Thursday, July 8, 2021

මානුෂ ගුණාංග වල ආරම්භය

තම පණ නල රැක රැනීමට වෙහෙසුනු මානවයෝ තව මිනිසෙක් වෙනුවෙන් වැය වීම පටන් ගත් අවධිය මානුෂ ගුණාංග වල ආරම්භය ලෙස දැක්විය හැකියි. මිනිසෙක් තවත් අයෙක් වෙනුවෙන් වැය වීම ආරම්භ වූයේ කොතැනකින් ද යන වග මිනිසුන්ට වඩාත් කිට්ටු මානවයා වූ නියැන්ඩර්තාල් මානවයාගෙන් සොයාගත හැකියි. 

මීට වසර පනස් දහසකට පමණ පෙර සිටි මානවයන්ට යම්කිසි බරපතල තුවාලයක් සිදු වීම සාමාන්‍ය දෙයකි. සතුන් දඩයම් කිරීමේ දී හා ගිරි දුර්ග ජල දුර්ග ආදිය තරණය කිරීමේ දී එවන් විපත් සිදුවීම නිසා එම පුද්ගලයෝ වැඩිකල් නොගොස් මිය යයි. මන්ද බරපතල තුවාලයක් තබාගෙන එවන් සමයක වැඩි කල් ජීවත්විය නොහැකියි. සංචාරක දිවි පෙවතක් ගත කල නිසා කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ සමග එකට ගමන් කල නොහැකි නිසාත් තනි වී සතෙකුගේ පහර කෑමට ලක්ව එම පුද්ගලයා මිය යයි. 

නමුත් කුතුහලය දනවන දෙයක් ඉරාකය දෙසින් වූ ගුහාවකින් සොයාගැනීමට හැකි විය. එහි නියැන්ඩර්තාල් මානවයින්ගේ ඇටසැකිලි කිහිපයක් සොයා ගත් අතර එම ගුහාවට ෂැනිඩාර් ගුහාව යැයි කියයි. එහි වූ එක් මානවයෙක් වූ ෂැනිඩාර් 1 වූ මානවයාගේ ඇටසැකිලි පරීක්ෂා කල විට ඔහුගේ හිස්කබලේ ඇසට කිට්ටු ප්‍රදේශයට තදින් පහරක් වැදී ඇති බවත්, දකුණු අත වෙන් වී ඇති බවත්, සිරුරේ හන්දි වල ශක්තිමත්බව අඩු කිරීමට සමත් රෝගයක් පැතිරී ගොස් ඇති බවත් පුරාවිද්‍යාඥයෝ සොයාගත්තෝ ය. 

හිසෙහි වම් පෙදෙසට පහරක් එල්ල වී ඇති නිසා මෙම මානවයාගේ වම් ඇස අන්ධ වී, වම් කනේ ශ්‍රවණාබාධයක් ද තිබී ඇත. එපමණක් නොව දකුණු අතත් නොමැතිව හන්දි රෝගයකිනුත් පෙළුනු නිසා මොහු නිසැකයෙන් ම ඇවිදීමට අපහසුතාවයෙන් පෙළුණු අයෙකි. මොහු සිටි කාලයේ තත්ත්වය සැලකිල්ලට ගත් විට මොහුගේ කණ්ඩායමේ මිනිසුන් මොහුව පැත්තකට දමා මියයන්නට හැර යා යුතුයි. 

නමුත් පුදුමයට කාරණය නම් මෙම ෂැනිඩාර් 1 වූ මානවයාගේ කණ්ඩායමේ අනෙක් අය මොහුව අතහැර දා නොයාම යි. ඒ බව සනාථ වූයේ මොහුගේ ඇටසැකිලි තවත් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව යි. පුරාවිද්‍යාඥයන් සොයාගත් ආකාරයට මොහුගේ තුවාල බොහොමයක් සුව අතට හැරී තිබුණි. එසේ වීමට නම් තවත් අයෙකුගේ සත්කාරයක් තිබිය යුතුයි. මෙම අරුම පුදුම සොයාගැනීම යම් කිසි මානවයෙක් තවත් අයෙක් වෙනුවෙන් වැය වීම ගැන කියැවෙන පලමු අවස්ථාව යි. 

