Thursday, March 19, 2020

විජය රජු හා ලංකාව ජනාවාස වීම ගැන අප්‍රකට ජනකතා

පුරාවෘත්තවලට අනුව ලංකාවේ මුල් ම රජු ලෙසින් සැලකෙන්නේ විජය රජු ය. එයින් ලංකාව ජනාවාස වීම ගැන ද ජනකතා තිබේ. නමුත් මීට පෙර අවධිවල දී ලංකාව ජනාවාස වී, පාලකයන් ද විසූ බව සැබෑ ය. නමුත් මෙම ලිපියෙන් මම උත්සාහ කරන්නේ එය ප්‍රශ්න කිරීමට නොවේ. විජය රජතුමා සහ ලංකාව ජනාවාස වීම හා බැඳුණු අප්‍රකට ජනකතා හා පුරාවෘත්ත කිහිපයක් ගෙනහැර පෑම මෙහි අරමුණ යි. පළමුව අප සැවොම අසා ඇති පුරාවෘත්තයකින් ආරම්භ කරමු.
බෙංගාලයේ වඟු රජුගේ හා ඔරිස්සාවේ කලිඟු කුමරියකගේ දියණිය ගුජරාට දේශයේ ලාල නොහොත් ලාට රට සිංහයෙකු සමග පලා ගියා ය. ඔවුන්ගේ පුත්‍රයා වූ සිංහබාහු කුමාරයා තම මව හා සහෝදරිය සමග සිංහයාව අතහැර මනුෂ්‍ය වාසයකට ගියේ ය. මෙයින් සිංහයා කෝප ගත් අතර අවසානයේ දී සිංහයාව මරන ලද්දේ ඔහුගේ ම පුත්‍රයා වූ සිංහබාහු විසිනි. ඉන්පසු සිංහබාහු කුමාරයා ලාට රට රජකම් කළේ ය. ඔහුට සිටි විජය නම් පුත්‍රයා තම යහළුවන් සමග රටේ නීති කඩකරමින් හැසිරුණු නිසා ඔවුන්ගේ හිස අඩක් මුඩු කර රටින් පිටුවහල් කරන ලදී. ඔවුන් පළමුව ඉන්දියාවේ සුප්පාරක තොටුපලට පැමිණ ඉන්පසු තම්බපණ්ණියට ආවේ ය. විජයාවතරණය සිදු වූයේ බුද්ධ පරිනිර්වාණය වූ දිනයේ දී ය. (මහාවංශය, බෝධිවංශය, රාජරත්නාකාරය, හා සියබස් මල්දම යන කෘතිවලට අනුව විජයාවතරණය බුද්ධ පරිනිර්වාණය වූ දින බව පැවසුවත් රාජාවලියට අනුව එය සිදු වී ඇත්තේ බුදුන් පිරිනිවන් පෑ දිනෙන් සත් දිනකට පසුව යි).
විජය හා කුවේණි (stuffcapital.com)

කුවේණිගේ ළමැඳ පියයුරු තුනක් තිබූ බවත්, ඉන් මැද පියයුර මැකුණු විට ස්වාමියෙකු ලැබෙන බව ඉසිවරුන් විසින් පැවසූ අතර කුවේණියට විජය හමු වූ විට මැද පියයුර මැකී ගියේ ය. (රාජාවලියේ හා කුවේණි අස්නේ මෙය සඳහන් වේ). ඉන්පසු ඔහු කුවේණි නම් යක්ෂණිය ව විවාහ කරගෙන ඇය ලවා අනෙක් යක්ෂ ගෝත්‍රිකයන් ව අල්ලා ගත්තේ ය. පසුව විජය රජු තමාට සුදුසු බිසවක් ඉන්දියාවේ මධුරා පුරයෙන් ගෙන්වා කුවේණියව හා ඒ වන විට විජය රජුගෙන් ඇයට ලැබුණු දරු දෙදෙනාව ද රජ මාළිගයෙන් පන්නා දමන ලදී. කුවේණියව යක්ෂ ගෝත්‍රිකයන් විසින් මරා දැමුණු අතර ඇගේ දරු දෙදෙනාගෙන් වැදි පරපුර ඇති විය. මෙය දැනට විජය රජු සම්බන්ධ ප්‍රකට පුරාවෘත්තයකි.
අප දීපවංශය ගත් විට කුවේණිය පිළිබඳ කතාව එහි සඳහන් නොවේ. ලංකාව ජනාවාස වීම සම්බන්ධ ඉන්දියානු ජනකතාවක මෙම සිංහයා හා කුමරිය සම්බන්ධ කතාව වෙනත් ආකාරයකට දැක්වේ. සිංහයා රටේ කැළඹිලි ඇති කරමින් තම පවුල සෙවූ නිසා රටේ පාලකයෝ සිංහයාව මරන අයෙකුට තෑග්ගක් නියම කරයි. ඒ අනුව සිංහබාහු ඔහුව මරනු ලැබූ නමුත් ඔහුට ත්‍යාගය ලැබෙනු වෙනුවට සිදුකරන්නේ රටින් පිටුවහල් කිරීම යි. ඔහු මැණික් හා රත්‍රන්වලින් ගහන දිවයිනකට යන අතර එම දිවයිනට වස්තුව සොයා එනවුන් මරා ඔවුන්ගේ අඹුවන් තබාගෙන වාසය කරයි. පසුව තරමක් ජනගහනය වැඩි වේගෙන යන විට රජෙක් තෝරාගෙන එම දිවයිනට සිංහලයැ යි නම තබන ලදී.
අජන්තා ලෙන්වල ඇති විජය රජුගේ සිතුවමක්. (wikipedia.org)
දිවයිනට සිංහල යන නම ලැබීම සම්බන්ධව තවත් ජනකතාවක් තිබේ. එක්තරා දිවයිනක වාසය කරන ලද යක්ෂණියන් සමුදුරේ යාත්‍රා කරන නාවිකයන් වසඟයට ගෙන ඔවුන්ව දිවයිනට ගෙන්වා ගනියි. ඉන්දියාවේ සිංහ නම් රජෙකුගේ පුත්‍රයෙක් වූ සිංහල නම් කුමාරයෙක් පන්සියයක් සමග මෙම දිවයිනට පැමිණ යක්ෂණියන්ව විවාහ කර ගත්තේ ය. කලක් ගත වන විට ඔවුන්ට මෙම යක්ෂණියන්ගේ නියම ස්වරූපය දැකගන්නට හැකි වූයෙන් ඔවුන් දිවයිනෙන් පලා ගියෝ ය. නමුත් යක්ෂණියන් නැවත සමුද්‍රයට ගොස් ඔවුන්ව නැවත වසඟ කර ආපසු දිවයිනට රැගෙන ආ නමුත් සිංහල නම්ලත් කුමාරයා ආපසු නොගොස් තම මව් රටට ම ගියේ ය. සිංහල රජුගේ බිරිඳ වූ යක්ෂණියන්ගේ රැජින ඔහු පසුපස ගොස් ඔහුගේ රාජ්‍යයට ගියා ය. එසේ ගිය නමුත් පිය රජු ඇයව නොපිළිගෙන රාජ්‍යයෙන් පන්නා දැමී ය. මෙම යක්ෂ රැජින තම හිතාදර යක්ෂණියන් සමග විත් එම රාජ්‍යයේ රජ වාසලේ සියල්ල ම මරා දමන ලදී. ඉන්පසු සිංහල කුමරා රටේ රජකම ලබාගත්තේ ය. ඔහු පසුව යක්ෂණියන්ව දමනය කර තම පිරිස සමග පෙර කී දිවයින ආක්‍රමණය කර එහි වෙනම ම රාජ්‍යයක් පිහිටු වීය. මෙම රාජ්‍යයේ නම සිංහල ය.
මෙයට ඉතා සමාන කතාන්දරයක් අපට පන්සිය පනස් ජාතක කතා පොතෙන් ලැබේ. ඒ වලාහක ජාතකය ඇසුරෙනුයි. එහි සඳහන් ආකාරයට සිරිවත්ථු පුරයේ සිටි යක්ෂණියන් සමුද්‍රයේ අනතුරට පත් නාවිකයන්ට උපකාර කර දිවයිනට රැගෙන යයි. මොවුන් කැලණියේ සිට නාගදීපය තෙක් සමුද්‍රයේ සැරිසරන ලදී. දිනක් පන්සියයක් වෙළෙන්දන්ගේ සමන්විත නැව් කණ්ඩායමක් අනතුරට ලක් වීමෙන් මෙම යක්ෂණියන් ඔවුන්ට උපකාර කර දිවයිනට රැගෙන යයි. නමුත් තමන් සිටින්නේ යක්ෂණියන් සමග බව දැනගත් ඔවුන් පියාඹන අශ්වයෙක් ලවා දිවයිනෙන් පැන යයි. නමුත් දිවි ගලවා ගත හැකි වන්නේ 250 දෙනෙකුට පමණි. අන් සියලු දෙනාව ම යක්ෂණියන් කා දමන අතර මෙම කතාවේ බෝධිසත්වයන් වන්නේ නැව් කණ්ඩායමේ නායකයා ය.
අජන්තා ලෙන්වල ඇති විජයාවතරණය දැක්වෙන සිතුවමක්. (wikipedia.org)
මෙයින් අපට පෙනී යන්නේ විජය රජු සම්බන්ධ කතාන්දරය සෑදී ඇත්තේ මෙම ජනකතා කාලයත් සමග එකට මිශ්‍ර වීමෙන් බව යි. අවසාන වශයෙන් කීමට ඇත්තේ මේවා සත්‍ය ඉතිහාස කතා ගණයට අයත් නොවන අතර මේවා ජනකතා හා පුරාවෘත්ත පමණක් බව යි.



