Sunday, May 6, 2018

අහුබුදු වත

1920 වසරේ මාර්තු මස 20 වන දින ආර්යසේන ආශුබෝධ උපන්නේ දේවමනිමේන්ද්‍ර හෙරෝනියස් ද සිල්වා සහ වතුගෙදර ලැයිසොහාමිගේ දරුවා ලෙසයි. මොහු කතළුව රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලබයි. ආර්යසේන ලේඛන කලාවට අත්පොත් තබන්නේ 16 වෙනි වියේදියි.

1934 වසරේ එක්තරා දවසක ඔහු එවිට ඉගෙනගනිමින් තිබුනු පාසලේ මුල් ගුරුතුමා ඔහුට තහනමක් පැනවීය. "ඔය පත්තරය තවත් මේ පාසල හරියට ගෙනාවොත් බලාගත හැකි" යි අර්යසේනට කීවේ තරවටු කරමිනි. එම පුවත්පත කුමාරතුංග මුනිදාසයන්ගේ ලක්මිණි පහණ පුවත්පතයි. එහෙත් එම තරවටුවෙන් එම පුවත්පත කියවීම මුල් ගුරුතුමාට නැවැත්විය නොහැකි විය.

මෙම පුවත්පත කියවා එහි භාෂා ශෛලිය හා භාෂා මත අනුගමනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස වෙනත් පාසලකදී 1936 වසරේ ඔහු දැඩි දඬුවමක් වින්දේය. ඒ වේවැලෙන් පිට හරහට පහර හත අටකුත් පාසලෙන් නෙරපාහැරීමෙන් ය. මේ කිසිවකින් අර්යසේනව නැවැත්විය නොහැකි විය. ඔහු තමන් ගමන් ගත් මාර්ගයේම ගමන් කලේය.

මොහු ගුරු වෘත්තියට පිවිසියේ වයස අවු. 17 දී අහංගම පියදිගම සාරිපුත්ත විදිහලෙනි. මේ අවධියේ දී අර්යසේනට කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුර ලැබුණි. කුමාරතුංගයන් විසින් 'සුබස් පතින් කිවිති' යන ගෞරව නාමය ද ලබා දුන්නේය. ඔහුගේම අනුමැතිය මගින් ආර්යසේන ආශුබෝධ සිය නම අරිසෙන් අහුබුදු ලෙස වෙනස් කර ගනියි.

1937 දී අහංගම සාරිපුත්ත විදුහලෙන් ඇරඹි අහුබුදුවන්ගේ ගුරු දිවිය කීඹිය රජයේ පාසල, කටුගස්තොට දීගල පාසල, වැල්ලතොට බෞද්ධ විද්‍යාලය, නුවරඑළිය ත්‍රිත්ව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල තෙක් වසර 42 ක් පුරාවට විහිදුණි. මෙයින් වැඩිම කාලයක් ගුරු සේවයේ යෙදුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙනි. ඒ වසර විසි නමයක කාලයක් ය.

ශාන්ත තෝමස් විද්‍යාලයේ උගන්වමින් සිටි කාලයේ පාසල නිම වී මුහුදු වෙරළ ඔස්සේ තම නිවහන වෙත යමින් සිටින විට පාසලේ ළමුන් කණ්ඩායමක් තම අලුත් ගුරුතුමාගේ ජාතික ඇඳුම හා හෙළ බස සමච්චලයට ලක් කලේය. ඒ බව ඇසුනු අහුබුදුවන් ළමුන් වෙත පැමිණ, "ඒ කියමන හරි, කියාපු විදිහ තමා වැරදි" යැයි කීයා කෙටි ඔවදන් කිහිපයක් ද දුන්නේය. මෙසේ කෑකෝ ගැසූ නඩයේ මූලිකයා වැඩි දිනක් යාමට පෙර කවි පබදා අහුබුදුවන් වෙත ගෙන ආවේය. ඔහු නමින් ගාමිණී ෆොන්සේකා විය.

වසර මෙම පාසලේ දීම ළමයෙක් "ඔය ඇ කාරය නැතුව සිංහල ලියන්න පුලුවන්" යැයි පැවසීය. එකල චිත්‍ර ගුරුතුමාද වූ අහුබුදුවෝ කළු ලෑල්ල වෙත ගොස් වෙරළක් හා එහි වාඩි වී සිටින ළමයෙක් ඇන්දේය. ඉන්පසු එහි "ළමයා වැල්ල අතගායි" යැයි ලීවේය. පසුව වැල්ල වදනෙහි ඇදය මකා දැම්මේය. පන්තියේ ළමුන් කොක් හඬලා සිනාසෙන්නට විය. ඉන්පසු ඔහු නැවත වරක් කළු ලෑල්ල වෙත ගොස් තැඹිලි වල්ලක්ද ළමයා අසල ඇන්දේය.

මොහු ගුරු සේවයේ යෙදෙමින් සිටින අතරතුර දී 1947 වසරේ දරුවන් වෙනුවෙන් 'එඩිය' නමින් සඟරාවක් ආරම්භ කලේය. එහි ශීර්ෂපාඨය ලෙස ඔහු යොදා තැබුවේ 'එඩිය වැඩියේ පොඩියන්ගේ එඩි වැඩීම සදහාය' ලෙසයි.

අහුබුදුවන් ගීත රචනයට පිවිසෙන්නේ 1949 වසරේ නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රසංගයකට ගීත රචනා කිරීමෙනි. සුනිල් ශාන්තයන් විසින් ගායනා කරනු ලැබූ 'ලංකා ලංකා පෙම්බර ලංකා' නම් ප්‍රකට දේශාභිමානී ගීය රචනා වූයේ මොහු අතිනි. චිත්‍රපට වලට ගී ලිවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සන්දේශය චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ය. 'කටේ කිරි සුවද', 'රෑන ගිරා රෑන අඹේ', 'පුර්තුගීසිකාරයා', 'පුන්සඳ එළියයි', 'සුදට සුදේ  වළාකුළයි', හා 'රැජිණ් මමයි' ගීත බෙහෙවින් ජනප්‍රිය විය.

අහුබුදුවෝ නාට්‍ය රචනයට පිවිසෙන්නේ 1946 වසරේදී ය. 'වනරාජ කුමරිය', 'හෙළ හැතිරිය', 'සක්විති රාවණ' හා 'ලෝකාන්තය' එම නාට්‍ය අතර වෙයි. අහුබුදුවන් විසින් අපගේ බසට අලුතින් වචන සාදා දුන්හ. තිබෙන වචන වලට අලුත් නිරුක්ති දුන්හ. ඔහු ලියූ ග්‍රන්ථ අතර 'බුද්ධවංශය', 'කඳ දෙව් උපත', 'පරෙවිය', 'කුමරතුඟු ඇසුර', 'උදාර ළමා කතා සිංහලයේ පද බෙදුම' ආදී ග්‍රන්ථ විශේෂ වේ.

