Thursday, October 21, 2021

නමසිය අනූවේ පැය තුනේ ගුවන් ගමන අද පැය හය වුණේ ඇයි?


වසරෙන් වසර විද්‍යාව හා තාක්ෂණය දියුණු වනවාත් සමඟ අප අවට ලෝකය වඩාත් සුවපහසු වඩාත් කාර්යක්ෂම පද්ධති වලින් යුත් එකක් වන බවට පෙනෙන්නට තිබේ. දශකයෙන් දශකය සමාජය පැවතුනු ස්වභාවය සැලකීමේ දී ඒ බව වඩාත් කැපී පෙනේ. උදාහරණයක් ලෙස අසූව අනූව දශක වල පැවති දුම්රිය වලට වඩා ලෝකයේ අද භාවිතා වන දුම්රිය අධිවේගයෙන් ගමන් කරයි. නමුත් සෑම කරුනක් සම්බන්ධයෙන් ම මෙවන් ප්‍රගතියක් නිරීක්ෂණය කළ හැකි ද? අසූව අනූව දශකයේ තිබූ ගුවන් යානා වලට සාපේක්ෂව අද දකින්නට ඇති ගුවන් යානා ගමන් කරන්නේ ඉතා මන්දගාමී ව බව සමහරවිට ඔබ අසා නැතුවා විය හැකියි. විශ්වාස කිරීමට අපහසු වුවත් සත්‍ය එය යි.

1996 වසරේ දී බ්‍රිටිෂ් එයාවේස් සමාගමට අයත් ගුවන් යානයක් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ සිට එංගලන්තයේ ලන්ඩන් නගරය දක්වා යෑමට ගතකලේ පැය දෙකයි මිනිත්තු පනස් තුනක කාලයකි. වර්තමානයේ දී මෙම නගර දෙක අතර ගුවන් ගමනාගමන සඳහා පැය හයකට ආසන්න කාලයක් ගත වේ. එය 1996 දී ගත වූ කාලය මෙන් ආසන්න වශයෙන් දෙගුණයකි. තාක්ෂණය අතින් දිනෙන් දින දියුණු වන ලෝකයක සෑම දෙයක් ම ඉක්මනින් සිදු කිරීමට තාක්ෂණ සොයා ගන්නා කාලයක මෙසේ ගුවන් ගමනාගමනයට එකලට සාපේක්ෂව වැඩි කාලයක් ගත වන්නේ ඇයි? මේ සටහන ඒ ගැන සොයා බැලීමට යි.


උත්ස්වනික වේගය

යම්කිසි වස්තුවක් වාතය තුලින් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කලහොත් එම වේගයන්ට උත්ස්වනික වේග (Supersonic speeds) යැයි කියනු ලැබේ. වාතය තුලින් ශබ්දයේ වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 1235ක් වැනි අගයක් ගනියි. 1970 අවධියේ දී මගී ප්‍රවාහනයට භාවිතා කල කොන්කෝර්ඩ් ගුවන් යානා වල වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 2000ක අගයක් ගත් අතර එය ශබ්දයේ වේගයට වඩා පැයට කිලෝමීටර් 800කට ආසන්න ප්‍රමාණයකින් වැඩිය. එමනිසා එකල මගී ගුවන් යානා ගමන් කලේ උත්ස්වනික වේගයකිනි.

උත්ස්වනික වේගයෙන් ගමන් කල පැරණි මගී ප්‍රවාහන කොන්කෝඩ් යානයක්


උත්ස්වනික වේගයේ ගැටලුව

වේගයෙන් ගමන් කලහොත් ඉතා ඉක්මනින් ගමනාන්තයට ළඟා විය හැකි බව සැබෑය. නමුත් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන විට යානය අවට වායු පීඩයේ ක්ෂණික ඉහළ හා පහළ යාම් ඇති වේ. මේ නිසා එම පෘෂ්ඨයේ පීඩන තරංගයක් (shock wave) ඇතිවේ. මෙම පීඩන තරංගය නිසා අධික ගිගිරුමක් වැනි ශබ්දයක් ඇසෙන අතර එම ගිගිරුම වැනි ශබ්දය උත්ස්වනික ගිගිරුම් (sonic boom) ලෙසින් හැඳින්වේ.

ගුවන් යානයේ අධික වේගය නිසා ඇතිවන පීඩන වෙනස හේතුවෙන් වාතයේ ජල අංශු ඝනීභවනයට ලක්වේ. මේ නිසා යානයේ පිටුපස මීදුමක් වැනි සුදු පැහැති ජල වාෂ්ප වලාවක් සකස් වේ. පොළොව මත සිටින්නෙකුට එය පැහැදිලිව දැකගත හැකියි. නමුත් මගී ගුවන්යානයක මෙම වේගය නිසා ඇතිවන ගැටලුව එය නොවේ. ගැටලුව එමගින් ඇතිවන අධික ගිගිරුම් ශබ්දය යි. මෙය පොළොව මත සිටින කෙනෙකුට වුවද ශ්‍රවණය කල හැකියි. 

මෙවන් වේගයකින් ගුවන් යානයක් ගමන් කරන විට පොළොව මත ගුවන් යානයේ සිට කිලෝමීටර් 80ක පරිධියකින් පහල සිටින මිනිසුන්ට මෙම ගිගිරුම් ශබ්දය ඇසීම නිසා ඔවුන් මහා පරිමාණයෙන් මේ ගැන පැමිණිලි කරන්නට පටන් ගත්තා. මේ හේතුවෙන් මුල දී එයට විසඳුමක් ලෙස ගුවන් යානා ගොඩබිම මතින් යෑම අවම කර සාගරය මතින් යෑමට යෝජනා වී එය ක්‍රියාත්මක විය. නමුත් එය සාර්ථක විසඳුමක් වූයේ නැත. අත්ලාන්තික් සාගරය හරහා එක් ගමනක් සඳහා වර්තමාන මුදලින් ඩොලර් 10,000කට ආසන්න මුදලක් වැය වූ නිසා එවන් ගමනක් මිල අධික විය. එමනිසා ගුවන් ගමනේ මාර්ගය වෙනස් වෙනස් කිරීම අසාර්ථක විසඳුමක් බවට පත් විය.

උත්ස්වනික වේගය නිසා යානය පිටුපස ඇතිවන ජල වාෂ්ප වලාව


ගුවන් යානයේ වේගය සහ ඉන්ධන

තාක්ෂණයේ දියුණුවත් සමඟ ගුවන්යානා වල එංජිමේ කාර්යක්ෂමතාවයත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය. මෙය තවත් ලෙසකින් කිවහොත් වසරින් වසර ඉන්ධන ලීටරයකින් ගමන් කල හැකි දුර ප්‍රමාණය වැඩි විය. නමුත් මෙම කාර්යක්ෂමතාව අත්කරගත හැක්කේ ගුවන්යානයේ වේගය පැයට කිලෝමීටර් 900ක වේගයක් අත්කරගන්නා තෙක් පමණි. ගුවන්යානය ඊට වඩා වේගයක් අත්කරගතහොත් වාතයෙන් එන ප්‍රථිරෝධය වැඩි වීම නිසා ඉන්ධන පරිභෝජනය ද වැඩි වේ. 

අත්ලාන්තික් සාගරය හරහා යන ගමනකට සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 150,000ක් පමණ වැය වේ. ඉන්ධන වල පිරිවැය සමස්ථ ගුවන් යානා ගමනක පිරිවැයෙන් 20%කටත් වැඩි අගයකි. පැයට කිලෝ මීටර් 900ක වේගය ඉක්මවා ගමන් කලහොත් ඉන්ධන වැඩිපුර වැය වේ. ඉන්ධන වැඩිපුර වැය වීම නිසා ගුවන් ගමනක පිරිවැය වැඩි වේ. නැවතත් ගුවන් ටිකට් පතක මිල වැඩිවේ. මේ නිසා පැයට කිලෝමීටර් 2000කට ආසන්න වේගයෙන් ගමන් කල කොන්කෝඩ් යානා වලට 2003 වසරේ දී මගී ප්‍රවාහනයෙන් විශ්‍රාම ගැනීමට සිදු විය. එතැන් පටන් ක්‍රියාත්මක වූයේ ඊට වඩා අඩු වේගයකින් ගමන් කල ගුවන් යානා ය.