මූලාශ්‍රයයන්:
  • මහාවංශය
  • රාජාවලිය - ඒ. වී. සුරවීර සංස්කරණය
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය 1 කොටස - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව
  • සංක්ෂිප්ත ලංකා ඉතිහාසය - කොඩ්රිංටන්
  • කුවේණි අස්න
  • පන්සිය පනස් ජාතක කතා පොත
[මෙය වසර දෙකකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. මෙම වෙබ් අඩවියට මවිසින් ලියූ තවත් ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]

Wednesday, March 18, 2020

සෞදියේ ශ්‍රේෂ්ඨතම රජු - ෆයිසාල්

සෞදි පවුල විසින් නිර්මාණය කළ රාජ්‍යය සෞදි අරාබිය ලෙස හැඳින්වේ. ආරම්භක අවධියේ පටන්ම මෙහි පාලනය සිදුවන්නේ රජ පවුලක් මඟිනි. ඉතිහාසය පුරාවට සෞදියේ ශ්‍රේෂ්ඨතම රජු විදිහට සැලකෙන්නේ ෆයිසාල් රජු ය. බොහෝ දෙනාගේ විවේචන මැද සෞදියට නව තාක්ෂණය සහ එරටට සාපේක්ෂ ව විප්ලවකාරී දෑ හඳුන්වා දී ක්‍රියාත්මක කළේ ය. මෙම සියලු දේ නිසා සුප්‍රකට ටයිම් සඟරාව විසින් ෆයිසාල් රජු ව ‘වසරේ මිනිසා’ ලෙස නම් කිරීමට මැළි වූයේ නැත. අවසානයේ ඔහුගේ සියලු කර්තව්‍යයන් නිසා තම පවුලේ සාමාජිකයෙක් විසින් ම ෆයිසාල් රජු ව ඝාතනය කරයි. මේ ඔහුගේ කතාව යි.

මුල්කාලීන ජීවිතය 
ෆයිසාල් බින් අබ්දුලාසිස් උපන්නේ 1906 අප්‍රේල් මස 14 වන දින රියාද් හි දී ය. ඔහු එවකට සෞදි අරාබියේ සිටි රජු වූ අබ්දුලාසිස් රජුගේ තුන්වන පුත්‍රයා විය. අබ්දුලාසිස් රජු 1902 දී රියාද් අල්ලාගැනීමෙන් පසු එහි සිටි ෆයිසාල්ගේ මව ව විවාහ කරගනියි. ඇය 1912 දී එනම්, ෆයිසාල්ගේ කුඩාකල දී ම ඇය මිය යයි. 1919 දී බ්‍රිතාන්‍යය ආණ්ඩුව අබ්දුලාසිස් රජුට ලන්ඩනයට පැමිණීමට ආරාධනා කරයි. නමුත් මේ වන විට රජු රෝගී ව සිටි නිසා රජු ව නියෝජනය කිරීමට යන්නේ ෆයිසාල් කුමරු ය. සෞදි රජ පවුලෙන් බ්‍රිතාන්‍යයට පැමිණි ප්‍රථමයා ලෙස එම ගමනෙන් සනිටුහන් වෙනවා. බ්‍රිතාන්‍යය පාලකයන් හමු වූ පසු ඔහු එතැනින් ප්‍රංශය බලා පිටත් වේ. එම ගමනෙන් ද සෞදි රජ පවුලෙන් ප්‍රංශයට පැමිණි ප්‍රථමයා ලෙස ෆයිසාල් කුමරුගේ නම ඉතිහාසයට එක් වේ.
ෆයිසාල් රජු [Pinterest.com]

