Monday, November 15, 2021

රතු හැට්ටකාරියගේ නොදත් කතාව


දවසක් පිටිසර ගමක ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දුවට කියනවා කැලයේ මැදක රෝගාතුරව ඉන්න දුවගේ අත්තම්මාට කෑම ටිකක් ගිහින් දෙන්න කියලා. කේක් එකකුයි වයින් බෝතලයකුයි දුවගේ අතට දීලා කියනවා අත්තම්මාගේ ගෙදරට යන පාරෙන් ඉවතට යන්නේ නැතුව මගදි හමුවෙන කාත් එක්කවත් කතා කරන්නේ නැතුව කෙලින් ම අත්තමාගේ ගෙදරට යන්න කියලා. මේ දුව අවුරුදු හතක් වගේ වයස කුඩා දරුවෙක්. මේ පොඩි ළමයා කෑම ටිකත් අරගෙන අත්තම්මාව බලන්න කැලය මැද්දෙන් යනවා.

ඒ යන අතරතුර දී මේ කුඩා ළමයට හමුවෙනවා වෘකයෙක්ව. වෘකයා මේ දරුවත් එක්ක කතා කරනවා. වෘකයා ප්‍රශ්න අහනවා කොහේ ද යන්නේ? කෑම පෙට්ටියේ මොනවා ද තියෙන්නේ? කියලා. මේ අහිංසක ළමයත් හැම දේම කියනවා. අත්තම්මාගේ ගෙදරට යන පාරත් හරියට ම කියනවා. මේ වෘකයා තීරණය කරනවා ළමයාට කලින් අත්තමාගේ ගෙදරට යන්න.

“මේ කැලයේ තියෙනවා හරිම ලස්සන මල් විශාල ප්‍රමාණයක්. ගිහින් ඒවා බලන්න” වෘකයා ළමයාට කියනවා.

ළමයත් අත්තමාගේ ගෙදරට යන පාරෙන් ඉවතට ගිහින් මලක් අතට අරගන්නවා. ඊට පස්සේ දකිනවා ඊටත් වඩා ලස්සන තවත් මලක්. ළමයා මේ මල අරගන්නත් යනවා. ඔහොම ඔහොම ගිහින් ළමයා අත්තම්මාගේ ගෙදරට එනකොට හවස් වෙලා තිබුනේ. අත්තම්මා සාමාන්‍යයෙන් දොර වහලා තියෙන්නේ නිතරම. නමුත් දැන් දොර විවෘත වෙලා තියෙන්නේ. කුඩා ළමයා නිවසට ඇතුල් වෙලා අත්තමාගේ කාමරයට යනවා.

මේ වෙනකොට වෘකයා අත්තමාව ආහාරයට අරගෙන අත්තමාගේ ඇඳුම් ඇඳගෙන ඇඳට වෙලා හිටියේ ළමයවත් රවට්ටන්න. දුව ඇඳ ගාවට ගියාම දකිනවා අත්තම්මා වෙනදට වඩා සෑහෙන වෙනස් කියලා. 

“අත්තම්මේ ඔයාට විශාල කන් තියෙන්නේ ඇයි” කුඩා ළමයා ඇහුවා.

“ඒවා තියෙන්නේ ඔයා කියන දේවල් හොඳට අහන්න දරුවෝ” වෘකයා පිළිතුරු දුන්නා.

“අත්තම්මේ ඔයාට විශාල ඇස් තියෙන්නේ ඇයි?”

“ඒවා තියෙන්නේ ඔයාව හොඳට බලන්න දරුවෝ”

“අත්තම්මේ ඔයාට විශාල දත් තියෙන්නේ ඇයි?”

“ඒවා තියෙන්නේ ඔයාව කන්න දරුවෝ” කියනවාත් එක්කම මේ මහා නරක වෘකයා කුඩා ළමයව ගිලිනවා.

