Saturday, October 29, 2016

මමී


ඊජිප්තු මමී ලෙස සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ මියගිය පාරාවෝ රජවරුන් ය

 ඊජිප්තුවේ පාරාවෝ කෙනෙක් මියගිය පසු දෙවිකෙනෙක් ලෙස ඉපදෙන බව පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කලේ ය. ඔවුන් විශ්වාස කල පරිදි මොවුන්ට ආත්ම තුනක් පවති යි. ඒවා නම් KA, Ba සහ AKh ලෙස හදුන්වයි. නැවත ඉපදීමට නම් මෙම ආත්ම හොදින් රැකබලාගත යුතුය. මේ නිසා පුරාණ ඊජිප්තු වැසියන් පාරාවෝවරුන්ගේ සිරුර මමීකරණයට ලක් කරේ ය. මමීකරණයෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ සිරුර දිරාපත් නොවී චිරාත් කාලයක් පවත්වා ගැනීමය. මෙම මමීකරණය කරන ලද සිරුරු ඔවුන් පිරමීඩ තුල තැන්පත් කලේ ය.


පාරාවෝවරුන්ගේ මොළය ඉවත් කලේ නහය තුලිනි

 මමීකරණ ක්‍රියාවලිය සිදුකරන්නේ "ඉබු" නම් කාමරයක් තුලය. මෘත ශරීර සංරක්ෂණය කරන තැනැත්තා පලමුව සිරුර පාම් වයින් වලින් සහ නයිල් ගඟේ ජලයෙන් සෝදයි.

 සිරුරේ පැත්තකින් කුඩා සිදුරක් විද අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල පිටතට ගනියි. මොළය ඉවත් කලේ නහය තුලින් කොක්කක් සහිත කුඩා මිටක් ආධාරයෙනි. සිරුර තුල ඉතිරි කරන එකම ඉන්ද්‍රිය වන්නේ හෘදයයි.

 සිරුරෙන් ඉවතට ගන්නා ඉන්ද්‍රීන් ලුණු තබා නරක් වීමට නොදී කල් තබා ගනියි. දින හතලිහකට පසු නැවත සිරුර ජලයෙන් සහ තෙල් වලින් නහවයි.


 ඉවතට ගන්නා අවයව බඳුන් තුල බහා තබයි.

 මෘත ශරීර සංරක්ෂණය කරන තැනැත්තා ඉවතට ගන්නා අවයව ලිනන් වලින් ඔතා විශේෂ බඳුන් තුල බහා තබයි. ඔවුන් විශ්වාස කරන පරිදි එසේ කරන්නේ නපුරු ආත්ම වලින් ඒවා ආරක්ෂා කර ගැනීමට ය.

  සෑම අවයවයකටම විශේෂිත වූ බඳුනක් තිබුනි. සියල්ල එක්ව ගත් කල බඳුන් හතරකි. ආමාෂය, පෙනහළු, බඩවැල් සහ අක්මාව තැන්පත් කිරීමට යොදාගත්තේ ඒ බඳුන් හතරයි. ඊළඟ ජීවිතයට එම අවයව අත්‍යවශ්‍ය බව ඔවුන් විශ්වාස කලේ ය.


සිරුර ලිනන් වලින් ඔතයි

 මමීකරණයේ දිගු ක්‍රියාවලියකට පසු සම්පූර්ණ සිරුරම ලිනන් පටි වලින් ඔතයි. හිසෙන් පටන්ගෙන දෙපතුල දක්වා සියල්ලම ලිනන් පටි වලින් ඔතයි. ඔවුන් ඒවා ඔතන විට ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මන්තර ජප කරයි. එසේ කරන්නේ නපුරු ආත්මයන්ගෙන් එය ආරක්ෂා කර ගැනීමටයි.


 සියලුම මමීකරණය කරන ලද සිරුරු මුහුණු වැස්මක් පලඳියි

 සිරුර මිනී පෙට්ටියට දැමීමට පෙර මුහුණ සම්පූර්ණයෙන් වැසෙන්න මුහුණු වැස්මක් පලදියි. මෙම ක්‍රියාදාමය සිදු කරන්නේ මෘත ශරීර සංරක්ෂණය කරන්නන්ගේ ප්‍රධානියා ය. මෙම වැස්ම සකසන්නේ ඊජිප්තු දෙවි කෙනෙක්ගේ රූපයකට සමාන වන අයුරිනි. එකල ඊජිප්තුවේ දෙවිවරු දෙසීයකට අධික ප්‍රමාණයක් සිට ඇත.