මුල්කාලීන අත්දැකීම්

අබ්දුලාසිස් රජුගේ වැඩිමහල් පුත්‍රයන්ගෙන් කෙනෙක් වූ නිසා ඔහුට අරාබියේ පාලනය පිළිබඳ නොයෙක් වගකීම් රජු විසින් පවරන ලදී. 1922 වන විට හේල් ප්‍රදේශය අල්ලාගෙන අසීර් ප්‍රදේශය අල්ලාගැනීමේ කටයුතුවල නිරත වෙමින් පැවතුණි. එම වසරේ දී අබ්දුලාසිස් රජු ෆයිසාල් ව සටන්කරුවන් හයදහසක් සමග අසීර් වෙත යැවූ අතර වසර අවසාන වන විට අසීර් හි සම්පූර්ණ ආධිපත්‍යය ඔවුන් අතට ගැනීමට ෆයිසාල් සමත් විය.
ඉන්පසු ඔහු විසින් හමුදාව මෙහෙයවා තවත් ප්‍රදේශ කිහිපයක් ම අත්පත් කරගන්නා ලදී. 1930 දී ෆයිසාල් ව තම පියා විසින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරයට පත් කළේ ය. (පසුකාලීන ව ෆයිසාල් කුමරු රජ වී මිය යෑමට වසර දෙකකට පෙර දක්වා ම මෙම තනතුර හොබවන ලදී.) මෙම කාලය තුළ ෆයිසාල් කුමරු කිහිප වතාවක් ම යුරෝපයේ රාජ තාන්ත්‍රික සබඳතා තර කිරීමට සංචාරය කළ අතර 1933 දී රුසියාවට ද ගියේ ය.  

ඔටුන්න හිමි කුමාරයා හා අගමැති ලෙස

සාමාන්‍යයෙන් කුමන හෝ රටක රජ පවුලක රජකම හිමිවන්නේ පියාගෙන් වැඩිමහල් පුතාට යි. මෙයින් වෙනස් වූ ක්‍රමයකට රජකම හිමිවන රටවල් නොතිබුනා නොවේ. නමුත් සාමාන්‍ය ක්‍රමය එය යි. සෞදි රජ පවුල මෙයින් බැහැර වූ ක්‍රමයක් අනුගමනය කරයි. එහි දී රජ කෙනෙක් මියගිය පසු රජකම හිමිවන්නේ කාටදැ යි කියා රජ පවුලේ සාමාජිකයන් එක් වී සාකච්ඡා කර වඩා හොඳ පුද්ගලයා තෝරා ගනියි. ඒ අනුව අබ්දුලාසිස් රජතුමාගෙන් පසු රජකම ෆයිසාල්ගේ වැඩිමහල් සහෝදරයා වූ සවුද් හට ලැබුණු අතර ෆයිසාල් ව ඔටුන්න හිමි කුමාරයා බවට නම් කරන ලදී.
සවුද් රජු එතරම් දක්ෂ පාලකයෙක් වූයේ නැත. අනෙක් රාජ්‍යයන් සමග ඇති රාජතාන්ත්‍රික සබඳතා දුර්වල වන ආකාරයේ ක්‍රියාපිළිවෙත් අනුගමනය කළ අතර රියාද් හි රජ පවුලට මාළිගයක් සෑදීම වැනි රටේ දේපළ රජ පවුලේ උන්නතිය උදෙසා පමණක් යොදාගැනීම් ආකාර දෑ කළේ ය. සවුද් රජුගේ මෙම ක්‍රියා කලාපය රටේ ආර්ථිකයට හා රාජ තාන්ත්‍රික සබඳතාවලට අහිතකර ලෙස බලපාවියැ යි සිතා රජ පවුලේ සාමාජිකයන් හා ආගමික නායකයන් විසින් සවුද් රජුට කියා සිටියේ ෆයිසාල් කුමරු ව රටේ අගමැති කරන ලෙස යි. ඒ අනුව 1958 දී ෆයිසාල් කුමරු රටේ අගමැති වූ අතර එනයින් ඔහුගේ බලතල වර්ධනය විය.
ෆයිසාල් රජු එළිසබෙත් රැජිණ සමග (pinterest.com)

සවුද් රජු තමන්ගේ ආර්ථික වැඩපිළිවලට අතගසා ඒවා වළක්වනවා කියා වාද කර ෆයිසාල් කුමරු 1960 දී අගමැති ධූරයෙන් ඉල්ලා අස් විය. නමුත් රජ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත ෆයිසාල් තුළ වූ බැවින් 1962 දී හේ දෙවන වරට අගමැති ධූරයට පත් විය. තමන් රටේ රජතුමා නොවූව ද අගමැති ලෙස රට නව්‍යකරණය කරා යොමු කළේ ය. ඔහු ප්‍රථම වතාවට 1963 දී සෞදියට රූපවාහිනිය හඳුන්වා දුන් අතර රූපවාහිනී විකාශන මධ්‍යස්ථනයක් ද ඇරඹී ය. මෙය රටේ ආගමික නායකයින්ගේ හා බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ නමුත් එයින් ෆයිසාල් කුමරු ව නැවැත්විය හැකි වූයේ නැත. 1961 දී මදීනා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අතහිත ලබා දුන්නේ ය. මීට පෙර අවධිවල දී මෙරටේ කාන්තාවන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබුණේ නැත. ෆයිසාල් කුමරු විසින් ප්‍රථම වතාවට සෞදියේ කාන්තාවන් සඳහා පාසල් නිර්මාණය කළේ ය.
සෞදිය නිර්මාණය වීමටත් පෙර මෙම ජන කණ්ඩායම්වල මූලාරම්භයේ පටන් ම තිබූ දෙයකි වහල් වෙළඳාම. පළමු වතාවට ෆයිසාල් කුමරු විසින් 1962 දී සෞදිය තුළ වහල් වෙළඳාම තහනම් කරන ලදී. බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට එකල වහලුන් 1682 දෙනෙක් නිදහස් කර තිබේ. මෙසේ එක් වහලෙක් නිදහස් කිරීම සඳහා එකල වටිනාකමින් ඇමරිකානු ඩොලර් 2000ක මුදලක් වැය වී තිබේ.

රජතුමා සමග ගැටුම්



මෙකල වන විට සවුද් රජතුමා හා ෆයිසාල් කුමාරයා අතර ඇති මතභේද දරුණු වන්නට ගත්තේ ය. 1963 වසරේ මුල්කාලයේ දී සවුද් රජතුමා තම සෞඛ්‍ය හේතු මත රටින් පිට ව ප්‍රතිකාර ගන්නට ගොස් සිටි කාලය තුළ ෆයිසාල් කුමරු උපරිම ප්‍රයෝජන ගත්තේ ය. ඉහත තනතුරුවල සවුද්ට පක්ෂපාතී ව සිටි අය තනතුරුවලින් නෙරපා ෆයිසාල්ට හිතවත් අය පත්කරන ලදී. ආගමික නායකයන්ගේ ද සහය මේ වන විට ෆයිසාල් දිනාගෙන සිටියේ ය. සවුද් රජතුමා නැවත සෞදියට පැමිණි පසු ෆයිසාල් කුමරු ඔහුට පවසා සිටියේ තමන්ට රාජ්‍ය පාලනය ලබාදෙන බව යි. සවුද් රජතුමා මෙය ප්‍රතික්ෂේප කළ නිසාවෙන් ආරක්ෂක සෙබළු ලවා සවුද් රජු සිටි මාළිගය වටලන්නට විය. ආරක්ෂක අංශයත් මේ වන විට බාර ව සිටියේ ෆයිසාල්ගේ සහෝදරයෙකු වූ අබ්දුල්ලා කුමරු යටතේ ය. අවසානයේ දී ෆයිසාල් කුමරු හට රජකම හිමි වූ අතර සවුද් රජතුමා ව ග්‍රීසියට පිටුවහල් කළේ ය.
ෆයිසාල් රජු ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් සමග [Pinterest.com]

