Friday, October 21, 2016

ලින්කන්ගේ මුහුණට උණු කෝපි වලින් දමා ගැසූ ගැහැණිය

ලින්කන් ගැන කතා ගොඩක් අතරෙ ඔහුගේ අති අසාර්ථක පවුල් ජීවිතය ගැන කියන්නයි මේ යන්නෙ. 

ඒබ්‍රහම් ලින්කන් සහ මේරි ඈන් ටොඩ් ඉලිනොයිහි ස්ප්‍රින්ෆීල්ඩ් ප්‍රදේශයේදී විවාහ දිවියට එළබෙන ලදි. ලෝක ඉතිහාසයේ අවාසනාවන්තව විවාහ වලින් එකක් විය. 

 තමන්ගේ විවාහය ගැන ලින්කන් ලිඛිතව සදහන් කල එකම සදහන වූයේ විවාහයෙන් සතියකට පමණ පසු ඔහු විස්න් සැමුවෙල් මාර්ෂන් නම් තැනැත්තාට ලියන ලද රාජකාරි ලිපියේ කොටසකි. මෙය අද චිකාගෝ ඉතිහාස සංගමය භාරයේ ඇත.

 එහි සදහන් කර තිබුනේ, " මටම මහත් පුදුමයක් වී ඇති මගේ විවාහය හැරෙන්නට මෙහි තත්වය සම්බන්ධයෙන් වෙනත් විශේෂ පුවතක් නැත " යන්න යි. 


 ලින්කන් ගැන හොදටම දන්නා පුද්ගලයා වූයේ ඔහුත් සමඟ නිතරම සිටි ඔහුගේ නීති සහයකයා වූ විලියම් එච්. හර්න්ඩන් ය. ඔහු ලින්ලන්ගේ පවුල් ජීවිතය ගැන පැවසුවේ " වසර විස්සක කාලය තුල ලින්කන් සතුටින් සිටි එක දවසක්වත් මා දන්නේ නෑ " යනුවෙනි. ලින්කන්ගේ දොම්නසට බෙහෙවින්ම බලපෑවේ මෙම විවාහය බව හර්න්ඩන් ගේ අදහස විය. 

 ලින්කන් හා මේරි ටොඩ් විවාහ ගිවිසගෙන ටික කලකින්ම තේරුම් ගිය කරුණක් වූයේ ඔවුන් දෙදෙනා සෑම අංශයකින්ම සපුරාම නොගෑපෙන යුවළක් බවයි. 

 උදාහරණ ලෙස මේරි ටොඩ් කෙන්ටකී හී පුහු ආටෝපයකින් යුත් පාසලක ඉගෙනුම ලැබූ තැනැත්තියකි. ඈ ඉලිනොයි හි සිටි ඉතාමත් හොද අධ්‍යාපනයක් ලද තැනැත්තියකි. එහෙත් ලින්කන් තම ජීවිත කාලය තුලම පාසලක් වෙත ගියේ වසරකට අඩු කාලයකි. 


  මේරි තම පවුල් පසුබිම ගැන මහත් පුරාජේරුවෙන් සිටියේ ය. ඒ ගැන මහත් ගෞරවයකින් කතා කලේ ය. එහෙත් ලින්කන්ට තම පවුල් පසුබිම ගැන කිසිදු ආඩම්බරයක් නොවීය. ලින්කන් පවසන අන්දමට තමන් ස්ප්‍රින්ෆීල්ඩ් හි සිටිනා අවධියේ තමන්ව බැලීමට පැමිණියේ එක් නෑදෑයෙක් පමණි. ඉඳල ඉඳලා පැමිණි එම පුද්ගලයාත් නගරයෙන් පිට වන විට සොරකම් චෝදනාවක් එල්ල වූ බව ලින්කන් පවසයි. 

  මේරි ටොඩ් විලාසිතා වලට ඉතාමත් කැමැත්තක් දැක්වූයේ ය. එහෙත් ලින්කන් තම පෙනුම ගැන කිසිදු තැකීමක් සිදු කලේ නැත. ඔහු විටෙක සිය කලිසමේ එක් කකුළක් බූට් සපත්තුවේ ඇතුලට ඔබාගෙන අනෙක් කලිසම් කකුල බූට් සපත්තුව වැසෙන සේ පිටතට දමාගෙන ගමන් කලේ ය. 

  මේරි ඉතාමත් අහංකාර තැනැත්තියක් විට. එහෙත් ලින්කන් ඉතාමත් නිහතමානී නම්‍යශීලී අයෙක් විට. ලින්කන් වෙනත් කාන්තාවක් දෙස බැලුවහිත් මේරි ඉතාමත් විශාල කලබගෑනියක් ඇති කලේ ය. ඇය විටෙක කෝප ගත්තේ අහේතුකවය. 

  මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීමට පෙර තමන් විසින් ඇයට විවාහ වීමට තරම් ආදරය නොකල බව දක්වමින් ලින්කන් ලිපියක් ලිව්වේ ය. ඔහු එම ලිපිය තම මිතුරෙකු වූ ජොෂුවා ස්පීඩ් හට ලබාදුන්නේ එම ලිපිය මේරි වෙත දීමට ය. එහෙත් ජොෂුවා එම ලිපිය ඉරා දමා පැවසුවේ, කියන්න තිබෙන දෙයක් ඇය හා සෘජුව කතා කරගන්නා ලෙසය. එමනිසා ලින්කන් මේරි වෙත ගොස් තමන්ට ඇයව විවාහ කර ගත නොහැකි බව පැවසුවේ ය. එසැනින්ම මේරි හඬා වැටීමට පටන් ගත්තේ ය. ලින්කන්ට කිසිදු කාන්තාවක් ඬනවා බලන් සිටිය නොහැකි විය. එමනිසා ඔහු ඇයව සිපගෙන විවාහ වීමට පොරොන්දු විය. 


