වූ සුනඛයාගේ ගුණ සමරනු ලබයි.

හචිකෝ යනු ජපානයේ උතුරු කදුකර ආශ්‍රිතව වෙසෙන "අකිතා" වර්ගයේ සුනඛයෙකි.පැහැයෙන් රන්වන් දුඹුරු පැහැයක් ගත් හචිකෝ උපත ලැබූවේ 1923 වසරේ නොවැම්බර් මස 10 වන දින ඕඩාතේ ප්‍රදේශයේ ගොවිපලකදීය.හචිකෝට වයස මාස දෙකක් වන විට ටෝකියෝ සරසවියේ කෘෂිකර්මය පිලිබද මහාචාර්‍යවරයෙක් වන හිඩේසබුරෝ උඑනෝගේ සුරතලා බවට ඔහු පත් වුනා.ඒ අනූව හචිකෝ මහාචාර්‍යවරයා සමග මහාචාර්‍යවරයා ජීවත් වූ ටෝකියෝ නුවර ශිබූයා ප්‍රාන්තයට පැමිණීයා.
මහාචාර්‍යවරයා සහ හචිකෝ අතර මහත් වූ බැදීමක් පැවතුනි.මහාචාර්‍යවරයා සේවයට යාම සදහා භාවිතා කලේ දුම්රියයි.සෑම දිනකම උදෑසන මහාචාර්‍යවරයා සේවයට පිටත් වන විට තම ස්වාමියාව ඇරලවීමට හචිකෝ ශිබූයා දුම්රිය ස්ථානයට ඔහුත් සමග ගිය අතර නැවතත් සවස මහාචාර්‍යවරයා සේවය නිම වී පැමිණෙන වෙලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ ඔහු පැමිණෙන තුරු බලා සිටීමට හචිකෝ පුරුදුව සිටියා.

මහාචාර්‍යවරයාගේ අසල්වාසීන් සහ අනෙක් දුම්රිය මගීන් විශ්මයට පත් කල මොවුන් දෙදෙනාගේ මේ අපූරු දින චර්යාව 1925 වසරේ මැයි මස 21 වන දින බිදී ගියා.එදින සේවය සදහා පිටත් වූ මහාචාර්‍යවරයා යලිත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානයට පැමිණියේ නෑ.ඔහු හෘදයාබාදයක් හේතුවෙන් සරසවියේදීම මෙලොව හැර ගොස් තිබුණා.

මේ වන විට හචිකෝගේ වයස මාස දහ අටක් වූ අතර තම ස්වාමියා හෘදයාබාදයක් හේතුවෙන් මියගිය බව හචිකෝ දැන සිටියේ නෑ.හචිකෝ වෙනදා මෙන් එදිනත් තම ස්වාමියා එනතෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි අතර පසුදිනත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ බලා සිටියා.මේ ආකාරයට නොකඩවා වසර නමයක් හචිකෝ දිනපතා සුපුරුදු වේලාවටම ශිබූයා දුම්රිය ස්ථානය අසලට පැමින තම ආදරණීය ස්වාමියා බලාපොරොත්තුවෙන් බලා සිටියා. අව්ව,වැස්ස,හිම ආදී කිසිවකට හචිකෝව නවතාලීමට හැකි වුනේ නෑ.

මහාචාර්‍ය වරයා සහ හචිකෝ පිලිබදව කලින් දැන සිටි මගීන් හචිකෝට අනුකම්පා කල නමුත් සමහර අවස්ථා වලදී දුම්රිය ස්ථානයේ සේවකයන් ගෙන් හචිකෝට හිරිහැර වුනු අවස්ථාත් නොතිබුනා නොවේ. 1932 වසරේ ඔක්තෝම්බර් මස 4 වන දින හචිකෝ පිලිබදව පුවත්පතක පල වූ ප්‍රථම ලිපිය පල වුනා.එතැන් පටන් හචිකෝ ජපානය පුරා ප්‍රසිද්ධ වුනා.හචිකෝගේ තම ස්වාමියාට ඇති ලැදි කම ජපානයේ මිනිසුන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූ අතර පාසල් වල ළමුන්ට පවා තම ස්වාමියාට අති මහත් ලැදිකමක් දක්වන හචිකෝ පිලිබදව ඉගැන්වූවා.
වසර නමයක් පුරා දිනපතා එකම වේලාවට ශිබූයා දුම්රිය ස්ථානයට පැමිනි හචිකෝ 1935 මාර්තු 8 වෙනිදා දුම්රිය ස්ථානයට පැමිණියේ නෑ.පසුව විපරම් කර බලන විට හචිකෝගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ශිබූයාහි මාවතක තිබූ සොයා ගැනුනා.වසර නමයක් පුරා තම ස්වාමියා එන තෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි හචිකෝ අවසානයේ මෙලොවින් සමුගෙන තිබුනා.
හචිකෝ මෙලොවින් සමුගත්තත් හචිකෝ පිලිබද මතකය මිනිසුන්ගේ සිත් වලින් මැකී ගියේ නෑ.මරණින් පසු පුවත්පත් ගණනාවක පල වූ ලිපි වලින් යෝජනා කර තිබුනේ හචිකෝ සිහි වීම සදහා දුම්රිය ස්ථානය අසල හචිකෝගේ පිළිරුවක් තැනිය යුතු බවයි.ඒ අනූව හචිකෝගේ ලෝකඩ පිළිරුවක් ශිබූයා දුම්රිය ස්ථානය අසල පිහිට වූවත් දෙවණ ලෝක යුධ සමයේ එය විනාශ වී ගියා.පසුව නැවතත් 1948 වසරේදී මුල් ප්‍රථිමාව නිර්මාණය කල කලාකරුවාගේ පුත් අන්දෝ ටකෙෂි විසින් හචිකෝගේ ලෝකඩ පිළිරුවක් එම ස්ථානයේම නිර්මාණය කලා.
පසුව කලෙක හචිකෝ ඇසුරින් Hachiko: A Dog's Story නමින් චිත්‍රපටයක් පවා නිර්මාණය වුනා 
ඔබ අදටත් ශිබූයා දුම් රිය ස්ථානයට ගියහොත් යලි කිසිදා නොපැමිණෙන තම ස්වාමියා එනතෙක් බලා සිටින හචිකෝගේ ලෝකඩ පිලිරුව ඔබට දැකගත හැකි වේවි.

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...