Monday, July 1, 2019

ආදම් සහ ඒවගේ දිනපොත - 1 කොටස (පරිවර්තනය)



[කෙටි කතාව කියවීමට පෙර -

 මෙම කෙටි කතාවේ මුල් කර්තෘ ලෙස සැමුවෙල් ලැන්ග්හෝර්න් ක්ලෙමෙන්ස් මහතා හැදින්විය හැකියි. ඔහුව ලොව පුරා වෙසෙන පාඨකයන් හදුනාගන්නේ මාක් ට්වේන් යන නාමයෙනි. අදින් සියවසකට අදික කාලයකට පෙර එනම් 1905 වසරේදී එලිදැක්වුනු Eve's Diary යන කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි පහත ඔබට කියවීමට තිබෙන්නේ. මෙම කෙටි කතාව කොටස් තුනකින් යුක්තයි. ඒ ඒවගේ දිනපොත සහ ආදම්ගේ දිනපොත වශයෙනි. 

බයිබලයේ උප්පත්ති පොතේ සදහන් පලමු මිනිසුන් දෙදෙනා ලෙස ආදම් සහ ඒව දැක්විය හැකියි. මෙම කෙටි කතාව ආරම්භ වන්නේ ඒවගේ දිනපොතෙනි. ඇය දිනපොතක් ලිවීමට සිතන්නේ ඇයව මැවීමට පෙර සිදුවූ කිසිදු දෙයක් ඇයගේ මතකයේ නොවූ නිසාය. කුඩා දරුවෙකුට මෙන් ඇයට සෑම මොහොතක්ම නැවුම් මෙන්ම අලුත්. කෙටි කතාව කියවා ඔබගේ අදහස් පහතින් දක්වන්න. ] 

සෙනසුරාදා - 

මගේ වයස දැන් සම්පූර්ණ දිනයක්. මා පැමිණියේ පෙර දිනයි. මට පෙනෙන ලෙසට එය එසේ විය යුතුයි. ඊයේ දිනට කලින් දිනයක් තිබුනා නම් මා එදින නොසිටින්නට ඇති. සමහර විට මගේ මතකයෙන් එය ගිලිහී ගියා වන්නට ද පුලුවනි. එසේත් නොවේ නම් එදින සිදුවූ දේවල් මා එය එතරම් සැලකිල්ලකට නොගත්තා වන්නට ද පුලුවනි. කෙසේ හෝ මා දැන් හොද අවධානයෙන් සිටිය යුතුයි. ඊයෙ දිනයට පෙර දිනක් තිබුනා නම් දැන් මට එය මතක නැති බැවින් දැන් සිදුවන සියලු දේ වාර්තා කිරීම නුවණට හුරුයි. එවිට සියලුම දේ පැහැදිලියි. අනාගතයේ දී ඉතිහාසඥයින්ට මගේ වාර්තා උපකාරයක් වන්නට පුලුවනි.

 සමහර වේලාවන් වලට මම කුමන හෝ අත්හදාබැලීමක් දැයි සිතෙයි. කෙනෙකුට තමන් අත්හදාබැලීමක් ලෙස හැඟීම සිදු විය නොහැකි දෙයක් ලෙස සිතෙන්නට පුලුවන්. නමුත් මට මා අත්හදාබැලීමක් ලෙස හොදටම දැනෙනනවා. මා අත්හදාබැලීමකට වඩා වැඩි දෙයක් නොවේ.

මා එක්තරා ආකාරයක අත්හදාබැලිමක් නම් මම එහි සම්පූර්ණ කොටස ද? නැහැ, මම එසේ සිතන්නේ නැහැ. මට සිතෙන ආකාරයට මම හැර අනෙක් දේවල් ද මෙම අත්හදාබැලීමේ කොටසක්. මම එහි මූලික කොටස, නමුත් අනෙක් ඒවාටත් අයිතිවාසිකම් තිබෙනවා මේ සම්බන්ධව. එහෙම නැත්නම් මම මේ අවට දේවල් රැකබලා ගත යුතු ද? මා තුල තිබෙන සමහර ඉඟි කිරීම් මගින් පැවසෙන්නේ සදාකාලික සිහි බුද්ධියෙන් පසුවීම වඩා වැදගත් බවයි. [මා වැනි තරුණ අයෙක්ට එය හොද කියමනක්]

ඊයෙට වඩා අද දවස හොදයි. ඊයෙ දවස ඉක්මනින් අවසන් කිරීමට යාමේ ප්‍රථිපල විදිහට සමහර කඳු එතරම් හොද තත්වයෙන් නිමවන්න හැකියාවක් ලැබී නැහැ. සමහර තැනිතලා එතරම් ප්‍රියමනාපත් නැහැ. මේ අතර චෝදනාවට ලක් නොවිය යුතු අතිවිශිෂ්ට අලංකාර නිර්මාණ තිබෙනවා. මේ ශ්‍රේෂ්ඨ නව ලෝකය ඒ අතිවිශිෂ්ට නිර්මාණ වලින් එකක්. සමහර ස්ථාන වල තරු වැඩිපුර තිබෙනවා ඒත් සමහර ස්ථාන වල එහෙම නැහැ. කිසි සැකයක් නැහැ, ඒකට කුමක් හෝ ප්‍රථිකාරයක් කළ හැකියි. ඊයෙ රාත්‍රියේ හඳ ක්‍රමක්‍රමයෙන් පල්ලම් බැස පහළට වැටිලා නැතිවෙලා ගියා. ඒක විශාල පාඩුවක්, එය ගැන මතක් වන විටත් මට ඇතිවෙන්නෙ දුකක්.

එය කොතැනකට ගියාද කියා කිසිදු සටහනක් දක්නට ලැබුනේ නැහැ. නමුත් කවුරුන් හෝ එය ලබාගත්තා නම් අනිවාර්යයෙන්ම එය සඟවා ගනීවි. මා එය හොඳාකාරවම දන්නවා. මන්ද මට වුවත් එසේ අවස්ථාවක් ලැබුනහොත් මම සිදුකරන්නේත් එයමයි.

තරු ගැන කතා කළහොත් ඒවාත් ඒ වගේම හොදයි. ඒවායින් කිහිපයක් මගේ කොණ්ඩය මත තබාගන්න මම ආසාවකින් පසුවෙමි. නමුත් අවාසනාවකට මට එය කල නොහැකි වේවි. අපට එය ළඟින් තිබෙනවා යැයි පෙනුන ද එය කෙතරම් දුරින් තිබෙනවා ද යන්න දැනගතහොත් ඔබ පුදුම වනු නිසැකයි. පෙරදින රාත්‍රියේ ඒවා පලමු වරට දර්ශනය වුනු අවස්ථාවේ මම ඒවාට දඬු කැබැල්ලකින් ගසා ලබා ගන්නට උත්සහ කල නමුත් එකදු තරුවක්වත් ලබා ගැනීමට මට හැකියාව ලැබුනේ නැත. ඉන්පසු මම වළාකුළු වලට උත්සහ කරත් එයත් මට ලබා ගැනීමට නොහැකි විය. සමහරවිට එසේ වූයේ මා වමත් නිසා වෙන්නට පුලුවනි. අනික් කාරණය මට හොදහැටි විසිකිරීමේ හැකියාවකුත් නැහැ. මම එකකට එල්ලය රැගෙන දණ්ඩ විසි කරත් එය යන්නේ වෙනත් දිශාවකට. නමුත් මම සමහර ඒවාට ආසන්නයෙන් යැව්වා. හතලිස් හෝ පනස් වතාවක් වළාකුළකට දණ්ඩ විසි කළාට පසුව කුඩා සිදුරක් ඇතිවී තිබෙනවා මා දුටුවා. මා තව ටික වේලාවක් එසේ කරමින් සිටියානම් විටෙක මට වළාකුලකින් කොටසක් ලබා ගන්නට අවස්ථාවක්ද තිබුණි.

මේ නිසා මම ටිකක් ඇඬුවෙමි. මා සිතන අන්දමට මාගේ වයසේ අයෙකුට මෙය සාමාන්‍ය දෙයක්. ටික වේලාවක් විවේක ගත පසු මම කුඩයක් ගෙන නිමි වලල්ලේ ස්ථානයක් සෙවීමි. එය සෙවීමට හේතු වුයේ එවන් ස්ථානයක තරු පොළොවට ඉතා ලඟින් පිහිටි නිසාවෙන්. එවිට තරු වලට කිසිදු හානියක් නොකර ඒවා මට අල්ලා ගත හැකියි. කෙසේ නමුත් එය මා සිතනවාට වඩා අපහසුයි. මම එයට කිට්ටු වන විට එය තව තවත් ඈතට යයි. මේ නිසා අවසානයේ මගේ උත්සාහය ව්‍යාර්ථ විය. තවත් අඩියක්වත් ඉදිරියට යාමට නොහැකි වන ලෙසට මහා මහත් , මහන්සියක් දැනුනි. ඇරත් මගේ කකුලේ ඇතිවූ තුවාලය මට බොහෝ වේදනා දෙන්නක් විය.

එන්න එන්නම සීතල වීමට පටන් ගත් නිසාවෙන් හා නිවසින් බොහෝ දුරකට මා පැමිණ සිටි නිසා මට නැවත නිවසට යාමට නොහැකි විය. නමුත් මට ව්‍යාග්‍රයින් හා ඔවුන් සිටි ගුහාවක් සොයා ගැනීමට පුලුවන්කම ලැබුණි. එය ඉතාමත් සැපපහසු එකක් වූ අතර උන්ගේ හුස්ම ඉතාමත් මිහිරිය. මම මීට පෙර ව්‍යාග්‍රයෙක්ව දැක නොතිබුණි. නමුත් උන්ගේ සමේ තිබුණු පටි නිසාවෙන් උන්ව දුටු සැටියේම මම අඳුනගත්තෙමි. එම පටි වලින් එකක් මටත් තිබුනා නම් එයින් අලංකාර ගවුමක් සාදාගන්න තිබුණි. 

අද දින මම පෙරට වඩා දුරවල් පිලිබඳව වඩා හොද අදහසක් ලබා ගතිමි. මා ඉතාමත් කුතුහලයෙන් සිටින නිසාවෙන් දකින දකින සෑම අලංකාර දෙයක්ම අල්ලන්නට උත්සහ කරයි. සමහර ඒවා පෙනුමෙන් අඟල් හයක් පමණ ඈතින් තිබෙන බවට පෙනුනත් ඇත්තෙන්ම එය අඩියකට වඩා දුරින් පිහිටයි.

ඊයේ දින සවස මම තරමක් දුරින් සිට අනික් පරීක්ෂණය පැමිණ ඇත්තේ කුමක් සදහාදැයි සොයා බැලීමට ගියෙමි. නමුත් මට එය සොයා ගැනීමට හැකිවුනේ නැත. මා සිතන ආකාරයට ඒ පිරිමියෙක්. මම මීට පෙර පිරිමියෙක් දැක නොතිබුනු නමුත් ඒ පිරිමියෙක් බව මට හැඟෙයි. අනෙකුත් ක්ෂීරපායීන්ට වඩා ඌ පිලිබඳව වැඩි කුතුහලයක් මා තුල හටගත් බව කිව යුතුයි. ඌට උකුලක් නොතිබූ අතර සිරුර ක්‍රමක්‍රමයෙන් සිහින් වී යන කැරට් අලයක් මෙන් ය. ඌ සිටගත් විට අවයව විහිදී යන නිසා ද ඌ ක්ෂීරපායියෙක් ලෙස මම සිතමි. 

පලමුව මම ඌට බිය වුනෙමි. ඌ එහෙ මෙහෙ හැරෙන විට මම උගෙන් ඉවතට දිව ගියාය. ඌ කෙරෙහි මා තුල හටගත් බිය ක්‍රමයෙන් අඩු වූ විට මම පැය කිහිපයක් තිස්සේ ඌට යාර විස්සක් පිටුපසින් ඌව ලුහුබැන්දෙමි. එය මාව කැළඹූ අතර අසතුටු කලාය. ඉන්පසු මම ගසකට නැග තරමක් වේලා බලාගෙන සිට මෙම වැඩට අතහැර දමා නැවත නිවස වෙත පියමං කෙරුවෙමි.

අදත් සුපුරුදු පරිදි එය ම සිදුවිය. මම ගස උඩ අවදි වූයෙමි.


ඉරිදා -

විවේක ගනිමින් ඌ තවමත් එතැනය. නමුත් එය රැවටීමක්. ඉරිදා යනු විවේක ගන්නා දවස නොවේ. ඒ සඳහා නියම වී ඇත්තේ සෙනසුරාදා දිනටයි. මට පෙනෙන ආකාරයට මෙම සත්වයා අනෙක් සියලුම වැඩ වලට වඩා විවේකයට කැමැත්තක් දක්වයි. නමුත් මටනම් විවේක ගැනීම ඉතා වෙහෙසකරයි. එකතැන ඉඳගෙන ගසක් දෙස බලා හිඳීම මට වෙහෙසකරයි. ඌ කුමක් සදහා මෙහෙ පැමිණියාදැයි මට සිතාගන්නට අපහසුයි. ඌ කිසිවක් කරනවා මා මෙතෙක් දුටුවේ නැත. 

පෙරදින රාත්‍රියේ දි ඔවුන් නැවත චන්ද්‍රයා ලබාදුන්නේය. මම සිතන ආකාරයට ඔවුන් ඉතා කරුණාවන්තයි. නමුත් ඊයේ නැවත චන්ද්‍රයා ලිස්සී පහළට වැටුණ නමුත් මම එයින් වික්ෂිප්ත වූයේ නැත්තේ එය නැවත පැමිණේ යැයි බලාපොරොත්තුවක් මා තුල තිබූ නිසාවෙනි. චන්ද්‍රයා නැවත ගෙනා අයට මාගේ කෘතඥතාව පෙන්විය හැකිනම් කියා මට සිතෙනවා. අපට තරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා එයින් කිහිපයක් ඔවුන්ට යැවීමට මම කැමැත්තෙන් සිටිමි. අප කීවාට අප නොවේ මම. 