මේ අතරතුර දී අත්තම්මාගේ නිවස අසලින් දර කපන්නෙක් ගමන් කළා. මේ දර කපන්නා දැක්කා අත්තම්මාගේ නිවසේ දොර විවෘත වෙලා තියෙනවා. මේක අමුත්තක් නිසා දර කපන්නා අත්තමාගේ නිවස ඇතුලට ගියාම දැක්කේ විශාල වෘකයෙක්ව. සිදුවෙලා තියෙන දේ තේරුම්ගත්ත දර කපන්නා කතුරක් අරගෙන වෘකයාගේ බඩ කපලා කුඩා ළමයවයි අත්තම්මාවයි එළියට අරගෙන බේරගත්තා.

මේ කතාව ඔයාලා එක එක විදිහට අහලා ඇති. මම මුලින් ම මේ කතාව ඇහුවේ මගේ ආච්චිගෙන්. ඉස්සර ආච්චි අපිව නිදිකරවද්දී හැමදාම කියන්නේ මේ ‘රතු හැට්ටකාරි’ කතාව. වර්තමානයේ දී විවිධ මාධ්‍යයන්ගේ පලවෙන මේ කතාවේ ගලාගෙන යෑම එකම විදිහට තියෙන්නේ නැහැ.

අපිට හුරු පුරුදු මේ කථාන්දරය රචනා කරන්නේ ග්‍රීම් සොහොයුරෝ විසින්. ඒ 1856 වසරේ දී. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ කතාව සෑහෙන පරණයිනේ කියලා. ඇත්තට ම ගත්තොත් මේ කතාව ඔයාලා හිතනවට වඩා පරණයි. ග්‍රීම් සොහොයුරෝ මේ කතාව රචනා කරන්නේ ඔවුන්ටත් වසර දෙසීයකට වඩා පැරණි රචකයෙක් ලියූ කතාවක් පදනම් කරගෙන යි. ප්‍රංශ ජාතික චාල්ස් පෙරෝල්ට් 1697 වසරේ දී ‘රතු හැට්ටකාරි’ කතාව රචනා කරන්නේ පැරණි ජනකතා පදනම් කරගෙන. පෙරෝල්ගේ කතාව ග්‍රීම් සොහොයුරන්ගේ කතාවෙන් තරමක් වෙනස් වෙනවා.

පෙරෝල්ටේ කතාවේ රතු හැට්ටකාරියගේ අම්මා තමන්ගේ දුවට අත්තමාගේ නිවසට යන පාර හරියට කියන්නේ නැහැ. මේ දරුවා පාර හොයාගෙන යනකොට වෘකයාව දකිනවා. ග්‍රීම් සොහොයුරන්ගේ කතාවේ විදිහට ම වෘකයා ළමයාව රවට්ටනවා. ළමයා අත්තමාගේ නිවසට ගියාම ඇඳේ ඉන්න වෘකයාව ළමයට කියනවා ඇඳුම් ඉවත් කරන්න කියලා. ඊට පස්සේ සුප්‍රකට සංවාදය කරනවා. ළමයා වෘකයාගෙන් අහනවා විශාල කන් ඇස් සහ දත් තියෙන්නේ ඇයි කියලා. විදාල දත් තියෙන්නේ ඔයාව කන්න කියලා වෘකයා රතු හැට්ටකාරිව ආහාරයට ගන්නවා. කතාව එතනින් අවසන් වෙනවා පෙරෝල්ට්ගේ පොතේ හැටියට. අත්තම්මාව තියා රතු හැට්ටකාරියටවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මේ කතාව තරමක් දරුණු නිසා වෙන්න ඕන ග්‍රීම් සොහොයුරෝ කතාව වෙනස් කරලා නැවත රචනා කළේ. 

මීට සමාන තවත් කතාවක් චීනයේ කිං රාජවංශයෙන් අහන්න ලැබෙනවා. ඒ 17 වන සියවසේ දී. මේ කතාවේ වෘකයෙක් වෙනුවට ඉන්නේ කොටියෙක්.

රතු හැට්ටකාරිගේ කතාවේ ඉතිහාසට එතනින් නතර වෙන්නේ නැහැ. කලින් සඳහන් කල පෙරෝල්ට් තමන්ගේ කෘතියේ කියනවා තමන් මේ ලියන්නේ ජනකතා කියලා. රතු හැට්ටකාරිගේ කතාවට සමාන ජනකතාවක් ප්‍රංශයෙන් ක්‍රි.ව. 900 - 1000 අතර කාලයේ දී හමුවෙනවා. ඒ අදින් වසර දහසකට පෙර.