 විවාහය 1841 ජනවාරි පලමු වනදා සූදානම් කර තිබුනේ ය. අමුත්තන්, පූජක තුමා, මෙරි ටොඩ් ඇතුලු සියලු දේ එදින විය. එනමුත් එකෙනෙක් එහි නොවීය. එනම් මනාලයා වූ ලින්කන් ය. එදින සිදුවූ දෙය මේරි ටොඩ්ගේ සොහොයුරිය විසින් පසුව එළිදරව් කරන ලදි. ඇය පැවසුවේ " එදා ඔහු සැබවින්ම උන්මත්තකයෙක් ලෙස හැසිරුණේ " ලෙස ය. සැබවින්ම ලින්කන් එදින මානසිකව මෙන්ම ශාරීරිකව ඉතාමත් දරුණු ලෙස ඇද වැටීමනට ලක්ව සිටියේ ය. තමන්ගේ මිතුරන් විසින් ලින්කන්ව සොයා ගන්නා ලද්දේ නගරය මැද විකාර දොඩවමින් සිටියදී ය. ඔහු තමන්ට විවාහ වීමට අවශ්‍ය නොවන බවත් මියයා යුතු බවත් පැවසුවේ ය.  
 විවාහයෙන් පසු ලින්කන් විසින් තමන්ගේ දුක්බරම ලිපිය ලිව්වේ ය. එය ලිව්වේ එවකට කොන්ග්‍රස් මණ්ඩලයේ සිටි තම හිතවත් නීති සඟයාට ය.

 " මම දැන් මිහිපිට ජීවත් වන අභාග්‍ය සම්පන්නම මිනිසා බවට පත්ව ඇත්තෙමි. මට දැනෙන හැඟීම මුළු මානව පවුල අතර සමව බෙදා ගතහොත් මේ පොළොව මත එකදු සතුටු මුහුණක්වත් දකින්නට නැති වනු ඇත. මා යළිත් යථා තත්වයට පත් වේදැ යි කිව නොහැක. මා හට නැවතත් පෙර සිටි තත්වයට පත් වීමට බැරි වේ යැයි මට බියක් දැනේ. මේ තත්වයෙන් පසුවනවාට වඩා මා මියයන්නේ නම් එයින් මට හොදක් වේ යැයි මට නිතරම සිතේ. "

මේරි ටොඩ්


 දිනක් ලින්කන් සහ මේරි විසින් සෙසු බෝඩිම්කරුවන් සමඟ්ද් උදෑසන ආහාරය ගනිමින් සිටියේ ය  එදින ලින්කන් විසින් තම බිරිඳව කෝප ගන්වන දෙයක් සිදු කරන ලදි. එයින් කෝප වූ මේරු ලින්කන්ට උණු කෝපි වලින් මුහුණට දමා ගැසුවේ ය. ඇය මෙසේ කලේ සියල්ලන්ම ඉදිරියේ ය. ගේ හිමි කාන්තාව තුවායක් ගෙන ලින්කන්ගේ මුහුණ හා ඇදුම් පිස දැමූ අතර ලින්කන් නිහඬවම සිටියේ ය.

 ලින්කන් මහත්මිය පසු කලෙක උමතු බවට පත් විය. ඒබ්‍රහම් ලින්කන් වසර 33ක් තිස්සේ එම පවුල් ජීවිතය ගතකලේ දුකින් වුවද ඒ ගැන තම මිතුරාට හැර වෙන කිසිවෙක්ට පැවසුවේ නැත. මෙතරම් ඉවසීමක් වර්තමානයේ සිටින පුද්ගලයන්ට තිබෙනවාද යන්න පැනයකි.

 සියලු දෙනාගේ අදහස් බලාපොරොත්තු වෙමි. 

ලින්කන් ගේ සිරුර සොරකම් කිරීම  ගැන ලියවූ ලිපියක්. - මියගියත් නිදහසක් නැති ලින්කන්

Tuesday, October 18, 2016

ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය පොත් කිහිපයෙන් එකක කතුවරයා වීම ඔහුට ලැජ්ජාවට කරුණක් විය


  එක්තරා සවස් යාමයක තරමක් ගොත ගසන පුද්ගලයෙන් කුඩා ගැහැනු දරුවන් තිදෙනෙක් සමඟ බෝට්ටුවකින් තේම්ස් නදිය තරණය කලේ ය. බෝට්ටුවෙන් බැස පැය තුනකට පමණ පසු මෙම පුද්ගලයා අතින් ලියැවුනු එම කතාව අදටත් කා අතරත් කතාබහට ලක්වෙයි.

  මොහු නමින් ඩොජ්සන් ය. ( චාල්ස් ලුට්විජ් ඩොජ්සන් ( 1832 - 1898 ) ) එනමුත් ඔබ මොහුව හදුනන්නේ ඒ නමින් නොවේ. එනමුත් ඔහුගේ සැබෑ නම එයයි. ඉරිදා දිනවල පල්ලියේ දේශනා කල නිසා මොහුව ෆාදර් ඩොජ්සන් යැයි සමහරු ඇමතුවේ ය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිතය උගන්වන දිනවලදී මොහුව මහාචාර්ය ඩොජ්සන් යැයි සිසුන් හා අනෙක් ගුරුවරුන් ඇමතුවේ ය.
ඩොජ්සන් 


 පෙරදි කී බෝට්ටු සවාරියේ දී මොහු විසින් කුඩා ගැහැණු ලමුන් තිදෙනාට පුදුමාකාර කතාවක් තමන් විසින් ගොතා කියන ලදි. එය කෙතරම් සාවධානව ඔවුන් අසා සිටියේද කිවතොත් තමන් යන්නේ බෝට්ටුවක යැයිද එම දැරිවියන්ට අමතක විය.

 ඔහු ඔවුන්ට කීවේ නින්දට පත් වූ පුංචි ගැහැණු ළමයෙකු හාවෙකුගේ ගුලකට වැටී විශ්මලන්තයක අවධි වන සැටි ඇතුලත් වන කතාවකි. මෙම ගැහැණු දරුවන් තිදෙනාගෙන් එක්කෙනෙක්ගේ නම ඇලිස් විය. මෙම දරුවන් තිදෙනා කියා සිටියේ එම කතාව නැවත කියවීමට ලියා දෙන ලෙසයි. එමනිසා මෙම මහාචාර්යවරයා මෙම ඉල්ලීම නිසා එදිනම රෑ නොබලා මෙම කතාව ලිව්වේ ය. මොහු මෙම කතාවට නම දැම්මේ ' විශ්ම දේශයට ගිය ඇලිස්ගේ හපන්කම් ' ලෙස ය.


 පොත මෙසේ ලීවත් ඔහු එය මුද්‍රණය කරන්නට සිතුවේ නැත. මන්ද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විකාර ළමා කතා ලියන්නෙක් යැයි මිනිසුන් දැනගන්නවාට ඔහු අකමැති විය. එය තමන්ගේ ගෞරවයට හානියක් යැයි ඔහු සිතුවේ ය.

