Saturday, December 30, 2017

ලංකාව සහ ලෝකය

විජයාවතරණය ක්‍රි.පූ. 543 දී වූ බව ගනන් බලා ඇත. ඊට ආසන්න කාලයකදී ග්‍රීසියේ හෙරඩෝටස් සහ සොක්‍රටීස් ද චීනයේ කොන්ෆියුෂියස් සහ ලාඕට්සු ද විසීය. 300 නම් චිත්‍රපටයට පාදක වූ තර්මෝපයිලේ සටන ද වූයේ මීට ආසන්න කාලයේදී යි.

අනුරාධපුර රාජධානිය පණ්ඩුකාභය [ක්‍රි.පූ. 437-367] විසින් පිහිටුවයි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ [ක්‍රි.පූ. 250-210] බුදු දහම ලංකාවට පැමිණේ. පලමු චෛත්‍ය වූ ථූපාරාමය දේවානම්පියතිස්ස රජු විසින් ගොඩනගයි. මීට ආසන්න කාලවල් වලදී මහා ඇලෙක්සැන්ඩර් [ක්‍රි.පූ. 356-323] ද ග්‍රීසියේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ ද ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා ද කාතීජයේ හැනිබල් [ක්‍රි.පූ. 247-182] ද සිටි අතර සේද මාවතේ ඇරඹුම ද සනිටුහන් විය.

තම ඇසුරට පත් පිරිමින් වස දී ඝාතනය කලා යැයි සැලකෙන අනූලා රැජිණ [ක්‍රි.පූ. 47-42]  සිටි කාලයට ආසන්නව ඊජිප්තුවේ පාලනය ක්ලියෝපැට්රා විසින් පවත්වාගෙන යන ලදි. රෝමයෙන් ගෙන්වූ රතු පබළු වලින් දැලක් සාදා එයින් රුවන්වැලි සෑය වැසූ බව සදහන් වන්නේ භාතික අභය රජුගේ කාලයේදී ය. ඔහුගේ රාජ්‍ය කාලය අවසන් වන විට ලෝකයේ තවත් තැනක ජේසුස්වහන්සේ වයස අවු. 12 ක පමණ දරුවෙකි.

ධාතුසේන රජු තමන් සෑදූ කලා වැවේ බැම්මේ තබා මැටි ගසා මරා දැමේ. කාශ්‍යප [ක්‍රි.ව. 473-491] රජ වේ. ඒත් සමඟම බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටේ. මෙරොවින්ජියන් අධිරාජ්‍යය බිහි වේ.

පලමු විජයභාහු රජුගේ [ක්‍රි.ව. 1055-1110] කාලයේ චෝල හමුදව පොලොන්නරුවේ සිට පැමිණ රුහුණ කොල්ලකයි. රජුගේ මුල් කාලයේදී ක්‍රිස්තියානි ලෝකය බටහිර කතෝලික හා ග්‍රීක ඕර්තඩොක්ස් ලෙස බෙදේ. ඔහුගේ පාලනය අගභාගයේ දී ලෝකයේ තවත් තැනක පලමු කුරුස යුද්ධය සිදුවේ.

පලමු පරාක්‍රමභාහු රජු [ක්‍රි.ව. 1157-1186] බුරුමය ආක්‍රමණය කරයි. චෝලයන් අතින් විනාශ වූ අනුරාධපුරය නැවත ප්‍රථිසංස්කරණය වේ. දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යයන්ට ආධාර පිණිස පරාක්‍රමභාහු රජු හමුදා පිටත් කර යවයි. මෙකල ලෝකයේ තවත් තැනක සැලඩීන් අධිරාජ්‍යයා සිටි අතර පැරකුම්බා රජුගේ පාලන ආරම්භය අවධියේදී දෙවන කුරුස යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගත වී තිබූ අතර ඔහුගේ පාලන කාලය අවසන් වී වසර කිහිපයකින් තෙවන කුරුස යුද්ධය ආරම්භ විය. එමෙන්ම සෙල්ජික් තුර්කිවරු බයිසැන්ටියානු හමුදා පරාජය කරයි. [ක්‍රි.ව. 1071]