ඉන්ධන වල කාර්යක්ෂමතාව නැංවීමට යෝජනාවක්

වැඩියෙන් ඉන්ධන වැය නොකර ගුවන් යානා වේගයෙන් ගමන් කරවීමට ගුවන් යානයේ හැඩය වෙනස් කිරීමෙන් හැකි දැයි මුල් කාලයේ විද්‍යාඥයෝ සොයා බැලුවා. ගුවන් යානයේ තට්ට ගුවන් යානයේ බඳත් සමඟ තිබෙන ආනතිය වැඩි කිරීමෙන් වැඩි ඉන්ධන පිරිවැයක් නොමැතිව යානයේ වේගය වැඩි කල හැකි බවට සොයාගනු ලැබුවා.

නමුත් එසේ කිරීමට නම් ගුවන් යානයේ තට්ටේ දිග පෙරදීට වඩා වැඩි කල යුතුයි. මෙසේ දිග වැඩි කිරීමේ දී ගුවන් යානය නිපදවීමට වැයවන අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ. නැවතත් ගුවන් ගමනක පිරිවැය වැඩි වේ. මේ නිසා ගුවන් යානයක් නමසිය හැත්තෑව අසූව වැනි අවධි වල මෙන් අධික වේගයෙන් ගමන් කරවීම මූල්‍ය පිරිවැයත් සමඟ සසදන විට අසාර්ථක උත්සහයක් විය.


වර්තමානය

වර්තමානයේ දී ගුවන් හමුදා තුල අධික වේගයෙන් ගමන් කරන ගුවන් යානා භාවිතා වුව ද සාමාන්‍ය මගී ප්‍රවාහනයේ දී අධික වේගය, අධික වියදමක් හා අධික ශබ්දයක් ඇතිකරන නිසා එවන් වේගයකින් ගමන් කරන යානා භාවිතා වන්නේ නැහැ.

නමුත් මෑත කාලයේ දී සිදු කරන ලද පර්යේෂණ වලින් ශබ්දයේ වේගයට වඩා ගමන් කරන විට ඇතිවන ගිගිරුම් හඬ අවම කරගත හැකි බව සොයාගෙන තිබේ. ගුවන් යානයේ හැඩය වෙනස් කිරීමෙන් මෙය සිදු කල හැකියි. ගුවන් යානයේ මුහුණත උල් ස්වරූපයෙන් තැනීමෙන් වාතය කපාගෙන යා හැකි අතර එමගින් ඇතිවන උත්ස්වනික තරංග වල ප්‍රමාණය අඩු කරගත හැකියි. එවිට ශබ්දය අඩු වේ. එපමණක් නොව ගුවන් යානයකට තටු යුගලක් වෙනුවට යුගල් දෙකක් ම යොදා ගැනීමෙන් ඇතිවන උත්ස්වනික තරංග කපා හැරිය හැකි බව ද සොයාගෙන තිබේ.

කෙසේ නමුත් මෙම ක්‍රමයන්ගෙන් ගුවන් යානයේ හැඩය වෙනස් කරත් ඒත් සමඟම ගුවන් යානයේ අමුද්‍රව්‍ය සඳහා වන වියඳම වැඩි වන බැවින් ගුවන් ටිකට් පතක වියදම අවම කිරීමට එම නිර්දේශ සමත් නොවේ. මේ නිසා කල හැකි එකම සාර්ථක විසඳුම වන්නේ ගුවන් යානයේ වේගය අඩු කිරීම යි. ඒ නිසයි 1996 දී පැය තුනකින් ගිය ගුවන් ගමන යාමට අද පැය හයක් ගත වන්නේ.

[සැප්තැම්බර් මස 21 වන දින විදුසර සඟරාවට ලියූ ලිපියකි.]

අතිධ්වනි තරංග නිසා ඇතිවන ශබ්දය අවම කල හැකි ගුවන් යානා ආකෘති




Wednesday, October 6, 2021

විශ්වයේ ආරම්භය කියා දුන් පූජකයා

 මිනිස්සු දුරාතීතයේ සිටම ලෝකයේ ආරම්භය සිදු වුනේ කොහොමද කියලා හොයන්න වෙහෙසුනා. තමන් දකින නිරීක්ෂණ වලට පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි තැන ඔවුන් අලංකාර කතාවක් ගෙතුවා. ශිෂ්ටාචාරගත ජනයාත් ලෝකයේ ආරම්භය ගැන විවිධ කතා ගෙතුවා. වර්තමානයේ දී බොහෝ විද්‍යාඥයෝ ලෝකයේ ආරම්භය විදිහට පිළිගන්නේ පිපිරුමකින් ලෝකය ආරම්භ වුනා කියලා. ‘මහා පිපිරුම් වාදය’ කියන්නේ ඒකට. මහා පිපිරුම් වාදය ගැන ඔබ අහලා තිබුනත් මේ සංකල්පය ඉදිරිපත් කල විද්‍යාඥයා ගැන අහලා තියෙනව ද? ඔහු කතෝලික පූජකයෙක්. අද කතාව ඔහු ගැන.

ජෝර්ජ් හෙන්රි ලෙමෙත් නමින් වූ මේ බෙල්ජියම් පූජකයා ගැන බොහෝ දෙනෙක් අසා නැත්තේ සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ තවත් දිගුවක් විදිහටයි. කුඩා ලෙමෙත් ඉපදෙන්නේ කතෝලික පවුලකට. මේ දරුවාට වයස අවුරුදු නමය වෙද්දී ආශාවක් ඇති වෙනවා පූජකයෙක් වෙන්න. ඒ විතරක් නෙමේ විද්‍යාඥයෙක් වීමේ ආශාවකුත් ඔහුට ඒ කාලයේ දීම ඇතිවෙනවා. මේ නිසා පූජකයෙක් ලෙස කටයුතු කරමින් හිටපු අවධියේ දීම ලෙමෙත් විද්‍යාව ඉගෙනීමේ කටයුතු කරනවා. 


නමුත් දෙවන ලෝක යුද්ධ අවධියේ දී හිට්ලර් බෙල්ජියම ආක්‍රමණය කල නිසා ලෙමෙත්ට ඉගෙනීමේ කටයුතු අතරමග නතර කරන්න සිදු වෙනවා. මේ නිසා 1940 දී ලෙමෙත් බෙල්ජියම් හමුදාවට බැඳෙන්න සිදුවෙනවා. ඔහු හමුදාවෙන් ඉවත් වෙන්නේ යුධ වීර පදක්කමක් සහිතවයි. විශ්වය ආරම්භ වුනේ මොන විදිහකින් ද කියලා ලෙමෙත් හිතන්න ගන්නේ මේ කාලයේ දී. තමන් කතෝලික පූජකයෙක් වෙන නිසා තමන්ට උගන්වලා තියෙන ලෝකයේ ආරම්භ කතාව ගැන ජෝර්ජ් හිතන්න පටන් ගන්නවා. 


‘දෙවියන්වහන්සේ එළිය වේවයි කීසේක; එවිට එළිය විය’. 


බයිබලයේ උප්පත්ති පොතේ තමන් ඉගෙන ගත් මේ කතාවෙන් ලෙමෙත් සෑහීමකට පත් වුනේ නැහැ. තමන් රැකීමට බැඳුනු දෙයක අඩුවක් දකින්න පුලුවන් වෙන්නේ විරල මිනිස්සුන්ට විතරයි. මේ නිසා ලෙමෙත් දිගින් දිගටම ලෝකයේ ආරම්භය ගැන අධ්‍යනය කරන්න ගත්තා. මේ අතර එඩ්වින් හබල් නම් විද්‍යාඥයා තමන්ගේ දුරේක්ෂයෙන් හොයාගන්නවා අපි ඉන්න කිරි සයුර නම් මන්දාකිණියට අමතරව තවත් මන්දාකිණි විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා.


ඒ වගේම මේ මන්දාකිණි එක තැන ඉන්නේ නැතිව ගමන් කරනවා කියලත් හබල් කියනවා. තවත් විද්‍යාඥයෙක් වුනු වෙස්ටස් ස්ලයිෆර් හොයාගත්තා මේ මන්දාකිණි වලින් එකක් වන ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය නිල් පැහැතියි කියලා. අනෙක් චක්‍රාවාට රතු පැහැතියි. ඒ වගේම ඔහු තවදුරටත් කිව්වා ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය අපේ චක්‍රාවාටය දෙසට පැමිණෙනවා කියලා. ඔහු මේ නිගමනයට එලබුනේ හරි අපූරු ක්‍රමයකින්. යම් කිසි වස්තුවකින් ආලෝක තරංගයක් ළඟ ඉඳන් නම් එන්නේ ඒ ආලෝක තරංග ඇකිලිලා නිල් පැහැයක් ගන්නවා. දුර ඉඳන් නම් ආලෝක තරංගය එන්නේ ඒ තරංගය ඇදිලා රතු පැහැයක් ගන්නවා. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයේ පැහැය ක්‍රමක්‍රමයෙන් නිල් පැහැය ගන්න නිසා ඒ චක්‍රාවාටය එන්නේ අපේ දිහාවට කියලා ස්ලයිෆර් කිව්වා. අනෙක්වා රතු පැහැයක් ගන්නේ ඒ චක්‍රාවාට අපෙන් ඉවතට යන නිසා.