ඌගේ ආශාවල් ඉතා පහත් හා අකාරුණිකයි. මම ඊයේ ඌ සිටිනා තැනට ගිය විට ඌ වතුරේ සිටි තිත් සහිත මාළුන් ඇල්ලීමට වෙහෙසෙනවා දුටිමි. නමුට් ඒ කුමක් සඳහා ද? ඌට හදවතක් නැති ද? ඌ කිසිදු අනුකම්පාවක් දැනෙන්නේ නැති සත්වයෙක් ද? නමුත් ඌ වචන භාවිත කර කතා කරනවා මගේ කනට ඇසුනි. එයින් මා උද්ධාමයට පත් විය. මන්ද මා ඊට පෙර මම හැර වෙන අයෙකු කතා කරනවා අසා තිබුනේ නැති නිසාවෙනි. මට එම වදන් නොතේරුනත් එහි යම් අරුතක් තිබෙන බව හැඟෙනවා. 

ඌට කතා කල භැකි බව දැනගත් විට මට ඌ කෙරෙහි නව කැමැත්තක් ඇති විය. මම කතාකිරීමට දැඩි කැමැත්තක් ඇත්තෙමි. මුළු දවස පුරා කතා කිරීමට මම දක්වන්නේ දැඩි කුතුහලයක්. කතා කිරීමට තවත් අයෙක් සිටියහොත් එම කුතුහලය දෙගුණ වේවි. 

මෙම ක්ෂීරපායියා මිනිසෙක් නම් මම එම සත්වයාටලෙස ආමන්ත්‍රණය කිරීම වැරදියි. ව්‍යාකරණනානුකූලව නම් මම එම සත්වයාටඔහුලෙස ආමන්ත්‍රණය කල යුතුයි. එමනිසා මෙම සත්වයා කවුරුදෝ යන්න නියත වශයෙන්ම සොයාගන්නා තෙක් ඔහු ලෙස ආමන්ත්‍රණය කිරීම හොද යැයි සිතේ. අඩමාන කරුණු විශාල වශයෙන් තබාගෙන සිටිනවාට වඩා එය පහසුයි. 

ඊළඟ සතියේ ඉරිදා - 

පසුගිය සතිය තුලම මම ඔහු සමග එකටම සිටිමින් ඔහුට මාව හදුන්වාදෙන්න උත්සහ කලෙමි. ඔහු තරමක් ලැජ්ජාශීලී අයෙක් වූයෙන් සම්පූර්ණ කතා කිරීම මට ම සිදු කිරීමට සිදුවිය. මම ඔහු සමග චාටු බස් දොඩන නිසාවෙන් මම ඔහු අසල සිටීම ඔහු ප්‍රිය කරන බව මට හැඟෙමි. 

බදාදා -

දැන් අප දෙදෙනා එකට ගත කරන කාලය වෙනදට වඩා වැඩි වන අතර අප ක්‍රමක්‍රමයෙන් හොදින් එකිනෙකා හදුනාගනිමින් පවතිනවා. පෙරදී මෙන් මම ඔහු අසල සිටීම ඔහු වළක්වන්නේ නැත. එය හොද සලකුණක්. එනම් ඔහු අසල මම සිටීම ගැන ඔහු කැමැත්තෙන් සිටිනවා. එය මට සතුටක්. ඔහුගෙන් පැසසුම ලැබීමට මම හැකි සෑම අයුරකින්ම ඔහුට උපකාර කලෙමි.

පසුගිය දින දෙක තුල සතුන් නම් කිරීමේ සම්පූර්ණ වගකීම මම බාරගතිමි. මෙය ඔහුට විශාල සහනයක් විය. සතුන් නම් කිරීම සම්බන්දයෙන් නම් ඔහුට තලෙන්තයක් නැත. සතෙක් දුටු විට ඌට සුදුසු නමක් ඔහුට කල්පනා වන්නේ නැති අවස්ථාවල දී මම ඔහුගේ ඒ අඩුපාඩුව ගැන දැනුවත් නැති බව ඔහුට හඟවමි. සතෙක් දිටු විට ඔහු ඌට නමක් කල්පනාකරමින් සිටින විට මම ඔවුන්ට නම් තමා ඔහු ලැජ්ජාවීමෙන් වළක්වා ගන්නෙමි. සතුන් නම් කිරීම සම්බන්දයෙන් නම් මට කිසිදු අඩුපාඩුවක් නැත. සතෙක් දුටු විටම උගේ හැඩයෙන් හා ක්‍රියාවෙන් ඌ කවුදැයි කියා කිසිදු පැකිලීමකින් තොරව මට පැවසිය හැකියි. 

ඩෝඩෝ පක්ෂියා පැමිණෙන විට ඔහු සිතුවේ ඒ කැලෑ පූසෙක් කියා. නමුත් මා ඔහුව බේරාගත්තා සිදුවීමට ගිය වැරැද්දෙන්. මම මේ දේවල් සිදු කළේ ඔහුගේ ගෞරවයට හානියක් නොවන ආකාරයටයි. නමුත් සත්වයෙක්ගේ නම මම දැනගෙන ඔහු නොදන්නා විට ඔහුට තරමක සිත් රිදවීමක් ඇති නොවනවා ද නොවේ. එසේ නම් තබන විට ඔහු මාව අගයද්දි එය හොදින්ම වැටහෙනවා. නිදාගන්නා අතරතුර ත් ඔහුගේ සිත මම රිදෙව්වා ද යන්න කල්පනා කළෙමි. මෙවැනි කුඩා දේවල් වලින් අපි අපිව සතුටු කරගන්නට හැකි නම් එය කෙතරම් වටිනවාද !


බ්‍රහස්පතින්දා -

මගේ පලමු දුක. ඊයේ ඔහු මා සමග කතා කිරීමෙන් වැලකී සිටියේය. මට එය විශ්වාස කල නොහැකි විය. කුමක් හෝ අත්වැරැද්දක් සිදුවී තිබේ. මම ඔහු සමග සිටීමට කැමතියි, ඔහු සමග කතා කිරීමට කැමතියි. මම කිසිවක් නොකර තිබියදී ඔහු මට මෙසේ අකාරුණික ලෙස සලකන්නේ ඇයි? අවසානයේ අප දෙදෙනා පලමුව හමුවූ එනම් අප දෙදෙනා නිර්මාණය කල ස්ථානයට මම ගොස් තනිවම එතැන හිඳගෙන සිටියෙමි. ඔහුට සිදුවී ඇත්තේ කුමක්දැයි කියා මට තේරෙන්නේ නැහැ. දැන් අවට පරිසරයම ශෝකාකූල ස්වරූපයක් උසුලන්නේ. මගේ හදවතත් දැඩි දුකකින් පෙළෙනවා. මට මීට පෙර මෙවැනි හැගීමක් දැනී නැහැ. එය හරිම අද්භූතයි වගේම මට එය දරා සිටීමට නොහැකියි. 

රාත්‍රිය පැමිණි විට මට තනිකම දරාගැනීමට නොහැකි වූ නිසා ඔහු නවාතැන් ගැනීමට සෑදූ නව ස්ථානය වෙත ගියෙමි. එසේ ගියේ මම කල වරද කුමක්දැයි අසා එය නිවැරදි කරගෙන ඔහුගෙන් නැවත කරුණාව මා වෙත ලබා ගැනීමටයි. නමුත් ඔහු මාව ඇතුලට නොගෙන වැස්සේ එලියට දැම්මේය. මෙය මාගේ පලමු දුකයි.


ඉරිදා -

නැවතත් ඉතාමත් පැහැබර දිනයක් සහ මම ඉන්නේ සතුටින්. නමුත් පසුගිය දින කිහිපය ඉතා අපහසුව ගෙවුණි. ගිය දේවල් වලට මට කිසිවක් කළ නොහැකි නිසා ඒ ගැන නොසිතා සිටිමි. 

මම ඔහුට ඇපල් කිහිපයක් අරන් දීමට උත්සහ කල නමුත් මට තවම කෙලින් විසි කිරීමට නොහැකි නිසා එය බැරිවිය. ඔහුව සතුටු කල හැකි හොද ක්‍රමයක් ඒ. ඒවා අපට තහනම් කර ඇති නිසා එයින් මට යම් හානියක් සිදුවේ යැයි ඔහු පවසයි. නමුත් මට හානියක් සිදුවන්නේ ඔහුව සතුටු කිරීමට ගොස් නම් මම මට සිදුවන හානිය ගැන සිතන්නේ ඇයි?


සඳුදා -

ඔහු කැමැත්තක් දක්වයි කියා සිතා මම අද උදෑසන ඔහුට මගේ නම පැවසුවෙමි. නමුත් ඔහු එය සැලකිල්ලකට ගත්තේ නැත. එය අමුතුයි. ඔහු මට ඔහුගේ නම පැවසුවා නම් මම ඒ ගැන සැලකිල්ලක් දක්වමි. මන්ද අනෙක් ශබ්ද වලට වඩා එය ඇසීම මගේ කනට මිහිරක් නිසා.

ඔහු කතා කරන්නේ අඩුවෙන්. සමහරවිට එසේ වන්නේ ඔහු එතරම් දක්ෂ අයෙක් නොවන නිසා වන්නට ද පුලුවනි. එමෙන්ම ඔහු එය සැඟවීමට උත්සහ කරනවා. නමුත් මම ඔහුට ඉගැන්විය යුතුයි වටිනාකම් තැන්පත් වී ඇත්තේ හදවතේ බව. ඔහුට ඒත්තු ගැන්විය යුතුයි හොද ආදරණීය හදවතක් තිබීම ම පොහොසත්කමක් කියා. එය නොමැති නම් බුද්ධිය ඵල රහිත දෙයක්. 

ඔහු අඩුවෙන් කතා කලද ඔහු සැලකිය යුතු තරම් හොද වාග් මාලාවක් භාවිතා කරයි. අද උදෑසන ඔහු ඉතා හොද වචනයක් භාවිතා කල අතර එම වදන ඔහු කිහිප වතාවක්ම භාවිතා කලේය. මෙය ඔහුට හිමිව ඇති ඉතා හොද කලාවක්. සැකයක් නොමැතිව මෙම බීජය වගා කලගොත් ඉතා හොඳින් වැඩෙනු නියතයි. 

ඔහුට එම වදන සොයාගත්තේ කොහෙන් ද? මම එම වදන භාවිත කල බවක් මට මතක නැත.

ඔහු මගේ නම ගැන කිසිදු උවමනාවක් දැක්වූයේ නැත. මම මගේ බලාපොරොත්තු සුන් වීම සැඟවීමට උත්සහ කලද එය සාර්ථක වූයේ ද නැත. එමනිසා මම පාසි බැඳුනු ඉවුරට ගොස් ජලය තුලට කකුල දමාගෙන සිටියෙමි. කාත් සමග හෝ කතා කිරීමට අවශ්‍ය වූ විට මා යන්නේ එතැනටයි. දැඩි තනිකමට වඩා ජලයේ ඇඳී ඇති සුදුපාට අලංකාර සිරුර වඩා වටිනවා. මම කතා කරන විට එයත් කතා කරනවා; මම දුකින් සිටින විට එයත් දුකින් සිටිනවා; එයාගේ අනුකම්පාවෙන් එයා මාව සනසනවා.හිත් අධෛර්ය කරගන්න එපා යාලුවෙක් නැති අසරණ කෙල්ල; මම ඔයාගෙ යාලුවා වෙන්නම්.ලෙස එයා පවසනවා. එයා හොද යාලුවෙක් මට, මගෙ එකම යාලුවා; එයා මගේ සහෝදරිය. 

පළමු වතාවට මට ඇයව උවමනා වෙලාවේ ය මාව අතරමං කලා. මා කිසි දිනක මෙය අමතක කරන්නේ නැහැ.මට තිබුන එකම දේ එයා, දැන් එයත් මාව දාලා ගිහින්! මට තවත් මේක දරාගෙන ඉන්න බැහැ!යැයි මම ශෝකයෙන් පවසා අත් දෙකෙන් මුහුණ වසා ගත්තෙමි. නමුත් මට එයින් සැනසිල්ලක් ලැබුනේ නැත. නමුත් ටික වේලාවක් ගතවූ විට ඇය සුදුවට දිලිසෙමින් නැවත පැමිණියා ය. එම සතුට දරාගත නොහැකිව මම ඇගේ අත් තුලට පැන්නෙමි.

මම මීට පෙර සතුට අත්දැක ඇතත් මෙවැනි සතුටක් අත්දැක්කේ නැත. එදායින් පසු මම ඇයව අවිශ්වාස නොකෙරුවෙමි. සමහර දාට ඇය මගෙන් පැයක් දෙකක් හෝ දවසක්ම ඈත්ව සිටියි. නමුත් මම ඇයව අවිශ්වාස නොකර ඇය එනතුරු බලාගෙන සිටියෙමි.ඇය කාර්යබහුල වෙන්න ඇති. සමහරවිට ඇය කොහේ හෝ දුර ගමනක් යන්නට ඇති.යැයි එවැනි වේලාවට මම මටම කියාගන්නේ ඇය නැවත එන බවට විශ්වාසය සමගයි. රාත්‍රියට ඇය පැමිණෙන්නේ නැත්තේ ඇය ලෙහෙසියෙන් බියට පත්වන අයෙක් නිසා වන්නට පුලුවනි. නමුත් චන්ද්‍රයා සිටියහොත් ඇය පැමිණෙයි. මම නම් අඳුරට භිය වන්නේ නැත. නමුත් ඇය මට වඩා බාලයි, ඇය ඉපදුනේ මට පසුවයි. මගේ ජීවිතයේ අමාරු අවස්ථා වලදී මට රැකවරණය දෙන්නේ ඇයයි.