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වූ කාලයේ දී තවත් තැනක තෝමස් ඇක්වයිනාස් පියතුමා Summa Theologica ලියයි. ක්‍රි.ව. 1284 දී මොංගල් අධිරාජ්‍යයේ කුබ්ලයි ඛාන් ලංකාවෙන් කප්පම් ඉල්ලයි.  හතරවන පරාක්‍රමභාහු [ක්‍රි.ව  1302-1326] රජුගේ කාලයේ දළදා සිරිත රචනා වූ අතර පසුව පන්සිය පනස් ජාතකය පාලියෙන් සිංහලට පරිවර්තනය වේ. මෙකල ලෝකයේ තවත් තැනක යුරෝපය විනාශ කල කළු මරණය ඇරඹුණු අතර ඇස්ටෙක්වරු තම සුවිශාල නගරය වූ ටෙනොචිට්ලන් නගරය ගොඩනගයි. 

ක්‍රි.ව. 1409 දී චෙංග් හෝ නැමැත්තා ලංකාවට පැමිණ චීන අධිරාජ යුංග් ලෝ වෙනුවෙන් ඉල්ලූ කප්පං නොලැබුණු නිසා සිංහල රජු අලකේෂ්වර හා පිරිවර සිරකරුවන් ලෙස චීනයට රැගෙන යයි. ක්‍රි.ව. 1414 දී මොවුන් නැවත මව්බිමට පැමිණේ. මීට වසර කිහිපයකට පසු ඉතාලියේ කලා කෘති වලට මහත් සේවයක් සැපයූ මෙඩිචි පවුලේ නැගීම සනිටුහන් වේ.

(තවත් කොටසක් පසුවට)





Tuesday, December 26, 2017

අහිමි පෙම

අඩි පහට වඩා ඩිංගක් උස            ඇතී
කතාවට වඩා සිනහව නිතර මුවග ඇතී
උදේ හවා අප හමුවෙලා               ඇතී
මට ඔබ ලැබගන්නට වරම්           නැතී

සැමියන් ඔබ හා කතා කරන                  විට
මම ඔබ හා හොදින් මිතුරු බව නොදැන  විට
ඔවුන් මා හා ඒවා රසකර කියන             විට
උගෙ ඉහ මොළ කුඩු කරන්නට සිතේ    මට

ඔබ මා හා දොඩමළු වන                        විට
පැය කටු මිනිත්තු වෙයි නොදැනීම          මට
එහෙත් කතාව අවසන මල්ලී යැයි කියන විට
වලක් කපන් වැලලෙන්නට සිතේ           මට

[මම කවි ලිවීමට ආධුනිකයෙක් වන බැවින් සදොස් තැන් නිදොස් කරන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම මෙය පෞද්ගලික අත්දැකීමක් නොවන බවද තරයේ කියා සිටිමි. :D ]

පින්තූරය - 17 වන ශතවර්ෂයේදී Johannes Vermeer විසින් අදින ලද චිත්‍රයකි.




Monday, December 25, 2017

සුදු මිනිසාගේ ගස

රොබට් නොක්ස් පිය පුතු දෙදෙනා ඇතුළු කණ්ඩායම බ්‍රිතාන්‍යය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ 1658 වසරේ ජනවාරි 21 වන දින 'Anne' නම් නැව මගින් පර්සියාව බලා යාත්‍රා කරන ලදි. කෙසේ නමුත් අවාසනාවන්ත අන්දමින් 1659 වසරේ නොවැම්බර් මස 19 වන දින නැව කුණාටුවකට හසුවී බොහෝ අබලන් විය. එසේ අබලන් වූ නැව ගසාගෙන ආවේ ත්‍රිකුණාමලයේ දකුණු පෙදෙසේ පිහිටි කොට්ටියාර් කලපුව දෙසටයි.