අපගේ කතා නායකයා වුනු ලෙමෙත් පූජකතුමා මේ නිරීක්ෂණ වලින් නිගමය කලේ වෙනත් දෙයක්. ඔහු කිව්වා චක්‍රාවාට ගමන් කරන්නේ නැහැ. නමුත් විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා. චක්‍රාවාට තියෙන තැන වෙනස් වෙනවා කියලා අපට හිතෙන්නේ විශ්වය ප්‍රසාරණය වෙන නිසා කියලයි ඔහු කිව්වේ. 


ලෙමෙත් මෙම සංකල්පය ඉදිරිපත් කරාම ඒ කාලයේ ගොඩක් විද්‍යාඥයින් මේක විශ්වාස කලේ නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින් පවා විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා විශ්වාස කලේ නැහැ. 1927 වසරේ දී ජෝර්ජ් ප්‍රංශ භාෂාවෙන් තමන්ගේ මෙම සොයාගැනීම් ගැන සඳහන් කරලා පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වුවා. නමුත් කවුරුත් ඒක ගණනකට ගත්තේ නැහැ. ප්‍රංශ භාෂාවෙන් ලිව්ව නිසා ගොඩ දෙනෙක් කියෙව්වෙත් නැහැ.


වසර දෙකකට පස්සේ එඩ්වින් හබල් පර්යේෂන පත්‍රිකාවක් නිකුත් කරනවා විශ්වයේ ප්‍රසාරණය සම්බන්ධව. මේ සොයාගැනීමට ලෝකයම කලබන්න හැකියාව ලැබෙනවා. අවසානයේ දී විශ්වයේ ප්‍රසාරණයට අදාල නියමය නම් කරන්නේ ‘හබල්ගේ නියමය’ කියලා.


හබල් තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව නිකුත් කරලා තවත් වසර දෙකකට පස්සේ ලෙමෙත් 1927 දී එළිදක්වපු තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉංග්‍රීසියෙන් එළිදක්වනවා. විශ්වයේ ප්‍රසාරණ සංකල්පය තමන් මුලින් හොයාගත්තත් ඒකට ගෞරව හබල්ට ලැබුන එක ගැන ලෙමෙත් දුක් වුනේ නැහැ. නඩු දාන්න ගියෙත් නැහැ. තමන්ගේ සගයෙක්ට ලැබුනු ගෞරවය ගැන ඔහු අවංකව සතුටු වුනා.


ලෙමෙත් එතනින් නතර වෙන්නේ නැතුව තමන්ගේ පර්යේෂන කටයුතු දිගටම කරගෙන ගියා. විශ්වය ප්‍රසාරණය වෙනවා නම් විශ්වයට ආරම්භයක් තියෙන්න ඕන කියලා ලෙමෙත් කල්පනා කරා. විශ්වය පටන් ගත්තේ අංශුවක ගැබ් වී තිබුනු ශක්තියක් පුපුරා යාම නිසා කියලා ඔහු කිව්වා. ඔහු මේ සංකල්පය නම් කලේ ආදි කල්පික පරමාණුව නමින්. මේ සංකල්පයටයි පසු කාලයේ මහා පිපිරුම් වාදය කිව්වේ.


මේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමන්ගේ මේ සොයාගැනීම් ගැන බොහෝ තැන්වලදී ලෙමෙත් පූජකතුමා දේශනා කරන්න පටන් ගන්නවා. මේ දේශනා අහපු අයින්ස්ටයින් “විශ්වයේ මැවීම ගැන මම මෙතෙක් අහලා තියෙන ලස්සනම සහ වඩාත් සතුටුදායකම පැහැදිලි කිරීම මෙයයි” කියලා කිව්වා.


ලෙමෙත් 1954 වසරේ දී විශ්වයේ ප්‍රසාරණය සොයාගැනීම නිසාත් 1956 වසරේ දී විශ්වයේ ආරම්භ සංකල්පය ඉදිරිපත් කිරීම නිසාත් නොබෙල් ත්‍යාගයට නම් කරනු ලැබුවත් එය දෙවතාවෙම හිමි වුනේ නැහැ. ලෙමෙත් මියයන්නේ 1966 වසරේ වයස අවු. 71 දී ලියුකේමියා රෝගය වැලදීම නිසා.


හබල් නියමය 2018 වසරේ දී වෙනස් කරනවා හබල් - ලෙමෙත් නියමය කියලා. ලෙමෙත් සමඟ කරට කර වැඩ කල විද්‍යාඥයින්ගේ නම් තරම් ලෙමෙත්ගේ නම ඇහෙන්නේ නැති තරම්. ඔහු තමන්ගේ සොයාගැනීම් ගැන සෙව්වා මිස ප්‍රසිද්ධිය පස්සේ නොයෑම ඒකට හේතුවක් වෙන්න පුලුවන්.


ලෙමෙත් මහා පිපිරුම් වදය ඉදිරිපත් කරාම ඒ කාලයේ පාප්වහන්සේ ඒ සංකල්පය දෙවියන් හා සම්බන්ධ කරන්න උත්සහ ගත්තා. තමන් පූජකයෙක් වුනත් තමන්ගේ මේ විද්‍යාත්මක සොයාගැනීම් ආගමික සංකල්ප සමඟ පටලවන්න එපා කියලා ලෙමෙත් පූජක විද්‍යාඥයා පාප්වහන්සේට කිව්වා.


ලෙමෙත් පාප්වහන්සේට මහා පිපිරුම් වාදය විස්තර කරමින්



Friday, September 10, 2021

රජතුමා හා චාරිත්‍ර

 රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ එක් තැනක සිංහල මිනිස්සු අතර තිබුනු එක් ආප්තෝපදේශයක් ගැන සඳහන් වෙනවා. ‘මහරජුටත්, හිඟන්නාටත් දොස් කියන්නට කිසිවෙක් නැත්තේ ය. කිසිම දෙයකට බිය නොවිමෙන් මහරජු උසස් වෙයි. කිසිම දෙයකට දොස් නොකිය හැකි තරමට අනිකා පහත් වෙයි’ මේ වගේ කියමන් වලින් තේරෙන්නේ ලංකාවේ ඒකාධිපති පාලකයෝ පාලනය කරා කියලා. නමුත් හැම තිස්සෙම ඒක සත්‍ය වෙන්නේ නැහැ. 

ලෝක ඉතිහාසයේ විවිධ කාලවල විවිධ රටවල් තුල ඒකාධිපති රජවරු හමුවෙනවා. ඒ මිම්මෙන් ම ලංකාවේ රජවරු මැනීම සාර්ථක නැහැ. රජතුමා අරගත්තු තීන්දු තීරණ වලට විරුද්ධ වෙන්න හැකියාවක් සමහර කාල තුල ලංකාවේ රාජ සභාවල තිබුනා. මම පොඩි උදාහරණයක් කියන්නම්.

සිංහල ව්‍යවස්ථාවේ රජතුමාට වඩා ඉහළින් තිබුනේ පැවති චාරිත්‍ර. රජතුමා වුනත් ඒ ඒ චාරිත්‍ර වලට යටත් වෙන්න ඕන. ලංකාවේ අවසන් සිංහල රජතුමා විදිහට සැලකෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා. මේ නරේන්ද්‍රසිංහ රජතුමා දවසක් විසුවේ පනික්කියා නම් බෙරවායෙක්ට කබායක් ලබා දෙනවා. ලංකාවේ කුල ක්‍රමය අනුව බෙරවා කුලය සැලකෙන්නේ පහත් කුලයක් විදිහට. ඒ නිසා බෙරවා කුලයේ අයට උඩුකය වහගන්න ඇඳුම් ඇඳීම තහනම්.

නමුත් තමන්ට මේ කබාය ලබාදුන්නේ රටේ රජතුමා නිසා බෙරවා කුලයේ පනික්කියා බය නැතුව මේ කබාය ඇඳගන්නවා. තමන්ගේ කුලයේ අයට උඩුකය වැසීම තහනම් වුනත් රජතුමා ම මේ කබාය ලබාදුන්නු නිසා මොකට බයවෙනවද කියලා හිතෙන්න ඇති. නමුත් අවාසනාවකට මේ පනික්කියා කබාය පැළඳගෙන ඉන්නවා දකිනවා රම්මොලක මහ නිලමේ. මේ මහ නිලමේ පනික්කියාගේ මේ කබාය ඇඳගෙන ඉද්දිම ඉරා දානවා. ඊට පස්සේ ඔහුව සිරගත කරනවා.