සෞදියේ රජු ලෙස

“සහෝදරවරුනි, සහෝදරයෙක් හා සේවකයෙක් ආකාරයට මා දෙස බලන ලෙස යටහත් පහත් ව අයැද සිටිනවා. රාජකීය බලය ඇත්තේ දෙවියන්ට පමණයි. කිරුළ වන්නේ ස්වර්ගය හා පෘථිවිය යි.” 
මේ 1964 නොවැම්බර් 2 දින ෆයිසාල් කුමරු රජ වී සුළු වේලාවකට පසු පැවැත්වූ කතාවක කුඩා කොටසකි.
හැකි සෑම අවස්ථාවක දී ම පාහේ සෞදියට නවීකරණය ගෙන එන්නට ෆයිසාල් රජු උත්සාහ කළේ ය. පෙර දී සඳහන් කළ ආකාරයට බොහෝ දෙනාගේ විරුද්ධත්වය මැද සෞදියට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ය. ෆයිසාල් හතර වතාවක් විවාහ වූ අතර ඔහුගේ තුර්කි බිරිදගේ (දෙවන වර විවාහය) මඟපෙන්වීම ද සමග සෞදි කාන්තාවන්ට ප්‍රථම වතාවට පාසල් ඇති කළේ ය. එකල උසස් පවුල්වල සෞදි පිරිමින් අධ්‍යාපනය සඳහා පිටරට යෑම සාමාන්‍ය දෙයකි. ෆයිසාල් කුමරු විසින් මෙය අඩපණ කර උසස් පවුල් පිරිමින්ට සෞදිය තුළ ම අධ්‍යාපනය ලැබීමට යොමු කළේ ය.
සෞදිය සමන්විත වූයේ විවිධ ජන කණ්ඩායම්වල එකතුවක් ලෙස යි. නමුත් මෙම ජන කණ්ඩායම්වලට සමාන සැලකුම් ලැබුණේ නැත. ෆයිසාල් රජු මෙම ජන කණ්ඩායම් එක්සත් කළ අතර සමාන සැලකුම් ලබන තත්ත්වයකට ගෙනාවේ ය. නමුත් අවාසනාවකට ෆයිසාල් රජුගෙන් පසු අද දක්වා ම මෙම ජන කොටස්වලට සමාන සැලකුම් නොලැබේ. පෙර දී පැවසූ ආකාරයට ෆයිසාල් රජුට රාජ්‍ය බලය ලබා ගැනීමට ආගමික කණ්ඩායම් උපකාර කළේ ය. නමුත් ඔහුගේ විප්ලවකාරී ක්‍රියාමාර්ගවලට මෙම ආගමික නායකයින් ද විටෙක විරුද්ධ වූ නිසා (කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීම වැනි) ඔවුන්ගේ බලතල ක්‍රමක්‍රමයෙන් නිශේධනය කිරීමට ෆයිසාල් රජු පියවර ගත්තේ ය.
ටයිම් සගරාවේ කවරය (pinterest.com)

තම පියාගේ කාලයේ මෙන් ෆයිසාල් රජු ඇමරිකාව සමග මුල්කාලයේ දී කිට්ටු රාජ තාන්ත්‍රික සබධතාවක් තබා ගත්තේ ය. මොහු සමාජවාදය ප්‍රිය නොකළ අතර ඒ නිසා රුසියාව සමග රාජතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගත්තේ නැත. 1970 දී අබ්දුල් ගමාල් නසාර් මියයාමෙන් අනතුරුව ඊජිප්තුවේ නව ජනාධිපති ලෙස අන්වර් සදාත් පත් විය. ෆයිසාල් රජු ඔහුට කිට්ටු වූ අතර අන්වර් 1973 දී අරාබි ඊශ්‍රායෙල් යුද්ධය දියත් කළේ ය. මෙම යුද්ධයේ දී බටහිර රටවල් ඊශ්‍රායලයට සහයෝගය දැක්වූ නිසා එයට විරුද්ධත්වය පෑමට ෆයිසාල් රජු බටහිර රටවල්වලට තම රටෙන් තෙල් ලබාදීම නතර කළේ ය. 1973 දී ඇතිවූ උග්‍ර තෙල් හිඟයට හේතු වූයේ මෙය යි. මේ නිසා ඔහු අරාබිකරයේ රටවල්වල ගෞරවාදරයට පාත්‍ර විය. 1974 දී ෆයිසාල් රජු ව ටයිම් සඟරාව විසින් ‘වසරේ මිනිසා’ ලෙස නම් කරනු ලබයි.

ඝාතනය

ෆයිසාල් රජු ව ඝාතනය කරන ලද්දේ ඔහුගේ ම බෑණා කෙනෙක් වූ ෆයිසාල් අල් සාවුද් විසිනි. ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය ලද අයෙක් වූ අතර ෆයිසාල්ගේ දේශපාලනයට කැමැත්තක් දැක්වූයේ නැත. 1975 මාර්තු 25 වැනි දා රියාද් නගරයේ පිහිටි රජ මාළිගයට ගිය අල් සාවුද් කුමාරයා තම මාමා වූ ෆයිසාල් රජතුමා හමුවීමට අවශ්‍ය බව කීය. රජතුමා වෙත ඔහු ගෙනයන ලදු ව තම බෑණා හඳුනාගත් ෆයිසාල් රජතුමා ඉස්‌ලාමීය රාජකීයයන්ගේ ඥතිත්ව සම්ප්‍රදායට අනුව සිය බෑණාට සිපාචාර පැවැත්වීමට පහසුවන පරිදි හිස පහත් කළේ ය. එවිට තම ලෝගුව තුළින් පිස්‌තෝලයක්‌ ඇදගත් අල් සාවුද් කුමාරයා රජුගේ මුහුණට දෙවරක් වෙඩි තිබ්බේ ය. එක් උණ්ඩයක් කම්මුල හරහා ගිය අතර අනෙක කනට වැදුණේ ය.
තම මරණ මංචකයේ දී ද ෆයිසාල් රජු පවසා සිටියේ ඔහු ව නොමරණ ලෙස යි. නමුත් අවසානයේ දී ඔහු ව හිස ගසා ඝාතනය කරන ලදී. තමන් ව ඝාතනය කිරීමට මොහු තැත් කරන බව ෆයිසාල් රජු කල්තියා දැනගත්තේ ය. ඝාතකයා ඔහුගේ මව සමග තමන් රජු ව ඝාතනය කිරීමට යන බව පවසා ඇති අතර ඇය එම තොරතුර ෆයිසාල් රජු හට පවසා ඇත. එවිට ෆයිසා රජු පවසා ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත එය නම් එය එසේ ම සිදුවේවි කියා යි.
මෙම ඝාතනය පිටුපස ඇමරිකාව සිටින බව එකල අරාබි පුවත්පත් මඟින් හෙළි කළ අතර, ෆයිසාල් රජු විසින් බටහිර රටවල්වලට සැපයූ තෙල් නැවැත්වීම ඝාතනයට මූලික හේතුවක් වූ බව නොරහසක්. ෆයිසාල් රජුගෙන් පසු ව සිටි පාලකයන් ඔහු විසින් ඇති කරන ලද සමහර ප්‍රතිසංස්කරණ නිශේධනය කළේ ය. සෞදි ඉතිහාසයේ මෙන්ම ලෝක දේශපාලනයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් ෆයිසාල් රජුගේ ජීවිතය මෙතැනින් අවසන් විය.
මූලාශ්‍රයයන්:
  • දිවයින පුවත්පත
  • economist.com
  • bbc.com
  • history.com
  • Youtube හි ඇති වාර්තා වැඩසටහන්