1979 වසරේ දී ගුරු සේවයෙන් ඉවත් වූ පසු සිංහල ශබ්ද කෝෂ කාර්යාලයේ ශබ්දකෝෂ සංස්කාරකවරයෙකු ලෙස ද ජනාධිපති භාෂා උපදේශක ලෙස ද බංගලාදේශයේ පැවති ආසියානු කවි සමුළුවේ ශ්‍රී ලංකා නියෝජනය යන විවිධ තනතුරු හොබවනු ලැබුණි.

1962 දී පරෙවිය සාම අස්න සදහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද, 1969 දී රස දහර කෘතිය වසරේ හොදම පද්‍ය කෘතිය ලෙස ද, 1980 දී හඳයා ළමා චිත්‍රපටයේ කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ ගීතය සදහා සරසවි සම්මානයද, 1984 වසරේ දී කලාසූරී සම්මානය ද, 1985 දී හෙළ උරුමය සංවිධානයෙන් ලද කිවිසුරු සම්මානය ද, 1988 දී පලමු පෙළ කලාසූරී සම්මානය සහ 1990 දී හෙළ බස් මිණි සම්මානයෙන් ද අරිසෙන් අහුබුදුවෝ පිදුම් ලැබූහ.

තම දිවියේ වැඩිම කාලයක් දෙස, බස, රැස වෙනුවෙන් ගත කල ඒ වෙනුවෙන් කැපවූ අරිසෙන් අහුබුදු සූරීන් 2011 වසරේ දී මැයි මස 26 වන දින අප අතරින් සමුගත්තේ ය.



Wednesday, May 2, 2018

බිල් ගේට්ස් ගැන කරුණු 10ක්

1)පාසල් යන අවධියේ දී බ්ල් ගේට්ස් විසින් පාසලේ ලමුන් දිනපතා ඉඳගත යුතු ස්ථානය දැන ගැනීමට පරිගණක ක්‍රමලේඛනයක් පාසලට සාදා දුන්නේය. පසුව මොහු මෙය වැඩිදියුණු කලේ පන්තියේ දැකුම්කළු ගැහැණු ලමුන් අසල තමන්ට නිතර වාඩිවී සිටිය හැකි ලෙසටයි.

2)1994 වසරේදී මොහු ඩාවින්චිගේ කෘතියක් (Codex Hammer) ඩොලර් මිලියන තිහකට අධික මුදලක් ගෙවා මිලට ගනියි. පසුව එහි ඩිජිටල් කෘතියක් සාදා තැටිගත කොට ලොව පුරා බෙදාහරියි.

3)ගුවන් ගමන් අතරතුරදී පොරෝනය හිස දක්වාම වසාගෙන නිදාගන්නට කැමැත්තක් දැක්වූ බිල් තමන්ට යම් රටකට යාමට අවශ්‍ය මොහොතවල් වලදී එය ගුවන් ගමන් කාලසටහන් වලට නොපෑහුන නිසා 1997 වසරේදී පෞද්ගලික ජෙට් යානයක් මිලට ගනියි.

4)2005 වසරේදී දෙවන එළිසබෙත් රැජිණ අතින් බිල් ගේට්ස් හට ගෞරවාන්විත නයිට් නාමයක් පිරිනැමුණි. එහෙත් ඔහු ඇමරිකානු වැසියෙක් වන බැවින් තම නම අගට Sir යන ගෞරව නාමය භාවිතා කල නොහැකියි.

5)2007 වසර වන විට බිල් ගේට්ස් ඩොලර් බිලියන 28ක මුදලක් සමාජ සේවා වෙනුවෙන් ආධාර කර ඇති අතර ඉදිරියේ දී තම ධනයෙන් 95%ක් ම ආධාර කිරීමට බලාපොරොත්තු වන බවද පවසයි.

6)2009 වසරේදී කැලිෆෝනියා හිදී මැලේරියා රෝගය ගැන දේශනාවක් අතරතුර ඔහු මදුරුවන් පැමිණ සිටින අය වෙත මුදා හරියි. "දුප්පත් අය විතරක් මේ අත්දැකීම ලබන්න කිසිම හේතුවක් නෑ" යැයි පවසමින් මොහු මෙසේ කරයි. පසුව අනාවරණය වුනේ මෙම මදුරුවන්ගෙන් මැලේරියා බෝ නොවෙන බවයි.

7)කලක් ලොව අංක එකේ ධනවතා ලෙස සිටි බිල් ගේට්ස් පවසන්නේ ඔහු තම දරුවන් උදෙසා වෙන් කරන්නේ එක් එක් අයෙක් සදහා ඩොලර් මිලියන 10ක පමණ මුදලක් බවයි. දරුවන් තමන්ගේ ඉදිරි ගමන ඔවුන් විසින්ම සැලසුම් කරගත යුතු බව ඔහුගේ අදහසයි. ඔහුගේ වත්කම දෙස බලන විට නෙය ඉතා සුළු මුදලකි.

8)ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පිලිකා රෝගයෙන් පෙලෙමින් සිටි අවධියේ දී බිල් ගේට්ස් ඔහු හමුවට ගොස් ඉදිරි ගමන් ගැන කතා කලේය. එහිදී ස්ටීව් ජොබ්ස් වෙත ලිපියක් ලියන බිල් ගේට්ස් පවසන්නේ ඔහු ආරම්භ කල සමාගම ගැනත් ඔහු කල කී දෑ ගැනත් ඔහු ආඩම්බර විය යුතු බවයි. ස්ටීව් ජොබ්ස් මියගිය පසු ඔහුගේ බිරිද කියා සිටියේ බිල් ගේට්ස් ලබා දුන් එම ලියුම තම සැමියා ඔහුගේ ඇඳ අසලම තබාගෙන සිටි බවයි.

9)මිනිසුන්ගේ මලපහ මගින් විදුලිය හා පානීය ජලය නිපදවීමේ යන්ත්‍රයකට මොහු මුදල් යොදවා ඇති අතර එය සාර්ථක වී තිබේ. මිනිසුන් 100,000 දෙනෙකුගේ දිනපතා මලපහ මගින් ජලය ලීටර් 86,000ක් ද විදුලිය කිලෝවොට් 250ක් ද නිපදවිය හැකියි.

10)බිල් ගේට්‍ස් හට මැක්ඩොනල්ඩ් ආයතනය මගින් රන් කාඩ්පතක් පිරිනමා ඇති අතර එමගින් ඔහුගේ ජීවිතය පුරාවට ලොව පුරා මෙම අවන්හලෙන් නොමිලයේ ආහාර පාන ලබාගත හැකියි.