ඊට පස්සේ එතැනින් නතර වෙන්නේ නැහැ. මුලින් ම උඩරට චාරිත්‍ර කඩ කරලා බෙරවා කුලයේ පනික්කියාට කබාය ලබාදුන්නේ රජතුමා. මේ නිසා මහ අදිකාරම් ඇතුලු අනෙක් ප්‍රධානීන් රජතුමාට දඬුවමක් දෙන්න තීරණය කරනවා. ඒක දඩයක්. රජතුමා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන නැවතත් ඒ මුදල් ම රාජ්‍ය භාණ්ඩාගාරයට දැම්මා නම් ඒක දඩයක් වෙන්නෙත් නෑනේ. මේ නිසා ඒ දඩය මහ දේවාලයට ගෙවිය යුතුයි කියලා තීන්දු වෙනවා.

රජතුමාට වඩා රටේ චාරිත්‍ර උසස් වූ බව කියන තවත් උදාහරණයක් තියෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රජකමට පත්වෙනකොට ඔහු කුඩා අවධියේ හිටියේ. ඒ නිසා රාජ්‍ය පාලන කටයුතු වලට ඔහුගේ පියා වන නරේනප්පා ඇඟිලි ගැසීම් කරලා තියෙනවා. රාජ නියෝගයකින් උඩරටින් එළවපු මිෂනාරින්ව නැවත උඩරටට ගෙන ඒම සහ එවකට මහ අදිකාරම්ට බැන වැදීම වගේ කාරණා නිසා උඩරට ප්‍රධානීන් මේ නරේනප්පා ගැන බොහොම කේන්තියෙන් හිටියේ.

දවසක් ඇසල පෙරහැර ඉවරවෙලා මේ ප්‍රධානීන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගාවට ගිහින් කියනවා රටේ චාරිත්‍ර රකින්න බැරිනම් ඒවා රකින්න පුලුවන් වෙන රජකෙනෙක් පත් කරගන්නම් කියලා. මේක එක්තරා ආකාරයක තර්ජනයක්. මේ තර්ජනය නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ තාත්තට අවවාද කරා කියලා කියනවා.

මේවා අපි වර්තමානයට ඈඳන්න පුලුවන්. ජනාධිපති කියලා තනතුරක් තිබුනත් ඒ තනතුර ලංකාවේ ව්‍යවස්ථාවට යටයි. ඒ වගේම තමා ඉස්සර රජ තනතුරටත් ඉහළින් රටේ චාරිත්‍ර තිබුනා. 

රජකෙනෙක් තමන්ගේ රාජ සභාව කියන දේට ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. මේ රාජ සභාවේ තීරණ නොසලකා හරින්නත් රජතුමාට හැකියාවක් තියෙනවා. නැතුව නෙමේ. නමුත් උඩරට නීති වලට අනුව නම් රාජ සභාවේ ඇමතිවරු ඒකමතිකව ගත්ත තීරණයට විරුද්ධ නොවීම රජතුමාගේත් වගකීමක්. 

[ T.F. Simon නම් චිත්‍ර ශිල්පියා විසින් 1920 අවධියේ දී 'බෞද්ධ සිද්ධස්ථායක් ඇතුලත' ලෙසින් එළිදැක්වූ සිතුවම පහත දැක්වේ . ]



Saturday, September 4, 2021

ඉපදීම (කෙටි කතාව)

 මොර සූරන වැස්ස යැයි කුඩා කල සිංහල පොතේ කියෙව්වද එය දැක්කේ අද ය. අධික වර්ෂාව නිසා ලඟ සිටින පුද්ගලයාවත් පෙනෙන්නේ නැත. එතරම් ධාරානිපාත වර්ෂාවක් අප හමුවේ තිබේ. මම පාසල් ශාලාවට වී වැස්ස පහව යන තුරු බලා සිටියේ ය. ඒ අතර කවුරුන් හෝ මහ වැස්සේ ම ගස් අතරින් මේ දෙසට එන බව මට දකින්නට ලැබුණි. ඒ කවුරුන් දැයි හරිහැටි කිව නොහැකි වුවත් මේ වැස්සේ ම කුඩයක්වත් නොමැතිව මේ දෙසට එන්නේ කුමක් හෝ වැදගත් කාරණාවක් නිසා විය යුතුයි.


“අනේ පුතේ විගහට එන්නකෝ දුවට අමාරුයි. දැන්ම ම ඉස්පිරිතාලේ අරගෙන යන්න වෙයි” යැයි කීවේ ආයා අත්තම්මා ය. මේ ගමේ සිටින පවුල් දහය පහළොවෙන් කාගෙත් කරදරයක් වූ විට පළමුවෙන් ම එළිබහින්නේ ඇය යි. ඇයගේ ලේලිය ගැබිණි මවක් වන නිසා ඇය පැමිණි කාරණය මම වහා තේරුම් ගත්තෙමි.


“කලබල වෙන්න එපා අත්තම්මේ මම එන්නන්. මම සිරිල්වත් කතා කරගෙන එන්නන්. අපිට තනියම කන්දෙන් පහල බහින්න බැහැනේ”


“බුදු බව අත්වෙනවා පුතේ.. මගේ දුවට බොහොම අමාරුයි අනේ ඉක්මනට එන්න” 


වර්ෂාව නිසා මුහුණ වැසි ජලයෙන් තෙමී ගිය ද ඇයගේ කඳුළු හැංගුනේ නැත.


“අත්තම්මේ මේ කුඩෙත් අරගෙන දුව ගාවට යන්න. මම එන්නන්”


අත්තම්මා කුඩෙත් රැගෙන කලබලයෙන් දිව ගිය ද ඇයට කුඩය ඉහළ ගැනීමට නිච්චියක් වූයේ නැත. ඇයට දැන් අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් තම දුවව ඉස්පිරිතාලයට රැගෙන යාම යි. දුව හත් මසක දරු ගැබක් ඇති ගැබිණියකි. ඇයව කන්දෙන් පහල පිහිටි ඉස්පිරිතාලයේ නැවැත්වීම ගැන ගිය සුමානේ අත්තම්මා අපත් සමඟ කතා කල ද මේ වර්ෂාව නිසා එය කල් ගියේ ය. මේ ගමේ ඉස්පිරිතාලයක් තියා හදිස්සියකට තුවාලයක් වූ විට බෙහෙත් දමන්නටත් තැනක් නැත. දැන් අවශ්‍යතාව ගිනි පෙත්තටම නැග අවසන් ය.


මම සිරිල්වත් තව කොල්ලෝ දෙදෙනෙක්වත් කතා කරගෙන ආයා අත්තම්මාගේ නිවසට දිව ගියෙමි. ඇය අප එනතුරු කටු මැටි නිවසේ කකුලේ ඇඟිලි වලින් ඉස්සි ඉස්සී බලා සිටියා ය. 


“මහත්තයෝ දුවට ඇවිදගන්න අමාරුයි.. දැන් මොකද කරන්නේ?” අප නිවසට ඇතුලු වත්ම අත්තම්මා පවසා සිටියා ය. ඒ අතර මහ වැස්සේ ශබ්දය පරයා යමින් නිවස තුලින් දුව වේදනාවෙන් කෑ ගසන ශබ්දය අපට ඇසේ.


“තවත් බලන් ඉන්න බෑනේ. අපි මෙයාව උස්සගෙන යන්නම්. දුවව රෙද්දකින් හොඳට පොරවන්න” යැයි කී සිරිල් අපව කැඳවගෙන නිවස තුලට ගොස් ඇයව ඔසවා ගත්තේ ය.


ඇයවත් රැගෙන අපි මහ වැස්සේ කන්දෙන් පහලට යාමට පිටත් වුනෙමු. දුෂ්කර ම කාර්යය එය යි. අප දැන් සිටින්නේ උඩගල දෙබොක්ක ග්‍රාමයේ ය. පහල ඇති උඩත්තව ගමට යාමට නම් කැලයක් මැද්දෙන් කිලෝමීටර් හතක පමණ කන්දකින් පහලට යා යුතු වේ. දැන් අපට එය සිදු කිරීමට ඇත්තේ මහ වැස්සක් අතරතුර යි. ඇරත් දැන් දැන් අඳුරත් වැටීගෙන එයි. අලින් නිතර නිතර ගැවසෙන ප්‍රදේශයක් බැවින් හවය හය පසු වූ විට කිසිවෙක් නිවසින් බැහැර වන්නේ නැත.