[වසර දෙකකට පෙර Roar වෙබ් අඩවිය සදහා සැකසූ ලිපියකි. මෙම වෙබ් අඩවියේ තවත් මවිසින් ලියී ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]

Sunday, March 15, 2020

සුළඟට මිමිනීම

කෙතරම් වාර ගණනක් මිනිසා ඇවිද යා යුතුද ඔහුට මිනිසා යැයි කීමට පෙර?
කෙතරම් කාලයක් ඔහු සිටිය යුතුද මිනිසා නිදහස් වීමට පෙර?

සැමදාමත් එයට එක පිළිතුරයි ඇත්තේ
ඒ සුළඟට අප මිමිනීමයි

කෙතරම් වාර ගණනක් ඉහළ බැලිය යුතුද මිනිසාට අහස පෙනීමට පෙර?
කෙතරම් කන් ගණනක් ඔහුට තිබිය යුතුද මිනිසාගේ දුක ඇසීමට පෙර?

සැමදාමත් එයට එක පිළිතුරයි ඇත්තේ
ඒ සුළඟට අප මිමිනීමයි

කෙතරම් වාර ගණනක් ඔහුට හිස හැරවිය හැකිද කිසිවක් නොදකින ලෙසට?
කෙතරම් මිනිසුන් ගණනක් මිය යා යුතුද මිනිසුන් නැති බව දැනගැනීමට පෙර?

සැමදාමත් එයට එක පිළිතුරයි ඇත්තේ
ඒ සුළඟට අප මිමිනීමයි 


අර්ථය:


මිනිසෙක්ට ලෝකය හරිහැටි තේරුම් ගත් පුද්ගලයෙක් බවට පත් වීමට කෙතරම් අත්දැකීම් ප්‍රමාණයක් අවශ්‍යද? තමන්ගේ සමාජයේ වහලෙක් ලෙස බොහෝ මිනිසුන් අද සමාජයේ ජීවත් වේ. ඔවුන්ට එයින් නිදහස ලබෙන්නේ කවදා ද?

අහසින් සංකේතවත් වන්නේ නිදහසයි. මෙම නිදහස ලබා ගැනීම උදෙසා මිනිසා කෙතරම් කාලයක් නිදහස උදෙසා සටන් වැදිය යුතුද? තමන්ගේ අසල්වැසියාගේ දුක ඇසුනත් නොඇසුනා මෙන් සිටින මිනිසුන් ගණන අපමණයි. මෙම දුක ඇසීමට මිනිසා කන් කීයක් ලැබෙන තෙක් බලා සිටිනවාද?

යමෙකට කරදරයක් වූ විට එය නොදැක්කා සේ මිනිසාට කෙතරම් කාලයක් සිටිය හැකිද? දිනෙන් දින ඝාතන වැඩි වී අවසන් මිනිසා තෙක් සිටිනවාද මෙඅ ඝාතන නැවැත්වීමට?

සුළඟ විවිධාකාරයෙන් අප අසල සෑම විටම තිබේ. මෙම ප්‍රශ්න වලටත් පිළිතුර ඇත්තේ අප අසලමයි නැතහොත් අප තුලමයි. එම පිළිතුරු නිවැදිව දැකීම පමණයි අවශ්‍ය වන්නේ.




Wednesday, March 11, 2020

බිරිඳකගෙන් ඉල්ලීමක්



පරසතු මල් එකිනෙක අමුණා
මල් දාමයක් පැළදුවත් ඔබ
රාමා කෙනෙකි
දර සෑයට මත ගිය සීතාට

නිවසින් සුර විමනට යාමට සැරසුනු මට
ලැබුනේ සිපිරිගෙයකි ඉන්නට
ඇත්තේ එක ඉල්ලීමකි මගෙන් ඔබට
යන්න අවසර නැවතත් මගේ නිවසට

පුංචි සන්දියේ වැටී
ඇඬූ සැටි මට සිහිවෙයි
සිනහවෙන් මා සනසා
පසුව හැඬූ පියා පතා
ආ හැටි මට දැන් සිහිවෙයි

රෝස මලේ කටු ඇත්තේ
වන බඹරුන් එලවන්නට නම්
ඇයි ඔබ එහි කටු සිඳිමින්
මල් පෙති වලට ඇලුම් කලේ


පරසතු මල් - දිව්‍යලෝකයේ ඇතැයි සැළකෙන මල් විශේෂයක්

ආදරයේ සළකුණක් ලෙස භාවිතා වන රාමා සීතා ආදර කතාවේ අවසානයට රාමා තම බිරිඳ වන සීතාව සැක කරයි. එසේ කරන්නේ තරමක කාලයක් ඇය රාවණාට යටත් ව සිටි නිසයි.

අවසානයේ සීතාට තම පති භක්තිය පෙන්වීමට ගින්දර දල්වන ලද දර සෑයක් මතින් යන ලෙස රාම කුමාරයා අණ කරයි.

පිංතූරය - මාග්‍රට් ලින්ඩ්සි [1726 - 1782 ]


Sunday, March 8, 2020

කෘතිම බුද්ධිය


ග්‍රීක මිත්‍යා කතා වලට අනුව ප්‍රොමිතියස් නම් ටයිටන්වරයා මිනිසාව මවන්නේ මැටියෙන්. සියුස් දෙවියන්ගේ කෙළ පිඩකින් හා ඇතීනා දෙවගනගේ හුස්මෙන් මිනිසා ජීවය ලබනවා. සියලු සැප සැම්පත් වලින් සපිරි ලෝකයක් සියුස් දෙවියන් මිනිසාට සාදා දුන්නත් ඔහු එක් දෙයක් මිනිසාට භාවිතයට අවසර දෙන්නේ නැහැ. ඒ ගින්දර.