බ්‍රහස්පතින්දා - 

සම්පූර්ණ උදයේම මම සිදු කරමින් සිටියේ මා සිටින පෙදෙස සකසාගැනීමයි. මම ඔහුගෙන් උවමනාවෙන්ම ඈත්ව සිටියේ ඔහුට තනිකම දැනී මා වෙතට එයි කියා සිතමිනුයි. නමුත් ඔහු පැමිණියේ නැත. 

දවල් වරුව වන විට මම කරමින් සිටි වැඩ නවතා දමා මී මැස්සන් හා සමනළයන් සමඟ විනෝද වන්නට පටන් ගත්තෙමි. මී මැස්සන් හා සමනළයන් අහසේ සිටින දෙවියන්ගේ සිනහව අල්ලාගෙන මල් වල ඒවා තැන්පත් කරයි. මම එම මල් එකතු කරමින් මල් මාලයක් සාදා මම එයින් සැරසීගෙන දිවා ආහාරය සදහා සූදානම් වුනෙමි. මා දිවා ආහාරය සදහා ගත්තේ ඇපල් ය. ඉන්පසු මම ගසක් යට හෙවනකට වී ඔහු එනතුරු බලා සිටිය ද ඔහු පැමිණියේ නැත. 

ඔහු මල් වලට කැමැත්තක් දක්වන්නේ නැත. ඔහු එවාට ජරාවක් කියා පවසයි.*** ඔහු මා ගැන තකන්නේ නැත, මල් ගැන තකන්නේ නැත, එපමණක් නොව අලංකාරව වර්ණ ගැන්වී ඇති අහස ගැන ද ඔහු තකන්නේ නැත. ඔහු තකන්නේ හොද පිරිසිදු වැස්සෙන් බේරීමට මඩුව සැකසීම, කොමඩු වලට තඩිබෑම සහ ග්‍රේප්ස් පරීක්ෂා කිරීම හා ගස්වල ඇති පලතුරු වලට එම ගුණාංග ලැබුනේ කෙසේදැයි සොයා බැලීමට ඒවාට ඇහිලි ගැසීම ගැන පමණි.

මම පොළොවේ වළක් හාරා වියළුනු දර කැබලි කිහිපයක් ගෙන එකමත එක ගොඩ ගැසූ විට ටික වේලාවකින් එම වල තුලින් නිල් පැහැති දැල්ලක් පැමිණෙනු මම දුටිමි. මෙය මීට පෙර සිදු නොවූ දෙයක් නිසා ත් මේ යම් කිසි ආත්මයක් යැයි මම සිතූ නිසා ත් ඊටත් වඩා මේ සිදු වූ දෙයින් මම බියට පත් වූ නිසා අත තිබූ දෑ සියල්ල විසි කර එතැනින් දිව ගියෙමි.

තරමක් දුරට දිව ගොස් පර්වතයක් පිටුපස සැඟවී, ආත්මය මගේ පසුපස ලුහුබැඳ පැමිණෙනවා දැයි බැලුවත් එසේ පැමිණෙන වගක් නොදුටු නිසා ඒ දෙසට හෙමිහිට ඇවිද ගියෙමි. දර ගොඩ තිබුණු ස්ථානයේ රෝස පැහැති කුඩ ස්පර්ෂ කල විට ම දරුණු වේදනාවක් දැනුණි. එවෙලේම ඇඟිල්ල කටට දමා ගෙන වේදනාව අඩු කර ගත් අතර ඉන්පසු මේ කුඩ කුමක්දැයි පරීක්ෂා කිරීමට සූදානම් විය.

ඒ රෝස පැහැති කුඩ කුමක්දැයි දැනගැනීමට මම ඉතා කුතුහලයකින් පසුවුනෙමි. ක්ෂණයෙන් එහි නම මගේ මතකයට පැමිණි අතර මම මීට පෙර එම නම අසා තිබුනේ නැත. ඒ ගින්දර! මට ඒ ගැන හොදටම විශ්වාසයි. එබැවින් කිසිදු පැකිලීමකින් තොරව මම එයට එම නම තැබුවෙමි. - ගින්දර.

මීට පෙර නොතිබූ දෙයක් මවිසින් නිර්මාණය කල අතර ලෝකයේ නොගිනිය හැකි දේවල් වලට නව නිර්මාණයක් එක් කලෙමි. මට මෙය දැනුනු විට මගේ ජයග්‍රහණය ගැන මට ආඩම්බරයක් ඇතිවිය. එසමගින්ම මම දිව ගියේ මේ ගැන ඔහුට පැවසීමටයි. ඒ ඔහු තුල මා පිලිබඳ හැගීම උසස් කිරීමට මෙම තොරතුරෙන් හැකිවන බව මම විශ්වාස කල නිසා. නමුත් ඔහු මෙය සැලකිල්ලට ගත්තේ නැත්නම්. මෙයින් කුමන ප්‍රයෝජනයක් ද යැයි ඔහු ඇසුවහොත් මම ලබාදෙන පිලිතුර කුමක් ද? මෙයින් කුමකටවත් ප්‍රයෝජනයක් නැතිනම් මෙහි ඇත්තේ අලංකාරය පමණක් නම්. 

එමනිසා මම ඒ ගැන කල්පනා කර අවසානයේ ඔහු හමුවට නොයාමට තීරණය කළෙමි. මෙයින් මඩුවක් තනන්නට බැහැ, කොමඩු ගෙඩි වර්ධනය කරන්න බැහැ, පලතුරු වැවීම වේගවත් කරන්න බැහැ; මේකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඔහු මාව පහත් කොට සලකා මෙය මාගේ මෝඩකමක් හා පුහු ආටෝපයක් ලෙස පවසාවි. ඒත් මටනම් මෙය පහත් දෙයක් නොවේ.සුකොමළ රෝස පාට ගින්දර, මම ඔයාට ආදරෙයි, ඒ ඔයා ලස්සන නිසා. ඒ හොදටම ඇති!යැයි මම මට ම කියාගත්තෙමි. ඒත් සමගම වාගේ මට තවත් දෙයක් සිහියට නැගුණි. මෙම නිර්මාණය වෙනත් අයෙකුගේ නිර්මාණයක් නම්? එය එසේ නම් මම සිදු කරන්නේ වෙන අයෙකුගේ නිර්මාණයක් මගේ නිර්මාණයක් සේ මවාපෑම නොවේද

මම කුඩා ලී කැබැල්ලක් ගෙන ගින්දර තරමක් ගෙන ඒවා වෙළුණු කොළ කැබලි කිහිපයක් මත තැබුවෙමි. මම සිත සිටියේ මෙම ගින්දර නිවාස වෙතට ගෙනවිත් සදාකාලිකව ඒවා මා සතුව තබාගෙන ඒවායෙන් සෙල්ලම් කිරීමටයි. නමුත් බලාපොරොත්තු නොවූ අන්දමින් එය පුළිගු පිට කරමින් මාව බියගන්වන්නට විය. එසැනින්ම මම ඒවා තිබු තැනම තබා එතනින් දිව ගියෙමි. මම පසුපස හැරී නිල් පැහැති ආත්මය දෙස බලන විට එය දිග ඇදෙමින් වළාකුළක් මෙන් පෙරලෙමින් ඉහළට ඇදී යන බව දුටිමි. එසැනින්ම මම එහි නම කුමක්දැයි කල්පනා කලෙමි. - ඒ දුමාරය! ඒ වචනය එකපාරට මගේ මතකයට පැමිණියාය. මම මීට පෙර දුමාරයක් පිලිබද අසා තිබුනේ නැත. 

එවෙලේම කහ සහ රතු පැහැති ආලෝකයක් දුමාරයෙන් පිටතට විද්දේය. මම එයටද එසැනින් නමක් දුන්නාය. ඒ ගිනිදැල්. මේ තමා මේ ලෝකයේ තිබුණු පලමුවෙනි ගිනිදැල්. ඒවා සිත්කලු ලෙස ආලෝකය විහිදුවමින්, විශාල වශයෙන් දුමාරය පිටකරමින් ගස් උඩ නගින්නට ගත්තේය. මම අත්පුඩි ගසමින්, සිනහ වෙමින් හා නටමින් මම මාගේ උද්‍යෝගය ප්‍රකාශ කළෙමි. එයා ඉතා අලුත් සහ පුදුම දනවන දෙයක් වූ අතර ඉතා අලංකාරයි!

ඔහු දුවගෙන විත්, නැවතී ඒ දෙස ඕනෑකමික් බලාගෙන සිටියේය. ඔහු මිනිත්තු කිහිපයක් නිහඬව සිට ඒ කුමක් දැයි අසා සිටියේය. එය ඍජු ප්‍රශ්නයක්. ඔහු මීට පෙර මගෙන් එවැනි ඍජු ප්‍රශ්නයක් අසා නැහැ. එමනිසා මම ද ඔහුට ඍජු පිලිතුරක් දිය යුතුයි. 

ඒ ගින්දරයන්න මගේ පිලිතුර විය. 

ඒක ආවෙ කොහොමද?” 

නැවතත් ඍජු ප්‍රශ්නයක්. එයට ලැබිය යුත්තේ ද ඍජු පිලිතුරක්.

ඒක හැදුවෙ මම

ගින්දර තව තවත් ඈතට ගමන් කලේය. ඔහු ගිනිගත් පෙදෙසේ කොනකට ගොස් පහත බලා මෙසේ ඇසුවේය:

මේ මොනවද?”

ගල් අඟුරු

ඔහු ඒවායින් එකක් අතට ගෙන නිරීක්ෂණය කරන්නට සිතුවත් පසුව ඔහු එය සිතෙන් ඉවත් කර ගල් අගුරු පහත දැම්මේය. ඉන්පසු ඔහු එතැනින් ඉවතට ඇවිදගෙන ගියේය. කිසිවකින් ඔහු ආශා වෙන්නෙ නැහැ.

නමුත් මම එයට කැමතියි. එතැන අළුවට හුරු පාටට සහ සිනිදුවට අළු තිබුණු අතර ඒවා දුටු විටම මම ඒවා අඳුනගතිමි. ඒත් එක්කම ගිණි අඟුරු; ඒවාත් දුටු විටම මම ඒවා හදුනාගත්තෙමි. මම මගේ ඇපල් සොයාගත්තා. එවෙලේ මට බඩගින්නක් ද තිබුණු බැවින් සූරා බැලූ විට දුටුවේ ඒවා වෙනස් වී ඇති බවයි. නමුත් වෙනස් වී ඇත්තේ හොද ආකාරයටයි. අමුවෙන් තිබෙනවාට වඩා මේවා වඩා හොදයි. ගින්දර කියන්නේ ඉතාමත් අලංකාර දෙයක්. මම සිතනවා කවරදාක හෝ ඒවා ප්‍රයෝජනවත් වේවි කියලා. 


සිකුරාදා -

පසුගිය සඳුදා රාත්‍රියේ දී ඔහුව නැවත වතාවක් දුටුවෙමි. නමුත් එක් මොහොතකට පමණි. මම මහන්සි වී අප සිටිනා පෙදෙස වර්ධනය කරන්නට වෙහෙසුනු නිසා ඔහු මාව අගය කරාවි යැයි සිතුනෙමි. නමුත් ඔහු එයින් සතුටු නොවී නැවත හැරී ගියේය. මම ඔහුට දිය ඇල්ල අසලට නොයන්න යයි අවවාද කල නිසාත් ඔහු මා සමග අමනාපයෙන් පසු වුනෙමි. ඒ වෙන කිසිවක් නිසා නොවේ; ගින්දර සොයා ගැනීම නිසා ආදරය සහ දුක යන හැඟීම් වලට අමතරව තවත් හැඟීමක් මට සොයාගැනීමට හැකි විමයි. ඒ බියයි. මම එය සොයා නොගත්තා නම් වඩා යහපත් කියා මට සිතෙනවා. එය මගේ සතුට නැතිකර දමනවා. ඔහු තවම බිය යනු කුමක්දැයි නොදන්නා නිසා ඔහුට මා කියන දෙය වැටහෙන්නේ නැහැ. 



Tuesday, February 26, 2019

දුරකථන සංවාදය (කෙටි කතාව)

කවුරුන් හෝ අප අසල සිට දුරකථන ඇමතුමක් ලබාගත් විට අපට ඇසෙන්නේ ඔවුන්ගේ සංවාදයෙන් එක් අඩක් පමණි. දිනක් එක්තරා කාන්තාවකට ඇයගේ සහෝදරිය වූ වජිරා ට කතා කිරීමට අවශ්‍ය විය. වජිරාගේ පෞද්ගලික දුරකථනය විසන්ධි වී තිබුනු බැවින් ඇයගේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. පහත දැක්වෙන්නේ අසල සිට පත්තරය කියවමින් සිටි වජිරාගේ සහෝදරියගේ ස්වාමිපුර්ෂයාට ඇසුනු සංවාදය යි.

“මට වජිරා ට කතා කරන්න පුලුවන්ද?”

විරාමයක්

“නෑ එයා නෙමේ. උස, කොණ්ඩෙ බොකුටු කෙනා…”

විරාමයක්

“ඔව් නළ දතකුත් තියෙනවා තමා.”

විරාමයක්

“ඒක වෙන්න බැහැ එයාගෙ නංගි මැරුනෙ නැහැ.”

විරාමයක්. (පත්තරය කියවමින් සිටි ස්වාමියා එක් වරම තම බිරිඳ දෙස බැලීය.)

“ඔයා කොහොමද කියන්නේ? මමනේ එයාගෙ නංගි.”

විරාමයක්

“ඔව් එයා තමයි.”

විරාමයක්

“හරි එයාට කෝල් එක ට්‍රාන්සර් කරන්න.”

විරාමයක්

“හෙලෝ… මේ වජිරා ද?”