Monday, April 30, 2018

ලාංකීය සිනමාවේ උල්පත ලෙස්ටර්

ස්කොට්ලන්තයේ බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමට හා ලාංකාවේ එස්.එස්.ඩී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල ලෙස්ටර්ගේ පියාට අවශ්‍ය වූයේ ඔහුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු කිරීමටයි. ලෙස්ටර් අධ්‍යාපනය ලද බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ප්‍රධානී පීටර් පිල්ලේ පියතුමාට අවශ්‍ය වූයේ ඔහුව රෝමානු කතෝලික පූජකයෙකු කිරීමටයි. එහෙත් ලෙස්ටර් ඊට එකඟ නොවීය. මුලදී කේසරී නම් ඉංග්‍රීසි පත්‍රයට ඇමරිකානු චිට්‍රපට ගැන ද එක්සත් ජාතික පක්ෂයේ UNP Journal නම් ඉංග්‍රීසි පත්‍රයට ද හේ ලිපි ලිවීය. එකල වයලීන වාදනය ඉගෙන ගන්නා කාලයේ විශාල වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්නෙක් වීමට ලෙස්ටර් සිහින මැව්වේ ය.

ඉංග්‍රීසීන් රට පාලනය කරමින් සිටි අවධියේ ලංකාවේ පලමු කතානාද චිත්‍රපටය ඉන්දියාවේ දී සෑදෙමින් තිබෙන විට ලෙස්ටර් එංගලන්තය බලා පිටත් වෙයි. එහිදී මොහු තම පලමු අධ්‍යක්ෂණ කටයුත්ත සිදු කරයි. මෙය නමින් සොලිලොකියු වන අතර ඒ සදහා බ්‍රිතාන්‍යයේ හොදම කෙටි චිත්‍රපටය සදහා වූ සම්මානය හිමිවුණි. ලෙස්ටර් මෙම චිත්‍රපටය හා සම්මානය රැගෙන ලංකාවට එන විට රේගුව විසින් මේවා රාජසන්තක කලේය. සම්මානයට සරිලන මුදලක් තැන්පත් කල පසු නැවත සම්මානය ලබාගත් බව පැවසේ. ඉන්පසු නැවත එංගලන්තයට ගිය ලෙස්ටර්ව ලංකාවට ගෙන්වා ගන්නේ ලෙස්ටර්ගේ සොලිලොකියු නරඹා තිබූ රැල්ෆ් කීන් ය. ඔහු ඒ වන විට රජයේ චිත්‍රපට ආයතනයේ සභාපති විය.

ලෙස්ටර් රැල්ෆ් කීන්ගේ සහයකයා ලෙස හිඳ 'හෙරිටේජ් ඔෆ් ලංකා' හා 'නෙළුන්ගම' වැනි චිත්‍රපට සම්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ පලමුවැනි ශ්‍රී ලාංකික චිත්‍රපටය ලෙස පිලිගැනෙන 'රේඛාව' සහ රැල්ෆ් කීන්ගේ වාර්තා චිත්‍රපට අතර ඇත්තේ සමීප සමානකම් ය. රැල්ෆ් කීන් තම සේවා කාලය අවසන් කර ලන්ඩන් වලට යයි. එහිදී ඔහු රේඛාව නරඹා ඒ පිලිබඳව ලෙස්ටර්ට ලියුමක මෙසේ ලියයි;

 "මම ඔබේ රේඛාව බලනකොටයි මට හිතුනේ අපේ නෙළුන්ගම කොච්චර ආධුනික වැඩක් ද කියලා"

රේඛාවෙන් පසු ලෙස්ටර්ගේ දෙවෙනි චිත්‍රපට කටයුත්ත වූයේ සංදේශය (1960) චිත්‍රපටයයි. එකල ලක්ෂ එකහමාරකින් පමණ චිත්‍රපටයක් මනා ආකාරයෙන් නිමැවිය හැකි කාලයක සංදේශය සදහා ලක්ෂ පහක පමණ මුදලක් වැයවේ. මෙය එකල දැවැන්ත චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය කැරලි නායකයාගේ චරිතා සදහා ආනන්ද ජයරත්න රඟපෑ අතර ඔහුගේ සහයක ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑහ.

සාමාන්‍ය මිනිසුන් භික්ෂූන් වහන්සේලාගේ චරිතය රඟපෑම හේතුකොටගෙන එකල ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සංදේශය තහනම් කලේය. මේ පිලිබඳව ගාමිණී ෆොන්සේකා පූජ්‍ය මාපලගම විපුලසාර හිමිට සැල කර අතර උන්වහන්සේ ඇතුලු විසිපස් නමක් සංදේශය චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නරඹා සියලු දෙනාගේ අත්සන් ඇතිව තහනම ඉවත් කරන ලෙස පවසා සංස්කෘතිය ඇමතිවරයා වෙත පෙත්සමක් යැවීය. එයින් සංදේශයේ තහනම අහෝසි විය.

සංදේශය අන්තර්ජාතික චිත්‍රපට උත්සව කිහිපයකදී ලංකාව නියෝජනය කලේය. එයින් එක් උත්සවයක් වූ චෙකොස්ලොවැකියාවේ කාලෝවිවේරි චිත්‍රපට උලෙලේ දී සංදේශයේ දර්ශන, අධ්‍යක්ෂකගෙන් හෝ නිශ්පාදකගෙන් අවසරය නොගෙන කප්පාදු කර චිත්‍රපටයේ අර්ථයට හානි වෙන අයුරින් ප්‍රදර්ශනය කෙරූ නිසා ලෙස්ටර් එම උලෙලෙන් ඉවත් විය.

ලෙස්ටර්ගේ 12 වෙනි චිත්‍රපටය වූයේ අහසින් පොළොවට චිත්‍රපටයයි. මෙය අයිලීන් සිරිවර්ධනගේ පලමු නවකතාව වන අතර එය චිත්‍රපටයකට සුදුසු යැයි ලෙස්ටර්ට යෝජනා කරන්නේ සරච්චන්ද්‍රයන් විසිනි. රුක්මණී දේවිය ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපෑ පලමු හා අවසන් අවස්ථාව මෙම චිත්‍රපටය වන අතර ඇයට මෙම චිත්‍රපටය නැරඹීමට ද නොහැකි විය. මෙම චිත්‍රපටය තුන්වන ලෝකයේ හොදම චිත්‍රපටය ලෙස ඊජිප්තුවේ කයිරෝ හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ දී සම්මාන ලැබීය. මෙම සම්මානය පිලිගැනීමට එහි යන්නේ අහසින් පොලොවට චිත්‍රපටයෙහි සරත් දොස්තර මහතාගේ චරිතයට පණ පෙවූ ටෝනි රණසිංහයි.

