Friday, March 30, 2018

ඇමරිකාවේ මත්පැන් තහනම් කල කාන්තාව



මේ 1901 වසරේ ජනවාරි මස 11 වන දිනයි. ස්ථානය ඇමරිකාවේ කැන්සාස් හි විචිකා ප්‍රදේශයේ තිබූ ජිම් බර්න්ගේ සමාජ ශාලාවයි. මිනිසුන් පිරිසක් සමග කාන්තාවක් සමාජ ශාලාවේ දොර කඩාගෙන ඇතුලුවෙයි. ඇගේ එක් අතක තිබුනේ බයිබලයයි. අනෙක් අතෙහි තිබුනේ කෙටේරියයි.

"මේ තියෙන්නේ දෙවියන්ගේ හස්තය. මම ආවෙ ඔබලාව බේබද්දන්ගෙන් අපායෙන් ගලවන්න" යැයි කියා සමාජ ශාලාවේ තිබූ විස්කි බැරල්, බීර බෝතල් ආදිය ඈ කුඩු පට්ටම් කරන්නට ගත්තාය. කර කියා ගන්නට දෙයක් නොමැතිව සමාජ ශාලාවේ අයිතිකරු සිටියේ මේසයක් යට ගුලි වී ය. පැය බාගයකට පමණ පසු සමාජ ශාලාව කුණාටුවකට හසුවූ තත්ත්වයක් දක්නට ලැබුණි. මේ පුවත උණු කැවුම් සේ පුවත්පත් වල පල විය.


මෙම කාන්තාව නමින් කැරී නේෂන් නම් විය. ඇගේ පලමු සැමියා මත්පැන් වලට ලොල් අයෙකි. ඔහු මියගියේ මැයව දරුවෙකු සමග තනි කරමිනි. ඒ සතයක්වත් ඔවුන් වෙනුවෙන් ඉතිරි නොකරමිනි.

ඊට පසු ඇය තවත් විවාහයක් කරගත්තේ පූජකයෙක් සමගයි. ඔහු නමින් ඩේවිඩ් නේෂන් වේ. ස්වාමිපුර්ෂයා පූජකයෙක් වුවත් ඔහුට බයිබලයේ සමහර පාඨ, දේශනා වලදී කතා කල යුතු දෑ ආදිය ඉගැන්වූයේ බිරිද විසිනි. කැරී නේෂන් නිසාවෙන්ම ඔහුට දේවස්ථානය අතහැර යාමට ද සිදුවිය. ඉන් වසර කිහිපයකට පසු දික්කසාද නඩුවක් පැවරූ ඇය පවසා සිටියේ "ඩේවිඩ් තමන්ට මන්දගාමී වැඩි" බවයි. මෙම කාන්තාවට සැබෑවට අවශ්‍ය වූයේ ස්වාමියෙකු නොව අශ්වයෙකි. හේ ඒ තරම්ම වේගවත් විය යුතු විය.

ඇගේ අමද්‍යප ව්‍යාපාර මුල් අවධියේ දී ඇය සමාජ ශාලා ඉදිරිපිට පදික වේදිකාවේ පියානෝවක් තබාගෙන බීමත් මිනිසුන්ව එයින් ගලවා ගැනීම මාතෘකා කරගෙන ගීතිකා ගැයුවා ය. මෙය තරමක් සාර්ථක විය. සමහර සමාජ ශාලා මේ හේතුවෙන් වැසී ගියේය. එහෙත් මෙම ක්‍රමය නේෂන් හට මන්දගාමී එකක් විය. ඒ හේතුවෙනුයි ඇය කෙටේරිය අතට ගත්තේ. ඇය සමාජ ශාලා විනාශ කරමින් සිදු කලේ වැරැද්දක් බව ඇය හොදාකාරවම දැන සිටියාය. එහෙත් ඇය කියා සිටියේ සමාජ ශාලා තුලද සිදු වන්නේ නීති විරෝදී ක්‍රියා බවය.


වරක් මිනිසුන් ඇගේ නිවස විනාශ කලේ විස්කි බෝතල් වලිනි. අශ්වයන් ලවා ඇයව පෑගුවාය. පොලුවලින් පහර දී ඇටකටු කුඩු කලාය. ඈ මරණයේ ගැට්ටටම පැමිණි වාර බොහොමයකි. එහෙත් ඒ කිසිවකට ඇයව නවත්වන්නට බැරි විය. ඇයව අධිකරණය වෙත රැගෙන ගිය විට ඇය බයිබලයේ තිබෙන දෑ කියවමින් ඔවුන් නඩුව ගෙන යා යුත්තේ ආගමානුකූලව බව කියා සිටියාය.