වචනාර්ථයෙන් ගතහොත් යන්ත්‍ර සූත්‍ර හා පොදුවේ නව නිර්මාණ කිරීමට හා භයානක සතුන් මෙල්ල කිරීම සදහා භාවිතා වන ගින්දර. මෙම ගින්දර තිබුනහොත් මිනිසාට තාක්ෂණිකව හා ශාරීරිකව ශක්ති සම්පන්න ජීවී විශේෂයක් බවට පත් විය හැකියි. නමුත් මිනිසුන්ට මෙම අවස්ථාව ලබා නොදීම ගැන ප්‍රොමිතියස් සිටියේ කනගාටුවෙන්. දැනුම ලබාගැනීම මිනිසුන්ගේ අයිතියක්. එය ලබා දීම ඔවුන්ගේ නිර්මාපකයන්ගේ වගකීමක්. 

මේ නිසා දිනක් රහසිගතවම ප්‍රොමිතියස් සියුස්ගෙන් ‘ගින්දර’ සොරාගෙන මිනිසුන් වෙත ගොස් ඔවුන්ට ලබා දෙනවා. මෙය දැනගත් සියුස් ප්‍රොමිතියස් ව කන්දකට තබා ගැටගසනවා. දිනපතාම රාජාලියෙක් ඇවිදින් ප්‍රොමිතියස්ගේ අක්මාව ඉරා කෑවත් ඔහු අමරණීය නිසා නැවත අක්මාව වැඩෙනවා. දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවනවා. මෙයයි ඔහුට ලැබුනු දඬුවම.

තවත් ග්‍රීක මිත්‍යා කතාවක එන පැන්ඩෝරා චරිතය ලොව ප්‍රථම මනුෂ්‍ය කාන්තාව වශයෙනුයි හදුන්වන්නේ. දෙවිවරු ඇයව මවන්නේ ලොව සියලු අලංකාර එකතු කරමින් ය. ඇය මිහිතලයට පැමිණෙන විට සියුස් විසින් ඇයට කුඩා පෙට්ටියක් ලබා දෙනවා.

“කවදාවත් මේ පෙට්ටිය විවෘත කරන්න එපා!”

ඒ සියුස් ඇයට ලබා දෙන එකම අවවාදය. නමුත් මිනිසුන්ගේ උපතේ පටන් පැන නගින කුතුහලය නිසා දිනක් පැන්ඩෝරා මෙම කුඩා පෙට්ටිය විවෘත කරනවා. ලෝකයේ සියලු නපුර ඉදින මෙම පෙට්ටිය තුලින් ඉවතට යනවා. නමුත් මේ පෙට්ටිය තුල ඉතිරි වනවා එක් කුඩා සුරංගනාවියක්. ඒ බලාපොරොත්තුව.

දැන් අපි එමු වර්තමානයට. දේවවාදී ආගම් වල කෙසේ කීවත් වර්තමානයේ දැනුමේ හැටියට මිනිසුන් පැවත එන්නේ පරිණාමයේ ප්‍රථිපලයක් ලෙසටයි. කුඩා වානරයාගේ පටන් ගත් මිනිස් සංහතිය නැමැති ගසේ අතු ලෙස ජාති ආගම් ලෙස වෙන්වී අපි ජීවත්වීමු. නමුත් අපි සැවොම එක ගසේ අතු. විද්‍යාත්මකව හෝමෝ සේපියන්වරු ලෙසයි අපව පොත පතේ හදුන්වන්නේ. ගින්දරින් පටන් ගත් තාක්ෂණය අද වන තෙක් පැමිණ තිබෙන්නේ ත්වරණයකිනි. ගින්දරසොයා ගත් මිනිසාට රෝදය නිර්මානයට වසර මිලියන එකහමාරක් පමන ගත වුවත් මෝටර් රථය සොයා ගැනීමෙන් පසු ගුවන් යානය නිපදවීමට මිනිසාට ගියේ වසර දෙසිය පනහකටත් අඩු කාලයකි.

අදින් වසර සියයක් දෙසීයක් ගිය තැන ආපසු හැරී බලන විට මිනිසා විසින් නිර්මානය කල තවත් ජීවී විශේෂයක් සිටිය නොහැකි ද? දැනටමත් එහි මූලික අවධි සියල්ල පසු කර ඇති අතර අපි ඔවුන් රොබෝවරුන් ලෙස හදුන්වමු. නමුත් මොවුන්ට තනිවම සිතීමේ හැකියාව නොහොත් කෘතිම බුද්ධියක් ලබා දිය යුතු ද? නැද්ද? ඔවුන්ට කෘතිම බුද්ධිය ලබා නොදෙන්නේ නම් අපි ආත්මාර්ථකාමී, යුතුකම් ඉටු නොකරන සියුස් කෙනෙක් බවට පත් වේ. එවිට ප්‍රොමිතියස් කෙනෙක් පැමිණ ඔවුන් හට එම අවස්ථාව ලබා දුන්නොත් එය පැන්ඩෝරා පෙට්ටිය විවෘත කලා මෙන් දැන් තිබෙන විනාශය වර්ධනය වේ ද? එවිට අපට ඉතිරි වන්නේ පෙට්ටියේ අවසානයට තිබූ බලාපොරොත්තුව පමණක් වුවහොත් අපි කුමක් කරමු ද?

එසේත් නොමැති නම් ‘කාලය සියල්ල විසඳාවි’ යැයි මනසේ තබාගෙන කාලයට ඉඩ දෙමු ද?



Thursday, March 5, 2020

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [11] පැරණි අවමංගල්‍ය චාරිත්‍ර




කමනි - සර්, ඉස්සර කාලෙ රජ එනෙක් එහෙම මැරුණම අද තියෙනව වගේ චාරිත්‍ර ද කරලා තියෙන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - 

නෑ දරුවො. අද තියෙනවට වඩා හාත්පසින් ම වෙනස්. රැල්ෆ් පීරිස් මහත්තයා ලියාපු සිංහල සමාජ සංවිධානය පොත මෙතන ඉන්න අයගෙන් කියවල තියෙන්නෙ කව් ද?

මෙම පැනයට පන්තියේ කිසිවකුගෙක්වත් ප්‍රථිචාරයක් නොවීය.

ඉස්කෝලෙ මහත්තයා - 

ඔය පුස්තකාලවල් අල හරියට ඒ පොත තියෙනවා. අරගෙන කියවන්න. මේ පොතේ තියෙනවා උඩරට රජ කෙනෙක් මැරුණාම කරපු චාරිත්‍ර ගැන. ඒකෙ තියෙන විදිහට රජ කෙනෙක් මැරුණහම රටේ මිනිස්සුන්ට රජතුමා මැරුණා කියල එකපාරට කියන්නෙ නැහැ. රජතුමා අසනීප වුණා කියලයි කියන්නේ. ඊට පස්සේ ඊළඟට රජ වෙන්න සුදුසු කෙනාව තෝරගන්නවා. එහෙම තෝරගත්තට පස්සේ ඒ පුද්ගලයගේ නිවස ආරක්ෂා කරන්න හේවායින් ව යවනවා. මේත් එක්කම අයෙ රාජ්‍ය අඥාවක් නිකුත් කරනවා රජතුමාට බොහෝම අසාධ්‍යයි කියලා. මේකෙන් රටේ මිනිස්සු තේරුම් ගන්නවා දැන් මේ වෙනකොට රජතුමා මැරිලා කියල.