 බොහෝ දෙනාට හුරු පුරුදු හිස් වැස්ම ටූටන්කාමන්ගේ හිස්වැස්මයි. 1922දී එය සොයා ගන්නා විට ඉතාමත් අනර්ඝ තත්වයෙන් කිසිදු හානියක් නැතිව එය තිබුනේ ය. ඒ වන විට බොහෝ පිරමීඩ නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබුනත් ටූටන්කාමන්ගේ සිරුර තිබූ පිරමීඩය කිසිදු නිදන් හොරෙක්ගේ ප්‍රහාරයකට ලක්ව තිබුනේ නැත. මෙම හිස් වැස්ම වර්තමානය වන විට කයිරෝ කෞතුකාගාරයේ දැකබලා ගැනීමට හැකිවේ. වර්තමානය වන විට මෙය ඇ.ඩො. මිලියන 13කට අධික වටිනාකමකින් යුක්තය.

ටූටන්කාමන්ගේ රන් හිස්වැස්ම. මෙය වර්තමානයේ ඇත්තේ කයිරෝ කෞතුකාගාරයේය.

මමීකරණය කරන ලද සිරුරු සාප මගින් ආරක්ෂා කරයි

 රජවරුන්ගේ සිරුරු වලට සතුරන්ගෙන් හා නපුරු ආත්ම වලින් ආරක්ෂා කිරීමට පුරාණ ඊජිප්තු ජාතිකයන් සාප කර ඇත. එනම් කිසිවෙකු හෝ මෙම පිරමීඩ තුලට ඇතුලු වුවහොත් එම සාප වදින බවට එකල මතයක් පැවතුනි.

 මෙම පුරාවස්තු ගැන අධ්‍යනය කල සමහර විද්‍යාඥයන් කියා සිටියේ ඔවුන්ගේ සගයන්ට අභිරහස් ලෙස විවිධ අනතුරු වලට භාජනය වන්නට සිදුවූ බවයි.

 මෙම සාප ගැන මතිමතාන්තර බොහෝ පොත් පත් වලට හා චිත්‍රපටවලට පාදක වී ඇත. කෙසේ වෙතත් මෙම සාප පිලිබද මත සත්‍ය නොවන බවයි බොහෝ දෙනාගේ පිලිගැනීම.


සිරුරු තැන්පත් කලේ ඔවුන් භාවිතා කල බඩුබාහිරාදිය සමඟයි

  පුරාණ ඊජිප්තු වැසියන් රජවරුන්ගේ ඊළඟ ජීවිතා උදෙසා අවශ්‍ය යැයි සිතෙන සෑම දෙයක්ම මමීකරණය කරන ලද සිරුර අසල තැබුවේ ය. රජතුමා ජීවත්ව සිටින කාලයේ භාවිතා කල බඩුබාහිරාදිය, ඇතිකල සතුන්, මෙන්ම විටෙක පවුලේ උදවියද මෙසේ තැන්පත් කලේ ය.


පුරාණ ඊජිප්තු වැසියන් සතුන්වද මමීකරණය කලේය

 පුරාණ ඊජිප්තු වැසියන් මමීකරනය කලේ රජවරුන්ව පමණ නොවේ. ඔවුන් සතුන්වද මමීකරණය කලේ ය. පිරමීඩවල කුටි තුල මමීකරණය කරන ලද සතුන් බොහොමයක් සොයාගෙන තිබුනේ ය. මේවා අතර පූසන් බොහොමයක් සිටියේ ය. එකල ඊජිප්තු වැසියන් පූසන්ව දේවත්වයෙන් අදහන ලදි. ඊජිප්තු ශිෂ්ටාචාරයේ හීලෑ වූ පලමු සතා වන්නේ පූසා බව පිලිගැනේ.