අත්තම්මාගේ පුතත් නැති වූයේ රෑක කන්ද පහලට යෑමට ගොස් අලියෙක්ගේ පහර කෑමට ලක් වීමෙනි. ඒ මාස හතරකට පමණ පෙර ය.


“පරිස්සමෙන් ඔතන බෑවුමක් තියෙන්නේ” ඇයව ඔසවාගෙන සිටි සිරිල් කීය. සතිපතා කන්දෙන් එහාට මෙහාට ගොස් සිරිල් හොඳ පුරුදුකාරයෙක් වුවත් අඳුරත් වැස්සත් ඔසවාගෙන සිටි ගැබිණියත් නිසා මෙය අතිෂය අපහසු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.


ගමනේ ටික දොහක් ගිය විට අත්තම්මා මට කතා කරමින් “පුතේ මට රිපෝට් කාඩ් ටික ගේන්න අමතක වුනානේ. මම ගිහින් ඉක්මනට අරගෙන එන්නන්” යැයි කීවා ය.


“ඕක ඕන්නෑ අත්තම්මේ දැන් ඔයා තනියෙන් යන්න එපා”


“නෑ නෑ මම විගහට ගිහින් එන්නන් ඔයාලා යන්න”


“එක්කෝ මට කියන්න තියෙන තැන මම යන්නන්”


“ඔයා මගේ දුව ගාවින් ඉන්න. සිරිල්ටත් අමාරු ඇතිනේ. ඔයාලා මාරුවෙන් මාරුවට උස්සගෙන යන්න. මම ගිහින් එන්නන්” යැයි කියූ ඈ මට කිසිවක් කීමට ඉඩ නොදී නැවත කන්ද නැග අපට නොපෙනී ගියා ය.


වැස්ස නිසා අඩි පාර ලිස්සෙන සුළු ය. අප පස් දෙනා හීන් සීරුවෙන් අඩිය තබා කන්ද පහලට ගියේ අයියානායක දෙවියන්ට කන්නලව් කරමින් ය. ඒ අතර විටින් විට අලින්ගේ කුංචනාදය ද අපට ඇසෙයි. 


අඳුර විසින් කැලෑව වසා ගනිද්දිම අපිට නිරුපද්‍රිතව පහල ගමට ඒමට හැකියාව ලැබුනෙමු. ගමේ ත්‍රීවීල් එකක සිරිල් ඇයව ඉස්පිරිතාලය එක්කරගෙන ගියේ ය.


මම ඉස්පිරිතාලයට යන විට එළිය වැටී තිබුණි. ඉතා සතුටින් අලුත උපන් දරුවාටයි අම්මාටයි අවශ්‍ය කලමනා රැගෙන මම වාට්ටුව දෙසට ගියෙමි. වාට්ටුව ඉදිරියේ පුටුවක ඉඳගෙන ඔලුව නමාගෙන සිටි සිරිල් මා එනවා දැක නැගිට්ටේ ය.


“ළමයා හම්බුනාද මාමේ?” මම සිනාමුසු මුහුණින් ඔහු වෙත දිව යමින් අසා සිටියෙමි.


“ළමයා හම්බුනා. පුතෙක්. නිලේකා නැතිවුනා බං.” සිරිල් මගේ පිටට තට්ටුවක් දමා වාට්ටුවෙන් එළියට ගියේ ය.


කරන්නේ කුමක් දැයි කියන්නේ කුමක් දැයි නොතේරුනු මම එතැනම ඉඳ ගත්තෙමි. ඒ අතර නිලේකාව බලන්නටැයි කියා උඩහා ගමේ දෙදෙනෙක් පැමිණියේ ය.


“ඊයේ රෑ ආයා අත්තම්මා ඇවිත් කිව්වා දුවට අමාරුවෙලා මෙහාට ගෙනාවා කියලා. දුවට කොහොම ද?”


“නැන්දා නැතිවුනා මාමේ. පුතෙක් ලැබුනා.”


“දෙයියනේ මොන වින්නැහියක්ද මේ. ආයා අත්තම්මා දුකින් ඇත්තේ. කෝ එයා?”


“ඇයි අත්තම්මා ඔයාලත් එක්ක ආවේ නැද්ද?”


“නැහැ, අපිත් එක්ක ආවේ නැහැ. අපි ඊයේ රෑ එපා කියද්දිමයි කඩදහි වගයක් පපුවට තුරුල් කරගෙන අර මහ වැස්සේ කන්ද පහලට බැස්සේ”





Tuesday, August 31, 2021

මෙතෙක් බිහිවූ සාර්ථකම මුහුදු මංකොල්ලකරුවා


ඔබ පයිරට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපටය නරඹා තිබෙනවා ද? එසේ නම් පහත පින්තූරයේ සිටින චීන කාන්තාව දැක ඇතුවාට සැක නැත. මෙම චිත්‍රපටය ලෝක ඉතිහාසය පුරා විවිධ කාලවල දී සිටි සැබෑ චරිත යොදා නිමවා ඇති අතර පහත පින්තූරයේ සිටින චීන මුහුදු මංකොල්ලකාරියත් ලෝක ඉතිහාසයේ සැබෑවට හමුවන චරිතයක්. ඇය එසේ මෙසේ චරිතයක් නම් නොවේ. 

බ්ලැක් බියර්ඩ් සහ හෙන්රි මෝගන් වැනි ප්‍රකට මුහුදු මංකොල්ලකරුවෝ තම උච්චතම අවස්ථාවේ දී නැව් දහයක් හා මිනිසුන් සියගණනක් පාලනය කල බව සඳහන් වේ. නමුත් ඇය තම උච්චතම අවස්ථාවේ දී නැව් 1800ක සංවිධානයකට නායකත්වය ලබා දුන්නා. ඇයව සැලකෙන්නේ එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථක ම මුහුදු කොල්ලකාරිය ලෙසට යි.

චීනයේ මුහුදු මංකොල්ලකරුවෝ අතර සංවිධානයක් තිබුනා. මෙහි ආරම්භක නායකයා වූයේ චෙන්ග්. මුහුදු මංකොල්ලකරුවන් 70,000ක් හා නැව් 1,200ක් සහිත වූ මෙම සංවිධානය එකල ආසියාවේ තිබූ විශාලත ම මුහුදු මංකොල්ලකරුවන්ගේ සංවිධානය බවට පත් වුනා. මෙම මංකොල්ලකරුවන්ගේ සංවිධානය ඉතා සාර්ථකව ගම් බිම් බිය වද්දමින් රජයේ නැව් වලට පහර දෙමින් මුදල් රැස් කිරීමේ කටයුත්තේ නියැලුනා. නමුත් 1803 වසරේ දී මුහුදේ යාත්‍රා කරමින් සිටිය දී සුළි සුළඟකට හසු වී මෙම සංවිධානයේ නායකයා වූ චෙන්ග් මිය යනවා.

‘මෙතරම් විශාල සංවිධානයක ඊළඟ ප්‍රධාන නායකයා වන්නේ කව් ද?’ යන්න මෙම සංවිධානයේ සිටි අනෙකුත් නායකයෝ හය දෙනාට ප්‍රශ්නයක් වුනා.

ඊළඟ නායකයා කව්දැ යි යන්න සාකච්ඡා අතරතුර දී පළමුවෙන් ඒ සඳහා ඉදිරිපත් වූයේ කාන්තාවක්. ඇයව චෙන්ග් යට් සාඕ ලෙසත් සමහර තැන් වල ඇයව චින්ග් ෂී ලෙසිනුත් හදුන්වනවා. ඇය කලින් නායකයා වූ චෙන්ග්ගේ බිරිඳ. චෙන්ග් මුහුදු මංකොල්ලකාරයෙක් ලෙසින් මුදල් රැස් කිරීමේ කටයුත්තේ නියැලුනු අතරතුර ඔහුගේ මුදල් පරිපාලනය හා ව්‍යාපාර කටයුතු පාලනය කලේ ඔහුගේ බිරිඳ යි. 

කෙසේ හෝ තියුණු උණුසුම් සාකච්ඡා වල අතුරු ඵලයක් ලෙසට චින්ග් ෂී මුහුදු මංකොල්ලකරුවන්ගේ සංගමයේ ප්‍රධාන නායිකාව ලෙසින් පත් වෙනවා. සංගමයේ සිටි එකම කාන්තා නායිකාව ඇය යි. තම ස්වාමියාගේ මරණයත් සමඟ මංකොල්ලකරුවන් අතර විසිරී තිබූ පාලනය සංවිධානාත්මක පාලනයක් බවට පත් කිරීමට ඇයට හැකි වෙනවා. තමන් සංගමයේ ප්‍රධානියා බවට ඒත්තු ගැන්වීමට ඇය නිවුනු හා දරුණු ක්‍රම බොහොමයක් භාවිතා කරා.