මුල් කෘතියේ පිටුවක්

 දිනක් ඩොජ්සන්ගේ මිතුරෙක් දූලි අතර තිබූ මෙම පොත සොයාගෙන කියෙව්වේ ය. ඔහුගේ සිත මෙම පොතට තදින්ම ඇදී ගියේ ය. ඔහු මෙම පොත මුද්‍රණය කිරීමට මූලිකත්වය ගත්තේ ය. එනමුත් ඩොජ්සන් එයට කැමැත්තක් නොදැක්වීය. මන්ද පෙරදී දැක්වූ හේතුව යි. එමනිසා ' විශ්ම ලන්තයේ ඇලිස් ' ( Alice In Wonderland ) ප්‍රකාශයට පත් වූයේ ව්‍යාජ නමක් යටතේ ය. ඒ නම ' ලුවිස් කැරොල් ' විය.

මුල් කෘතියේ කවරය

 එය අති සාර්ථක පොතක් බවට පත් විය. ඉංග්‍රීසි කතා කරන ලෝකය අතර එය ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය විය. ඉතා ඉක්මනින්ම එම කතාව විව්ධ භාෂා ගණනාවකටම පරිවර්තනය විය. වසරින් වසර මෙම කතාව තව තවත් ජනප්‍රිය විය.

 1865 දී ලියන ලද මෙම කෘතිය එනම් වසර එකසිය පනහකට ආසන්න කාලයකට පෙර ලියන ලද මෙම කෘතිය අදටත් ලොව ජනප්‍රියම ළමා කතාව ලෙස වැජබේ.

".... හුඟක් දේ ගැන කතා කරන්නට
කාලෙ ඇවිත් බව තල්මහ කීවා
සපත්තු, නැව් ගැන ඇලවෙන ඉටිගැන 
ගෝවා ගෙඩි සහ රජ්ජුරුවන් ගැන...

 මුහුද උණු වෙලා පැහෙන්න මොකද කියා
ඌරන් හට අත්තටු තිබෙනවද කියා...."

Monday, October 17, 2016

මියගියත් නිදහසක් නැති ලින්කන්


 'බිග් ජිම්' කල්ලිය කියන්නේ ඇමරිකා රහස් ඔත්තු සේවාව අපහසුතාවයට පත් කල අංක එකේ හොර කල්ලියක්. මොවුන් බොහොමයක් මුදල් උපයා ගත්තේ හොර නෝට්ටු අච්චු ගැසීමෙනි. එයින් ඔවුන් අතිශය විශාල ධනස්කන්දයක් උපයා ගත්තේ ය. එහෙත් 1876 වන විට මොවුන්ගේ මෙම ක්‍රියාදාමය තරමක් අඩපණ වීමට ගත්තේ ය.  එයට හේතුව බෙන් බොයිඩ් නම් හොර නෝට්ටු අච්චු ගැසීමේ ප්‍රධානියා අත්තඩංගුවට ගෙන තිබීම යි.

  ඇමරිකානු රහස් ඔත්තු සේවය බෙන් බොයිඩ්ව අත්තඩංගුවට ගෙන වසර 10ක බරපතල වැඩ සහිතව සිරගෙට දමන ලදි. කෙසේ නමුත් බිග් ජිම් කල්ලිය කියා සිටියේ කෙසේ හෝ ඔවුන් බෙන් බොයිඩ්ව සිරගෙයින් නිදහස් කරගන්නා බවයි. එමනිසා මෙම කල්ලිය 1876 වසරේදී මිලියන 10 ක ජනතාවගේ ඇගේ ලේ කෝප කරවන අපරාධයක් කිරීමට සූදානම් වූහ.


  මෙම සොර මුල සැලසුම් කලේ ඒබ්‍රහම් ලින්කන්ගේ මෘත දේහය ගෝනියක දමාගෙන වසන්ත සමයේදී කරත්තයක දමාගෙන උතුරු ඉන්දියානා ප්‍රාන්තයට ගෙන යාම ය. ඉන්පසු මිචිගන් වැවේ ඉවුරේ වැලි අතර මෙම සිරුර සැඟවීමයි.

 ඊට පසු ලින්කන්ගේ සිරුර ට කප්පම් ලබා ගැනීමට ඔවුන් සිතා ගත්තේ ය. රජය විසින් බෙන් බොයිඩ්ව නිදහස් කර පවුම් 50 000 ක මුදලක් ලබා දුන් විට ලින්කන්ගේ දේහය යලිත් බාර දීමට සැලසුම් කරන ලදි. මෙය එතරම්ම භයානක සැලසුමක් නොවීය. මන්ද ලින්කන්ගේ සිරුර මිහිදන් කර තිබූ ඉලිනොයි ප්‍රදේශයේ මෘත දේහයක් සොරකම් කිරීම අපරාධයක් ලෙස සලකනු නොලැබීම නිසා ය.


  1876 නොවැම්බර් 6 දින මෙම කල්ලිය චිකාගෝ වලින් දුම්රියක නැග ලින්කන්ගේ උපන් ගම වූ ඉලිනොයි වෙත ගමන් කලේ ය. ඔවුන් චිකාගෝවලින් පිටත් වීමට පෙර ලන්ඩන් පුවත්පත මිලට ගෙන එයින් කැබැල්ලක් ඉරා එම සොර කල්ලියේ මූලස්ථානය වූ චිකාගෝ සමාජශාලාවේ ඒබ්‍රහම් ලින්කන්ගේ උඩුකය ප්‍රථිමාව තුලට එබීය.

 ඔවුන් සැලසුම් කරේ ඉරා ගත් පත්තරේ ඉතිරි කොටස ලින්කන්ගේ සොහොනේ මෘත ශරීරය තිබූ තැන දමා යාමට ය. එය රහස් පරීක්ෂකයන් විසින් අපරාධයට ඉඟියක් ලෙස යොදාගනු නොඅනුමානය. ඉන් පසු ඔවුන් එයට මිලක් නියම කරනු ඇත. ඉන් පසු මුලු රටම කැළඹුනු පසු මෙම කල්ලිට විසින් කිසියම් ක්‍රමයකින් ලින්කන්ගේ සිරුර ඉලිනොයි හි ආණ්ඩුකාරයාට භාර දෙනු ඇත.

සොරකමට භාවිතා කල ආවුධ

 මේ ලබා දෙන්නේ නිවැරදි සිරුරදැයි දැනගැනීමට ඔවුන්ට සාක්ෂියක් ලෙස අර පත්තර කැබැල්ල පෙන්විය හැකි විය.