පාස්පෝට් හිමි පාරාවෝ

 පාස්පෝට් හිමි පාරාවෝ කෙනෙක් කිව්වම කෙනෙක් පුදුම වන්නට පුලුවන. එහෙත් ඊජිප්තුවේ තෙවන පාරාවෝ වූ දෙවන රැම්සෙස් රජතුමාට ගුවන් බලපත්‍රයක් හිමිවිය. 1974 දී දෙවන රැම්සෙස් රජතුමාගේ මමිය ප්‍රංශයට ගෙන යාමට නියමිතව තිබුනි. ප්‍රංශයේ නීතිය අනුව ජීවත්ව හෝ මියගිය කෙනෙක් ප්‍රංශයට ඇතුලු වන විට ගුවන් ගමන් බලපත්‍රයක් සතු විය යුතු විය. එමනිසා දෙවන රැම්සෙස් රජතුමාගේ මමියටත් ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කලේ ය. එහි රක්ෂාව ලෙස සදහන් වූයේ රජතුමා (මැරුණ) යන්නයි.


මමීකරණය ආරම්භ කලේ ඊජිප්තු වැසියන් නොවේ

 මමීකරණය පිලිබද ප්‍රසිද්ධ ඊජිප්තුව වුවද මමීකරණය ආරම්භ වූයේ ඊජිප්තුවේ නොවේ. වර්තමාන චිලී සහ පේරු යන රටවල් අවට එකල සිටි චින්චොරෝ ජනතාව මමීකරණය ආරම්භ කලේ ඊජිප්තු ජාතිකයන් එය කිරීමට වසර 2000කට පමණ පෙර ය. මෙම මමීකරණය කරන ලද සිරුරු වල අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල ඉවත් කර තිබූ අතර හිස සිට දෙපතුල දක්වා කලු වර්ණයෙන් වර්ණ ගන්වා තිබුනි.


වික්ටෝරියානු අවධියේ දී මමී මිලට ගත හැකි විය

  වික්ටෝරියානු අවධියේදී එනම් ක්‍රි.ව. 1800 ගනන්වල නැපෝලියන් ඊජිප්තුව යටත් කරගත් පසු යුරෝපීයන්ට ඊජිප්තුව විවර විය. එකල මමීකරණය කරන ලද සිරුරු පාරවල් වල විකිණීමට තිබුනි. විටෙක ලිනන් වලින් ඔතන ලද සිරුරු මිනිසුන් ඉදිරියේ ලිහුවේ ය. එවිට බොහෝ අවස්ථාවලදී මමීකරණය වූ සිරුරට හානි විය.


හෙරඩෝටස්

 මමීකරණය පිලිබඳ මිලින්ම වාර්තා තැබූ පුද්ගලයා  වන්නේ හෙරඩෝටස් ය. ඒ ඔහු ක්‍රි.පූ. 450දී පමණ ඊජිප්තුවට ගිය අවස්ථාවේ ලද තොරතුරු වලිනි. හෙරඩෝටස් ග්‍රීක ජාතිකයෙක් වන අතර ඉතිහාසයේ පියා වන්නේද ඔහුයි.


පින්තූර එකතුව :


ඉතාලිය


ග්‍රීන්ලන්තයෙන් හමුවූ මාස හයක් වයසැති බිළිඳාගේ මමිය

චීනයෙන් හමුවූ Xin Zhui ගේ මමිය


බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති මමියක්


හොවාඩ් කාටර් ටූටන්කාමන්ගේ මමිය අසල


මෙක්සිකානු මමී

මමීකරණය කරන ලද සතෙක්


ඉන්දියාවේ කල්කටාහි ඇති මමීකරණය කරන ලද සිරුරු





මමී ගැන ඔබ දන්නා දේත් බෙදාගන්නා මෙන් ඉල්ලන අතර අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි.

37 comments:

  1. වික්ටෝරියානු අවධියේදී මමී එක්ක පිස්සු නටපු කතාව මම දැනගෙන හිටියේ නැහැ. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පිස්සුවෙත් හොදම එක... ගොඩක් මමී විනාශ වෙලා තියෙනවා ඒ හන්දා...

      Delete
  2. මටත් නම් බය හිතුණා. දැන් මටත් බයවෙන්න එපා මයෙ අම්මා කියයිද දන්නේ නෑ.:P

    මේවාවලින් අතීතය ගැන හොයා ගත හැකිවීම වැදගත්. ඒත් මැරුනු අයට පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව කරන වැඩ දැක්කාම දුක හිතෙනවා. අනෙක් අතට තමන්ගේ විශ්වාස උඩ එක් එක් කාලවලදී කරපුවා හන්දා කරන්න දේකුත් නෑ.