ලෙස්ටර් විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට ගන්නට වෑයම් කල විට වික්‍රමසිංහයන් පැවසුවේ ඒ සදහා රෝහිණී නවකතාව වඩා උචිත බවයි. එහෙත් ලෙස්ටර් ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට ගැනීම ගැන දැඩිව සිටි අතර රෝහිණී නවකතාව චිත්‍රපටයකට නැගුවේ නැත. මාර්ටින් වික්‍රමසිංහගේ තවත් නවකතාවන් කිහිපයක් (මඩොල් දූව, කලියුගය හා යුගාන්තය) ලෙස්ටර් අතින් චිත්‍රපට ගත කෙරුවත් රෝහිණී එසේ නොවුණි. ඉතා සාර්ථක වූ ගම්පෙරළිය චිත්‍රපටය 1965 වසරේ ජනවාරි මස ඉන්දියාවේ නවදිල්ලි හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකදී සම්මාන දෙකකට පාත්‍ර විය.

ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයක් වූ බැද්දේගම චිත්‍රපටයේ රඟපෑම සදහා එකල ප්‍රකට විද්‍යාඥයෙකු වූ ආතර් සී ක්ලාක් එක් විය. ඒ ඉංග්‍රීසියෙන් අසන බැද්දේගම නඩුවේ සුදු ඒජන්තවරයාගේ චරිතයට පණ පෙවීමටයි.


එක්සත් ජාතික පක්ෂයේ රජයේ මන්ත්‍රීවරයෙක් ව සිටි ටිරෝන් ප්‍රනාන්දු ට පුරන් අප්පු චරිතය අළලා චිත්‍රපටයක් කිරීමට උවමනාව තිබුණි. මීට හේතු වූයේ පුරන් අප්පු ටිරෝන්ගේ මව් පාර්ෂවයෙන් පැවත එන ලේ ඥාතියෙකු වීමයි. මුලදී මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයේ ඇරයුම යන්නේ මණික් සන්ද්‍රාසාගරට ය. ඔහු එය ප්‍රතික්ෂේප කරයි. එයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ "ටිරෝන්ගේ අභිප්‍රාය පුරන් අප්පුව මොරටු වීරයෙක් කරන්නයි" යනුයි. අවසානයේ ලෙස්ටර් ටිරෝන්ගේ මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස්ටර් භාර ගනියි.

1937 වසරේදී දහ අට හැවිරිදි ලෙස්ටර් කවි පොතක් ලියා මුද්‍රණය කරවයි. මෙය නමින් 'The Cathedral and a Star' වේ. පිටු 18 කින් යුත් මෙම කෘතියේ ලෙස්ටර් විසින් ලියූ කවි 25ක් අඩංගු වේ. පසුව ඔහු විසින්ම මෙම කෘතිය ගිනි තබා විනාශ කරයි. වරක් ඒ මන්දැයි ඇසූ විට ලෙස්ටර් සිනහමුසු මුහුණින් පවසා සිටියේ "සේරම එළිවෙනවනේ" කියාය.

මෙම යෞවන කවියා හට තම කවි පොතෙහි පිටපතක් ජවහර්ලාල් නේරුතුමාට පිලිගන්වන්නට අවස්ථාව උදා විය. ඒ තම පියා මාර්ගයෙනි. නේරු ලංකාවට පැමිණ නැවතී සිටියේ බම්බලපිටියේ පිහිටි දමිළ ප්‍රභූ නිවසකය. මෙම ප්‍රභූවරයා ලෙස්ටර්ගේ පියාගේ මිතුරෙකි. නේරුද සාහිත්‍යයට ලැදි අයෙක් බව දන්නා නිසා පුතුගේ කවි පොත පිලිගැන්වීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. එය සථල විය.

ලෙස්ටර් විසින් වෘත්තාන්ත චිට්ග්‍රපට විස්සක් තනා ඇති අතර එක් ඉංග්‍රීසි භාෂිත වෘත්තාන්ත චිත්‍රපටයජ් තනා ඇත. එය 1976 දී එළිදැක්වුණු 'The God King' චිත්‍රපටයයි.

බොහෝ සිනමාවේදීන් එක් තේමාවක් හෝ තේමාවන් කිහිපයකට සීමා වී තම නිර්මාණකරණයේ යෙදුනත් ලෙස්ටර් තම හැකියා ප්‍රයෝජනයට ගනිමින් නොයෙක් තේමාවන් ඔස්සේ නිර්මාණකරණයෙහි යෙදුනේ ය.

ප්‍රංශ රජය විසින් මෙම මහා සිනමාවේදියාට ' Comander of Arts and Lester' සම්මානයෙන් ද කෑන්ස් චිත්‍රපට උළෙලේ දී 'ෆෙඩ්‍රිකෝ ප්ලිනි' ගෞරව සම්මානයෙන් ද ඉන්දීය රජය විසින් 'යාවජීව කර්තව්‍ය' සම්මානයෙන් ද 1966 දී මෙක්සිකෝවේ අකපුල්කෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී 'Golden head perlank' සම්මානයෙන් ද පිදුම් ලැබීය. පේරාදෙණිය හා කැලණිය විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලෙස්ටර් හිමි කරගෙන තිබෙන අතර ඔහු ලංකාවේදී ලැබූ සම්මාන අති විශාලයි. ඒ අතර ලාංකිකයෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන 'ශ්‍රී ලංකාභිමාන' සම්මානය ද වීම විශේෂයි.

 2007 දී 'අම්මාවරුනේ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර මොහු සිනමා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගනියි. පසුගිය අප්‍රේල් 29 වන දින ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා කලාකරුවා ලොව සිටි වයස්ගතම සිනමාවේදියා වෙමින් 99 වසරක් ආයු වැද මෙලොවෙන් සමු ගනියි. ඔබට සුබ ගමන්!


Sunday, April 15, 2018

ටයිටැනික් මුහුදුබත් වී වසර 106 යි

1911 වසරේ මාර්තු මස 31 වන දින අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හිදී මිනිසුන් 100,000ක් පමණ එක්රැස් වූයේ එකල වන විට වඩාත් විශාලතම හා වඩාත් සුඛෝපභෝගී වූ නැව වූ නෞකාව වූ ටයිටැනික් නැවේ මංගල ගමන දැක බලා ගැනීමටයි. මෙම නෞකාව අඩි 882ක දිගකින් ද අඩි 175ක උසකින් හා ටොන් 46,000ක බරකින් ද යුක්ත විය. මෙම නෞකාව එකලට සාපේක්ෂව දියුණු තාක්ෂණයකට හිමිකම් කියූ අතර රැහැන් රහිත මෝස් කෝඩ් සන්නිවේදන තාක්ෂණයක් ද තිබුණි.