 මේ සියලු සැලසුම් සිතේ තබාගෙන සොර කල්ලිය 1876 ඡන්දය දා රාත්‍රියේ ඔවුන් ස්ප්‍රින්ෆීල්ඩ් වලට පැමිණියේ ය. මෙකල පැවති මෙම ඡන්දය කෙරේ ජනතාවගේ කැමැත්තක් නොවීය. කෙසේ හෝ මෙම කාලයේ ස්ප්‍රිංෆීල්ඩ් කලබලකාරී ප්‍රදේශයක් විය. රාත්‍රියේදී මෙම සොර මුල තම සොරකමේ යෙදීමට ගියේ ය.

සොර මුලේ සාමාජිකයෙන් වූ ටෙරන්ස් මුලන්

සොර මුලේ සාමාජිකයෙක් වූ ජෝන් හියුග්ස්

 මොවුන් ලින්කන්ගේ සොහොනෙහි දොරේ අඟුලු කැඩුවේ ය. ඉන්පසු මිනී පෙට්ටිය වසා තිබූ කිරි ගරුඩ පියන ඔසවා ලී පෙට්ටිය මදක් ඉවතට ගත්තේ ය. මේ අතරතුර ස්වෙගිල්ස් නම් එක් සොරෙක් සොහොන් ගැබට යාර දෙසීයක් පමණ එහායින් නැවතී සිටියේ ය. ඔහු සොරෙක් ලෙස වෙස්වලාගෙන සිටි ඔත්තු කරුවෙකි. ඔහුත් සමඟම අවට හැංගී තවත් නිලදාරීන් අට දෙනෙක් සිටියේ ය. කලින් කතිකා කරගත් ආකාරයට ස්වෙගිල්ස් විසින් තම සඟයන්ට සංඤා කලේ ය. ඒ සුරුට්ටුවක් දල්වාගෙන ' වොෂ්' යැයි ශබ්ද කිරීම ය.

  එසැනින්ම පොලිස් නිලදාරින් අට දෙනා සොහොන් බිම වෙත දිවගෙන ආවේ ය. එහෙත් එහි කිසිවෙක් නොවීය. ඔවුන්ට දක්නට ලැබුනේ සොහොනෙන් අඩක් ඉවතට ගෙන තිබූ ලින්කන්ගේ මිනී පෙට්ටියයි.

 දින දහයකටපමණ පසු මෙම සිර මුල පොලීසිය විසින් අල්ලා ගන්න ලදි. ලින්කන්ගේ වැඩිමහල් පුත්‍රයා විසින් චිකාගෝවේ හොදම නීතිඥයෙක්ව මෙම නඩුව සදහා යොදාගත්තේ ය. එනමුත් එය එතරම් ලේසි පහසු එකක් නොවීය. මන්ද ඒ වන විට ඉලිනොයො හි මෘත ශරීරයක් සොරකම් කිරීම අපරාධයක් නොවූ බැවිනි. කෙසේ හෝ ඔවුන්ට විරුද්ධව නඩුව ගොනු වුනේ පවුම් 15ක් වටිනා මිනී පෙට්ටියක් සොරකම් කිරීම ගැන ය. මෙම නඩු විභාගය මාස 8ක් ප්‍රමාද විය. පලමු රහස් ඡන්දයේදී ජූරිය චන්දය ප්‍රකාශ කලේ සොර කල්ලියට එරෙහිවය. එහෙත් වට කිහිපයකින් පසු ජූරියේ දොළොස් දෙනාගෙම එකඟත්වය පරිදි මෙම සොර කල්ලිය වසරකට ජොයිලට් සිර කදවුර වෙත යවන ලදි.

පින්තූර අන්තර්ජාලයෙන්. ඔබලාගේ අදහස් ඉතා අගේ කොට සලකමි.

Thursday, October 13, 2016

මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ සතයක්වත් නැතිව මියගිය අසරණයා


 කැලිෆෝනියාවේ ජෝන්. ඩබ්ලිව්. මාර්ෂල් නැමැති වඩු කාර්මිකයෙක් 1848 ජනවාරි 24 වන දින ' ඇමරිකා ' ගඟේ ඉවුර ආසන්නයේ ධාන්‍ය මෝලක් ඉදි කිරීමේ කටයුත්තක නියැලී සිටියේ ය. ඔහු කරමින් සිටි වැඩය මදකට නතර කර Sacramento නගරය පිහිටි පෙදෙසේ ඉහළ පෙදෙසෙන් කහ පැහැති ගලක් දැක එය අහුලා ගත්තේ ය. ඒ රත්තරන් දැයි ඔහුට සැක සිතුනේ ය.  ඔහු මෙම ගල් කැබැල්ල කම්කරු බිරිඳකට දුන්නේ ය. ඇය මෙම ගල් කැබැල්ල සබන් ලයි සහ මේදය තැම්බෙමින් තිබුනු කේතලයට දැම්මා ය.

ජෝන් සටර්


  මෙම ගල් කැබැල්ල නිසැකයෙන්ම රන් කැබැල්ලක් බව තහවුරු විය. ඔහු තම හාම්පුතා වූ ජෝන්. ඒ. සටර් වෙත දිවගෙන ගියේ ය. සටර් එය දුටු පමණින්ම ඒ රත්තරන් යැයි හදුනාගත්තේ ය.

 සටර් මෙම සොයාගැනීම රහසක් ලෙස තබාගන්නට ඉටා ගත්තේ ය. එහෙත් අවාසනාවකට එසේ කල නොහැකි විය. එක දවසක් ගෙවී යන්නට පෙර ගොවිපලේ සියලුම මිනිසුන් තම වැඩ අතහැර සටර්ගේ ගොවිපලට පැමින රත්තරන් සොයා පොලොව හාරන්නට විය.

  සතියක් ගතවන්නට මත්තෙන් සම්පූර්ණ ගමම සටර්ගේ ගොවිපලේ විය. ගමේ සියලුම මිනිසුන් තම සතුන් අතහැර , වගාවන් අතහැර  රත්තරන් කැනීමේ කටයුතු කලේ ය. මිනිසෙකුට දවසක් ඇතුලත පවුම් 200 සිට 1000 අතර මුදලක් උපයා ගැනීම අපහසු නොවීය. ඇමරිකා මහද්වීපය පුරා මෙම ආරංචිය සීග්‍රයෙන් පැතිර ගියේ ය. කම්කරුවන් තම රැකියාවන් අතහැරියේ ය. සොල්දාදුවන් තොග පිටින් රැකියාවෙන් ඉවත් විය. මේ සියලු දෙනා සටර්ගේ ගොවිපල වෙත පැමිණියේ. 1849 වසරේ නාවික යාත්‍රා හත්සීයකට අධික ප්‍රමාණයක් ෂැන් ෆ්‍රැන්සිස්කෝ මුහුදු බොක්කේ නැංගුරම් ලා තිබුනේ ය. එහි සිටි සියලු ජන සමූහයම ගියේ සටර්ගේ ගොවිපල වෙතය.