විරාමයක්

“ඔය කව්ද?”

විරාමයක්

“නැහැ එහෙම දෙයක් නැහැ. මට වජිරාටයි කතා කරන්න ඕනෙ.”

විරාමයක්

“උස කොණ්ඩෙ බොකුටු කෙනා. නළ දතකුත් තියෙනවා.නංගි තවම ජීවත් වෙලා ඉන්නවා.”

විරාමයක්

“එයා ඉන්නවා එයා තමයි කතා කරන්නෙ.”

විරාමයක්

“හෙලෝ…”

විරාමයක්

“බය වෙන්න එපා මම එහෙම කෙනෙක් නෙමෙයි. වජිරාට කතා කරන්න විතරයි ඕනෙ.”

විරාමයක්

“අන්න හරි. වජිරාට ෆෝන් එක දෙන්න.”

විරාමයක්

“ඇති යාන්තන් ඔයාට කතා කරන්න පුලුවන් වුනා. ඔයාලගේ කන්තෝරුවේ තව කවුරුහරි වජිරා කියලා කෙනෙක් ඉන්නවද? එයාගෙ නංගි මැරිල ද? කන්තෝරුවෙ අය හිතලා තියෙන්නෙ මම කතා කරන්නෙ අනිත් වජිරාට කියලා. මම එයාගෙ නංගි කියලා එක්කෙනෙක් බය වුනත් එක්ක. (සිනාසෙමින්) එයා විතරක් නෙමේ මගේ මහත්තයත් බය වුනා ඒක අහලා.(තවත් හයියෙන් සිනාසෙමින්) දැන් ඔයා මොනවාහරි වැදගත් වැඩකද ඉන්නේ? කතා කරන්න පුලුවන්නේ දැන්?”

විරාමයක්

“ඒ පාර කව්ද මේ?”

විරාමයක්

“ඔව් එයා තමයි. මට එයාට කතා කරන්න පුලුවන් ද?”

විරාමයක්

“ඒක මම එයත් එක්ක කතා කරන්නම්.”

විරාමයක්

“කේක් එකක් හදන්න තියෙනවා.”

විරාමයක්

“නෑ මම ඒක එයාගෙන් අහගන්නම්.”

විරාමයක්

“හරි එහෙනම්.”

දීර්ඝ විරාමයක්

“හැදි කීයක්ද කිව්වේ?”

විරාමයක්

“මං හිතන්නෙ ඔව්.”

විරාමයක්

“ඔහොම ඉන්න. මට වජිරාට කතා කරන්න ඕනෙ.”

විරාමයක්

තම ළමයින් දෙස හැරී “කෑ ගහන්නෙ නැතුව අතනින් ගිහින් ඉඳගන්න!”

විරාමයක්

“නෑ ඔයාට නෙමේ.”

විරාමයක්

“එහෙම හිතුවත් කමක් නැහැ. මට වජිරාට කතා කරන්න ඕනෙ.”

දීර්ඝ විරාමයක්

“හෙලෝ මේ වජිරා නේද?”

විරාමයක්

“කොහෙද අනේ ඔයා ඔච්චර වෙලා හිටියේ?”

විරාමයක්

“ඔයා දන්නවද මම ඊයෙ අලුත් ගවුමක් ගත්තා.”

විරාමයක්

“මේ මම අනේ… ඔයාගෙ නංගි.”

විරාමයක්

“හෙලෝ…”

විරාමයක්

“ඔයා මේ අඬනවද?”

විරාමයක්

“අනේ සමාවෙන්න මම කතා කලේ අනිත් වජිරා ට.”

විරාමයක්

“මම ඔයාව අපහසුතාවයට පත් කරන්න හිතුවෙ නැහැ.”

විරාමයක්

“නැහැ මම විහිළුවකුත් නෙමෙයි කලේ.”

විරාමයක්

“ඔව් මට තේරෙනවා.”

විරාමයක්

“හරි මට සමාවෙන්න.”

විරාමයක්

“අනිත් වජිරාට කතා කරන්න පුලුවන් වෙයිද?”

විරාමයක්

කිසිවක් නොකියා ඇය දුරකථනය විසන්ධි කලාය. ඒ අතර පත්තරය කියවමින් සිටි සැමියා “වජිරා මොනවද කියන්නෙ?” යැයි ඇසීය.

මලානික රූපයක් මුහුණෙහි රඳවාගත් ඇය මෙසේ පවසා සිටියාය.

“අද එයා කන්තෝරුවට ඇවිල්ලා නැහැ!”


Tuesday, February 19, 2019

සුයිප් මහත්තයා

‘සෙරෙප්පු මහත්තයා’. ඒ තමා මේ ඒරියල් එකේ ඒ කිව්වේ කොටුමේ මිනිස්සු මට කියාපු නම. නමුත් මගේ සැබෑ නම ජයන්ත සෙනෙවිපාල. නම සෙනෙවිපාල වුනාට දැන් මගේ රැකියාව කොටුවේ පේමන්ට් එකේ සෙරෙප්පු මැසීම. සෙරෙප්පු මැසීමෙන් සිතන තරම් ආදායමක් ලැබෙන්නේ නැහැ. කොටුවේ වැඩි දෙනෙක්ගේ දිනපතා සෙරෙප්පු කදෙන්නෙත් නැහැ, කැඩෙන සියලු දෙනා ඒවා සාදාගැනීමට මා වෙත පමිනෙන්නෙත් නැහැ. මේ නිසා එදා වෙල් තුන සොයා ගැනීමටවත් මගේ රැකියාව අපොහොසත්. ඒ නිසා දැන් මම ආහාර ගන්නේ බොහෝ විට දිනකට එක වේලක් පමණයි.

මාව දිනපතා දකින බොහෝ දෙනා කිවේ හිඟමනේ යෙදුනහොත් මිට වඩා විශාල අදායමක් ලබාගත හැකියි කියා. මේ කොටුවෙන් හිඟමනේ යෙදී ගොඩගිය අය බොහෝ සිටිති. බෝ ගහ යට ලොකු මහත්තයත් එවන් අයෙක්. කොටුවේ හිඟමනේ යෙදෙනවානම් ලොකු මහත්තයගෙන් අවසරය සහිත ලයිසන් එකක් අපි ලබාගත යුතුයි. ලොකු මහත්තයගෙන් අවසරය නැතිව හිඟමනේ යෙදෙනවා බොරු. දවසේ අදායමෙන් කොටසකුත් ගෙවන්න ඕනෑ. ඒ ලයිසන් එක නැතිව හිඟමනේ යෙදිලා අසුවුනහොත් අඩුම තරමේ මැණින් මාකට් එකේ මුට්ට කරගහලත් හමාරයි. මට මේ දේවල් රුස්සන්නේ නැහැ. ඇරත් නොකා නොබී මැරුණත් කාටවත් අතපාලා ජීවත්වෙන්න මට බැහැ.ඇඟේ පතේ අමාරුව නිසා මුට්ට කරගහන්නත් බැහැ. මේ දේවල් හේතුවෙනුයි වටේ පිටේ උදවිය මට ‘සෙරෙප්පු මහත්තයා’ කියන්නේ.

සෙරෙප්පුවක් මසා ලබාගන්නා රුපියල් තිහෙන් හතළිහෙන් දවසක් බඩ පුරවගන්නේ කෙසේද? කුමක් හෝ වෙනයම් ආදායම් මාර්ගයක් සොයා ගත යුතුමයි. දිනක් මේ දේවල් ගැන සිතමින් සිටින විටදී;

“අහස පොලොව ගැටලන්න වගේ මොනාද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ?” ඒ මා අසලම සිටි සුයිප් මඩුවේ ප්‍රියන්ත මල්ලිගේ හඬයි.

 මම දැන් සෙරෙප්පු මසන්නේ ප්‍රියන්ත මල්ලිගේ සුයිප් මඩුව අසලයි. මිට පෙර දෙවතාවක්ම පේමන්ට් එකේ සෙරෙප්පු මසා පොලිසිය රැගෙන ගිය පසුයි මෙතනට පැමිණියේ.

“වෙන මොනවා කල්පනා කරන්නද ප්‍රියන්ත මල්ලි, සල්ලි කීයක්හරි හොයාගන්න ක්‍රමයක් මිසක්”

“මං උඹට කලිනුත් කිව්වනේ, කකුලක් ගැට ගහගෙන පේමන්ට් එකේ ඉඳගනින් බං. උඹේ පෙනුමත් කැපෙනවා ඒකටම. ගේමක් නැතුව දවසට හත් අටසීයක් හොයතහැකි.”

“මං ඕවට නැහැ කියලා දන්නවනේ”

“එහෙනං ඉතින් මටත් උමබට කරන්න දෙයක් නැහැ. ඕනනම් මේ පරණ සුයිප් ටික විකුනහන් බෝතල් පත්තර කාරයෙකුට.” යැයි කියා ඔහු සුයිප් මඩුවට රිංගා ගත්තේය.

ප්‍රියන්ත මල්ලි විහිලුවට මෙන් කියුවද, ඔහුගේ අවසාන කියමන එදින පුරාම මගේ සිතේ රැව් දුන්නේය. ‘පරණ සුයිප් විකුණා කීයක්ම හරි හොයාගන්න ඕන’ මම මටම කියා ගත්තෙමි.

කොටුවේ අඩුම තරමින් සුයිප් මඩු තිහක්වත් තිබේ. මේ සියල්ලේම පරණ සුයිප් විකුණුවහොත් මට දිනකට රුපියල් දෙසියපනහක්වත් අවම වශයෙන් සොයාගත හැකියි. මේ සියල්ලම සිත් හි තබාගෙන පසුදින ප්‍රියන්ත මල්ලි හමුවට ගියෙමි.

“ඇත්තටම ඔය කියන විදිහට ඕවා අරගනියිද?” ප්‍රියන්ත මල්ලිව දුටු සැටියේම මම ඔහුගෙන විමසුවෙමි.

“මොනවද අරගන්නේ? මොනවා ගැනද ඔය කියවන්නේ?”

“සුයිප් ගැන බං, සුයිප් ගැන. ඒවා දුන්නොත් බෝතල් පත්තර කාරයෝ අරගනියිද?’

“මම ඊයේ විහිලුවට කිව්වා එක උඹ ඇත්තටම ගත්තද?”

“කියපන්කො, බෝතල් පත්තර කාරයෝ ගනියිද?”

“හැමෝම ගන්නේ නම් නැහැ. හැබැයි පංචිකාවත්තේ එකෙක් නං ඉන්නවා. ඌ නං ගනියි.”

“හරි එහෙනං. උඹට පුලුවන්ද හවසට ඔය පරණ සුයිප් ටික මට දෙන්න?”

“උඹ මේ ටික විකුණන් කීයක් ගන්නද හිතන් ඉන්නෙ. ඔන්න ඔහේ විකාර නැතුව හිටපන්”

“මට ඔය ටික දීපන්කො, ඉතුරු ටික මම කරගන්නන්”

“එහෙනං අරගනින්. මාත් හවසට ඕවා පුච්චන්න දාන එකනෙ ඉතින්”

එක සුයිප් මඩුවකින් සුයිප් ලබාගැනීම දැන් ස්ථිරයි. කොටුවේ තව බොහෝ සුයිප් මඩු තිබේ. මේ සැම මදුවකටම ගොස් පරණ සුයිප් ලබාගැනීම සදහා ඔවුන්ට කතා කල යුතුයි. මේ සියල්ල නිසා මම අද දින සෙරෙප්පු මැසිම නතර කලෙමි. එසේ කලේ අද දින ඇතුලත කෙසේ හෝ සියලුම සුයිප් මඩු වලට ගොස් ඔවුන්ගේ පරණ සුයිප් ලබාගැනීමේ අදිටනිනි.

මම බැරිමරගාතේ ඊළඟ සුයිප් මඩුව වෙත ගියෙමි.

“ආ… සෙරෙප්පු මහත්තයා, අද මොකෝ මේ පැත්තේ…” සුයිප් මඩුවේ සරත් මල්ලි මම ඔහු අසලට පැමිණෙන විටම අසා සිටියේ ය.

“එක දවසකට පරණ සුයිප් කොච්චරක් විතර ඔයාට ලැබෙනවද?” මම දැඩි බලාපොරොත්තුවකින් ඇසුවෙමි.
“මේ කුඩේ පිරෙන්න ලැබෙනවා. මොකද එකපාරටම එහෙම අහන්නේ?”

“මේකයි… ඔයාට බැරිද හවසට මට ඒ සුයිප් ටික දෙන්න?”

“පුච්චන්න තියෙන සුයිප් උඹට මොකටද බං?”

“පොඩි වැඩකට. දෙන්න පුලුවන්ද බැරිද විතරක් කියහන්කෝ?”

“හා හා ඉතින් දෙන්නන්. ඔය තියෙන්නේ, ඕන වෙලාවක ඇවිල්ලා අරගෙන පලයන්.”

දෙවෙනි සුයිප් මඩුවේ පරණ සුයිප් සාර්ථකව ලබාගැනීමට අවසරය ගත පසු මම අනෙක් සුයිප් මඩු වෙත පියනැග්ගෙමි. දැන් වෙලාව දහවල් එකේ හෝරාවට පැමිණ තිබේ. මේ වන විට කොටුවේ සියලුම සුයිප් කඩ වලට මා කතා කර අවසන්ය. නොසිතු අයුරින් ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ පරණ සුයිප් මා හට ලබාදීමට කැමැත්ත පල කළේය. සමහරු මුලදී පරණ සුයිප් ලබාදීමට අකමැති වුවත් ඔවුන්ට කිසිදු පලක් නැති පරණ සුයිප් මට දීමට අවසානයේ ඔවුන් කැමති විය.