    මිතිල ගොඩක් මහන්සි වෙලා කරුනු හොයාගෙන. ඔය කියන ශාප ඇත්තටම වදින්නත් ඉඩ තියෙනවා.

    බලාගෙන යනකොට මමී කියන්නේ පාරාවෝ රජවරුම නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. අයියෝ... මොකට බයවෙනවද...

      මමීකරණය කරලා තියෙන්නෙ පාරාවෝ රජවරුන්ම නෙමේ... ඊජිප්තු ශිෂ්ටාචාරයේ යහමින් මිල මුදල් තිබුනු අය මැරුණට පස්සෙ මමීකරණය කරගෙන තියෙනවා... බෞද්ධ භික්ෂූන් බොහෝ දෙනෙකුත් මමීකරණය වෙලා තියෙනවා...

      මේ තියෙන්නේ ටික කාලෙකට කලින් මම ලිව්ව ස්වයං මමීකරණය වූ ඉටිගොලොව් ලාමා තුමා ගැන ලිව්ව ලිපියක්... https://wasithaya.blogspot.com/2016/07/blog-post_10.html?m=1

      ඔය ශාප කියන ඒවා මමනන් විශ්වාස කරන්නෙ නෑ හැබැයි...

      Delete
  3. ඒ කාලෙ කොයිතරම් තාක්ෂණයක් තියෙන්න ඇද්ද නේ,

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ... ඊජිප්තුව කියන්නේ ගොඩක් දියුනු ශිෂ්ටාචාරයක්... පිරමීඩ වලින්ම කිවතැහැකි... ඒ වගේම ගොඩක් රහස් සැඟවුනු ශිෂ්ටාචාරයක්... මේ ශිෂ්ටාචාරයේ තවම හොයාගත්ත නැති දේවල් ගොඩක් තියෙනවා... ඒවා අතර ක්ලියෝපැට්රාගේ සොහොන ප්‍රධන වෙනවා... මාක් ඇන්තනීගෙයි ක්ලියෝගෙයි සිරුරු එකතැන වැලලුවා කියලයි කියන්නේ... කවුරුහරි ඒක හොයාගත්තොත් විසිඑක්වෙනි සියවසේ හොදම සොයාගැනීම ඒක වේවි...

      Delete
  4. ගොඩක් හොද ලිපියක්

    ReplyDelete
  5. මිතිල. දවසින් දවස ලිපිවල ගුණාත්මක බව වැඩිවෙනවා කියලා මට හිතෙනවා. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  6. පූසන්ට ගෞරව කල බවක්නන් අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් Ano... ඒ කාලෙ ඊජිප්තු වැසියන් පූසන්ව දේවත්වයෙන් අදහලා තියෙනවා... හැබැයි මෙයාලට පූසො නිසා කෙලවිච්ච අවස්ථාත් තියෙනවා... ක්‍රි.පූ. 525 දී පෙලුසියම් යුද්දෙදි පර්සියානුවන් එක්ක, පර්සියානුවන් එයාලගේ පලිහක් විදිහට පූසො යොදාගත්තා... මොකද පර්සියන් ජාතිකයන් දැනගෙන හිටියා ඊජිප්තු වැසියන් තමන්ගේ ජීවිතයට හානි වුනත් පූසන්ට හානි නොකරන බව... කොහොමහරි ඒ යුද්දෙන් ඊජිප්තුව පැරදුනා පර්සියන් ජාතිකයන්ට...

      Delete
  7. පොඩි වැරැද්දක් තියනවා හදන්න. ඔබ ලියා තිබෙනවා //මමී යනු මියගිය පාරාවෝ රජවරුන් ය// කියා. එය වැරදියි. මමියක් කියන්නේ, මනුෂ්‍යයකුගේ හෝ සතෙකු මියගිය පසු, සිරුර කල්තබා ගැනීම සඳහා, විශේෂ ක්‍රමයකට සැකසීමෙන් පසු, ඒ සිරුර හඳුන්වන නමයි.

    මේ බලන්න

    ඔබේ ලිපියේම අග කොටසේ පින්තූරයක් යොදා තිබෙනවා සතකුගේ සිරුරක් එලෙස කල්තබා ගැනීමට ලක්කර ඇති ආකාරය. එයින් පැහැදිලිවෙනවා නේද මමී යන්නට සතුන් ද අයිති බව.