1850 සටර්ගේ මෝල


  මේ සියලුම දෙනා සටර්ගේ ගොවිපල සෑම අතකින්ම ආක්‍රමණය කර තිබුනේ ය. තුවක්කුවේ නීතියට වඩා එහා නීතියක් නැතැයි ඔවුන් සිතුවේ ය. ඔවුන් සටර්ගේ ධාන්‍ය ගබඩා සමතලා කර පැල්පත් අටවා ගත්තේ ය. කිරි ලබා ගැනීමට ඇති කල එළදෙන්නු මසට ගත්තේ ය.

 පුදුමයෙන් පුදුමයට කරුණක් නම්  මෙම මිනිසුන් සටර්ගේ පෞද්ගලික දේපල මත නගර ඉදි කිරීමට තරම් නිර්භීත වීමයි. සැබෑ අයිතිකරුවා ජීවත්ව සිටියදී එහි වගේ වගක් නොමැතිව තම දේපල විකුණන විට සහ යලිත් විකුණන විට  සටර් කෝපයෙන් පිපිරි පිපිරී අසරණව ඒ දෙස බලා සිටියේ ය.

  1850 දී කැලිෆෝනියාව ඒකාබද්ධ රාජ්‍යයට සම්බන්ධ විය. කෙසේ වෙතත් ඉන්පසු සටර් විසින් ඉතිහාසයේ විශාලතම නඩුව ආරම්භ කලේ ය. සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ක්රමෙන්ටෝ යන නගර තම පෞද්ගලික ඉඩම් මත ඉදි කර ඇති බව පවසා සිටියේ ය. එහි වාසය කරන පිටස්තරයින්ව වහාම එළවන ලෙස ඉහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

 කැලිෆෝනියා ප්‍රාදේශීය රජය මගින් තමා ගොඩ නැගූ පෞද්ගලික මං මාවත්, පාලම්, ඇළ මාර්ගයන් පොදු භාවිතයට යොදවා ගැනීම නිසා පවුම් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේ ය. එසේම තමන්ට සිදුවූ අනෙකුත් හානි වෙනුවෙන් පවුම් මිලියන 10ක  ( වර්තමානය වන විට ඩොලර් බිලියන එක හමාරක පමණ මුදලකි. ) වන්දියක් ගෙවන ලෙස ඉල්ලා සිටියේ ය.  එමෙන්ම තමන්ගේ දේපලෙන් ඉවත් කරගත් සෑම රන් අංශුවකින්ම ඉපැයූ සෑම පැන්සයෙන්ම තමන්ට හිමි උරුමය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

   සටර් මෙම සටන වසර හතරක කාලයක් සිදුකලේ ය. 1855 දී ඔහු ජය ගත්තේ ය. කැලිෆෝනියාවේ ඉහලම අධිකරණය විසින් තීන්දු කලේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ක්රමෙන්ටෝ යන නගරත් තවත් ගම්මාන රැසකුත් සටර්ගේ පෞද්ගලික ඉඩම් මත ගොඩනැංවූ බවයි.


 මෙම පුවත මෙම නගර දෙකේ ජනතාව ව කම්පනයට පත් කලේ ය. ඔවුන් තුවක්කු, කඩු ඔසවාගෙන පෙළපාලි ගියේ ය. ගිනි තැබුවේය. මංකොල්ල කෑවේ ය. ඔවුන් උසාවිය ගිනි තිබ්බේ ය. නඩු වාර්තා පිච්චුවේ ය. ඔවුන් නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරයාව එල්ලා මරා දැමීමට උත්සහ කලහ. සටර්ගේ නිවෙස් වලට ඩයිනමයිට් දමා පිපිරුවේ ය. සටර්ගේ ගොවිපල දිමින් පිරි පාළු පිටියක් බවට පත් කලේය.

 ඔවුන් සටර්ගේ එක් පුතෙකු ඝාතනය කලේ ය. තවත් පුත්‍රයෙකු සියදිවි නසාගන්නා තත්වය්ට පත් කලේ ය. තුන්වන පුත්‍රයා යුරෝපයට පැනයාමට උත්සහ කිරීමේදී මුහුදේ ගිලී මලේ ය. සටර්ගේ සිහිය විකල් විය.

  සටර් වසර විස්සක් පමණ වොෂින්ටන් නගරයේ සැරිසරමින් තමාට සාදාරණයක් ඉටු කරවා ගැනීමට කොන්ග්‍රස් මණ්ඩලය නම්මවා ගැනීමට උත්සහ කලේ ය. වැරහැලි ඇඳගෙන සිටි මෙම මිනිසා සෙනට් මණ්ඩල සභිකයන් පසුපස්සේ ගියේ ය.

 1880 වසන්ත සමයේදී ජෝන්. ඒ. සටර් වොෂින්ටනයේ කුඩා කාමරයක මිය ගියේ ය. මියයන විට මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ පැන්සයක්වත් නැතිව මොහු මිය ගියේ ය. මොහු මිය යන විට බාල වර්ගයේ මිනී පෙට්ටියක් ලබා ගැනීමට තරම්වත් මුදලක් ඉතිරිව තිබුනේ නැත.

වර්තමානයේ සටර්ගේ මිනී වල

Friday, October 7, 2016

හස්ති වලප - 4 කොටස


 පලමු කොටස කියවන්න මෙතනින්
දෙවන කොටස කියවන්න මෙතනින්
තෙවන කොටස කියවන්න මෙතනින්

වර්තමානයේ ඇතු රු.1000 මුදල් නෝට්ටුවට පෙර තිබූ මුදල් නෝට්ටුවේ සිටින්නේ රාජා ඇතා බව ඔබ දන්නවා යැයි සිතමි. එහි රාජා ඇතා සමඟ සිටින්නේ කව්ද? මේ ඒ පිලිබදවයි.