ටයිටැනික් හි මංගල ගමනෙහි වූ දේශනයේ දී කපිතාන්වරයා කියා සිටියේ මෙම නෞකාව 'කිසිදා ගිල්විය නොහැකියි' යන්නයි. එහෙත් අවාසනාවකට නිව් යෝර්ක් බලා පිටත් වූ මෙම මංගල ගමනේ දින හතරකට පසු එනම් අප්‍රේල් මස 14 වන දින විශාල අයිස් පරයක ගැටී ටයිටැනික් නැව මුහුදුබත් විය. නෞකාව මුහුදුබත් වී ශතවර්ෂයකට අධික වුවත් මිනිසුන් 1,500කගේ පමණ ජීවිත අරගත් මෙම ඛේදවාචකයට හේතු තවමත් සොයයි.

මුල සිටම නැවේ කපිතාන්වරයා වූ ඊ.ජේ. ස්මිත් හට චෝදනා එල්ල වූයේ ඔහු නෞකාව අධික වේගයෙන් (නොට් 22) අයිස්පර ඇති උතුරු අත්ලාන්තික් සාගරයේ ගමන් කෙරවූ බවයි. ටයිටැනික් නැව අයිස්පරයේ හැපෙන්නට පැයකට පමණ පෙර ඒ අසලින් ගමන් කල කැලිෆෝනියන් නෞකාව ටයිටැනික් වෙත දැනුම් දුන්නේ ජලය පමණට වඩා මිදී ඇති බැවින් තමන් ටික වේලාවකට ගමන් කිරීම නවත්වන බවයි. එහෙත් ටයිටැනික් හි රේඩියෝ පරිපාලකයා වූ ජැක් ෆිලිප්ස් මෙම අනතුරු ඇඟවීම එතරම් තැකිය යුත්තක් නොවන බව සිතා එය කපිතාන්වරයාට දැන්වූයේ නැත.

2010 වසරේදී මෙම ඛේදවාචකයට තවත් හේතුවක් අනාවරණය විය. ලුවිස් පැටන් (ටයිටැනික් හි සේවය කල ජේෂ්ඨයෙක් වූ චාල්ස් ලයිටොලර් ගේ මිණිබිරිය) පවසා සිටියේ අයිස් පරයේ හැපෙන්නට යන මොහොතේ නෞකාව හරවන්නට යැයි කී විට කාර්යමණ්ලයේ සාමාජිකයෙක් තැති ගැනීමකට ලක්ව නෞකාව හරවා ඇත්තේ අයිස් පරය දෙසටයි.

1985 දී ඇමරිකානු-ප්‍රංශ ගවේෂකයන් ටයිටැනික් නැවේ සුන්බුන් තිබෙනා තැන සොයා ගත් පසු ඔවුන්ට අනාවරණය වූයේ නෞකාව අයිස්පරයේ ගැටුණු මොහොතේ මුහුද මතදී නෞකාව පලමුව දෙකට කැඩී ඉන්පසු මුහුදුබත් වූ බවය. මෙයට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ටයිටැනික් හි නිමැවුම්කරුවන් වාසිය තකා එකලට අනුරූප තත්වයෙන් බාල රිවට් ඇණ යොදාගත් බවයි. මෙම කරුණ ටයිටැනික් නැවෙන් ගෙනා මිලියන තුනකට අධික රිවට් ඇණ සාක්ෂි දරයි.

ටයිටැනික් ඛේදවාචකයට වසර සියය සපිරූ එනම් 2012 වසරේ සාකච්චා වූ මාතෘකාවක් වූයේ මෙම ඛේදවාචකයට අවට පරිසරයද වැදගත් තැනක් ඉසිලූ බවයි. එම වසරේ හිරු හා චන්ද්‍රයා පෘතුවියට ඉතා ආසන්නයෙන් පිහිටා තිබූ වසරක් නිසාවෙන් ගුරුත්වාකර්ෂණ බලය හේතුකොටගෙන බොහෝ අයිස්පර උතුරු අත්ලාන්තික් සාගරයේ මතුපිට පාවෙමින් තිබූ බව පලමුව විවාදයට ලක්විය.

දෙවෙනුවට සාකච්ඡා වූයේ එදින රැයේ තිබුනු වායුගෝලයේ සංයුතිය නිසාවෙන් අයිස්පරය පැහැදිලිව නොපෙනුණු බවයි. එමෙන්ම ඒ අසල තිබූ කැලිෆෝනියන් නෞකාවට ටයිටැනික් නැව පෙනී ඇත්තේ ළගින් පිහිටි කුඩා නැවක් ලෙසයි. කැලිෆෝනියන් නැව යැවූ රේඩියෝ සංඥා වලට පිලිතුරක් නොතිබූ බැවින්ද ඒ ටයිටැනික් නැව යැයි ඔවුන් නොසිතූ බවද සාකච්ඡා විය.

ටයිටැනික් නැවේ කාර්යමණ්ඩලයේ සිටි ඩේවිඩ් බ්ලෙයර් සතුව බයිනොකියුලර (දෙනෙති) අඩංගු කාමරයේ යතුර තිබුනි. එහෙත් ඔහු ගමනේ අතරමගදී නැවෙන් සමුගත් විට ඔහු වෙනුවට පත් වූ තැනැත්තාට එම යතුර බාර දීමට ඔහුට අමතක විය. එමනිසා දුර තිබෙන අයිස්පර පැහැදිලිව දැක බලා ගැනීමට කාර්යමණ්ඩලයට අපහසු විය. කෙසේ හෝ 2007 වසරේ දී මෙම යතුර යූරෝ 90,000ක මුදලකට වෙන්දේසි විය.

නැවේ මගීන්ට මෙන්ම කාර්යමණ්ඩලයට ඇති තරම් ජීවිතාරක්ෂක බෝට්ටු තිබුනා නම් මෙතරම් ජීවිත හානියක් වලක්වා ගන්නට හැකියාව තිබුනි. ටයිටැනික් නැව පිටත් වී ඇත්තේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් ඇතිවයි. මෙය නීතියට අනුව ගෙන යා යුතු අවම ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයයි. ටයිටැනික් නැව පරීක්ෂා කල ක්ලාක් නම් සිවිල් සේවකයා පවසා සිටියේ තවත් 50%ක් අමතර ජීවිතාරක්ෂක බෝට්ටු රැගෙන යන ලෙසයි. එහෙත් මෙම සුප්‍රකට නෞකාවේ ගමනට බාධා කිරීම තම රැකියාවට තර්ජනයක් බව සිතූ ඔහු නෞකාව දියත් කිරීමට අවසර දුන්නේ ය. මෙය ඔහුගේ අත් අකුරින් ලියැවුණු ලියුමක සදහන් වේ. තවත් වැදගත් කාරණයක් නම් ටයිටැනික් නෞකාව ගැටුනු පසු මිනිසුන් 1500කට ආසන්න ප්‍රමාණයක් මුහුදට බිලි දී ජීවිතාරක්ෂක බෝට්ටු 20 මිනිසුන් රැගෙන ගියේ හිස් ආසන 400කට ආසන්න ප්‍රමාණයක් සහිතවයි.
