කොටුවේ පමණක් සුයිප් මඩු සහ ජංගම සුයිප් විකුණන්නන් පනහකට අධික ප්‍රමාණයක් සිටිති. ඔවුන් සියල්ලන්ගේම පරණ සුයිප් මට ලැබුනහොත් ඒවා විකුණා මට හොද අදායමක් නිසැකයෙන්ම ලබාගත හැකියි.

සවස් යාමට එලබුනු පසු මම පරණ සුයිප් එකතු කිරීමට පටන් ගත්තෙමි. කොටුව පුරා ඇවිද සුයිප් එකතු කල මට අවසානයේදී කුඩා පොහොර උරයක් පිරෙන්න තරම් සුයිප් තොගයක් සම්බවිය. තවම සවස හය ඉක්මවා නොතිබුණු බැවින් අඩ දිනම මෙම සුයිප් ටික විකුණා කියක් හෝ සොයා ගැනීම මගේ අදිටන වී තිබුණි. මන්ද මම අද දවසට දවල්ට තබා උදයටවත් කිසිවක් නොකා සිටි බැවිනි.

ප්‍රියන්ත මල්ලිගෙන් පංචිකාවත්තේ පරණ සුයිප් මිලදී ගන්නා සිටින ස්ථානය අසාගෙන ඔහු සොයා යාමට පටන් ගත්තෙමි. හෝරාවක් පමණ ගතවූ පසු මට ඔහු සොයා ගැනීමට හැකිවිය.

“අයියේ, පරණ සුයිප් ගන්නවා කියන්නේ ඔයාද?” මම මට වැඩ පෙනුමෙන් වයසැති කෙසඟ සිරුරක් සහිත අයෙක්ගෙන් ඇසුවෙමි.

“ඔව් මම තමයි, මොනවද කෙරෙන්න ඕන?” මම ඔහුගෙන් ප්‍රශ්නය ඇසු සතියෙම ඔහු මගෙන් පෙරලා ඇසුවේය.

“මං ගාව පරණ සුයිප් වගයක් තියෙනවා. අරගන්න පුලුවන්ද?”

“කොච්චරක් තියෙනවද?”

“මේ තියෙන්නේ.” මම අතැති පොහොර උරය ඔහු දෙසට දික් කලෙමි.

“කෝ දෙන්න” කියා ඔහු තරාදිය ගෙන පොහොර උරයේ බර මැන බැලුවේය.

“කිලෝ හයහමාරක් විතර තියෙනවා. රුපියල් දෙසීයක් දෙන්නන්.”

“තව කියක්වත් වැඩිකරන්න බැරිවෙයිද මහත්තයෝ” මම ඔහුගෙන් අයැදුවෙමි.

“දෙන්න පුළුවන් උපරිම ගාන තමා කිව්වේ. ගන්න බැරිනං උරෙත් අරන් යන්න”

තව රුපියලක්වත් ලබා ගැනීම ගලෙන් පට්ටයක් ගන්නවා වැනි දෙයක් බව මට වැටහී ගියේය. එමනිසා දුන් දෙසිය රැගෙන මම එතනින් ඉවත්ව ගියෙමි. සෙරෙප්පු මසා අමතරව දිනකට රුපියල් දෙසීයක අදායම මා වැනි අයෙකුට හොදටෝම ප්‍රමාණවත්. වේල් දෙකක් බඩ පිරෙන්න කතහැකියි මෙම අදායමෙන්.

මම මේ වන විට පරණ සුයිප් ව්කිනිම මාස තුනකට අධික කාලයක් සාර්ථකව සිදු කරමින් පවතියි. දිනකට අවම වශයෙන් පරණ සුයිප් විකුණා රුපියල් තුන්සීයක් පමණ දැන් මම උපයයි. පෙරදී මට ‘සෙරෙප්පු මහත්තයා’ කියූ උදවිය දැන් මට පවසන්නේ ‘සුයිප් මහත්තයා’ කියා ය.

එක්තරා දිනයක කොටුව දුම්රියපල ඉදිරිපිට පරණ සුයිප් එකතු කරමින් සිටින විටදී පොලිස් ජීප් රථයක් පමිං මා අසලින් නැවැත්වුයේය. ජීප් රථයේ පිටුපසින් පොලිසියේ මහත්වරුන් තිදෙනෙක් පිටතට පැමිණි අතර ඉදිරි අසුනේ සිටි හැඩිදැඩි සිරුරකින් සමන්විත පුද්ගලයෙක් ජීප් රථයෙන් පිටතට පැමිණියේය. තරමක් දැක පුරුදු පුහුනක් තිබු ඔහු පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා බව මම එකවරම ඇඳින ගත්තෙමි.

පේමන්ට් එකේ සෙරෙප්පු මසා පොලිසියට රැගෙන ගිය අවස්ථා දෙකෙහිදීම මට ගෙවන්නට සිදුවූ රුපියල් තුන්දහසක දඩය ගෙවා දැමීමට නොහැකිවා මාස අටක් සිර කුඩුවේ සිටි නිසා ඕ.අයි.සී. මහත්තයාගේ රුව මට හොදටෝම දැක හුරුයි.

“දාගන්නවා මුව ජීප් එකට” ඕ.අයි.සී. මහත්තයා මා දෙසට ඇඟිල්ල දිගු කරමින් සෙසු පොලිස් නිලදරින්ට එන කළේය.

“අනේ මහත්තයෝ මම මොන වරදක් කරාටද මාව අරගෙන යන්නේ?” මම ඕ.අයි.සී. මහත්තයා ඉදිරියේ වඳ වැටී කීවෙමි.

“කරපු දේ උඹම දන්නවා ඇතිනේ. ඔන්න ඔය පෝර උරෙත් දාගන්නවා ජීප් එකට.” යයි කියූ ඕ.අයි.සී. මහත්තයා මාව බලෙන්ම ජීප් රථයට දා ගැනීමට අණ කළේය.

“මහත්තයෝ මම මොනවත් වරදක් කලේ නැහැ. මාව අතඅරින්නකෝ!” ජීප් රථයට නැගුනු පසුත් මම කන්නලව් කලෙමි.

“හොර සුයිප් විකුණල තියෙනවා පහුගිය සති දෙකේ. උඹ තමයි මිනිහා. තැන හතර පහකින්ම ඔත්තුව ආවේ උඹයි මිනිහා කියලා.” ඕ.අයි.සී. මහත්තයා මාව අල්ලාගැනීමට හේතුව විස්තර කළේය.

“මම හොර සුයිප් විකුණුවේ නැහැ මහත්තයෝ… පරණ සුයිප් පංචිකාවත්තේ බෝතල් පත්තර කාරයෙක්ට විකිණුවා විතරයි. එකත් කරේ බඩගින්නට කියක් හරි හොයාගන්න” මම තවදුරටත් ජීප් රථයේ සිටි පොලිසියේ මහත්වරුන්ට මගේ නිර්දෝෂිභාවය කියා සිටියෙමි.

“ඕනනම් බස් ස්ටෑන්ඩ් එක ගාව සුයිප් මඩුවේ ප්‍රියන්ත මල්ලිගෙන් හරි එතන ඉන්න ඕන කෙනෙක්ගෙන් මං ගැන අහන්න. එයාල මං ගැන කියාවි”

“හරි එහෙනං යමුකෝ ඔය කියන ප්රියන්තව හම්බවෙන්න.” ඕ.අයි.සී. මහත්තයා එසේ කි විට මගේ සිතට මහත් සහනයක් දැනුනි. මන්ද මම ප්‍රියන්ත මල්ලිව බොහෝ කලක සිට අඳුනන බැවින් ඔහු මගේ නිර්දෝෂිභාවය පොලිසියේ මහත්වරුන් ඉදිරියේ කියාවි යන බලාපොරොත්තුවක් මට තිබුණි නිසාය.
ප්‍රියන්ත මල්ලිගේ සුයිප් මඩුව අසල පොලිස් ජීප් රථය කතර කළේය. පළමුව ඕ.අයි.සී. මහත්තයා රථයෙන් පිටතට පැමිණි අතර ඉන්පසු විලංගුලා සිටි මම පිටතට පැමිණියෙමි.

“ප්‍රියන්ත කියන්නේ කව්ද?”

“ම… ම.. මමයි මහත්තයෝ” ප්‍රියන්ත මල්ලි කැඩුණු ස්වරයෙන් කතා කළේය.

“තමුන් මේ මනුස්සයව අඳුනනවද? හොර සුයිප් විකුණලා අහුවෙලා තියෙනවා” ඕ.අයි.සී. මහත්තයා මා දෙසට ඇඟිල්ලක් දික් කරමින් ප්‍රියන්ත මල්ලිගෙන අසා සිටියේය.

මා දෙස ස්වල්ප වේලාවක් බලා දිටි ඔහු;

“නැහැ මහත්තයෝ මමනම් දන්නේ නැහැ” යැයි කීය.

මෙය මගේ කනේ වැකුණු සැටියේම කුමක් කිව යුතුදැයි මටම සිතාගත නොහැකි විය. දිනපතා උදේ හවා මාව දකින කතාබහ කරන සමහර දින වලදී එකම බත් පාඨ බෙදාගෙන කෑ පුද්ගලයා දැන් මා දන්නේ නැතැයි පවසනවා! මම ජීප් රථයට ගොඩවන විටදීත් ප්‍රියන්ත මල්ලිගේ මලානික වූ මුහුණ දෙස බලා සිටියෙමි.

ඉන්පසු මම ඕ.අයි.සී. මහත්තයාගේ පැමිණිලි කිසිවකට වග උත්තර බඳින්න වෙහෙසුනේ නැත. ඔහුට ඕනෑම දෙයක් කියන්නට ඉඩදී මම කරබාගෙන සිටියෙමි. දැන් වසර කිහිපයකට මාව අච්චු ගසනවා ස්ථිරයි. කොටුවේ එක වේලක් කා ජිවත් වූ මම දැන් වේල් තුනක්ම කෑමට නියමිත නිසා මහඋළු ගෙදර සිටීම සැපතක්.  
පින්තුර අයිතිය - සමන් වීරතුංග

Tuesday, February 12, 2019

“මගේ දුව හොදින් ඉඳියි නේද මහත්තයෝ”



මේ ගෙවෙන්නේ කුමන දිනයක්දයි කීමට මම නොදනිමි. උදය ආහාරය ලැබී මේ වන විට වරුවක් පමණ ගතවී තිබේ. මගේ කාමරයේ මගේ තනියට තවත් අයෙක් සිටියි. ඔහු මෙතනට පැමිණ දැනට සතියක් පමණ ගත වුවත් ඔහු මා සමග මෙතෙක් වචනයක්වත් කතා කලේ නැත. මම ඔහුත් සමග කතා කිරීමට උත්සහ කල නමුත් ඔහුගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඔහුට මෙයට හුරු වීමට ටික කලක් යාවි. මම මෙතනට පැමිණි මුල් කාලයේ පෙන්වුයේත් මෙවන්ම හැසිරීමක්. මෙතනට ඇවිත් දැන් මාස තිහකටත් එහා නිසා දැන් මට මෙතන ගෙදර වගේ.

“මට ඔය වතුර එක දෙන්න" ඔහු මලානික ස්වරයකින් මගේ දකුණුපස පිහිටි මේසය මත තිබු වතුර ජෝගුව ඉල්ලුවේය. ඔහුගේ කටහඬ අසු පළමු අවස්ථාව මෙයයි. එසැනින්ම වතුර ජෝගුව ගෙන ඔහුට දුන්නෙමි. ඔහු එය ගෙන එක උගුරක් පමණක් බී ජෝගුව නැවත මට දුන්නේය.

“ඔයාගේ නම මොකක්ද?” කිසියම් සංවාදයකට මුල පිරීමට යයි සිතා මම ඔහුගෙන් ඇසුවෙමි. නමුත් ඔහු එය නෑසුනාක් මෙන් අඩි දහයක් පමණ උසකින් තිබෙන කම්බි කුරු ගසා ඇති ජනේලය දෙස බලාගත් වනම බලාගෙන සිටියේය.

“ඔයා අයි මෙහෙට ආවේ?” මම උත්සාහය ඇත නොහැර ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නැවතත් ඇසුවෙමි. නමුත් එයටත් ඔහු කිසිදු පිළිතුරක් නොදී මුනිවත රැකගෙන සිට ජනේලය දෙස බලාගෙන සිටියේය.

ඔහුගෙන් වචනයක්වත් නොඅසා කාලය ගතවුනි. තත්පර මිනිත්තු වී මිනිත්තු පැය වී දැන් දවල් ආහාරය ගන්නා වෙලාව දක්වා පැමිණ තිබේ. අදත් සුපුරුදු පරිදි තිබුනේ බත්, පරිප්පු සහ කරවල යි. මෙය මලබතක් වීමට අඩු වට්ටක්කා පමණි. මම මගේ මිත්‍රයත් සමග බත් බෙදාගැනීමට පෝලිමට වී සිටියෝය. මම ඔහුට ‘මගේ මිත්‍රයා' යැයි පැවසුවද ඔහුත් සමග මෙතෙක් එක වදනක්වත් කතා කර නැත. එම නිසා මම ඔහුට ‘මගේ මිත්‍රයා' යයි ආමන්ත්‍රණය කිරීම කෙතරම් උචිතයි ප්‍රශ්නාර්ථයකි. මට මෙහි කසිදු මිත්‍රයෙක් නොමැති නිසා මෙසේ නමට හෝ මිත්‍රයෙක් සිටීම මගේ සිතට සහනයක් ගෙනදෙයි.

මම කෑමට හිඳගත් ස්ථානයට එහා පැත්තෙන් මගේ මිත්‍රයා අසුන්ගත්තේය. කෑම පැය අවසන් වූ පසු අපි නැවතත් අපගේ කාමර වෙත පියනැග්ගෙමු.