සංවිධානයේ නමින් මුහුදු මංකොල්ලකරණයේ යෙදෙන සෑම නැවකින් ම ලැබෙන ආදායම සංවිධානයේ පොදු විශ්වාසවන්ත අරමුදලකට ලබා දිය යුතු බව ඇය කියා සිටියා. මෙම ආදායමෙන් 20%ක් නැවේ කපිතාන්ට ලැබෙන අතර ඉතිරි 80% සංවිධානයේ පොදු අරමුදලට ලබා දිය යුතු වුනා. එම 80%න් නැව් නඩත්තුවත් අනෙකුත් මංකොල්ලකරුවන්ට පඩි ගෙවීමත් සිදු කෙරුණා. මුල දී නම් මෙම යෝජනාවට බොහෝ දෙනෙක් අකමැති වූ නමුත් විරුද්ධ වූවන් සංවිධානයෙන් නෙරපීමෙන් හා මරණ දඬුවම ලබා දීම නිසා මෙම නීතියට විරුද්ධ වීම කෙටි කලකින් නැවතුනා.  

චින්ග් ෂී එතැනින් නැවතුනේ නැහැ. ඇය සංවිධානයට අලුතින් නීති පද්ධතියක් සැකසුවා. එම නීති අතර අල්ලාගත් සිරකරුවෙක් දූෂනය කිරීම, පොදු අරමුදලින් සොරකම් කිරීම හා අවසරයක් නොමැතිව ගොඩබිමට යෑමට දඬුවම මරණය බව එහි සඳහන්ව තිබුනා. මෙම නීති රීතී නිසා තනි සංවිධානයක් ලෙසින් මුහුදු මංකොල්ලකරනයේ යෙදීම ඔවුනට වඩා ඵලදායී බව වැටහී ගියා.

එපමණක් නොව ඇය විවිධ නගර වල හා ගම් වල මූල්‍යමය ආයතන පිහිටුවීමට කටයුතු කරා. මෙම මූල්‍යමය ආයතන වලින් ඇයගේ සංවිධානයේ සිටින ඕනෑ ම සාමාජිකයෙක්ට ගොඩබිම තුල දී මූල්‍යමය ආරක්ෂාවක් ලැබුනා. මෙය එක්තරා ආකාරයක රාජ්‍යයක් තුල පැවති රාජ්‍යයක් ලෙසින් ද අර්ථ දැක්වීමට පුළුවන්.

ඇය කෙතරම් දක්ෂ නායිකාවක් ද පවසනවා නම් වරායක් බේරා ගැනීමට ඇමරිකානු නැව් පහක් පරාජයට පත් කිරීමත්, පෘතුගීසි නැවක් අල්ලා ගැනීමත් තායිලන්තයෙන් වූ ආක්‍රමණයක් වැලැක්වීමටත් ඇයට හැකියාව ලැබුනා එක් දිනක් තුල. 

වැඩි කලක් යාමට පෙර ඇයට සංවිධානයේ අභන්තර ආරවුලක් හේතුවෙන් ඇයගේ සංවිධානයේ සිටි තවත් නාවික කණ්ඩායමක් සමඟ සටන් වැදීමට සිදුවුනා. මේ හේතුවෙන් එම කලාපයේ ඇතිවූ නිරන්තර ගැටුම් නිසා වෙහෙසට පත් වූ ඇය එමගින් සිදුවූ විනාශය දුටු නිසා චීන රජයට යටත් වීමට තීරණය කරා. ඒ 1810 වසරේ. නමුත් ඒ ඇයගේ ම කොන්දේසි මත. සංවිධානයේ සාමාජිකයන්ට සමාව දිය යුතු බවත් මුදල් රාජ සන්තක නොකල යුතු බවත් ඇය කියා සිටියා. ඇයත් සමග සටන් කර කෙදිනකවත් ඇයව අල්ලාගත නොහැකි බව තේරුම් ගත් චීන රජය ඇයගේ කොන්දේසි වලට එකඟ වී ඇයගේ යටත් භාවය පිළිගත්තා.

ඇය තම ඉතිරි කාලය තමන් උපයාගත් ධනය භාවිතා කර සතුටින් කාලය ගත කරා. අවසානයේ දී වයස අවුරුදු 69 දී මෙතෙක් සිටි සාර්ථකම මුහුදු මංකොල්ලකාරිය වෙමින් ඇය සාමකාමීව මියගියේ සාමාන්‍ය මුහුදු මංකොල්ලකරුවෙක්ට හිමි පොදු අවසානය ප්‍රථික්ෂේප කරමින්.



Friday, August 27, 2021

හේඩ්‍රියන්ගේ ආදරය


පහත දැක්වෙන්නේ 1894 වසරේ දී ග්‍රීසියේ දී ගන්නා ලද වර්ණ ගැන්වූ ඡායාරූපයකි. මෙහි තිබෙන්නේ කලක් රෝම වැසියන්ගේ ගෞරවයටත් තවත් කලක ගැරහීමටත් ලක්වූ රෝම දෙවි කෙනෙක්ගේ පිළිමයකි. මෙම දෙවියා නමින් ‘ඇන්ටින්‍යුස්’ ලෙසින් හැදින්වේ.

දෙවි කෙනෙක් ලෙසින් හැදින්වුව ද මොහු දෙවි කෙනෙක් වීමට ප්‍රථම රෝම ශිෂ්ටාචාරයේ සිටි සාමාන්‍ය මනුෂ්‍යයෙකි. මොහුගේ කතාව කරලියට එන්නේ රෝමයේ පාලකයෙක්ව සිටි හේඩ්‍රියන් අධිරාජ්‍යයාගේ පෙම්වතා ලෙසිනු යි. දෙදෙනාගේ මෙම පෙම් සබදතාව අවසන් වන්නේ ඇන්ටින්‍යුස් නයිල් ගඟේ ගිලී මරණයට පත් වීමෙනු යි. ඔහු එසේ ගිලුනේ ඇයි දැයි හරිහැටි සඳහනක් නැතත් ඔහුට අධිරාජ්‍යයා සමඟ තිබූ සම්බන්ධයට අකුල් හෙලූ බොහෝ දෙනා එකල සිටි නිසා මෙය ඝාතනයක් බවටත් සැක පහල වේ. 

තම පෙම්වතාගේ මරණය පිළිබඳ පුවත දැනගත් පසු හේඩ්‍රියන් අධිරාජ්‍යා ශෝක වූ ආකාරය වෙනත් කිසිදු රෝම අධිරාජ්‍යයෙක් තම හිතවතුන් මිය ගිය පසු ශෝක වූ ආකාරයට දෙවෙනි නොවන බවට ඉතිහාස පොත පතේ ලියැවී තිබේ. හේඩ්‍රියන් අධිරාජ්‍යයා තම පෙම්වතාගේ පිළිම නිර්මාණය කර රෝමය පුරා දේවස්ථාන කරා යැව්වේ සැමටම තම පෙම්වතා ගැන කීමට යි. හේඩ්‍රියන්ට ඇන්ටින්‍යුස් කෙරේ වූ ආශාව හංගාගෙන සිටීමට අවශ්‍ය වූයේ නැහැ.

හේඩ්‍රියන් එතනින් නවතින්නේ නැත. තම පෙම්වතා මියගිය ඊජිප්තුවේ ඔහුගේ නමින් නගරයක් ද තනවයි. එය ‘ඇන්ටිනෝපොලිස්’ නමින් හැඳින්වෙන අතර රෝම අධිරාජ්‍යයෙක් ඊජිප්තුවේ තැනූ එකම නගරය මෙය යි. පුදුමය දනවන කරුණ නම් ඇන්ටින්‍යුස් නම් තරුණයාට රෝමයේ බොහෝ දෙනා ආදරය හා ගෞරව කිරීම යි. එහි ප්‍රථිපලයක් ලෙසට මොහු රෝම දෙවි කෙනෙක් බවට කලක් ගත වන විට පත් විය. හේඩ්‍රියන් අධිරාජ්‍යයා තම පෙම්වතාගේ පිළිම තනා රෝමය පුරා යැව්වේ තම පෙම්වතාව රෝමයේ මිනිසුන් දෙවි කෙනෙක් ලෙසින් ගෞරව කරනු දැකීමේ ආශාවක් ද නිසාවෙනි.