පෙර දී පැවසූ ඉරාකයේ ෂැනිඩාර් ගුහාවෙන් ඇටසැකිලි 9ක් සොයාගත් අතර එයින් 7ක් වැඩිහිටි නියැන්ඩර්තාල් මානවයන්ගේ වූ අතර ඉතිරි ඇටසැකිළි ළදරුවන්ගේ විය. වැඩිහිටි සත් දෙනාගෙන් පස් දෙනෙක් ම අස්ථි රෝග ඇතුලු තවත් රෝගාබාධ වලින් පෙළුනු අය බව සොයාගත් අතර ඉන් පැහැදිලි වන්නේ ඔවුන්වත් කවුරුන් හෝ රැකබලාගෙන ඇති බවයි. 

මේ අතර ෂැනිඩාර් 3 නම් වූ තවත් නියැන්ඩර්තාල් මානවයෙක් සිටියේ ය. මොහුගේ උකුලේ අස්ථි බිඳීමකට ලක් වී තිබුනු අතර එවන් තුවාලයක් ඇති වූ විට තනිවම ඇවිදීමට නොහැකියි. නමුත් පුරාවිද්‍යාඥයෝ සොයාගත්තේ ඔහුගේ උකුල සුව අතට හැරී ඇති බවයි. එවන් තුවාලයක් සුව අතට හරවා ගැනීමට නම් අනිවාර්යෙන් ම තවත් අයෙක්ගේ උපකාරය අවශ්‍යයි. එමෙන් ම මොහුගේ උකුලේ තුවාලය සුව අතට හැරෙමින් පවතින විට වම් පැත්තේ ඉළ ඇට වලට හානියක් සිදු වී තිබේ. මෙම හානිය නිසා වම් පෙනහළුව අක්‍රිය වීමට පවා ඉඩකඩ තිබුනු නමුත් මොහු මියගොස් ඇත්තේ එම තුවාලය සිදු වී මාස දෙකකටත් පසුවයි. එනම් මරණ මොහොතේ දීත් ඔහුව අතහැර දා යාමට කවරෙකු හෝ ප්‍රථික්ෂේප කර තිබේ.

පෙර පැවසූ පරිදි මීට වසර පනස්දහසකට පමණ අතීතයේ දී ඇවිදීමට නොහැකි, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන හා විවිධ රෝගාබාධ වලින් පෙලෙන අයෙක්ට රෝගාබාධ සමග වැඩි කලක් නිරුපද්‍රිතව ජීවත් විය නොහැකියි. නමුත් නියැන්ඩර්තාල් මානවයින්ගේ මෙම සොයාගැනීමත් සමග මානවයෝ තම චර්යාව වෙනස් කරගත් අවධි දැකගත හැකියි.

එවන් තුවාල ලත් අයෙක් සිටින විට ඔහුව වන සතුන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි. දත් නොමැති නම් මොහුට කෑමට පහසු වන ආකාරයට ආහාර සකස් කල යුතුයි. ඇවිදීමට නොහැකි විට ඇවිදීමට උදව් කල යුතුයි. සංචාරක ජීවිතයක් මෙම නියැන්ඩර්තාල් මානවයෝ ගත කල නිසා මොවුන් දිනපතා තම ගමනේ යෙදිය යුතුයි. මෙම රෝගී මිනිසුන් නිසා ගමන අතරමග නතර කිරීමටත් වේගය අඩාල වීමත් සිදු වූ බවට සිතිය හැකියි. ඒ කෙසේ වුවත් ඔවුන් රෝගී වූ පලියට ඔවුන්ව අතහැර දමා ගියේ නැත. 