“මගේ නම සරත්. දුවගේ මනුස්සයා මං අතින් නැතිවුනහඬයි මම මෙහාට ආවේ” අවසානයේ ඔහු කතා කිරීමට පටන් ගත නිසා එය මගේ සිතට මහත් න්දහසක් ගෙන දුන්නේය.

“මම සමන්. මම දැන් මෙහාට ඇවිල්ලා අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. තව අවුරුදු දහයක් විතර ඉතුරුයි” මම මා ගැන කීමට පටන් ගත්තෙමි.

“ඇයි ඔයා දුවගේ මනුස්සයව මැරුවේ?”

“ඒ මනුස්සයා කොහොමත් මගේ දුවට ගැලපුන කෙනෙක් නෙමේ. බදිද්දිත් මම ඒකට විරුද්ධ වුනා. දවසක් දුව ගෙදර නැති අතරේ වෙන ගෑනියෙක් එක්ක මට ඔය මනුස්සයව අතටම අහුවුනා. එවෙලේ මම ටිකක් බීලත් හිටියේ. එතනදී රණ්ඩුවක් වෙලයි මේ දේ උනේ.” යැයි මගේ මිත්‍රයා කීය. ඔහු එය පවසන විට ඔහුගේ මුවෙහි කිසිදු පසුතැවිල්ලක ලකුණක් නුදුටුවෙමි. මෙහි අනෙක් අයගේ පාපෝච්චාරණ අසා සිටිනවාට වඩා මෙය වෙනස් අත්දැකීමක්. සාමාන්‍යයෙන් පාපෝච්චාරණයකදී තමන් කල දේ ගැන පසුතැවිලි නොවන අය සිටින්නේ ඉතා කලාතුරකිනි. මගේ මිත්‍රයත් එයින් කෙනෙක්.

“මට හිතෙන විදිහට ඔයා කරපු දේ හරි. එහෙම මනුස්සයෙක් එක්ක කොහොම පවුල් කන්නද?” යයි කියමින් ඔහුගේ කීම මම සනාථ කර සිටියෙමි.

“ඔයා කොච්චර කාලයක් මෙහෙ ඉන්නවද?”

“මම අද විතරයි ඉන්නෙ. හෙට වෙනම කාමරයකට මාව මාරු කරයි. එතනින් සතියකට පස්සේ මාව එල්ලලා මරලා දායි. ගිය අවුරුද්දේ එල්ලුම් ගහත් ගෙනාවනේ” යැයි මගේ මිත්‍රයා මරණයට කිසිදු බියක් නොමැති අයෙක් සේ කිවේය.

“ඔයා මැරෙනවට බය නැද්ද?”

“මම මොකටද මැරෙනවට බය වෙන්නේ. මට බය එක දෙයක් ගැනයි. ඒ මගේ දුව ගැන. මට ඉන්නෙ එයා විතරයි. එයාට දැන් ඉන්නෙත් මම විතරයි. එයා ආයෙම කලින් කරගත්තා වගේ වැරද්දක් කරගත්තොත්”

“නෑ. එහෙම වෙන එකක් නෑ. එයා දැන් පාඩමක් ඉගෙනගෙනයි ඇත්තේ” යැයි ඔහුව අස්වැසීමට සිතා මම කීවෙමි.

“ මගේ දුව හිතන්නේ මම එයාගේ පවුල විනාශ කරා කියලා. එත් මම දැන් කිව්වා කියලා හිතාගන්න, එයා කවදාහරි මට පිං දෙයි මම මේ කරපු දේට” මගේ මිත්‍රයා දැඩි අධිෂ්ටනයකින් යුතුව කියා සිටියේය.

“එහෙනං ඒ නිසයි ඔයාගේ දුව ඔයා බලන්න ආවෙ නැත්තේ”

“ඔව්, දුව විතරක් නෙමේ ගමේ අයත් හිතන්නේ මමයි වැරදිකාරයා කියලා. එත් ගමේ මිනිස්සු හිතන විදිහ මට වැඩක් නැහැ. මම මැරෙන්න කලින් වතාවක් හරි දුව දකින්න තිබුනොත් ඇති.”

“ඔයාට දුවව ආයෙත් දකින්න පුළුවන් වෙයි කියලා මට හරියට කියන්න බැහැ. හැබැයි එයා කවදාහරි ඔයාව තේරුම් ගනීවි”

සංවාදය එතනින් එහාට ඇදී ගියේ නැත. ඔහුට තවත් කතා කිරීමට කැමැත්තක් නැති බව මට වැටහී ගිය අතර හේ රාත්‍රී ආහාරය ද ප්‍රතික්ෂේප කළේය. දිනය ගෙවී ගියේය.

මාස කිහිපයක් ගතවිය. මගේ කාමරයට තවත් අයෙක් මෙදින පැමිණියේය. හේ පැසුණු කොණ්ඩයක් සහිත අයෙක් වූ අතර ඔහුට තිබුනේ කෙසඟ සිරුරකි. ආ වෙලේ පටන් මොහු සිටියේ දැඩි කල්පනාවකිනි. කාමරයේ තිබුණු දැඩි නිහඩතාව බිඳීමට සිතූ මා ඔහුත් සමග කතා කිරීමට තීරණය කලෙමි.

“මම සමන්. ඔයා කව්ද? ඇයි මෙහාට ආවේ?”

එකවරම ඔහු මා දෙස බලා තත්පර කිහිපයක්ම ඒ අයුරින් සිටියේ ය. ඒ මගේ ප්‍රශ්න වලට උත්තර බැදීමෙන් පලක් නැහැ කියන්නා සේය. නමුත් අවසානයේ ඔහු නොසිතූ අයුරින් මුව විවෘත කළේය.

“මම ජගත්. හොරකන් කරලා ඒ ගෙදර ගැනිවත් මරුවා”

නමුත් මොහුව දුටු විට එවැන්නක් කල අයෙක් ලෙස කිසිසේත් පෙනෙන්නේ නැත. එමනිසා මම ඔහුගෙන් පැමිණි කාරණය ගැන තවත් ප්‍රශ්න කලෙමි. එවිට ඔහු;

“මේක මම කරපු දෙයක් නෙමේ. මගේ බෑනගේ වැඩක්. එයා ඉස්සරත් එහෙමයි. හැදෙයි කියලා හිතුවා. ඒත් හැදිලා නැහැ. මෙකෙන්වත් හැදෙයි.”

“ඉස්සරත් එහෙමනං ඔයාගේ දුවට එයාගෙන් දික්කසාදය අරගන්න තිබ්බනේ. ඔහොම ඉන්නකොට දීග කන්න පුළුවන්යෑ”

“දුවගේ එලේවල් දවස් වලදී මේ මනුස්සයා නිසා දුවට ළමයෙක් හම්බෙන්න උන්නා.මේ මනුස්සයා දුවට වඩා අවුරුදු 13 ක් ම වැඩිමල්. ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්න ලජ්ජා නිසා මේ දෙන්නව බැන්දුවා. පස්සෙයි දැනගත්තේ මෙයාට තව ගෑනියෙක් ඉන්නවා කියල. ඒත් එයනන් කිව්වා ඒ ගෑනිව අත් අරිනවා කියලා. දුවගේ අම්මා මරුනෙත් මේ සිද්ධි දරාගන්න බැරුව. ඔය අතරේ තමා හොරකන් සිද්ධියට අර මනුස්සයා අහුවුනේ”

“ඇයි ඉතින් ඔයා වැරැද්ද බාර ගත්තේ? ඒ මනුස්සයට හොද පාඩමක් උගන්නන්න තිබ්බ වෙලාවක්නෙ ඒක”

“කොච්චර වැරදි තිබුනත් දුව තවමත් ගන්නේ එයාගේ මනුස්සයාගේ පැත්ත. එයා හිරේ ගියොත් දුව මැරෙනවා කියල කිව්වා. මට කාටවත් වඩා වටින්නේ මගේ දුවව. ඒ නිසයි වැරදි මම භාරගත්තේ.”

“ඒත් ඔයා හිතනවද දුවට අර මනුස්සයා එක්ක හොදින් ඉන්න පුළුවන් වෙයි කියල. ඇරත් ඔයත් නැතුව”

එම පැනයට මට ඔහුගෙන් පිළිතුරක් ලැබුනේ නැත. නැවත නැවතත් මම එම ප්‍රශ්නය ඔහුට කීවත් ඔහු දිගටම සිටියේ මුනිවත රකිමිනි. ඊටපසු දින කිහිපයේම මම ඔහුත් සමග කතා කිරීමට උත්සහ කල අවස්ථාවන් වලදී ඔහු තනි වචනයෙන් දෙකෙන් පිළිතුරු දී සංවාදය අවසන් කල නමුත් පෙරදී මෙන් පැහැදිලිව කතා කලේ නැත.

සති දෙකක් පමණ ගතවූ පසු කාකි ඇදුමින් සැරසුණු දෙදෙනෙක් සහ සුදු කලිසමක් සහ සුදු කමිසයක් ඇදගත් අයෙක් මගේ කාමරයට පැමිණියේය.

“වෙලාව හරි” යැයි එක තරබාරු නිලධාරියෙක් පවසා සිටියේය.

එවිටම මා අසල සිටි පුද්ගලයා නැගිට වටපිට බලා ඔවුන් වෙත ගියේය. කාමරයේ දොර අසලටම ගොස් ඔහු මා දෙස බැලීය.ඔහුගේ දෑස කඳුලින් තෙත් වී තිබුණු අතර දෑත් වෙව්ලමින් තිබුණි. කටහඬ අවධි කල ඔහු කැඩුණු ස්වරයෙන්;

“මගේ දුව හොදින් ඉඳියි නේද මහත්තයෝ” යැයි පවසා පිටවී ගියේය.


Thursday, January 31, 2019

ලංකාවේ පලමු වෘත්තීය නර්තනවෙදිනිය - වජිරා චිත්‍රසේන


ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුල කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුනේ නැහැ. මුල් කාලීන වේදිකා නාට්‍ය හා චිත්‍රපට වල කාන්තාවන්ගේ චරිත වලට පණ පෙව්වේ පිරිමින් ය. නර්තන කලාව ගත විට කාන්තාවන් නර්තන කලාවට පිවිසෙන්නේ 1930 දශකය වන විටයි. නර්තන කලාවට මුලින්ම පා තැබූ කාන්තාවන් ලෙස මිරියම් පීරිස් සහ චන්ද්‍රලේඛා හදුනාගත හැකියි. නමුත් මොවුන්ගේ නර්තන ජීවිතය දීර්ඝ කාලීනව පැවතුන එකක් නොවේ. හතලිහ දශකය මද වන විට එක්තරා කාන්තාවක් නර්තනයට පිවිසෙනවා. ඇය එකල කාන්තාවන්ට ඉඩක් වෙන් නොවූ වේදිකාව මත කාන්තාවට ඉඩක් වෙන් කර ගනිමින් වේදිකාව මත දස්කම් පෙන්වන්නට පටන් ගත්තා. ලාංකික මුද්‍රා නාට්‍ය කලාව නංවාලීමට මුලික අඩිතාලම් දමමින් වර්තමානයේදී ද දක්ෂ නාට්‍ය පරපුරක් ඇය බිහි කරමින් පවතියි. මෙම පුරෝගාමී නර්තන ශිල්පිනිය නමින් ‘වජිරා චිත්‍රසේන' යි.
වජිරා චිත්‍රසේන

කුඩා කල

නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා සහ ලිලියන් පෙරේරා හට නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මනී දමයන්ති පෙරේරා උපන්නේ 1932 වසරේ මාර්තු මස 15 වන දිනයි.පියා කළුතර නගර සභාවේ සේවය කල අතර මාව කළුතර මහා විද්‍යාලයේ ගුරුවරියකි. වජිරාගේ පවුලේ සහෝදරියන් පස්දෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටි අතර වැඩිමහල් සොහොයුරියක් කුඩා කලදී ම මියගියේ ඇදුම රෝගය උත්සන්න වීම හේතුවෙනි. මුලින්ම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් වජිරා අධ්‍යාපනය ලත් අතර ඉන්පසු කළුතර බාලිකාවට ගොස් අවසානයේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. ඇයව නැටුම් ශිල්පිනියක් කිරීමට ලොකුම ආශාව තිබුනේ ඇයට වඩා ඇගේ මවටයි.

චිත්‍රසේන හමුවීම

වජිරාගේ ජීවිතය වෙනස් වන්නේ චිත්‍රසේන ව හමුවීම තුලින්. වජිරා කුඩා අවධියේදී තරුණ චිත්‍රසේන, කළුතර නගර සභාවේ නගර ශාලාවේ ‘විධුර' නාටකය රග දැක්වීමට පැමිණ තිබෙනවා. වජිරාගේ පියා නගර සභාවේ සේවය කල අයෙක් නිසා වජිරා ඇතුළු පවුලේ උදවිය නිතර මෙම නාට්‍යයන් බැලීමට පැමිණ ඇති අතර සමහර දවස් වලට එම නාට්‍යයන් රග දක්වන කණ්ඩායම් රාත්‍රී ආහාරයන් සදහා වජිරාගේ නිවසට ද පැමිණ තිබෙනවා. මෙසේ චිත්‍රසේනයන්ගේ නාට්‍ය කණ්ඩායම ද වජිරාගේ නිවසට පැමිණ තිබෙනවා. මෙකල වජිරා ඉතා කුඩා වූ අතර මේ ඇය චිත්‍රසේනයන්ව මුණ ගැසුණු මුල් අවධියයි. එකල චිත්‍රසේනයන්ගේ සහයක ශිල්පිනිය ලෙස කටයුතු කලේ මම ඉහතදී සදහන් කල චන්ද්‍රලේඛා ය. වජිරාගේ වැඩිමහල් සොහොයුරිය වෛද්‍ය විද්‍යාලයට තේරීම නිසා පවුලේ උදවියට කොළඹට පැමිණීමට සිදුවෙනවා. වජිරා කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයට යන්නේ මෙම අවධියේ සිටයි. ඔවුන් කොළඹ නතර වන්නේ චිත්‍රසේනයන්ගේ නිවසේයි. ඉන් කලක් ගිය පසු චිත්‍රසේන වජිරා සමග විවාහ වෙයි. එවිට යට වයස අවු. 18 කි.
වජිරා චිත්‍රසේන, අයිරාංගනී සේරසිංහ සහ නන්දා මලිනී 

චිත්‍රසේන කලායතනය පිහිටුවීම

1943 දි ලංකාව පුරා විසිරී සිටි දක්ෂ නර්තන ශිල්පියන් සහ බෙර වාදකයන් එකතු කර ගනිමින් චිත්‍රසේන නාට්‍ය සංසදය ඇරඹුණි. 1944 දි මෙය තවත් දියුණු වූ අතර එහි ප්‍රතිපලය වුයේ කොල්ලුපිටිය චිත්‍රසේන කලායතනය බිහි වීමයි. මෙම කලායතනය තුල නර්තන කලාව පමණක් නොව ඊට සම්බන්ධ අනෙකුත් කලාවන් සම්බන්ධයෙන් විද්වත් කතිකාවත් ගොඩනැගුණි. ඒ සදහා සම්බන්ධ වූ ය අතර සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී.මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස, ඇල්විටිගල සහ සෝමබන්ධු විද්‍යාපති (චිත්‍රසේනයන්ගේ පළමු නැටුම් ශිෂ්‍යයා) ආදීන් විශේෂ වේ.