    මමිකරණය ප්‍රචලිත වූයේ ඊජිප්තුවේ පිරමීඩ ගවේෂණයෙන් පසුවයි.

    සෑහෙන්න මහන්සි වී ලියා තිබෙන ලිපියක් ලෙස අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක තුමා... එතන මමී කියන වචනෙට ඉස්සරහින් ඊජිප්තු ආවනන් හරි... මම ඒක හැදුවා...

      මමීකරණය වෙලා තියෙන්නේ පාරාවෝ රජවරුන්ම නෙමේ තමා... ලොව පුරා වෙසෙන බොහෝ ජාතීන් මමීකරණය කරලා තියෙනවා...

      ලංකාවෙත් එහෙම තිබිලා තියෙනවා කියනවා... 2013 දී මහවැලි සී කලාපයේ ගල් පර්වතයක් කැඩූ පුද්ගලයන් පිරිසක් සුගලා දේවියගේ සොහොනද කඩා මමීකරණය කරන ලද සුගලා දේවියගේ සිරුර විනාශ කල බවක් අසන්න ලැබුනා... ඒත් එක්කම මේක කරපු අයට අනපේක්ෂිත විදිහට අනතුරු වලට භාජනය වුන බවකුත් අසන්න ලැබුනා...

      Delete
  8. ඊජිප්තුවේ මමීකරණයට(Mummification) ලක් කරලා තියෙන්නේ විශාල වශයෙන් රජවරුනුත් රැජිනියනුත් තමයි. ඒත් එ් එක්කම හමුවෙලා තියෙනවා රජවරුන්ගේ සොහොන් ගැබ්වලට ආසන්නයෙන් ප‍්‍රභූවරුන්ගේ හා ඔවුන්ගේ සුරතල් සතුන්ද මමීකරණයට පත්කරලා තැන්පත් කරපු සොහොන් ගැබවල්. පුජකයින් තමයි විශේෂිත පුද්ගලයෙක් මිය ගියාම මමීකරණයට පත්කරන්නේ. එයාලා මුලින්ම නයිල් ගංගාවේ වතුරින් සිරුර නහවලා පිරිසිදු කරගන්නවා.
    පුජකයින් මුලින්ම කළේ ශරිරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කරපු එක. හැබැයි ශරීරයේ හදවත විතරක් ඉතුරු කළා. එයාල විශ්වාස කරනවා එ් මියගිය තැනැත්තා මලවුන්ගේ ලෝකය (Under World) හරහා ගමන්කරනවා කියලා. එහිදී තමයි හදවත වැදගත් කියලා සලකන්නෙ, ඊළඟ ජිවිතයට තමන් කරපු හොඳ නරක පිළිබඳව විනිශ්චයකට එන්න හදවත අවශ්‍යයි කියල එයාලා හිතපු නිසා. මොළය ඉවත් කරන්නේ නාසය තුළින් කූරක් යවලා. ඊට පස්සේ මියගිය පුද්ගලයාගේ ශරිරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඒ කියන්නේ අක්මාව, පෙණහලූ, අතුනු බහන් හා ආමාශය අයින් කරලා එ්වා වෙන වෙනම හණ රෙදිවලින් එ් කියන්නේ ලිනන් වලින් ඔතලා හොරස්ගේ පුත්තු හතරදෙනාගේ ( Four sons of Horus) බඳුන්වලට දානවා. මේ බඳුන් වලට දුම්මලයි ලාටුයි පවිත‍්‍ර කරගත් තෙල් වර්ගයි පුරවලා එ්වා අමරණීය කරගන්නවා. හෝරස් (Horus) කියන්නේ මනුෂ්‍ය සිරුරක් තියෙන උකුසු මුහුණක් ඇති අහසට සහ හිරුට අධිපති දෙවියායි. ඒත් මේ පුත්තු හතරදෙනා කියන්නේ මේ බඳුන් හතරටයි. එක්කෙනෙක් තමයි හාපි (Hapi) එයාට තියෙන්නේ බැබුන් හිසක්. එයා තමයි මියගියකෙනාගේ පෙණහලූ ආරක්ෂා කරන්නේ. දෙවනියා තමයි ඉම්සෙටි (Imsety)එයාට තියෙන්නේ මනුෂ්‍ය හිසක්. එයා තමයි අක්මාව ආරක්ෂා කරලා තියාගන්නේ. ඊළඟට ඩුවාමුටේෆ් (Duamutef) ආමාශය රැුකබලාගන්නේ එයා තමයි. එයාට තියෙන්නේ නරියෙකුගේ මුහුණක්. අන්තිමයා ක්බේෂ්සෙනුෆ් (Qebehsenuef) එයාටනං තියෙන්නේ තාත්තාගේ මුහුණමයිි එ් කියන්නේ උකුසු මුහුණයි. එයා අතුනුබහන් ආරක්ෂා කරනවා. මේ හතරදෙනා සතර දිශාව නියෝජනය කරනවා කියලා.
    හාපිට උතුරු දිශාවයි ඩුවාමුටේෆ්ට නැගෙනහිරයි ඉම්සෙටිට දකුණු දිශාවයි ක්බේෂ්සේනුෆ්ට තමයි බස්නාහිර දිශාව අයත්වන්නේ.
    හෝරස්ගේ පුත්තු හතරදෙනා එකට තියලා තියෙන්නේ කැනොපික් චෙස්ට් (Canopic Chest)එකක් ඇතුළේ. එ් කියන්නේ මේ බඳුන් හතර තවත් පෙට්ටියක දාලා මියගිය කෙනාගේ මෘත ශරිරයත් එක්ක සොහොන්ගැබේ තැම්පත්කරලා තියෙනවා.