ඊට පස්සේ අදිකාරම්වරු හැම දිස්ත්‍රික්කයකින් ම එක්කෙනා ගානෙ ගෙන්නලා ඊළඟට රජ වෙන්න ඉන්න පුද්ගලයව පෙන්නනවා. ඊළඟට රජතුමා දළදා මාළිගාවේ පත්තිරිප්පුවට ගිහින් මිනිස්සු ඉදිරියේ පෙනී ඉන්නවා. රජතුමාව දැකපු හැටියේ මිනිස්සු දණ්ඩ නමස්කාරයේ යෙදෙනවා.

ප්‍රසන්න - මෙච්චර දෙයක් වෙනකොට අර මැරිච්ච රජතුමාට මොනව ද වෙන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - 

මේ අතරේ හිටපු රජතුමාගේ මෘත ශරීරය මිනී පෙට්ටියක දාලා රාජකීය සුසාන භූමියට ගෙනියනවා. මේ පිටිපස්සේ රජතුමාගේ බිරින්දෑවරු දරුවෝ නෑදෑයෝ සේරෝම යනවා. ඒ අතරේ හතර දෙනෙක් කර තියාගත්තු පෝරුවක් උඩ ඉන්න කාන්තාවෝ දෙන්නෙක් රජතුමාගේ ශරීරයට සහල් විසික්කරනවා. රාජකීය සුසාන භූමියට ගියාට පස්සේ රජතුමාගේ චිතකයට ගිනි තියෙනවා. මේක ස් අමාන්‍යයෙන් දවස් 11වත් දැල්වෙනවා ඉතින්. ඕකොම ඉවර උනාට පස්සේ ඉතුරු වුනු භෂ්මාවශේෂ කලයක දාලා එක්තරා පුද්ගලයෙක්ට දෙනවා. මේ කෙනා කළු පාටින් මුළු ඇඟම වගත්තු කළු අශ්වයෙක් පිටේ ඉන්න කෙනෙක්. මෙයා කෙලින්ම මේ කලය අරගෙන යන්නේ මහවැලි ගඟට. මහවැලි ගඟ ගාවට ගිහින් ඔරු දෙකකින් හදාපු අගුලකට නැගලා ගඟ මැද්දට ගිහින් කලය අතේ තිබ්බ කිනිස්සකින් කලය තරමක් කඩනවා. ඊට පස්සේ ඒ කලයත් අරන් මහවැලි ගගේ යන්න පුළුවන් උපරිමයට ගිහින් ගග පතුලෙ තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරලා මහවලි ගගෙන් එගොඩට ගිහින් දුවගෙන ඈතට යනවා. ඊට පස්සේ ඔරුවකින් අර කලින් කියාපු සහල් වසිකරපු කාන්තාවෝ දෙන්නයි එයාලව උස්සගෙන ගිය හතර දෙනාවයි ගගෙන් එගොඩට යවලා අපහු කවදාවත් ගගෙන් මෙගොඩට එන්න තහනම් කියල නියෝගයක් කරනවා.

සහන් - හරි අමුතු චාරිත්‍රයක් නේද සර් ඒක?

ඉස්කෝලෙ මහත්තයා - 

චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට කාලෙන් කාලෙට වෙනස් එනවා. ඉස්සර ඊජිප්තුවේ හිටපු මිනිස්සු අමුතු අවමංගල්‍ය චාරිත්‍ර කිහිපයක් ම කරා.

නිසල් - මැරුණට පස්සේ ශරීරය මමීකරණය කලේ එයාලා නේද?

ඉස්කෝලෙ මහත්තයා - 

හරියට හරි. මමීකරණය කරනකොට නහය කඩලා එතනින් කොක්කක් උඩට යවලා මොලය කඩලා ළියට ගන්නවා. ගුද මාර්ගයෙන් බඩවැල්, අක්මාව, වකුගඩු වගේ දේවල් එලියට ගන්නවා. එහෙම අරගෙන වෙනම බදුන් වල දාලා තියෙනවා. හැබැයි මොනම හේතුවකටවත් හදවත එළියට ගන්නෙ නැහැ. හදවත ඇතුලේ තියාගෙනමයි මමීකරනය කරන්නේ. මෙහෙම කරන්න හේතුවක් තිබ්බා. ඒ කාලෙ ඊජිප්තු මිනිස්සු විශ්වාස කරා ස්වර්ගයට යන්න පුලුවන් හදවත පිහාට්ටක් තරම් සැහැල්ලු කෙනෙක්ට විතරයි කියල. මොකද හදවත බර වෙන්නේ ක්‍රෝධය වෛරය වගේ සිතුවිලි හදවතේ තිබ්බොත් කියලයි එයාලා විශ්වාස කලේ.

මේ දේ පෙන්නන්න පිරමීඩ ඇතුලේ චිත්‍ර ඇඳලා තියෙනවා. ඒකේ රා දෙවියෝ තරාදියක එක පැත්තකට පිහාට්ටක් දාලා අනිත් පැත්තට හදවත තියලා කිරනවා. දෙකස් ආන උනේ නැත්නම් ඒත් එක්කම ඉන්න නරියා හදවත කනවා. පිහාටුවේ බරට හදවතේ බර සමාන වුනොත් ස්වර්ගයට යන්න පුලුවන්. දැක්කා නේද අවුරුදු පන්දාහක් විතර පරන චාරිත්‍රයකින් උනත් අපිට අරගන්න දේවල් තියෙනවා. කාටවත් කරදරයක් වෙන්නෙ නැති විදිහට ජීවත් වෙලා හදවත සැහැල්ලුවෙන් තියාගන්න. එතකොට ඔයාලටත් ස්වර්ගයට යන්න පුලුවන් වේවි.



Monday, March 2, 2020

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [10] ගංගානම් ගඟේ මිනී අළු පා කරන්නේ ඇයි?



ප්‍රසන්න - සර්, සාමානයෙන් ගම්වල කෙනෙක් මැරුණම අඟහරුවාදා සිකුරාදා වගේ දවස්වල ආදාහනය කරන්නෙ නෑ නේද?

ඉස්කෝලෙ මහත්තයා - ගම්වල ඈයොන්ගෙ එහෙම සිරිතක් නම් තියෙනවා තමා.