මදු ගසා අලි අල්ලන ඉන්දියානු සම්භවයක් ඇති මුස්ලිම් ජාකතිකයින් පිරිසක් නැගෙනහිර පළාතේ විසූ බව සඳහන්ව ඇත. ඒ අනුව 1925 ජනවාරි මස 5 වෙනි දින රජයේ පත්‍ර අංක 1318 යටතේ රාජා ඇත් පැටවා නැගෙනහිර පළාතේ එරාවුර් වලදී අල්ලාගෙන ඇත්තේ මෙම ඉන්දියානු සම්භවයක් ඇති උම්මාරැ ලෙබ්බේ නැමති මුස්ලිම් ජාතිකයෙකි. ඔහු විසින් ඇත් පැටවුන් අල්ලාගෙන ඇත්තේ දළදා මාලිගාවට පූජා කිරීම සඳහා නොව ඇතුන් අල්ලා විකිණීම ඉතාම ලාභ උපයන ව්‍යාපාරයක්ව තිබූ නිසා බව ඉතාම පැහැදිලි කරැණකි. ඇත් පැටවාගේ අංග ලක්ෂණ දැක රැ 3300 ගෙවා රාජා සහ තවත් ඇත් පැටවෙකු මිලදී ගනු ලැබුවේ මාම්පිටිය දිසාව විසිනි. 1925 දී රැ 3300ක් යනු අති විශාල වටිනාකමකින් යුත් මුදලක් බව අමුතුවෙන් කිව යුතු නැත. 


එයින් උම්මාරැ ලෙබ්බේ නැමැත්තා අධික ලාභයක් ලබන්නට ඇත. 1937 ජුලි මස 31 වෙනිදා රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කරන ලද්දේ ටිකිරිබණ්ඩාර මාම්පිටිය දිසාව ශ්‍රීමතාණන් විසිනි. එසේ නම් රැපියල් දාහේ නෝට්ටුවට රාජා ඇතා සමග යෙදිය යුත්තේ උම්මාරැ ලෙබ්බේ නැමති වයාපාරිකයාද ? නැතිනම් රාජා හස්තියා අධික මුදලකට මිලදී ගෙන වසර ගණනාවක් රැකබලාගෙන ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මාම්පිටිය උතුමාණන්වද යන්න සාධාරණව සිහිබුද්ධියෙන් යුතුව සිතා බලන්න. එය මාම්පිටිය දිසාව උත්තමයා හට සිදුකරණ ලද බලවත් අසාධාරණයක් නොවේද ?



   ඈත අතීතයේ අලි ඇතුන් ඝාතනයට ලක්වූයේ ඔවුන් ගම් වැසියන්ට කරදර සිදුකල අවස්ථාවල පමණි. පෘතුගීසීන් හා ලන්දේසීන් අලි ඇතුන්ව සැලකුවේ රජයට අයත් වස්තූන් ලෙසය. වනගත පෙදෙස්වල තේ වගා කිරීම ආරම්භ කිරීමත් සමඟම ඉංග්‍රීසි ජාතිකයන් අලි ඇතුන්ගේ පරම සතුරන් බවට පත් වෙමින් අලි දඩයම පටන් ගැනීම පිලිකුල් සහගත දුෂ්ට ක්‍රියාවකි. බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් සිය විනෝදය පිණිස අලි සිය දහස් ගණනක් දඩයම් කල බව වැවිලි කරුවන්ගේ දිනපොත්වලින් හෙළිවේ.



  බදුල්ලේ දිසා විනිසුරු ලෙස යටත් විජිත සමයේ සේවය කල මේජර් ටී. ඩබ්ලිව්. රොජර්ස් අලි ඇතුන් 1400ක් මරා දමා ඇති බව පැවසේ. නුවරඑළිය තැපැල් කාර්යාලය පිටුපස තිබෙන ඉංග්‍රීසි ජාතිකයන්ගේ සුසාන භූමියේ ඇති මේජර් රොහර්ස්ගේ මිනීවලට සෑම වර්ෂයකම අකුණු පතිත වන බව පැවසේ. මෙසේ සිදු වන්නේ ඔහු අකුණක් වැදී මියගිය බැවිනි.

මේජර් රොජර්ස්


මේජර් රොජර්ස්ගේ සොහොන

 කෙසේ නමුත් මේජර් රොජර්ස් මෙසේ අලි ඇතුන් මරා දැමුවේ සාමාන්‍ය ජනතාවට අලි ඇතුන්ගෙන් සිදුවන හානිය වලක්වාලීමය යැයි ඇතැම් වාර්ථාවල පැවසේ. මේජර් රොජර්ස්ගේ නියෝග මත ඉදි කරන ලද මාර්ග පහත පරිදි වේ.

1) බදුල්ලේ සිට නුවරඑළිය දක්වා මාර්ගය

2) බදුල්ලේ සිට බිබිල දක්වා මාර්ගය

3) බිබිල සිට මඩකලපුව මාර්ගය

4) බදුල්ල සිට රත්නපුර දක්වා මාර්ගය

5) බදුල්ල සිට වැල්ලවාය දක්වා මාර්ගය

6) වැල්ලවාය සිට හම්බන්තොට දක්වා මාර්ගය


 ඊළඟ කොටහින් හමුවෙමු... අදහස් යෝජනා චෝදනා ඉතා අගේ කොට සලකමි...

මූලාශ්‍ර :

*අරුණ රණවක, හසිත චාමිකර ගුණසිංහ, ශෂිකලන රත්වත්ත, රොෂාන් බෝපිටිය යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු.

*අලි ඇතුන්ගේ ඉතිහාසය ග්‍රන්ථය - මිරැන්ඩෝ ඔබේසේකර

*මව්බිම, ලංකාදීප, සිළුමිණ, ලක්බිම, විජය යන පුවත්පත්වලපලවූ ලිපි.

*නඩෙ ගුරා සංසදයේ පලවූ ලිපි.

*වයලගෙ කාමරේ බ්ලොග් අඩවියේ පලවූ ලිපි.

*පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

*වනජීවී දෙපාර්තුමේන්තුව

*කෝකිල සංදේශය, මයුර සංදේශය

Thursday, October 6, 2016

අපි නොදන්න Fencing - පලමු දිගහැරුම


 මේ කියන්න යන්නේ fencing නොහොත් කඩු හරඹ ක්‍රීඩාව ගැන. ලංකාවට මෙම ක්‍රීඩාව හඳුන්වා දී ඇත්තේ 2008 වසරේදී ය. ලංකාවේ පාසල් වලට මෙම ක්‍රීඩාව හදුන්වා දුන්නේ 2014 වසරේදී ය. පලමුවෙන්ම මෙම ක්‍රීඩාව හදුන්වා දුන් පාසල වන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි. එහි පලමු ෆෙන්සිං කණ්ඩායමට මමත් ඇතුලත් වේ. දෙවෙනියට මෙම ක්‍රීඩාව හදුන්වා දුන් පාසල වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයි.