    ReplyDelete

  9. ඊජිප්තුවේ කෙනෙක් මිය ගිය විට මමීකරණය කරනු ලැබේ. මොළය කෑලි වලට කඩා එලියට අදින්නේ නාස් කුහර වලිනි. ගුද මාර්ගයෙන් ආහාර ජීර්ණ පද්ධතිය, බඩවැල්, අක්මාව, ඇල දිව, වකුගඩු යනාදිය එලියට අදිනු ලැබේ.

    එහෙත් කිසිම හේතුවක් නිසා, ශරීරයෙන් හදවත එලියට නොගනී. එය එසේම තබා ශරීරය මිහිදන් කෙරේ. මක්නිසාදයත්, මේ ජීවිතයෙන් පසු ස්වර්ගයේ ගත කරන දෙවන ජීවිතයට ඔබව සුදුසුද කියා පරීක්ෂා කරන්නේ, ඔබගේ හදවතේ ස්වරූපයෙනි. ඔබේ වාරය එන තුරු, හදවත පමණක් ඇතිව, ස්වර්ගයේ ද්වාරයේ ඔබ පෝලිමේ සිටිය යුතුය. මහා දෙවියා වන 'රා' , ඔහුගේ කීකරු සේවකයා වන නරියා සමඟ තරාදිය දැන් ඔබව පරීක්ෂා කිරීමට සුදානම් ව සිටී.

    දෙවියන්ගේ අණ පරිදි, ඔබ හදවත ගලවා තරාදිය පසක තැබිය යුතුය. තරාදියේ අනෙක් පස ඇත්තේ කුරුළු පිහාටුවකි. යම් හෙයකින් හදවතේ බර කුරුළු පිහාටුවට වඩා වැඩි නම්, නරියා ඔබගේ හදවත වහා ගිල දමන්නේය. එයින් මතු 'ඔබ' කියා කෙනෙක් නැත. ස්වර්ගයට යෑමට ඔබ වාසනාවන්තයෙක් නම්, හදවත කුරුළු පිහාටුවට වඩා සැහැල්ලු විය යුතුය. දැන් ඔබට ස්වර්ගයට යෑමට රා දෙවියන්ගේ කරුණාව සහ අනුග්‍රහය ලැබේ.

    විකාරයක් මෙන් පෙනුනද, මේ අවරුදු පන්දාහකට වඩා පැරණි ඊජිප්තියානු ඇදහිල්ලේ ගත යුතු දෙයක් ඇත. හදවත, පිහාටුවකට වඩා සැහැල්ලු නම් පමණක් ඔබ ස්වර්ගයට යෑමට සුදුස්සෙකු වෙනු ඇත. හදවත බර වෙන්නේ, ඕනා කමෙන් වැරදි කලවුන්ගේ පමණි. ස්වර්ගයට යන්නට නම්, හදවත පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් තබා ගන්න උනන්දු වන්න...