එකල නුවර රජකම් කලේ දෙවන රාජසිංහ [1629 - 1687] රජතුමාය. හේ මොවුන්ව පිලිගැනීම සදහා තෑගි බොග බොහොමයක් දිසාවේ කෙනෙකු අතින් නොක්ස් ඇතුලු පිරිසට යවන ලදි. එනමුත් වැඩි කල් යන්නට මත්තෙන් රොබට් නොක්ස් (පියා) සියඹලා ගසක් යට සිටිනා විටදී රාජපුර්ෂයන් විත් ඔහුව සිරබාරයට ගත් අතර නැවේ සිටි දහසය දෙනෙක් ද අල්ලා ගන්නා ලදි. නැව ද රාජ සන්තක කළේ ය.

මෙම පිරිසට දිවයිනෙන් පිටට යාම තහනම් වූ නමුත් ඔවුන්ට මෙහි සිටි මිනිසුන් හොදින් සැලකුවෝය. රොබට් නොක්ස් (පුත්‍රයා) ගොවියෙක්, මුදල් ණයට දෙන්නෙක් ලෙස  රැකියා කිරීමට සමත් විය.

පිය පුතු දෙදෙනාම මැලේරියා වසංගතයෙන් බොහෝ පීඩා විදි අතර පියා 1661 වසරේ පෙබරවාරි මස මිය ගියේය. දිවයිනේ වසර දහනමයක් ගතකල පසු රොබට් නොක්ස් , ස්ටෙෆන් නම් තවත් අයෙකු සමග රටින් පිටව යාමට සමත් විය.

අරිප්පු හි පිහිටි ලන්දේසි බලකොටුවක් වෙත යාමට මොවුන් දෙදෙනාට හැකියාව ලැබුණි. එහිදී ලන්දේසීන් විසින් මොවුන්ව 1680 වසරේ සැප්තැම්බර් මස දී තම නිවෙස් කරා යාමට අවස්ථාව සලසා දෙන ලදි.

මෙම ගමන අතරතුර දී ලංකාවේ ජීවත් වූ කාලයේදී තමන්ට වූ අත්දැකීම් අලලා "An Historical Relation of the Island Ceylon" නමින් කෘතියක් සම්පාදනය කලේය. එය 1681 වසරේ එළිදැක්විණි. 17 වන ශතවර්ෂයේ දී ලාංකික ජන ජීවිතය ගැන අධ්‍යනයට ඉතා වටිනා කෘතියක් එසේ ලියැවිණි.

පසු කාලයේදී රොබට් නොක්ස් (පියා) අල්ලා ගත් ස්ථානය සිහිවීම පිණිස ඵලකයක් සවි කලේය. එහි "This is the Whiteman’s tree under which Robert Knox, captain of the ship ‘Anne’ was captured" ලෙස සදහන්ව තිබේ. 1893 වසරේ දී මෙම ඵලකය ස්ථාපිත කල අතර එතැන් පටන් රජය විසින් එය රැකබලා ගත්තේය.

එනමුත් 1970 අවධියේ දී ත්‍රිකුණාමලය ප්‍රදේශයට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් නිසාවෙන් සියඹලා ගස බිම පතිත විය. ගසෙ හි අඩියේ තිබූ ඵලකය ආරක්ෂාව තකා කොලඹ කෞතුකාගාරය වෙත රැගෙන ගියේය.

පාරු පාලම


පෘතුගීසීන් විසින් 'පාසු ග්‍රාන්ඩ්' නම් ස්ථානයේ කැලණි ගඟ හරහා පාරු පාලමක් සකස් කර තිබුණි. මෙම ස්ථානය වර්තමානයේ හදුන්වන්නේ 'ග්‍රෑන්ඩ් පාස්' නමිනි.

 මෙහි වසර හැත්තෑවකට අධික කාලයක් පුරාවට පාරු සේවයක් තිබුණි. මෙය මීගමුව, වයඹ පළාතට හා මධ්‍යම කඳුකරයට ඇතුලු වන එකම මාර්ගය විය.