Saturday, April 14, 2018

ලෙස්ටර්ගේ සොලිලොකියු

ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියාගේ පලමු අධ්‍යක්ෂණ කටයුත්ත වූයේ සොලිලොකියු නම් කෙටි චිත්‍රපටයයි. ඒ 1949 වසරේදී යි. ලෙස්ටර් පවසන්නේ තමන්ගේ මෙම පලමු නිර්මාණය පර්යේෂණාත්මක අත්හදා බැලීමක් ලෙසයි. තම සොහොයුරු අයිවන්ගේ තනියට එංගලන්තයට ගිය ලෙස්ටර්ව ලංකාවට ගෙන්වා ගැනීමට මූලික වූයේ මෙම චිත්‍රපටයයි.

ආදර කතාවක් මත දිවෙන මෙම කෙටි චිත්‍රපටය සදහා තම මාසික වැටුප වියදම් කලේ සිනමාව කෙරෙහි තමන්ට ඇති දැඩි ඇල්ම නිසාවෙනි. ලෙස්ටර් විසින් තැනූ මෙම චිත්‍රපටය එකල බ්‍රිතාන්‍යයේ හොදම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. එසේ ඇගයීමක් ලද චිත්‍රපටය මෙතෙක් විධිමත් ලෙස ලංකාවේ ප්‍රදර්ශනය වී නැත. එයට හේතු වන්නේ ඔහු චිත්‍රපටය හා සම්මානය රැගෙන ලංකාවට පැමිණෙන විට රේගුව විසින් ඒවා රාජ සන්තක කර ගැනීමයි. සම්මානයේ වටිනාකමට සරිලන මුදලක් තැන්පත් කල පසු ලෙස්ටර් එම සම්මානය නැවත ලබාගත් බව පැවසේ. තම පලමු නිර්මාණයෙන්ම සම්මාන ලද මෙම සිනමාවේදියාව ලංකාවෙන් පිලිගත්තේ එලෙසයි.

එංගලන්තයේ 1950 පැවති Amateur Cine Word ආයතනය විසින් පවත්වනු ලැබූ මෙම සම්මාන උළෙලේ ජූරියේ සිනමා දැවැන්තයෙකු වූ රැල්ෆ් කීන් ද සිටියේය. මුලදී ලංකාවට ඒමට අකමැති වූ ලෙස්ටර්ව ලංකාවට ඒමට කැමති කරගන්නේ රැල්ෆ් කීන් ය. ඒ එවකට අගමැති ඩී.එස්. සේනානායක විසින් රැල්ෆ් කීන් ව රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා බවට පත්කර ගැනීමෙන් අනතුරුවයි. මෙහිදී අප අමතක නොකල යුතු කාරණයක් වන්නේ 1947 දී සෑදුනු කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තැනීමට ප්‍රථමයෙන් ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් තැනීමට මෙරටට සපැමිණි විශිෂ්ටයන් දෙදෙනෙකු වූ ජූලියෝ පෙට්‍රෝනි සහ ෆ්‍රෙඩ්‍රිකෝ සෙරා කොමියුනිස්ට් කාරයන් යැයි සැක කර ඩී.එස්. මොවුන්ව රටින් නෙරපා රැල්ෆ් කීන්ව ගෙන්වා ගත් බවයි.

රැල්ෆ් කීන් ලෙස්ටර්ගේ හැකියා හදුනාගන්නේ සොලිලොකියු චිත්‍රපටය හරහාය. රැල්ෆ් කීන් ලංකාවට පැමිණි පසු ලෙස්ටර්ට තමන් සමග චිත්‍රපට සෑදීමට ආරාධනා කලද ලෙස්ටර් එය සුහදව ප්‍රතික්ෂේප කලේ එංගලන්තයේ ඔහුට තිබූ නිදහස නිසාවෙනි. එහෙත් රැල්ෆ් කීන්ගේ දැඩි ඉල්ලීමට ලෙස්ටර් ලංකාවට පැමිණේ.

සොලිලොකියු චිත්‍රපටය නොතිබුනා නම් විටෙක ලෙස්ටර් ලංකාවට නොපැමිණීමට ද ඉඩකඩ තිබුණි. එලබෙන අප්‍රේල් 28 වන දිනට සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික සිනමා විචාරකයෙකු වන රොජර් මැන්වෙල් අතින් සොලිලොකියු චිත්‍රපටයට වසරේ ඉහලම ශිල්පීය ප්‍රවීණතාවය පල කරන චිත්‍රපටයට හිමි සම්මානය ලබා වසර 68ක් සපිරේ.


Sunday, April 8, 2018

ෂෙල්ටන් නම් මහා ගාන්ධර්වයා

 කලක් ලංකාවේ දක්ෂතම ශාස්ත්‍රීය ගායකයා හා වාදකයා බවට පත්ව සිටියේ සාදිරිස් මාස්ටර් ය. ඔහු කෙතරම් දක්ෂ සංගීතඥයෙකු වුවත් ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ පුත්‍රයාව වෛද්‍යවරයෙක් කරවන්නටයි. එහෙත් දෙවන ලෝක යුද්ධය නිසාවෙන් වෛද්‍ය අධ්‍යාපනයට බාදා වූ අතර සාදිරිස් මාස්ටර් තම පුත්‍රයාට සංගීතය ඉගැන්වීමට පටන් ගත්තේ ය. ඒ අනුව සංගීතයෙන් ඉදිරියට ගිය පුත්‍රයා ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම සංගීතඥයන් අතරට ගිය අතර හේ නමින් ෂෙල්ටන් ප්‍රේමරත්න විය.

'දස්කොන්' චිත්‍රපටය තුලින් ඔහු තම හැකියාව මනාව පෙන්නුම් කලේය. සිසිර සේනාරත්න සමහ රුක්මණී ගායනා කල 'සොම්නස පෙම්රස එකතු වුණා' ගීතය හා ෂෙල්ටන් සිසිර සේනාරත්න සමග ගායනා කල 'ධර්ම රජයෙනි සැප' ගීතය දස්කොන් චිත්‍රපටයේ ඇති ශ්‍රාවක සිත් දිනාගත් ගීත දෙකකි. මෙහි 'ධර්ම රජයෙනි සැප' ගීතය සිංහල චිත්‍රපටයක ආ පලමු ශාස්ත්‍රීය ගීතයයි.

ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසිනි. 'හුනුවටයේ කතාව', 'කෝන්තරේ', 'මන්ත්‍රී හාමුදුරුවෝ', 'හොටබරි යුද්දේ', 'තහංචි' හා 'කුවේණි' ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කිහිපයකි.

සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන්නේ "My dreams are roses for my love" ගීතයයි. මෙහි පද රචනය මර්සලින් ජයකොඩි පියතුමා විසින් කරනු ලැබූ අතර සංගීතවත් කලේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි. මෙම ගීතයේ තවත් විශේෂත්වයක් තිබේ. එනම් මෙම ගීතය ගායනා කල සුනිල් ශාන්තයන් වෙනස් කෙනෙකු සංගීතවත් කල ගීයක් ගායනා කල ප්‍රථම හා එකම අවස්ථාව වන්නේද මෙයයි. මෙම ගීතය ගායනා කිරීමට සුනිල් ශාන්ත ප්‍රථික්ෂේප කලහොත් ඒ සදහා අයිවර් ඩෙනිස් යොදා ගැනීමට ෂෙල්ටන් සිතා සිටියේය.

ඔහු තම නිර්මාණ සදහා නොයෙකුත් වාද්‍ය භාණ්ඩ යොදා ගත්තේය. හුණුවටයේ කතාව හැදින්වීමේ සංගීතය සදහා ඉපැරණි බෑග් පයිප් සංගීත භාණ්ඩය යොදා ගත් අතර එම නාට්‍ය සදහා ජපන් සංගීත භාණ්ඩයක් වන ඕ ඩයි කෝ සංගීත භාණ්ඩය යොදා ගත්තේය. එමෙන්ම මුල්ම වරට ෆ්‍රෙන්ච් හෝන්, චෙලෝ සහ ඕබෝ සංගීත භාණ්ඩ තම නිර්මාණ වලට යොදා ගත්තේය.

මාලිනී බුලත්සිංහල ගායනා කල "සඳ මඩලේ සිට" , සුජාතා හා මිල්ටන් පෙරේරා ගායනා කල "සුපුන් සදක් නැගීලා" , හරූන් ලන්ත්‍රා හා සුජාතා ගායනා කල "හංසරානී" , රංජනී පෙරේරා ගායනා කල "සීතල පාළුව" හා සුජාතා ගායනා කල "රන්තරු පුන්සද" ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ අතරින් අතලොස්සකි.

කලකට පෙර ඉහතදී දීපසිඛා නම් වූ චිත්‍රපට උළෙලේ නාවික හමුදාවේ වාදන මඩුල්ල මෙහෙයවා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි. හමුදා සේවක වාදක මණ්ඩලයක් ඉන් බාහිර සංගීතඥයෙකු මගින් ලංකාවේදී මෙහෙයවූ ප්‍රථමයා මොහුයි.

ෂෙල්ටන් හොටබරි යුද්ධය හි සතුන් රැසකගේ හඬ සංගීතයෙන් මතු කලේය. විදේශීය තනු වලට සිංහල වචන ඔබ්බවා ඒවායේ සංගීත අධ්‍යක්ෂක තමා යැයි කියා ගන්නා මිනිසුන් සිටි අවධියේ ෂෙල්ටන් සෑම විටම උත්සහ කලේ ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කිරීමටයි.

ෂෙල්ටන් හට කලාශූරී සම්මාන ඇතුලු විවිධාකාර වූ සම්මාන රැසක් හිමි විය. එමෙන්ම සෞන්දර් කලා විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක්ද ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හට ප්‍රධානය කලේය.

එක්තරා අවස්ථාවක "ඔබට වාද්‍ය භාණ්ඩ කීයක් විතර වාදනය කල හැකි ද?" යැයි විමසූ අවස්ථාවක ෂෙල්ටන් ප්‍රේමරත්නයන් "අතට අහුවෙන ඕනම දෙයක්" යැයි පැවසුවේ ඉතාමත් සැහැල්ලුවෙනි.

කෙතරම් සංගීතඥයන් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගෙන් ගුරුහරුකම් ලැබුවද ඉන් බොහෝ දෙනා ඔහුව මතක් නොකිරීම කණගාටුවට කාරණයකි. වරක් මෙම කෙලෙහි ගුණ පිලිබඳව ෂෙල්ටන් කියා සිටියේ "කෙලෙහිගුණ තියෙන්නේ බල්ලගේ වලිගෙයි පඩික්කමේ අඩියෙයි විතරයි" යනුයි.

වර්තමානය වන විට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන අතර එහි සංගීත අධ්‍යාපනය ලබා දෙමින් තම සංගීත කටයුතු වල නියැලෙමින් පවතියි.

ෂෙල්ටන් ප්‍රේමරත්න නම් මහා සංගීතවේදියාගේ නිර්මාණ ගායනා කල ගායක ගායිකාවන් අති විශාලයි. එකී මෙකී සුවිශේෂී දස්කම් මගින් මොහු පෙළහර පෑ නමුත් සාපේක්ෂව වගකිව යුත්තන්ගේ අඩු ම සැලකිල්ලට බඳුන් වූ සංගීතවේදියා මොහුයි.

Saturday, April 7, 2018

ගින්නෙන් දැවී ගිය "රාජකීය වික්‍රමය"

ප්‍රථම ලාංකික චිත්‍රපටය ලෙස සැලකෙන්නේ ඉන්දීය අධ්‍යක්ෂකමරයෙකු විසින් අධ්‍යක්ෂණය කර ඉන්දියාවේදී රූගත කර ලංකාවේදී 1947 වසරේදී තිරගත වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයයි. 1925 වසරේ අවාසනාවන්ත ලෙස ගින්නකට හසු නොවන්නට ලංකාවේ තිරගත වූ පලමු චිත්‍රපටය ලෙස නම් දැරීමට තිබුණේ රාජකීය වික්‍රමය චිත්‍රපටයයි.

ලංකාවේ පලමු චිත්‍රපටය වූ රාජකීය වික්‍රමය සදහා මූල්‍යමය දායකත්වය සැපයූයේ එකල සිටි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ බෝරා ජාතික ටී.ඒ.ජී. නූර්බායි විසිනි. ලංකාවේ පලමු චිත්‍රපට නිශ්පාදකයා වන්නේද මොහුයි. ධාන්‍ය වර්ග මෙරටට ගෙන්වා මෙරට දේ පිටරටට යැවීම ඔහුගේ ව්‍යාපාරයයි. වැල්ලවත්තේ රෙදි මෝලෙහි අයිතිකරුව සිටි මිහුට නැව් කිහිපයක් ද හිමිව තිබුණි. 1900 මුල් දශකයේ පටන් නූර්බායි සක්‍රීයව චිත්‍රපට ප්‍රදර්ශනයේ නියුතුව සිටියේ ය.