මේ ජනකතාවේ හැටියට වෘකයා අත්තම්මාව ආහාරයට අරගෙන අත්තමාගේ ශරීරයෙන් කොටස් කිහිපයක් කුස්සියෙන් තියෙනවා. අත්තමාගේ ලේ බෝතලයකට දාලා ඒත් එක්කම තියෙනවා. කුඩා ළමයා අත්තමාගේ ගෙදරට ආවම තමන් ගෙනාපු කෑම ටික කුස්සියෙන් තියලා කුස්සියේ තිබුනු අත්තම්මාගේ ශරීරයේ කොටස් ආහාරයට ගන්නවා ඒ තමන්ගේ අත්තම්මා කියලා නොදැන ! එක තැනක දී කුඩා ළමයා වෘකයාගෙන් අහනවා ඇයි මේ මාංශ හපන්න හරිම අමාරු කියලත්.

ඊට පස්සේ මේ වෘකයා ළමයට කියනවා එයා ඇඳන් ඉන්න ඇඳුම් එකින් එක ඉවත් කරන්න කියලා. ඊට පස්සේ තමන් එක්ක නිදාගන්න ඇඳට එන්න කියලා වෘකයා කියනවා. මෙන්න මෙතන දී නැවතත් සුප්‍රකට සංවාදය ඇතිවෙනවා. ළමයා අහනවා ඇයි විශාල කන් , ඇස් සහ දත් තියෙන්නේ කියලා. මේ සංවාදය අතරතුර දී ළමයා දකිනවා ඇඳෙන් එළියට ඇවිල්ලා තියෙන වෘකයාගේ වලිගය. මේ නිසා ළමයා ඇත්ත දැනගන්නවා. 

“මට දැන්ම ම ඇඳට එන්න බැහැ. මම ඉක්මනට මූණ කට හෝදගෙන එන්නම්” ළමයා වෘකයාට කියන්නේ එතනින් පැනලා යන අදහසින්.

වෘකයා ළමයා පසුපස ආවොත් තමන් කවුද කියලා දැනගන්නවා කියලා හිතුන නිසා වෘකයා ළමයට කියනවා ළණුවකින් තමන්ව බැඳගෙන අනික් කොන අතට දෙන්න කියලා. ළමයත් එහෙම කරලා නිවසින් එළියට යනවා හෝදගෙන එන්න කියලා. නිවසින් එළියට ගිය හැටියේ ළමයා ළණුව ගලවා අසල ගහක ගැටගහලා දුවගෙන යනවා. වෘකයා මේ බව දැනගෙන ළමයා පසුපස්සේ හඹාගෙන ගියත් ළමයව අල්ලගන්න ලැබෙන්නේ නැහැ. 



5 comments:

  1. https://www.pookpress.co.uk/the-panther-chinese-little-red-riding-hood/
    https://en.wikipedia.org/wiki/Lon_Po_Po

    ReplyDelete
  2. ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!

    ReplyDelete
  3. මේ කතාව බොහෝ ඈතකැ ඉඳල විවිහ්ද වෙනස් කම් ඔස්සේ ඔබ කියපු විදිහට පවත එන එකක්. මේ කතාවෙ මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. දැරිවිය ඇයි රතු ඇඳන් ඉන්නෙ, ඇයි ඇය සැකයෙන් උනත් ඇඳුම් ගලවල ඇඳට යන්නෙ කියන දේවල් ගැන ගොඩක් කතා බහට ලක් වෙච්ච කාරණා...

    ReplyDelete
  4. සිඟිති දරුවනට ගැලපෙන කතන්දර
    හොඳ නැහැ වෙන්න මේ වාගේ අසුන්දර
    මිහිරි සොඳුරු වගේම හොඳ අරුත්බර
    කතා කියයි දරුවන් වෙත 'හරි පාර'

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...