කලා ජීවිතය

වජිරා, චිත්‍රසේනගේ නාට්‍යයකට පළමුව සම්බන්ධ වන්නේ ‘විධුර' නාට්‍ය තුලිනි. ඇය එහි නාග කන්‍යාවකට රගපා තිබේ. විධුර නාට්‍යය සංගීතවත් කලේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා වූ සාදිරිස් මාස්ටර් විසිනි. එකල ‘පැජන්ට් ඔෆ් ලංකා’ යන නමින් තිබු සංදර්ශනයකට චිත්‍රසේනගේ පියා අංග දෙකක් ඉදිරිපත් කළේය. ඒ ‘විජය සහ කුවේණි’ සහ ‘රාවණා හා සීතා’ ය. ඇය රවණා හා සිතා නාට්‍යයේ මුවෙකුට පනපොවා තිබේ. වජිරා මුද්‍රා නාට්‍ය කලාවට අත්පොත් තබන්නේ ‘කුමුදුනි' මුද්‍රා නාට්‍ය මගිනි. එය නිර්මාණය වුයේ ආනන්ද සමරකෝන්ගේ ළමා ගීයක් ඇසුරෙනි. ඒ ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍යය යි. ලාංකික මුද්‍රා නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් බදු වූ ‘නල දමයන්ති' මුද්‍රා නාට්‍යයේ රංග වින්‍යාසය ඇය නිර්මාණය කරයි. ඉන්පසු ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කල හපනා ,ගිනි හොරා ,වන මල් සහ ඇන්ටිගනි යන කලාකෘති වලට නිර්මාණය කල රංග වින්‍යාසයන් තුලින් ඇයගේ හැකියාව මොනවට පැහැදිලි වේ. ඇයගේ රංග ප්‍රතිභාව මනාව පෙන්වුනු තවත් මුද්‍රා නාට්‍ය කිහිපයක් ලෙස ගිණි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, ශිවරංග, බෙර හඬ යන මුද්‍රා නාට්‍ය දැක්විය හැකියි.  චිත්‍රසේන කලායතනයෙන් ලත් දැනුම නිසා තවතවත් තම දස්කම් මුවහත් කරගත් වජිරා, තම නර්තන කණ්ඩායමත් සමග  1957 දී සෝවියට් දේශයේ ක්‍රෙම්ලීන් රංග පීඨයේදී නිකිතා කෘෂ්ව් ඉදිරියේ රංගනයේ යෙදුනාය. එයින් නොනැවතුණු ඔවුන් චෙකොස්ලොවැකියාව ,පෝලන්තය , නැගෙනහිර ජර්මනිය ,ප්‍රංශය ,ඕලන්දය ,ස්විට්සර්ලන්තය ,සිංගප්පූරුව ඇතුළු රටවල් වලට ගොස් තම දක්ෂතා පෙන්වා රටේ අනන්‍යතාව අන්තර්ජාතිකව ඉහලින් තැබීමට කටයුතු කලෝය.


ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවෙදිනිය වෙමින් කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසිනි. වර්තමාන නර්තනවෙදිනියන්ට තම කුසලතා පෙන්වීමට මගක් සකස් කිරීමේ මුලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි. ඇය තම දියණියන් වන උපේඛා හා අංජලිකා යන අය කලාවට දායාද කල අතර සිය ගණනක් කළා ගුරුන් හා ගුරුවරියන් බිහි කර හා බිහි කරමින් පවතියි. චිත්‍රසේන කලායතනය තුලින් නාට්‍ය කලාවේ සභ්‍යත්වය ආරක්ෂා කර ගනිමින් ලාංකික මුද්‍රා නාට්‍ය කලාවක් ලෝකය හමුවේ තැබමින් කල සේවය ඉතා ප්‍රශංසනීයයි.  

මුලාශ්‍රයයන්:
1)චිත්‍රසේන - e-thaksalawa.moe.gov.lk
2)චිත්‍රසේන - apekattiya.wordpress.com
3)අම්මයි තාත්තයි කන්න බොන්න දුන්නා, චිත්‍රසේනයි මමයි නැටුවා - slbcsns.blogspot.com
4)ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා - සිළුමිණ පුවත්පත
5)අපි කනබොන තැන්වල නටන්නේ නෑ - slbcsns.blogspot.com
6)ලාංකේය නර්තන වේදිකාවේ පුරෝගාමී නර්තන කලාකාරිනිය - srilankantheatre.blogspot.com


දෙවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය කදවුරේ ඇතිවූ පළමු කැරැල්ල ලංකාවේ සෙබළුන්ගෙන්



දෙවන ලෝක යුද්ධ සමයේදී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව සිටි බව සැවොම දන්නා කරුණක්. යුද්ධය සඳහා සෙබලුන් හිඟ වූ විට බ්‍රිතාන්‍යයන් විසින් තම යටත් විජිත වල සිටි පිරිමින්ව යුද්ධය සදහා යොදාගත්තේය. මේ අතරින් සමහරුන්ව වෙනත් රටවල් වලට හා දිවයින් වල සේවයට අනුයුක්ත කර යවන ලදි. බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් යුධ වැදීමට සුදානම් ව සිටි සමහරක් ලාංකික සෙබලුන්ව ද මෙසේ වෙනත් රටවල් වලට යැව්වේය. බ්‍රිතාන්‍යයන් නාසි ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමට දිනකට ප්‍රථම එනම් 1939 වසරේ සැප්තැම්බර් මස 2 වන දින ලංකාවෙන් සෙබලුන් පිරිසක් කොකෝස් දිවයිනේ යුධ පෙරමුණ සදහා යැව්වේය. කොකෝස් දිවයිනේ සිටි ලාංකික සෙබලුන් විසින් ඇතිකල කැරැල්ලක් නිසා දෙවන ලෝක යුද්ධ ඉතිහාසය තුල මෙය වැදගත් තැනක් ගනු ලබනවා. කැරැල්ල අසාර්ථක වූ නමුත් මෙය බ්‍රිතාන්‍ය කදවුර තුල ඇතිවූ පළමු කැරැල්ලයි. එමෙන්ම බ්‍රිතාන්‍යයන් යටතේ සටන් කල පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් කැරැල්ලක් ඇති කල එකම අවස්ථාව මෙයයි.

1941 වසරේදී ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දමා විශාල විනාශයක් සිදු කරනු ලබනවා. 1942 වසරේදී එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව තිබු සිංගප්පුරුව ජපානය විසින් අල්ලාගනු ලබනවා. ඉන්පසු ඉන්දියානු සාගරය අල්ලා ගැනීමට මාන බලන ජපානය ලංකාවේ කොළඹ හා ත්‍රිකුණාමල වරයන් වලට පහරදෙනු ලබනවා. මෙසේ නමසිය හතලිස් මුල් අවධියේදී ජපානයට වාසිදායක අයුරින් බොහෝ දෑ සිදුවන අතර ඔවුන් ක්‍රමක්‍රමයෙන් තම බලය වර්ධනය කරගනු ලබනවා. 
කොකෝස් දිවයින

ඉන්දියානු සාගරය අල්ලා ගැනීමට ජපානය මාන බලමින් සිටි නිසා ඉන්දියානු සාගරයේ බ්‍රිතාන්‍යන් යටතේ තිබුණු කොකෝස් දිවයින ඉතා වැදගත් ස්ථානයක් බවට පත් වනවා. ජපනුන් විසින් කොකෝස් දිවයින අල්ලා ගැනීමට ප්‍රයත්න දැරීම නිසා ඒවා වැලක්වීමට ලංකාවෙන් ද සෙබලුන් පිරිසක් සුදානම් කර කොකෝස් දිවයිනට පිටත් කර යවනු ලබනවා. මෙසේ පිටත් කර යවනු ලබන්නේ ගැරිසන් කාලතුවක්කු බලඇණියේ සිටි ලාංකික සෙබලුන් 56 දෙනෙක්. මෙම සෙබළුන්ට භාවිතයට ලබා දි ඇත්තේ 152mm හා 227mm වර්ගයේ තුවක්කු ය. මොවුන්ගේ නායකත්වය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතන්වරයෙන් ලෙස සේවය කල ජෝර්ජ් ගාඩිනර් නම් නිලධාරියා ය.

මෙකල ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වා සිටි නිසා ලාංකික දේශපාලඥයන්ගෙන් සමහරක් සිතා සිටියේ ජපානයේ උදව්වෙන් ලංකාවට නිදහස ලබාගත හැකියි කියා. එසේ සිතු දේශපාලඥයන් අතරින් ඉහලින්ම සිටියේ පසු කාලීනව ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු ජපානය සමග රහසිගත සාකච්චා සිදුකල නමුත් ඒවා අතරමග නතර වුයේ ඩි. එස්. සේනානායක ඇතුලු තවත් දේශපාලඥයින් පිරිසක් බ්‍රිතාන්‍යයට පක්ෂපාතිව කටයුතු කල නිසාවෙනි. කෙසේ නමුත් යුද්ධය අවසන් වූ විටද ජේ.ආර්. ජයවර්ධන ජපානයට හිතවත්ව කටයුතු කල නිසා ජපානය හා ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වයක් ඇති විය. යුද්ධයෙන් පසු ජපානයට ගැන තීරණයක් ගැනීමට පැවති සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී එවකට මුදල් ඇමති ලෙස කටයුතු කල ජේ.ආර්. ජයවර්ධන ධම්ම පදය ඇසුරෙන් සිදුකල කතාවෙන් (වෛරයෙන් වෛරය නොසන්සිදේ) ජපානය ගැන බොහෝ රටවල් වල මතයන් වෙනස් වූ නිසා දිගු කාලීනව මෙය ලංකාවට වාසිසහගතව බලපෑවේය. උක්ත සදහන් කල ආකාරයේ දේශපාලන වාතාවරණයක් පවතී අවධියකයි කොකෝස් දිවයිනේ සිටි ලාංකික සෙබලුන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කැරලි ගසනු ලබන්නේ.
ජේ.ආර්. ජයවර්ධන 

කැරැල්ල ඇති වන්නේ 1942 වසරේ මැයි මස 8 වන දින රාත්‍රියේදී. කැරැල්ලට නායකත්වය ලබාදුන්නේ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු විසිනි. කොකෝස් දිවයිනේ සිටි ලාංකිකයන් 56 දෙනාගෙන් 30 දෙනෙක් මෙම කැරැල්ල සදහා කැමැත්ත පල කළේය. මෙම වසරේම මාර්තු 3 වන දින ජපනුන් ක්‍රිස්මස් දුපත අල්ලා ගත් අතර  ඔවුන් සැලසුම් කලේ කොකෝස් දිවයිනට ආසන්නයෙන් තිබු ක්‍රිස්මස් දිවයිනේ සිටි ජපනුන්ට  රාත්‍රියේදී සංඥා කර කොකෝස් දිවයින් ජපනුන්ට බාරදීමයි. මෙම සැලසුම කොකොඩ් දිවයිනේ කපිතාන්වරයා ලෙස කටයුතු කල ගාඩිනර් හට කල්තියාම දැනගන්නට ලැබී තිබුණි. එමනිසා කැරලිකරුවන් හට කාලතුවක්කු කැරැල්ල අතරතුරදී ලබාගැනීමට නොහැකි විය. මෙසේ දේවල් ආරම්භයේදීම සිදුවුයේ ලාංකික සෙබළුන්ගේ අවාසියටයි. කැරැල්ල අතරතුර වෙඩි හුවමාරුවකදී කැරලිකරුවන්ට විරුද්ධව කටයුතු කල සමාරිස් ජයසේකර නම සෙබලා මිය ගියේය. එමෙන්ම බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන්වරයෙක් වූ ස්ටෙෆන්ස් තුවාල ලැබුවේය.