    ReplyDelete
    Replies
    1. මේ වගේ සුරංගනා කතා එදාට වඩා අද විස්වාස කරන පිරිස වැඩියි වගේ!

      Delete
    2. මේකනේ ලිඛිතා... සුරංගනා කතා වලින් උනත් ගත යුතු දේ අරගෙන අනවශ්‍ය දේ ඉවත් කරන්න ඕනේ... විය යුත්තේ ඒකයි... ස්වර්ගය සුරංගනා කතාවක් වගේ තමා... ඒත් වැරදි නොකර සිටීමට දෙන ඔවදනයි අරගන්න ඕනෙ...

      Delete
  10. මී පැණි කොච්චර කාලයක් ගියත් නරක් නොවී තියෙනවා කියනවනේ.... ඒකට හේතු වුනේ හොවාඩ් කාටර්ගේ මේ සොයාගැනීම... ටූටන්ගේ කුටිය විවෘත කල අවස්ථාවේ හොයාගෙන තියෙනවා බදුන් වල තිබුනු මී පැණි... මේවා නරක් වෙලා තිබිලා නෑ... ඒකයි මී පැණි කොච්වර කල් තිබ්බත් නරක් වෙන්නෑ කියන්නේ...

    ReplyDelete
  11. නියමයි ලිපිය

    ReplyDelete
  12. නියමයි ලිපිය

    ReplyDelete
  13. සමහර ලාංකික මළගෙවල් දැක්කහමත් ඔවුන් තාමත් 'මමී' සංකල්පය ගෙනියනවදෝ කියල හිතෙන තරමට මිනිය සංරක්ෂණය කරගෙන ඉන්නවා. ( මම ඒකට කියන්නේ ජාඩි දානවා කියල.. ඔවෑක් !)

    ලිපිය සිත්ගනාසුලුයි.

    ReplyDelete
    Replies
    1. මමීත් නිකන් ජාඩි දානවා වගේ තමා කාලයක් තියාගන්න පුලුවන්නේ... :--) අද මලගෙවල් ගැනනන් ඔය කතාව සහතික ඇත්ත...

      Delete
  14. ලිපියට එන්න හැකි වුනේ දැන් මිථිලට වටිනා ප්‍රබුද්ධ පාඨයන් රැසක් එක්ව සිටිනවා දැකිම සතුටක් මිථිලගේ පොස්ටුවත් බොහොම අගෙයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් ඒක ලොකු සතුටක්... සංවාදයක් මගින් බෙදාගන්නා දැනුම තමා වැඩිකලක් මතකයේ පවතින්නේ... ඒත් එක්කම අලුත් දේවල් ගොඩක් ඉගෙනගන්න පුලුවන්...

      Delete
  15. අද තමයි වාසිතය බ්ලොග් අඩවියට ඉස් ඉස්සල්ලම ආවෙ.කියවපු පලමු ලිපියම ඉතාම මහන්සිවී ලියපු රසවත් ලිපියක්. ඊජිප්තු ඉතිහාසය මමත් ඉතාම ප්‍රියකරන විශයක්.පසු ගියවසරේ මා කල ඊජිප්තු සන්චාරයේදී ලිපියේ සඳහන් දේවල් දෑසින්ම දැකගන්න ලබුනා.ඔය මමී දැන්නම් විශෙශ වායු සමේකරන තත්ව යටතේ සන්‍රක්ශනය කරල තිබුනත් ඒ කිසිවක් නොතිබුන සොහොන් ගැබ් වල වසර දහස් ගනනක් මේවා සුරකිව තිබීම පැරැන්නන්ගේ මමි කරනය පිළිබඳ නිපුනත්වය සහ ඒ සඳහා යොදාගත් තාක්ශනය පිළිබඳ තසේරුවක් ලබගත හැකියි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් අඩවියට...ඊජිප්තු ඉතිහාසයට මටත් ලොකු කැමැත්තක් තියෙනවා... හරිම රසවත් මෙන්ම කුතුහලය දනවන ඉතිහාසයක් තියෙන්නේ..

      Delete
  16. ithamath rasawath lipiyak. kemathima mathrukawak mageth.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...