එකල සිටි තවත් චිත්‍රපට ප්‍රදර්ශකයෙක් වූ සී. වැන්ගර් හා එක්ව "ලන්ඩන් බයිස්කෝප් චිත්‍රපට ප්‍රදර්ශන සමාගම" ඇරඹීය. රාජකීය වික්‍රමය නිර්මාණය කල අවධියේ දී ඔහු "නූර්බායි ඊස්ටන් කම්පැනි" නම් සමාගම සහ වැල්ලවත්තේ "ප්ලාසා" සිනමාහල ඇරඹීය.
නූර්බායි

මෙම චිත්‍රපටය  අධ්‍යක්ෂණය සදහා නූර්බායි යොදාගන්නේ ගුප්තා නම් ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ය. මීට දශක දෙකකට පමණ පසු නිමැවුණු කඩවුණු පොරොන්දුව චිත්‍රපටය රූගත කිරීම සදහා යොදාගත්තේ ඉන්දියාවයි. එනමුත් චිත්‍රපට නිශ්පාදනයට අවශ්‍ය සියලු කලමනා ලංකාවට ගෙන්වා රාජකීය වික්‍රමය ලංකාවේදී රූගත කිරීමට නූර්බායි පියවර ගත්තේය.

රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා චිත්‍රපටයේ එළිමහන් දර්ශනද තිබුනු බව කියැවේ. එම එළිමහන් දර්ශන ජයවර්ධනපුර දියවන්නා ඔය අසල දී කැමරාගත කොට ඇත.

1925 දී චිත්‍රපටයක රඟපෑමට කඩවසම් තරුණ තරුණියන් වුවමනා බවට තිබූ පුවත්පත් දැන්වීමක් දැක ඒ සදහා ක්‍රියාත්මක වූ තරුණයෙක් ඒ සදහා ඉල්ලුම් කලේය. ඔහු එන්.එම්. පෙරේරා නම් වේ. එන්. එම්. ව තෝරා ගැනුනේ රාජ කුමාරයෙකුගේ චරිතයකටයි. එකල රාජකීය වික්‍රමය චිත්‍රපටයේ රඟපෑම සදහා එන්.එම්. ට ගෙවා ඇත්තේ රු.100ක මුදලකි. එන්.එම්. තම බයිස්කෝප් දිවිය පිලිබඳ මෙසේ පවසයි;

"ඒ බයිස්කෝප් ජීවිතය ඉතා කරදරකාරී ජීවිතයක්. ඇඳුම් ඇඳගෙන, ශරීරයේ පාට වර්ග තවරාගෙන උදේ පටන් හවස් වන තුරුම දහදිය හෙලමින් සිටියා. චිත්‍රපටි ගන්නා අවස්ථාවල සූර්යයා වළාකුළු වලින් වැසුණු විට ඉර හොදින් පායන තුරු පැය ගණන් රස්තියාදු වෙමින් සිටියා."

එන්.එම්

චිත්‍රපටයේ අනෙක් චරිත ලෙස සිබිල් පිට්, ඇන්.පී.ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා, ග්‍රේෂන් පෙරේරා ආදීන් රඟපෑවේය. මෙම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සිදු කලේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් වන එම්. සාර්ලිස් හා ජී.එස්. ප්‍රනාන්දු අතිනි. එමෙන්ම මෙම නිහඬ චිත්‍රපටයේ සෑම දෙබසක්ම ලියැවුණේ සාර්ලිස් මාස්ටර්ගේ ගෝලයෙක් වූ ජී.එස්. අතිනි. නූර්බායි විසින් ඔහුට මේ සදහා ගෙවීමට වූ මුදල එකවර ගෙවූ බවත් විටින් විට ඒ සදහා තෑගි බෝග ලබා දුන් බවත් සදහන් වේ. එයින් ගම්‍ය වන්නේ නූර්බායි තුලින් වූ මෙම චිත්‍රපටයට තිබූ මහත් උදයෝගයයි.

රාජකීය වික්‍රමය චිත්‍රපටය ඉන්දියාව වෙත ගෙන ගන්නේ රසායනාගාර කටයුතු සදහායි. ඉන්දියාවේ තැන් කිහිපයකත් සිංගප්පූරුවේත් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වූ බවට සදහන් වේ. එනමුත් අවාසනාවන්ත අයුරින් ඉන්දියාවේ සිට ලංකාව වෙත නැවෙන් මෙම චිත්‍රපටය පැමිණෙන විට ගින්නකට හසු වී විනාශ වී ගිය බව කියැවේ.

සැබවින්ම මෙසේ මෙම චිත්‍රපටය ගින්නකට හසු වීම අහම්බයක් ද? එසේත් නැතිනම් එකල සිටි ඉන්දීය චිත්‍රපට ප්‍රකාශකයන්ගේ ක්‍රියාවක් ද?

මෙම චිත්‍රපටය ලංකාවට ගෙන ඒමේදී නැවෙහි ගබඩා කාමරයක වූ ගින්නකින් චිත්‍රපටය විනාශ වී ගිය බව කියැවේ. මෙම චිත්‍රපටයේ පිටපත් නොතිබුනේ ඒ සදහා අධික වියදමක් යන නිසාවෙනි. එකල සේයා පටලවලට ගිනි ආරක්ෂණ රසායනික එක්කොට නොතිබූ නිසා අධික උෂ්ණත්වයකදී ගිනි ගැනීමට පුළුවන. එහෙත් එකල මෙරටට ගෙනා අනෙක් චිත්‍රපට මෙසේ අධික උෂණත්වයකට ලක්ව විනාශ වූයේ නැත.

මෙම චිත්‍රපටය බොම්බායේ දී ප්‍රදර්ශනය කෙරුණු පසු අභිරහස් ලෙස විනාශ වූ බවටද කියැවේ. මේ සදහා ඉන්දීය චිත්‍රපට ශිල්පීන් වගකිව යුතු බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි.

කෙසේ හෝ කුහක ඊර්ෂ්‍යා මිනිසුන්ගේ ග්‍රහණයට රාජකීය වික්‍රමය ලක් වී විනාශ වුවද පසුව බිහි වූ ලාංකික සිනමාව කෙරෙහි මෙය සුවිශාල දායකත්වයක් සැපයූ බව නොරහසකි.

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...