මැෂින් තුවක්කු හරිහැටි ක්‍රියාත්මක නොවීම, නිවැරදි එල්ලයට වෙඩි නොතිබීම (පුහුණුව මදකම) හා කැරැල්ලට ලාංකිකයන්ගෙන් බොහෝ දෙනෙක් අකමැත්ත පල කිරීම ආදී හේතූන් නිසා කැරැල්ල අසාර්ථක විය. කැරැල්ල අසාර්ථක වීමෙන් පසු කැරලිකරුවන්ට යටත් වීමට සිදුවිය. කැරලි නායකයා වූ ග්‍රේෂන් ප්‍රනාන්දු කියා සිටියේ මෙහි නඩු විභාගය කොකෝස් දිවයිනේ නොව කොළඹ දි සිදුකරන ලෙසයි. කොළඹ දි නඩු ව්භාගය තිබුණහොත් ජාතික හැඟීම් වර්ධනය වන ආකාරයේ යමක් මොහු කියාවි යයි සිතා යුධ අධිකරණයක් යටතේ නඩුව කොකෝස් දිවයිනේම පැවැත්වූයේය. ඒ අනුව 15 දෙනෙක් කොකෝස් දිවයිනේ දි යුධ අධිකරණයකට ඉදිරිපත් කල අතර ඉන් 7 දෙනෙක්ට මරණිය දණ්ඩනය හිමි විය යුතු බව යෝජනා විය. තවත් 4 දෙනෙක්ට බරපතල දඬුවම් සහිත සිර දඬුවම් නියම කල යුතු බවට යෝජනා විය.
කොකෝස් දිවයිනේ පිහිටීම

 අවසානයේ දි කැරැල්ලට නායකත්වය දුන් ග්‍රේෂන් ප්‍රනාන්දු, කාර්ලෝ ඔගස්ටස් හා බෙනී ද සිල්වා යන අය වැලිකඩ බන්දනාගාරයේ දි එල්ලා මරා දමන ලදී. කැරැල්ල අතරතුරදී බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතිව සටන් කල මියගිය සමාරිස් ජයසේකර නම් සෙබලාව බ්‍රිතාන්‍ය හමුදාවේ පුර්ණ ගෞරව ඇතිව කොකෝස් දිවයින අසල පිහිටි හොර්ස්බර්ග් දිවයිනේ තාවකාලිකව මිහිදන් කර ඉන්පසුව සිංගප්පුරුවේ ක්රාන්ජි යුධ අනුස්මරණ සුසන භූමියේදී දේහය ස්ථිරව තැන්පත් කරන ලදී. මරණ දඬුවම නියම වුවන්ට නැවත දෙවන අධිකරණක් ඉදිරියේ නඩුව අසන්න යැයි මරණ දඬුවම හිමිවූ අයගේ පවුලේ උදවිය , සර්. ඔලිවර් ගුණතිලක සහ රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකයන් දෙදෙනෙක් එවකට ලංකවේ ආණ්ඩුකාරයාව සිටි සර් ඇන්ඩෲ කැල්ඩිකොට් සහ අද්මිරාල් ජෙෆ්රි ලේටන්ගෙන් ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප විය.

වැලිකඩදි එල්ලා මැරූ තිදෙනා බොරැල්ල කනත්තේ නොගැඹුරු වලක වළලන ලදී. කැරැල්ලට නායකත්වය දුන් ග්‍රේෂන් ප්‍රනාන්දු සමාව අයැදීම ප්‍රතික්ෂේප කල අතර ඔහු මියයාමට පෙර අවසානයට පවසා ඇත්තේ මෙයයි;  “විදේශිකයන්ගේ පයට පෑගී සිටින තාක් කල් රටක දේශප්‍රේමී හැඟීම් නැති කළ නොහැකියි”

රැස පුවත්පත
07.01.2019

Sunday, December 2, 2018

වරද කාගෙද?


ලංකාව රාජධානි අවධියේ දී ඒකීය රාජ්‍යයක් ලෙස පැවතියේ සුළු කාලයකි. රාජධානි අවධියේ දී ලංකාව උඩරට , පහත රට, මායා රට, පිහිටි රට ආදී නොයෙක් ආකාරයට කොටස් වලට බෙදී පැවතුනි. එක් එක් පාලකයන් මෙහි පාලන කටයුතු ගෙන ගිය අතර උතුරු ප්‍රදේශය ආර්ය චක්‍රවර්තී නැමැති දෙමළ පාලකයන් විසින් පාලනය ගෙන ගියා. එකල ජාතීන් කියා තිබුනේ ජන වර්ගයට නොව කුලයට යි. ජන වර්ග අතර බේදයක් තිබුනේ නැත.

අතීතයේ දී සිංහල හා දෙමළ මිනිසුන් අතර විවාහයන් බොහෝ සිද්ද වූවා. එයට කිසිදු බාධාවක් සිදු වූයේ නැහැ. උදාහරණයක් ලෙස රත්වත්ත පවුලේ විවාහයක් යාපනයේ වෙල්ලාල කුලයේ අයත් සමග වීම දැක්විය හැකියි. සැළලිහිණි සංදේශයේ එන උලකුඩය දේවිය විවාපත් වන්නේ ශන්මුගයාර් නැමැති දෙමළ කුමාරයෙක් සමග. ඒ අපේ පෙර සිංහල සාහිත්‍යයෙන් උදාහරණයක්. ලංකාවේ රජවරු බොහොමයක් දකුණු ඉන්දියාවේ කුමාරිකාවන් සමග විවාහ වනවා. මේ ආකාරයට සිංහල දෙමල දොගොල්ලො අතර විවාහ සම්බන්ධතා වලට කිසිදු බාධාවක් තිබුනේ නැහැ. අලගියවන්න මුඛවෙටි පඬිතුමා සහ ධර්මසේන හිමි වැනි ප්‍රාඥයින් කියා සිටියේ දෙමළ නොදන්නා අයෙක් සිටිනවා නම් ඒ මුග්ධයෙක් බව. එනම් එකල දෙමළ භාෂාව ඉගෙන ගැනීමත් බොහෝ උසස් දැනීමක් ලෙස පිලිගනු ලැබුවා.

මෙසේ කිසිදු බේද බින්නව නොතිබූ ජාතීන් අතර ගැටුන් හටගත්තේ කොතැනින් ද? ඉංග්‍රීසීන්ගේ පාලන කාලය ගත් විට, ඔවුන්ගේ පාලනයේ එක් විශේෂත්වයක් ලෙස ‘බෙදා වෙන්කර පාලනය’ දැක්විය හැකියි. කෝල්බෲක් ප්‍රථිසංස්කරණයෙන් ව්‍යවස්ථාදායක හා විධායක යන ආයතන දෙකක් හදුන්වා දෙනු ලැබූ අතර ව්‍යවස්ථාදායකයේ නිල නොලත් මන්ත්‍රීවරුන් තෝරා ගත්තේ ජාතීන් අනුවයි. වර්ගවාදී හැඟීම් ඇති කිරීමට මෙය මූලික අවධියේ හේතුවක් වුනා. ඒකීය රටක් ලෙස ලංකාව පත් කරන්නේ ඉංග්‍රීසීන්. රාජ්‍යයක් සෑදීම නිසා ජාතීන් අතර බෙදීම හට ගත් අතරම රට බෙදී තිබුන තාක් කල් ජාතීන් අතර සමගියක් තිබුනා.


නිදහස කිට්ටු වන විට මෙම ජාතිවාදී හැඟීම උත්සන්න කිරීමට හේතු කිහිපයක් තුඩු දුන්නා. ලංකාවට නිදහස ලබා ගැනීම සදහා හඬක් නැගූ ව්‍යාපාර ලෙස එකල තිබුනේ ව්‍යාපාර දෙකක් පමණි. ඒ ලංකා වාමාංශික ව්‍යාපාරය සහ යාපනය තරුණ සංගමය පමණි. ඩොනමෝර් කොමිසම නිර්දේශ ඉදිරිපත් කල විට අපි ජාතියේ පියවරු ලෙස හදුන්වා සිටින, මහත් ඉහළින් කතා කරන පුද්ගලයින් සිදු කලේ මෙම නිර්දේශ බාර ගැනීමයි. නමුත් වාමාංශික ව්‍යාපාරය සහ යාපනය තරුණ සංගමය මෙයට විරුද්ධ වී නිදහස උදෙසා අරගලයක නියැලුනා. යාපනයේ තරුණ සංගමයේ විරෝධතාව කෙතරම් උග්‍රව ගියා ද කිවහොත්, ඔවුන් තමන්ට හිමි වූ චන්දය භාවිතය වර්ජනය කරනු ලබනවා. තමන්ට චන්දය භාවිතා කිරීමට හැකි පලමු අවස්ථාවයි ඔවුන් මෙසේ වර්ජනය කරන්නේ. යාපනය තරුණ සංගමය පවසුවේ ‘අපිට ජාතික නිදහස මිසක් ප්‍රථිසංස්කරණ අවශ්‍ය නැහැ’ යනුවෙනුයි. මෙම විරෝධතාව හේතුවෙනුයි පසු කාලීනව අපට සර්වජන ඡන්ද බලය හිමි වන්නේ.

තව දුරටත් ඉදිරියට ගිය විට, සොල්බරි කොමිසමෙන් ගෙන එනු ලබනවා සුළු ජාතීන් සුළු ආගමිකයන් ආරක්ෂා කරගැනීමට වගන්තියක්. එනම් කිසිදු ජන කොටසකට විශේෂයක් කල නොහැකි බවයි එයින් පැවසුවේ. නමුත් එම ව්‍යවස්ථාව යටතේ දී පත්වූ ආණ්ඩුව (ඩී.එස්. සේනානායක ප්‍රමුඛ) පුරවැසි පනත හඳුන්වා දෙනු ලබනවා. එම පුරවැසි පනතෙන් සිදුකලේ කන්ද උඩරට සිටි ද්‍රවිඩ කම්කරු ජනතාවගේ පුරවැසිභාවය අහෝසි කිරීම. එම ද්‍රවිඩ කම්කරු ජනතාව වාමාංශිකයන්ට නැඹුරු වීමක් තිබූ අතර ආණ්ඩුවට අවශ්‍ය වූයේ මෙය නතර කිරීමටයි. එමනිසා පුරවැසි පනතෙන් උඩරට ද්‍රවිඩ කම්කරු ජනතාවගේ චන්ද බලය අහෝසි කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා.

1956 චන්දය කිට්ටු වේගෙන යන විට බෞද්ධ කොමිෂන් සභාව පිහිටුවනු ලබනවා. මෙමගින් බෞද්ධයන්ට හා සිංහලයන්ට සිදුවී තිබෙන අසාධාරණකම් සාකච්ඡාවට ලක් වනවා. මෙය මුල් කරගෙන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවත් බෞද්ධ රාජ්‍ය ආගම බවත් යන අදහස් මතු වනවා. මෙම අදහස් මුල් කරගෙන 56 චන්ද ව්‍යාපාර කෙරීගෙන යන අතර එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය භාෂා පනත රැගෙන එන බවට මැතිවරණ පොරොන්දුවක් ලබා දෙනවා. ඔවුන් සමග තරඟ කල  එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා පවසා සිටියේ ඔහු සිංහල භාෂාව පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව බවට පත් කරන බවයි. බණ්ඩාරණායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ 56 චන්දය ජය ගත්තත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීනේ මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමට කල් ගත වනවා. 



රාජ්‍ය භාෂා පනතෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයන් සිංහල භාෂාවේ ප්‍රවීණත්වය ලබාගත යුතු බව කියැවෙනවා. එම ප්‍රවීණත්වය වසර තුනක් ඇතුලත ලබා නොගතහොත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරයි. වරක් කොල්වින් ආර් ද සිල්වා පවසා සිටියේ ‘එක් භාෂාවක් නම් රටවල් දෙකක්. භාෂා දෙකක් නම් එක් රටක්’ බවයි.  මෙම පනත ගෙන ඒමත් සමග දෙමළ ජනතාව පරණ පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකරන අතර ආණ්ඩුව විසින් මැරයන් දමා එය නතර කරයි. මේ ආකාරයට දෙමළ ජනතාවගෙන් මෙම රාජ්‍ය භාෂා පනතට සහ ඒ හා සමගාමීව ගිය උසාවි භාෂා පනතට එරෙහිව නොයෙක් උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ පැවැත්වීමට පටන් ගන්නවා. මේ සියල්ල දරුණු ලෙස මර්ධනයක් එකල ආණ්ඩු විසින් සිදු කරයි. දෙමළ මිනිස්සුන්ගේ හදවතට කතා කල භාෂාව ප්‍රශ්නයට අමතරව  ඔවුන්ව තැලීමට ජනපදකරණයත් හේතු වනවා. උදාහරණයක් ලෙස ගල් ඔය ජනපදයෙන් ගම්මාන තිස් හයෙන් ගම්මාන හයක් පමණයි දෙමළ මිනිසුන් සදහා වෙන් කලේ. ගල් ඔය ජනපදය මුල් කරගෙනයි අම්පාර දිස්ත්‍රික්කය සාදනු ලබන්නේ. මෙසේ ක්‍රමානුකූලව සිංහල ගම්මාන සෑදීම සිදු කරනු ලබනවා. මේ සියල්ල නිසා දෙමළ මිනිසුන්ට තේරුම් යනවා මොවුන් මේ සිදු කරන්නේ අපගේ භාෂාව සංස්කෘතිය ආදිය දියාරු කිරීමේ වැඩපිලිවෙලක් බව. ඉතිහාසය දෙස බැලූ විට අපට එය පැහැදිලිවම දක්නට ලැබෙනවා.

මේ සියල්ල නිසා උතුරේ තරුණයන් අතර කතා බහකට ලක් වනවා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කල යුතුයි යන වග. ඒ අනුව වඩුක්කෝඩෙයි හිදී එම සන්නද්ධ ව්‍යාපාරය ආරම්භ වනවා. දෙමළ මිනිසුන්ට වෙනම රාජ්‍යයක් යන සංකල්පය මතු වන්නේ එතැනින්. එතැන් පටන් රටට වූ හානිය කියා නිම කල නොහැකියි. ජාතිවාදී ප්‍රශ්න ඇති කලේ කව්ද? වරද කාගෙද?

(අජිත් හැඩ්ලි මහතාගේ දේශනයක් ඇසුරෙන් සකස් කල ලිපියකි)

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...