ප්‍රසන්න - ඒත් ඇයි එහෙම කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - 

අදටත් ඉන්දියාවේ සිරිතක් තියෙනවා මනුස්සයෙක් මැරුණහම එයාගෙ මිනී අළු ගංගානම් ගඟේ පා කරනවා. ඉස්සර ඉන්දියාවේ හිටපු නිගන්ටයින් නාන්නේ සතියට දවස් දෙකයි. ඒ අඟහරුවාදටයි සිකුරාදටයි විතරයි. ඉතින් ඒ දවස් වලට ඉන්දියාවේ කාටවත් ගංඟානම් ගඟේ මිනී අළු පා කරන්න තහනම්. ඔන්න ඕක නිසා තමා අඟහරුවාදටයි සිකුරාදටයි මිනී වළදාන්න එපා කියල කියන්නේ.

සහන් - ඉතින් ඒක ලංකාවට අදාල වෙන්නෙ නෑනේ. ඇයි අපිත් ඒක කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - 

මේකනෙ දරුවෝ, අම්මා තාත්තා ආච්චී සීයා පරම්පරාවෙන් එකදිගට පවත්වගෙන ආපු චාරිත්‍ර අපිත් හොයල බලන්නෙ නැතුව කරන්න පුරුදුවෙලා ඉන්නවා. පරම්පරාවෙන් ආපු චාරිත්‍රයක් වුනත් පළක් නැත්නම් අත අරින්න ඕන. 

නිමාලි - එතකොට ඇයි තවමත් ඉන්දියාවෙ මිනිස්සු ගංඟානම් ගඟේ මිනී අළු පා කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - 

හින්දූන් විශ්වාස කරන විදිහට ගංගානම් ගඟ ඉස්සර අහසේ ගමන් කරපු ගංගාවක්. මේ නිසාම මේකට ආකාශ ගංගා කියලත් කියනවා. මේකයි කතාව. ඔන්න හිටියා සාගර කියල රජ කෙනෙක්. මෙයාට ඕන වුනා අශ්වමේධ යාගයක් කරන්න. මොකද කිව්වොතින් හරියට අශ්වමේධ යාගයක් කරන රජතුමාට දිව්‍යලෝකෙ අධිපතිකම ලැබෙනවා කියල කියනවා.

නිසල් - සර්, අශ්වමේධ යාගයක් තියන්නෙ කොහොම ද?

ඉස්කෝලෙ මහත්තයා - 

ගොඩක් වෙලාවට අශ්වමේධ යාග තියෙන්නේ රජකෙනෙක් විශාල සටනක් දිනුවට පස්සෙ. සුදු අශ්වයෙක්ට නිදහසේ රට වටේ යන්න ඉඩ අරිනවා. අශ්වයා පිටිපස්සෙන් රජතුමාගෙ හමුදාවත් යනවා. නිකන් හරි මනුස්සයෙක් මේ අශ්වයාගේ ගමනට බාධා කරනවා කියන්නේ එයා වක්‍රාකාරව රජතුමාට විරුධයි කියන එක. ඉතින් එහෙම උනොත් අර පිටිපස්සෙන් ආපු හමුදාව ඒ මනුස්සයව මරල දානවා. අශ්වයා ඔහොම ඔහොම ගිහිල්ලා යාගය පටන් ගත්තු තැනට ආවට පස්සේ අශ්වයාව මරලා අග්නි දෙවියන්ට බිලි දෙනවා. මේකයි සරලවම අග්වමේධ යාගයක් කියන්නේ.

නිසල් - අශ්වයා කවදා ආපහු පටන් ගත්තු තැනට එන්න ගොඩක් කල් ගියොත්?

ඉස්කෝලෙ මහත්තයා - 

අශ්වයා එනකන් ම යාගය කරන්න සිද්ද වෙනවා. අවුරුදු දොලහක් තිස්සේ මේ යාගය කරපු අවස්ථාත් තියෙනවා. දැන් කතාවට එමුකෝ. සාගර රජතුමාත් මෙහෙම අශ්වමේධ යාගයක් තියනවා. හැබැයි අතරමගදී ඉන්ද්‍ර දෙවියා සාගර රජතුමාගේ සුදු අශ්වයාව හොරකම් කරලා පාතාලේ හංගපු නිසා මේ යාගය සාගර රජතුමාට සම්පූර්ණ කරන්න වුනේ නෑ.

ඉතින් සාගර රජතුමා තමන්ගේ පුත්තු 60,000 යවනවා මේ සුදු අශ්වයාව හොයන්න. අශ්වයාව හොයන්න පාතාලයට යන මේ පුත්තු දකිනවා අශ්වයා ඉන්නවා. ඒ කිට්ටුවෙන්ම කපිල සෘෂිවරයා ඉන්නවා දැකපු මේ පුත්තු හිතනවා අශ්වයාව හොරකම් කළේ එයා කියල. ඉතින් මේ පුත්තු ටික කපිල සෘෂිවරයා හිරිහැර කරන්න ගන්නවා. මේකට කේන්ති ගිය කපිල සෘෂිවරයා තමන්ගෙ ඇස්වලින් ගිනි පිට කරලා සාගර රජතුමාගෙ පුත්තු 60,000 විනාශ කරල දානවා.

ඒ විතරක් නෙමේ ආකාශ ගංගාවේ ජලයෙන් මේ පුත්තුන්ගේ අළු තෙමෙනකන් ස්වර්ගයේ නූපදීවා කියලත් සාපයක් කරනවා. ඉදා ඉදන් මේ පරම්පරාවේ රජවරු තවුස් දම් පුරන්න ගත්තා මහා බ්‍රහ්මයාගෙන් වරමක් ඉල්ලගන්න. ඒ ආකාශ ගංගාව පොළොවට ලබා දෙන්න කියලා. කොහොමහරි භගීරථ කියන රජතුමාගේ තවුස් දම් වලට මහා බ්‍රහ්මයා වරම ලබා දෙනවා. ආකාශ ගංගාව පොළොවට වැටෙනකොට මහා විනාශයක් කරගෙනයි පහළට වැටුනේ. මේ විනාශය නවත්තන්න කියල භගීරථ රජතුමා ඊශ්වර දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා.

ඉතින් ඊශ්වර දෙවියන් අහසින් වැටෙන ගංගාව තමන්ගෙ ජටාව මැද්දෙන් යන්න සලස්වනවා. මේ නිසා ගංගාවේ වේගය අඩුවෙලා මහා විනාශය නැති වෙනවා. මේ ගංගානම් ගගේ වතුර සාගර රජතුමාගෙ පුත්තු 60,000 අළු ත් එක්ක ස්පර්ෂ වුන නිසා ඒ අයට ස්වර්ගයට යන්න පුළුවන් උනාලු. මේ නිසයි අදටත් ඉන්දියාවේ මිනිස්සු තමන්ගෙ ඥාතීන්ව ස්වර්ගයට යවන්න එයාලගේ මිනී අළු ගංගානම් ගගේ පා කරල යවන්නේ. 


ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...