ඇගේ පියා ණය වී මියගොස් වසර පහලොවකට පසු ඇය විසින් එම ණය ගෙවා දැම්මාය. ඇය එම ණය ගෙවා සිටීමට බැදී තිබුනේ නැත. ඇය අවසාන කාලය ඉපයූ මුදල් වියදම් කලේ දුප්පත් මිනිසුන් උදෙසා ය.

කෙසේ හෝ අවසානයේ ඇගේ පැතුම ඉටුවිය. 1920 වසරේ දී සම්මත කරන ලද ඇමරිකානු ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝදනය මගින් මත්පැන් නිශ්පාදනය, ප්‍රවාහනය සහ අලෙවිය තහනම් කරන ලදි. එනමුත් නීතියේ ඇති හිඩැස් නිසාවෙන් කලක් ගිය පසු මත්පැන් නැවතත් කරළියට ආවේය. මත්පැන් තහනමින් වසර 13 කට පසු 21 වන සංශෝදනය මගින් 18 වන සංශෝදනය සම්පූර්ණයෙන්ම අවලංගු කලේය. මීට පෙර කිසිදු ව්‍යවස්ථා සංශෝදනයක් සම්පූර්ණයෙන්ම අවලංගු වී නොතිබීමද මෙහි විශේෂයකි.


9 comments:

  1. ඉතිහාසයෙන් තියෙන ලොකුම ප්‍රයෝජනය තමා මිනිස්සු විදියට අපි කල වැරදි වලින් පාඩම් ඉගෙන ගන්න පුලුවන් එක. මේ ඉන්නෙ ඒ විදියට වැරදි කරල අපිට පාඩම් කියල දෙන මිනිස්සු

    ReplyDelete
  2. මත්පැන් පානයේ ආදීනවය ගැන කියැවෙන හොඳම සිනමා නිර්‍මාණයක් තමයි. අශෝක හඳගමගේ චන්ද කින්නරී චිත්‍රපටය.
    ඒ පවුලේ තාත්තා මත්පැන් පානය නොකලා නම් එහෙම විපතක් වෙන්නේ නෑ.
    අශෝක හඳගම වුනත් ඉඳලා හිටලා හරි හොඳ නිර්‍මාණත් කරනවා.

    ReplyDelete
  3. මත්පැන් ඉතිහාසය වෙනස් කළ බවට සාධක ඇමරිකාවට පෙර ලංකාවෙන්ම ලැබේ. උඩරට මහා පාවාදීම හෙවත් 1815 කන්ද උඩරට පරංගි ල්ලා ගන්නේ මත්පැන්වලට පින්සිදුවන්නටය. රජතුමාට පක්ෂපාතව සිටි මිනිසුන් වියරු කළේ රජුගේ කෲර ක්‍රියා කලාපයයි. ඊට හේතුවූයේ රජු ඉතා තදින් මත්පැනට ලොල් වීමයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මත්පැන් විරෝධීන් කියන්නෙත් සුදු පිරුව්ට ඇඳගත් වියරු මනසක් ඇති මිනිසුන් කොටසක්,

      Delete
    2. රජතුම මත්පැන්වලට ලොල් වීමම මේකට හේතු වුනා කියලා කියන්න බැහැ...

      Delete
  4. වැදගත් සටහනක්.
    ජයවේවා!!!

    ReplyDelete
  5. ඒ මත්පැන් තහනම (prohibition), පාලනය කළ නොහැකි අති බලවත් පාතාලයක් නිර්මාණය වීමට හේතු වූ නිසයි තහනම ඉවත්කලේ, එය නීතියේ හිදැස් නිසා අසාර්ථක වුනාය කීම නිවැරදි නැහැ. තහනම් කිරීම හැම විටම පාලනය කළ නොහැකි නීති විරෝධී ක්‍රියා ජාලයක් බිහිකරනවා, ලංකාව සමාජ මාධ්‍ය බ්ලොක් කරන්න ගිහින් vpn ජනප්‍රිය කරවීම හොඳම උදාහරණයයි. අනර්ථකාරී දේ තහනම් කිරීමට වඩා නියාමනය මගින් යහපත් ප්‍රතිපල නෙලාගත හැකි බව ලෝකය අවබෝද්ධ කරගත්තේ මත්පැන් තහනම තුලින් ලද අත්දැකීම් නිසයි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...