කලක් ගත වන විට රෝමය පුරා ක්‍රිස්තියානි ආගම පැතිරෙත් ම ඔවුහු පේගන් ඇදහිලි (ක්‍රිස්තියානි නොවන ඇදහිලි) අතුගා දැමීමේ අරමුණින් එම ඇදහිලි වලට අදාල දේවස්ථාන හා පිළිම විනාශ කරන්නට පටන් ගත්තෝ ය. ඔවුන්ට හේන්ඩ්‍රියන් අධිරාජ්‍යයා විසින් නිමවන ලද තම පෙම්වතාගේ අගනා පිළිමයත් හමුවිය. ඇන්ටින්‍යුස් මේ වන විට රෝමවරුන්ට දෙවි කෙනෙක් වී හමාර යි. ඒ හේතුවෙන් කැරලි කරුවෝ මෙම පිළිමයේ අත් දෙක කපා දමයි.

නමුත් ඇන්ටින්‍යුස්ගේ බැතිමත්හු එම පිළිමය සම්පූර්ණයෙන් විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීමට පොළොව යට විශාල වලක් හාර වළලයි. අදට මෙම පිළිමයට වයස එක්දාස් නමසියයකට ආසන්න වන අතර 1894 දී ගවේෂකයෝ එම පිළිමය සොයා ගත් අවස්ථාව යි පහත දැක්වෙන්නේ. 

ආදරය ගැන ඔබට මට විවිධ මතිමතාන්තර තිබෙනවාට සැක නැත. නමුත් වසර එක්දහස් නමසියයකට එපිට සිටි පුද්ගලයෙක්ගේ දැඩි ආදරයක් මෙම පිළිමයෙන් කියාපාන බවට ඔබට අවංකව ප්‍රථික්ෂේප කිරීමට නොහැකියි.


 

Wednesday, August 25, 2021

අවසන් රාත්‍රී භෝජනය (කෙටි කතාව)


මම මගේ රෝගය ගැන කිසිවෙකුටත් නොකීමට ඉටා ගත්තෙමි.

මගේ මවටවත් නංගිටවත් නොකියමි. සුමුදුට නම් කොහෙත්ම කියන්නේ නැත. සමහර විට කමල්ටත් නොකියා සිටීමට ඉඩ තිබේ.

මම පෙර දී සිටියාටත් වඩා බොහෝ සෙයින් කෘෂ වී ඇති බව කණ්නාඩියෙන් මා දෙස බැලූ විට මට සිහිවන්නට විය. තරුණ කාලයේ දී පිරිපුන් ශරීරයකට හිමිකම් කියූ මගේ අතීතය ගැන කණ්නාඩියෙන් පෙනෙන පුද්ගලයාට කීමට මම උත්සහ කළෙමි.

‘ඉස්කෝලේ කාලේ ඔයා දිහා තමයි හැමෝම බැලුවේ. දිග කොණ්ඩය, පිරිපුන් ශරීරය සහ ලස්සන හිනාව නිසා ඔයාට හැමෝම ආදරය කරා’

මගේ අතීතය සිහිවූයේ ස්වල්ප වේලාවකට පමණි. මට මා ගැන සිතීමට තරම් දැන් කල්වේලා නැත. වෛද්‍යවරයා නම් මාස තුනකට පෙර කීවේ තවත් ඇත්තේ මාස හතරක් කියා ය. මට මා ගැන සිතන්න තරම් කාලයක් නැත. අද මගේ පවුලේ සියලු දෙනා රාත්‍රී කෑමට පැමිණෙයි. අපි සියලුම දෙනා මසකට වරක් මෙසේ හමු වී එකට රාත්‍රී ආහාර වේලක් ගැනීමේ සම්මුතියකට පැමිණ ඇත්තෙමු. අද ඒ දවසයි.

මම නාන කාමරයට ගොස් නෑමට පටන් ගත්තෙමි. මගේ හිසට වැටෙන ජල බිංදු හිසෙන් පොලා පැන ජනෙල් වීදුරුව වෙත විසි වේ. එසේ විසිවන ජල බිංදු වීදුරුව දිගේ පහලට අනෙක් ජල බිංදු පරයා වැටීමට උත්සහ දරයි. ජල බිංදුවක් තවත් ජල බිංදුවක් ඉක්මවා යෑමට උත්සහ දරන්නේ ඇයි? ඒවා යන්නේ එකම තැනකට නම්. මම කෙතරම් වේලා ස්නානය කරාද කීවොත් මගේ ඇඟිලි තෙතමනය නිසා රැලි වැටී තිබුණි. මතක ඇති කාලයකින් මෙතරම් වේලාවක් ස්නානය කලේ අද යි.

මම අල්මාරිය වෙත ගොස් අද රාත්‍රී ආහාරය වෙලාවේ අඳින්නට සුදුසු ගවුමක් තිබෙනවාදැයි සොයා බැලුවෙමි. මගේ විසි අටවෙනි උපන්දිනයට ලැබුනු රතු පාට ගවුමක් මගේ ඇස ගැටුනි. ලේ රතු පාට ගවුමක්. ඒත් සමගම කලකින් භාවිතා නොකල සුවඳ විලවුන් බෝතලයක් අල්මාරිය අස්සේ තිබී මට සොයා ගන්නට හැකිවිය. මම එයින් ස්වල්පයක් මගේ අතට දමා ඉඹ බැලුවෙමි. තවමත් අතීත සුවඳ ඒ අයුරින් ම පවතියි. සුවඳ විලවුන් බෝතලය අසලම තිබූ පුයර බඳුනත් අතට ගත් මා කණ්නාඩිය ඉදිරිපිටට ගොස් මාව හැඩගන්වා ගැනීමට උත්සහ කළෙමි.

සියල්ලෙන් සැරසුනු මා සාලයේ සිට වැසී ඇති දොර දෙස මගේ පවුලේ අය පැමිණෙන තුරු බලා සිටියෙමි. පලමුව පැමිණියේ සුමුදු ය. ඔහුගේ යතුරු පැදියේ ශබ්දය කන වැකෙනවාත් සමග මම ඔහුව හඳුනාගත්තෙමි. ඔහු යතුරු පැදිය නිවස ඉදිරිපිට නවත්වනවාත් සමඟ ඔහුව පිළිගැනීමට සිනාමුසු මුහුණින් මම ඔහු වෙත ගියෙමි. ඔහු මගේ පුතා. තමන්ගේ පුතා දකිනවා තරම් අම්මා කෙනෙක්ට ඇති සතුට කුමක් ද?

“අද තාත්තා එන්න පරක්කු වෙනවා කිව්ව ද?” මම ඔහුගේ අතෙහි වූ මළුව ගන්නා ගමන් ඇසුවෙමි. “තාත්තට වැඩ වගයක් තියෙනවා කිව්වා. එද්දි ටිකක් පරක්කු වෙයි.”

සුමුදුගේ සිනහව මුළු නිවසම ආලෝකමත් කරවන්නක් විය. ඔහුට මිතුරන් සමග වූ රසබර සිදුවීම් මට කියත්ම ඔහු තව තවත් හයියෙන් සිනාසෙයි. මමත් ඔහුත් සමග සිනාසුනේ ඔහු කී දේවල් නිසා නොව ඔහුගේ සිනාව මට සිනාවක් ගෙන දුන් බැවිනි. 

සුමුදු බීම බෝතලයක් ගැනීමට ශීතකරනය වෙත ගියේ ය. ඔහු එහි පියන විවෘත කර බීම බෝතලය සොයමින් සිටියි.

“කැම්පස් එකේ වැඩකටයුතු කොහොම ද?” මම කෑම මේසය පිළියෙල කරමින් ඔහුගෙන් ඇසුවෙමි. 

සුමුදු ඔහුට අවශ්‍ය බීම බෝතලය තෝරාගෙන, ශීතකරනයේ දොර වසා මා දෙසට හැරුණි. 

“කැම්පස් එක තමා කැම්පස් එක. අසයිමන්ට් වැහි වැහැලා.” ඔහු බීම බෝතලය විවෘත කර නැවතත් ශීතරණය දෙසට හැරුණි.

“ඒවා හොඳින් කරගෙන යනවනේ” මම සාලයේ මේසය අසල සිටගෙන ඔහු දෙස නොසෙල්වී බලාගෙන ඇසුවෙමි. මම ඔහුගේ කමිසයේ පිටුපස ලියා ඇති දේ කියවමින් මතකයේ ධාරණය කිරීමට උත්සහ කළෙමි. හරිහැටි නොකැපූ කොණ්ඩය ඔහුගේ ගෙලෙහි වූ කුඩා අකුරින් ලියූ වදන් වැල මම හොදින් නිරීක්ෂණය කළෙමි. 