  මුල් කාලයේ කඩු හරඹ භාවිතා කරන ලද්දේ තම ආත්මාරක්ෂාවට හා යුධ කටයුතු සදහාය. මෙම ලිපියෙන් කඩු හරඹ ක්‍රීඩාව ගැන සාකච්චා කෙරේ. කඩු හරඹ යනු ඔලිම්පික් හි පැර්ණිතම ක්‍රීඩා පහෙන් එකකි. අනෙක් ක්‍රීඩා හතර නම් පිහිනීම, මලල ක්‍රීඩා, ජිම්නාස්ටින් හා බයිසිකල් පැදීම වේ.


 මෙම ක්‍රීඩාවේ කඩු වර්ග තුනක් ඇත. ක්‍රීඩාවේ යෙදෙන කඩුව අනුව තරඟයේ නීති රීති වෙනස් වේ. එම කඩු වර්ග තුන නම් Epee, Foil හා Sabre වේ. මුල්ම කාලයේදී මෙය ආත්මාරක්ෂාව සදහා ස්පාඤ්ඤයේ දී ආරම්භ විය. Treatise On Arms නම් කෘතිය Deago De Valera විසින් 1458 - 1471 අතර කාලයේදී ලියන ලදි. මෙය මෙම ක්‍රීඩාව පිලිබද ලියන ලද දැනට ඇති පැරණිතම කෘතිය ලෙස සැලකේ.

1610 කඩු හරඹ ඉගෙනගනිමින්..


 18 වන ශතවර්ෂයේදී ප්‍රංශයේ පාසල් වල මෙම ක්‍රීඩාව ඉගැන්වීම ආරම්භ කරන ලදි. ස්පාඤ්ඤයේ පාසල් , ප්‍රංශයේ මෙම ක්‍රීඩාව පාසල් වල උගන්නන්න ගත්තායින් පසු පටන් ගත්තේය. Dominico Angelo විසින් 1763 දී ලන්ඩන් හිදී මෙම ක්‍රීඩාව උගන්නන අධ්‍යාපන ආයතනයක් පටන් ගත්තේය. නමුත් මෙහිදී මෙය බොහෝවිට ඉගැන්වූයේ ක්‍රීඩාවක් ලෙසම නොව හමුදා අවශ්‍යතාවන් සදහාය. 1896 දී මෙම ක්‍රීඩාව ඔලිම්පික් වලට එකතු විය.

Dominico Angelo විසින් භාවිතා කරන ලද අත්පොතක කොටසක්.


මෙම ක්‍රීඩාවේ භාවිතා වන කඩු අනුව තරඟයේ නීති රීති වෙනස් වන බව මම ඉහත පවසන ලදි.

FOIL




මෙම කඩුව 500g පමණ ස්කන්ධයකින් යුක්තය. පහර දී ලකුණු ලබා ගත හැක්කේ ඉහත පින්තූරයේ රතු පාටින් දැක්වෙන කොටසට පහර දුන්නහොත් පමණි. මෙම කඩුවේ කෙළවරේ කුඩා බොත්තමක් තිබේ. 5g ක පමණ ස්කන්ධයක් ඒ මත යෙදූ විට එය ක්‍රියාත්මක වේ. ක්‍රිඩකයෙක් ලකුණු ලබා ගැනීමට නම් ප්‍රථිවාදියාට පහර දී එම බොත්තම ක්‍රියාත්මක කර ගත යුතු වේ. කඩුවේ පැත්තක් වැදුනු පමණින් ලකුණු හිමි නොවේ. කඩු වර්ග තුනටම බොහෝ අංගචලන එක සමාන වේ. එහි සැලකිය යුතු තරමින් විශේෂයක් නැත. පහර දෙන ප්‍රදේශ වෙනස් වන නිසාවෙන් කුඩා කුඩා වෙනස්කම් පමණක් සිදුවේ. ක්‍රීඩකයන් දෙදෙනාටම එකවර පහර දිය නොහැක. එක් වරකට පහර දිය හැක්කේ එක් අයෙකුට පමණි. එවෙලේ අනෙකා එම පහරවල් වැලැක්විය යුතුය.

EPEE




 මෙම කඩුව 775g ක පමණ ස්කන්ධයකට හිමිකම් කියයි. උක්ත පින්තූරයේ රතු පැහැති කොටසට එනම් ශරීරයේ ඕනෑම තැනකට පහර දී ලකුණු රැස්කරගත හැක. මෙම කඩුවේද පෙර සදහන් කල ලෙසම කඩුවේ කෙලවරේ බොත්තමක් ඇත. මම භාවිතා කරන්නෙත් මෙම කඩුවයි. ක්‍රීඩකයන් දෙදෙනාටම එකවර පහර දිය හැක.

SABRE




 මෙම කඩුව 500g ක පමණ ස්කන්ධයකින් යුක්තය. ඉහත පින්තූරයේ රතු පැහැයෙන් දැක්වෙන පෙදෙසට පහර දී ලකුණු ලබාගත හැක. මෙම කඩුවේ කෙලවර බොත්තමක් නැත. කඩුවේ පැත්තක් වැදුනත් ලකුණු හිමිවේ.

 ඔබලාගේ අදහස් ඉතා අගේකොට සලකමි...තව කොටසකින් හමුවෙමු...

Saturday, October 1, 2016

හස්ති වලප - 3 කොටස

පලමු කොටස කියවන්න මෙතනින්

දෙවන කොටස කියවන්න මෙතනින්


 ඈත අතිතයේදී සිංහල ප්‍රභූවරු ගජමුතු විවිධ ආභරණ සදහා උපයෝගී කරගන්නා ලදි. මෙම ගජමුතු ආභරණ සදහා භාවිතය ලාංකිකයන්ට දායාද කලේ ඉංග්‍රීසීන් විසිනි. ලංකාවේ ඉහල පෙළේ ප්‍රභූවරයෙක් වූ සොලමන් ක්‍රිස්ටෝෆල් ඔබේසේකර මහමුදලි තුමා ගජමුතු අමුණන ලද හිස්වැසුමක් භාවිතා කරන ලදි. මොහු කිතුණුවෙකි. එනමුත් මොහු සිංහල සංස්කෘතියට තදින්ම ගරු කලේ ය. 1900 සිට 1911 දක්වා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සිංහල ජාතිය සදහ වූ අසුන නියෝජනය කලේ මොහුය. මොහු අලි ඇතුන් සහභාගිවන උත්සව වලට් සහභාගි වූයේ ගජමුතු හිස්වැසුම පැලදගෙන යි. එවිට අලි ඇතුන් ඔහු පසුකර යන විට හොඬවැල උස්සා ආචාර කල බව පැවසේ.