මීට වසර හතලිස් දහසකට ප්‍රථම නියැන්ඩර්තාල් මානවයෝ මිහිමතින් වඳවී ගියෝ ය. දැනට සිටින එකම මානව විශේෂය අප වුවත් මෙම සොයාගැනීම් වලින් නිගමනය වන්නේ මිනිසෙක් වීමට තිබිය යුතු මානුෂ ගුණාංග අපගේ නිර්මාණයක් නොවන බවයි.


 

10 comments:

  1. හොඳ ලිපියක්. නොදැන සිටි, ඒත් උනන්දුව ඇති කරවන තොරතුරක්.

    ReplyDelete
  2. පනස් දහස් වසරකටත් එහා සිට
    අරඹා සලකන්ට බැරි වැඩිහිටියන්ට
    ෂැනිඩාර් වග උතුම් ගුණයක් පෙන්නුවට
    අද දරුවෝ දමති මව්පියො මහමඟට

    අදමයි ඇහුවෙ මේ විස්තර මන බැන්ද
    වාගෙයි 'වාසිතය' වටනා 'මකරන්ද
    ගුලාවකි' කියා කිව්වත් වරදක්ද
    තව ලියපන්න! කියවන්නට එමි හෙටද

    ReplyDelete
  3. අද ඉන්න සමහර හෝමෝ සේපියන්ලට වැඩිය හොඳයි වගේ නේද? පරිණාමය වීමේ සංකල්පයට අනුව මේ මනුෂ්‍ය වර්ග එකිනෙකට සම්බන්ධ නිසා "මානුෂ ගුණාංග අපගේ නිර්ඹාණයක් නොවන බවයි." කියන එක හරිද?

    ReplyDelete
    Replies
    1. මනුෂ්‍ය වර්ග එකම කාලෙකදී විවිධ වර්ග ඉඳලා තියෙනවා. ඔතනදි අපගේ කියලා අදහස් කලේ හෝමෝ සේපියන් සේපියන් මානවයා ගැන.

      Delete
  4. https://en.wikipedia.org/wiki/Eaters_of_the_Dead

    ReplyDelete
  5. නියැන්ඩතාල් මානවයා ශක්තිසම්පන්නයි. දඩයම්වලටම හපනෙක්ග ඒ නිසාම උස මහත දැඩි මාංශ පේශී තිබුනා. ඉරාකයේ විතරක් නෙමේ ලෝකයේ වෙනත් තැන් වලින් සොයාගත් ඇට සැකිලිවලත් දරුණු අස්ථි බිදීම් තිබිලා තියෙනවා. ඒත් මෙවැනි උපකාරක කරපු අවස්ථාවක් මේ තරම් පැරණි කාලයක වාර්තා වූ බව නම් දැනගත්තේ අද. නියැන්ඩතාල් වගේ හෝමෝ සේපියන් මානවයා ඒ කියන්නේ අපි වගේ අයත් හිටියා.විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා නියැන්ඩතාල් හා හෝමෝ සේපියන් එකට එකතු වී ප්‍රජනනය පවා බිහි කරයි කියලා. අවුරුදු 50,000කට කලින් කොහොමත් මේ දෙගොල් මිශ්‍ර වුනා. ඒ නිසා \\ දැනට සිටින එකම මානව විශේෂය අප වුවත් මෙම සොයාගැනීම් වලින් නිගමනය වන්නේ මිනිසෙක් වීමට තිබිය යුතු මානුෂ ගුණාංග අපගේ නිර්මාණයක් නොවන බවයි.\\ මෙන්න මේ වාක්‍යෙය්න් ඔබ අදහස් කළ දේ දැන ගන්න කැමති.

    ReplyDelete
    Replies
    1. ඔතනදි මම අදහස් කලේ හෝමෝ සේපියන් සේපියන් මානවයා ගැන. අනෙකුත් මානව විශේෂ දැන් නැහැනේ. නියැන්ඩර්තාල් මානවයන්ගේ මිශ්‍ර නොවුනු අය දැන් නැහැනේ.

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...