ඔහු බීම බෝතලයෙන් බාගයක්ම එක උගුරට බොන්නට පටන් ගත්තේ ය. ඔහුගෙන් පිළිතුරක් එකවර නොලැබුනත් මම ඔහු දෙස බලාගෙන ඔහුව තව තවත් මගේ මතකයේ සිතුවම් කරන්නට ගත්තෙමි.

“හොදින් යනවා” මගේ දෙසට හැරෙමින් සුමුදු කිව්වේ ය.

“මම හිතනවා කැම්පස් ජීවිතේ ලස්සන ඇති කියලා” මම කිව්වෙමි.

ඔහු මා දෙස හැරී අනෙක් පැත්තක් බලා ගත්තේ ය. ඔහුගේ ඒ බැල්ම මම හොදින් හඳුනමි. ‘අම්මා දන්නවද මගේ ජීවිතය මගේ ආසාවන් ගැන. මේ ජීවිතය මොන වගේද කියලා එයා දන්නව ද?’ යන්න ඒ බැල්මේ තේරුමයි.

“ඔයා නෙතූට කතා කරාද?”

සුමුදු තවමත් කුස්සියේ මට පිටුපස හරවාගෙන සිටි ඉරියව්වෙන්ම සිට “ඔව්. ඊයේ රෑ" ඔහු හැරීගත් වනම කිව්වේ ය.

“ඉතින්?”

ඔහු කිසිවක් නොකියා හැඟීමක් නොමැති මුහුණකින් යුතුව කුස්සියේ දී සාදා ගත් පාන් පෙත්තක් සමග සාලයට විත් ඉඳගත්තේ ය. 

“එයා දන්නේ නැහැ එයාට මොනවද ඕනේ කියලා.” ඔහු පාන් පෙත්තෙන් කොටසක් කමින් කීවේ ය. “මම කිව්වා මම හැමදාටම බලාගෙන ඉන්නේ නැහැ කියලා”

මම ඔහුට ලබාදුන් අත්තම්මාගේ මුද්ද ගැන කල්පනා කළෙමි. ඔහු නෙතූට වරක් එම මුදුව ලබාදුන්නා. ඒ බොහොම කාලයකට පෙර. ඇයගේ අතෙහි ඒ මුදුව තිබෙන ආකාරය මම සිහියට නගන්නට උත්සහ කළෙමි. නමුත් මට කිසිවක් මතකයට එන්නේ නැත. ඇය කවදා හෝ මගේ අත්තම්මාගේ මුදුව පැළඳ සිටියි ද?

විවාහ උත්සවයේ දී මට මවගේ සහ පුතාගේ නර්තනයට සහභාගි වෙන්නට හැකි වේද? මුණුබුරු මිණිබිරියන්. 

මගේ දරුවා සතුටින් ඉඳියි ද? 

“හොඳයි. මුලින්ම ඔයා ඔයා ගැන හිතන්න ඕන. අනිත් අය ගැන හිතන්න කලින්” මම මගේ සිතිවිලි දාමය ගිලගෙන සුමුදුට පැවසුවෙමි.

“ඔව්.” ඔහු සිනාසුනේවත් කිසිදු හැඟීමක් ප්‍රකාශ වූයේ නැත.

“සතුටින් ඉන්න” මම කිව්වෙමි. “ජීවිතේ, ආදරේ, ඕනම දෙයක්. සතුටින් ආරක්ෂාවෙන් ඉන්න”

සුමුදු කෑම මේසයට පැමිණ මා අසලින් ඉඳගෙන පාන් පෙත්ත කෑම අවසන් කළේ ය. “ඔයා හොඳින් ද? මූණ සුදුමැලි වෙලා.” මා දෙස බලමින් ඔහු කීවේ ය.

“මම හොඳින්” යැයි කියමින් මේසයේ වූ අත් පිස්නය මම අතට ගත්තෙමි.

“නෑ ඇත්තට. ඔයාට දාඩිය දාලා. මට පේනවා. මෙතන හොඳටම සීතලයි.”

බොරු සිනහවකුත් සමග මම “මම හොඳින් සුමුදු” යැයි කිව්වෙමි.

“ඔයාලා නිවාඩුවට කොහේ හරි යන්න.” නැවතත් බොරු සිනහවක්.

ඒත් සමගම දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න නිවසේ සීනුව නාද වන්නට විය.

“මම ගිහින් බලන්නම්” මම එතැනින් පැන ගියෙමි.

මගේ මවත් නංගීත් පැමිණ ඇත. දොර අසලට යන විටත් ඔවුන් දෙදෙනාගේ කච බචේ ඇසෙන්නට විය. ඔවුන් දෙදෙනාවත් පිළිඅරගෙන ඔවුන්ගේ අතෙහි වූ මළුත් ගෙන මම කුස්සියට ගියෙමි.

“මට මේ බඩු ටික ලැබුනේ සෑහෙන ලාබෙට. හාස්කමක් වගේ” නංගී ඇය ගෙනා ආහාර පාන ගැන කියන්නට විය.

හාස්කමක්. මටත් දැන් අවශ්‍යව ඇත්තේ එයයි.

“මෙතනින් හොඳ සුවඳක් එනවා” මගේ මව කුස්සිය දෙසට පිය නගමින් කියා සිටියා ය. ඇය කුස්සියට ගොස් පිසීමට අවශ්‍ය අඩුම කුඩුම ගෙන ඉතිරි කෑම පිසීමට පටන් ගත්තා ය. ඇය කඩිසර ය. මා මෙන් නොව ඇයට එක දිගට සෑහෙන වේලාවක් වැඩ කටයුතු කිරීමට හැකියාවක් ඇත.

“කමල් කොහේද?” අම්මා කෑම පිසින ගමන් ඇසුවා ය.

“ආච්චී, තාත්තා දැන් එයි. මෙසේජ් එකක් දැම්මා මේ ළඟ කියලා” සුමුදු කෑ ගසමින් කියා සිටියේ ය.

“කමල් සෑහෙන්න මහන්සියෙන් වැඩ කරනවා. දවසක්වත් නිවාඩු ගන්නේ නැහැනේ” නංගී තම මළුව තුලට එබෙමින් කියා සිටියා ය. ඇය එසේ කියනවාත් සමග ඇය මළුවෙන් මිදි වයින් බෝතලයක් එළියට ගත්තා ය.

“කට්ටියම දැක්කද මේක” ඇය සිනාසෙමින් වයින් බෝතලය එහළට ඔසවමින් පැවසුවා ය. “හැමෝම ගන්න කෝප්පයක් අතට. අක්කේ මෙන්න ඔයාට. මේ වයින් හරිම රහයි. ඔයා අද මේ වයින් බොන්න ඕන”

ඇය මගේ අතට වීදුරුවක් දුන්නා ය. “හරි එහෙනන් මම බොන්නම්කෝ” මම සිනාමුසු මුහුණින් ඈ වෙත වීදුරුව දික් කළා ය. ලේ රතු පැහැති වයින් මගේ වීදුරුව දිගේ පිරුණි.

ඉන්පසු සුමුදුත් වීදුරුවක් ගෙන තම නැන්දා වෙත පිය නැගුවා ය. 

“ආච්චී ඔයත් වයින් ටිකක් බොන්න”

මගෙ මවත් සිනා වෙමින් “එහෙනන් ටිකක් දාන්නකෝ. ටිකයි හැබැයි.” යැයි කියා සාලෙට පැමිණියා ය.

අප සියලුදෙනා වයින් වීදුරුව තොල කට ගාමින් සිනා සාගරයේ ගිලුනි.

“හෝ... හෝ... මොකද මේ” කමල් සිනාවෙමින් නිවස තුලට ඇතුලු වුනේ ය. ඔහු එනවා මට දැනුනේවත් නැත. එතරම්ම අපි සිනා වෙමින් සිටියෙමු. කමල් සුමුදු වෙත ගොස් තරුණ මිතුරන් දෙදෙනෙක් විලාසයෙන් වැලඳ ගෙන වීදුරුවක් අතට ගත්තේ ය.

“අපි මොනවද මේ සමරන්නේ” කමල් මා දෙස බලා වීදුරුව ඉහළට ඔසවමින් කියා සිටියේ ය.

මම අතෙහි තිබූ ලේන්සුවෙන් කම්මුල් පිස දමා සියලු දෙනා දෙස බැලුවෙමි. සැවොම සතුටින් සිනාමුසු මුහුණින් මා දෙස බලා සිටියි.

“අපි සමරන්නේ.... අපි දැන් ඉන්න... මේ මොහොත"



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...