සර් සොලමන් ක්‍රිස්ටෝෆල් ඔබේසේකර මහ මුදලි තුමා


  එකල ලංකාවේ මෙන්ම ලෝකයේ ඉහළ කීර්තියක් ලබා සිටි ප්‍රකට ගත්කතුවරයෙක් වූ ලෙනාඩ් වුල්ෆ් මහතාට මෙම ගජමුතු හිස්වැසුම කෙරේ සිත ගියේය. එමනිසා මෙම ගජමුතු හිස්වැසුම මුදලිතුමා ඔහුට පරිත්‍යාග කලේ ය. එදා අධික මිලැති හිස්වැසුම ලෙනාඩ් වුල්ෆ්ට ප්‍රධානය කලේ මන්දැයි යමෙක් මුදලිතුමාගෙන් ඇසුවේය. එවිට මුදලිතුමාගේ පිලිතුර වූයේ " ගජමුතුවලට වඩා මිතුරුකම වටිනවා " යන්නයි.

ලෙනාඩ් වුල්ෆ් මහතා

කලින් ලිපියක කිව්වා වගේ අලි ඇතුන් බෙදෙන වර්ග දහයේ විස්තර තමා මේ කියන්න යන්නෙ.

කලාවක 

මෙයාලගේ ඇස් ඉතාම අඳුරු පැහැතියි . ඒ වගේම පාද කොටයි . සම තද කළු පාටයි . වලිගය වක් වෙලා පිහිටනවා . ඒ වගේම කකුලේ නිය පොතුත් හොඳට වක් වෙලා පිහිටනවා .

ගංගෙයිය

විශාල හිසක් තියෙනවා මෙයාලට . ඒ වගේම මෙයාලගේ කකුල් හොඩවැල වලිගය තරමක් දිගයි . නියපොතු විශාලයි . ඒ වගේම කකුල් වල යටිපතුල් පළල වැඩි ස්වභාවයක් ගන්නවා .

පයාධර

දිගටි විශාල හිසක් පිහිටනවා මෙයාලට . හොඩය පටන්ගන්න හරිය තරමක් පළලින් වැඩියි . නියපොතු තද කහ පාටක් ගන්නවා . ඒ වගේම මෙයාලගේ සම අළු පාටට හුරු කළු පාටක් වෙනවා .
තම්බ

මෙයාලගේ ඔලුව වැඩිය ලොකු නෑ . ඒ වගේම හොඩය කොටයි පටුයි . කකුල් සිහින් වෙනවා . කන්දෙක ලොකුවට පිහිටනවා . ඒ වගේම ශරීරය තඹ පාටට හුරු කළු පාටක් ගන්නවා මෙයාලගේ .

පිංගල

ලොකු හිසක් තියෙනවා මෙයාලට . හොඩය පටන්ගන්න තැන ගොඩක් විශාලයි . දිගත් නැති කොටත් නැති කකුල් තියෙනවා . ඒ වගේම දිගටි ඇස් දෙකක් මෙයාලට හිමි වෙනවා . 

ගන්ධ

හිස , හොඩය . කකුල් කුඩාවට පිහිටනවා මෙයාලගේ .ඇඟ තද කළු පාටයි වගේම හම තරමක් වැඩිපුර ගොරෝසු වෙනවා .වලිගය නැමිලා නැත්නම් දඟර ගැහිලා තියෙන්න පුළුවන් . ඒ වගේම ඇඟේ ගොඩක් රෝම පිහිටනවා මෙයාලගේ .

මංගල 

හිස හොඩය දල දෙක පාද හතර සහ කන් දෙක විශාලව පිහිටනවා . යටිපතුල වෙන අයට වඩා පළල වෙනවා . ඒ වගේම මහතින් වැඩි ශරීරයක් සහ බිම ගෑවෙන වලිගයක් මේ අයට ලැබෙනවා .

හේමන්ත

තරමක් ඉදිරියට නැවුන ශක්තිමත් හිසක් තියෙනවා මෙයාලට . දිගටි ඇස් වගේම මධ්‍යම ප්‍රමාණයේ හොඩයක් තියෙනවා .ඇඟ සහ කකුල් විශාලයි වගේම මහතයි . වලිගය නැවිලා තියෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . නියපොතු රතු පාටට හුරු වෙනවා .

උපෝසථ  

හිස , කන්දෙක , ශරීරය මධ්‍යම ප්‍රමාණයේ පිහිටනවා . ඒවගේම දිගටි පාද හතරකන් යුක්ත වෙනවා . නියපොතු කහ පාටයි . හොඩය ලිංගය වලිගය කියන තුන බිම ස්පර්ෂ වෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා .

සද්දන්ත

ශරීරය ඉතාම මහතයි . ඒ වගේම ඇස් දිගටියි . කකුල් හතරත් දිගින් වැඩියි . ඇස් දෙක රන් වන් පාටයි . ඒවගේම ශරීරයත් දීප්තිමත් පැහැයක් ගන්නවා . හොඩය , ලිංගය වලිගය කියන තුනම බිම ස්පර්ශ වෙනවා . 

තවත් තොරතුරු සමඟ ඊළඟ කොටහින් හමුවෙමු. ඔබලාගේ අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි. 

මූලාශ්‍ර :

*අරුණ රණවක, හසිත චාමිකර ගුණසිංහ, ශෂිකලන රත්වත්ත, රොෂාන් බෝපිටිය යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු.

*අලි ඇතුන්ගේ ඉතිහාසය ග්‍රන්ථය - මිරැන්ඩෝ ඔබේසේකර

*මව්බිම, ලංකාදීප, සිළුමිණ, ලක්බිම, විජය යන පුවත්පත්වලපලවූ ලිපි.

*නඩෙ ගුරා සංසදයේ පලවූ ලිපි.

*වයලගෙ කාමරේ බ්ලොග් අඩවියේ පලවූ ලිපි.

*පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

*වනජීවී දෙපාර්තුමේන්තුව

*කෝකිල සංදේශය, මයුර සංදේශය


ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...