එකිනෙකට යාබදව පාරු 21ක් නැංගුරම් ලා අඩි 500කට ආසන්න දිගට සාදා තිබූ පාලම් පාරුව පිලිබඳ අද ඇත්තේ මතකයන් පමණි. සෑම දිනකම එක් පැයක් එයින් බෝට්ටු දෙකක් ඉවත් කර ගොඩ බිමින් ගමනාගමනය නවතා, ගඟ දිගේ යන එන ප්‍රවාහනයට ඉඩ සලසා දෙනු ලැබේ.

වර්ෂා කාලයේදී ගඟේ ජල මට්ටම ඉහළ ගිය විට පාලම් පාරුවට දුෂ්කර කාලයක් එළඹේ. එම කාලය තුලදී පාරු පාලමෙන් බෝට්ටු එකක් හෝ කිහිපයක් මුහුදට ගසාගෙන යයි. මෙම ගසාගෙන යන බෝට්ටු ගසාගෙන යන වේගයට කැඩී බිඳී ගියේ නැතිනම් ඒවා සොයාගෙන විත් නැවත පාලම් පාරුවේ නැංගුරම් ලා දමයි. එසේ නොමැතිව බෝට්ටුව කැඩී බිදී ගියහොත් ඒ වෙනුවට තවත් බෝට්ටුවක් යොදා ගනියි.

පාරු පාලම යැයි පවසන විට පාලම් පාරුවත් මතකයට නැගේ. අතීතයේදී රජුන් ඇතෙක් බරට වස්තුව ලබා දුන් බව වංශකතාවල සදහන් වේ. නමුත් මේ ඇතෙක් බරට වස්තුව මැන්නේ කෙසේදැයි ඔබ සිතා බැලුවා ද? පලමුව ඇතාව පාලම් පාරුවක් මතට නග්ගවා එම පාලම් පාරුව ගිලෙන ප්‍රමාණය ලකුණු කර ගනියි. ඉන්පසු එම ප්‍රමාණයට වස්තුව පාලම් පාරුව මත පැටවූ පසු එය ඇතෙක් බරට වස්තුව ලෙස හැදින්වේ.

පෙරදී කැලණි ගඟ හරහා පාරු පාලමක් ඉදි කෙරූ බව සදහන් කෙරිණි. කැලණි ගඟ හරහා බැඳුණු පලමු යකඩ ගරාදි පාලම ඉදිවූයේ 1895 වසරේදී ය. මෙය නම් කලේ එකල එංගලන්තයේ මහ රැජිණගේ නමිනි. එය වික්ටෝරියා පාලම විය.

'පාරු පාළමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා'





Saturday, December 23, 2017

අල ගෙඩිය, බිත්තරය සහ කෝපි ඇට

කුඩා දියණියක් තම ජීවිතය ගැන බොහෝ කලකිරීමකින් සිටියාය. ඇයට පැමිණෙන ප්‍රශ්න වලට කෙසේ මුහුණ දිය යුතුදැයි ඇයට වැටහුණේ නැත. ප්‍රශ්නයක් කෙසේ හෝ අවසන් වනවාත් සමගම තවත් ප්‍රශ්නයක් පැමිණේ. ඇයට මෙය මහත් ගැටලුවක් වූ නිසාවෙන් ඇය තම පියාගෙන් මේ පිලිබදව විමසීමට තීරණය කලහ.

පියාගෙන් මේ පිලිබඳව විමසූ පසු අරක්කැමියෙක් වූ පියා ඇයව කුස්සිය වෙත රැගෙන ගියේය. ඇයට කිසිවක් නොපවසා භාජන තුනකට ජලය දමා රත් වීමට ඉඩ හැරියේය. ඉන්පසු ඒ එකින් එකට අල ගෙඩියක්, බිත්තරයක් සහ කෝපි ඇට දැමීය.

මේ සියල්ල දෙස නෙත් යොමා සිටි දැරිය බලා සිටියේ තම පියා මේ සිදු කරන්නේ කුමක්දැයි කියාය.

මිනිත්තු කිහිපයකට පමණ පසු උදුන නිවා දැමූ පියා වෙනත් භාජන දෙකකට අල ගෙඩිය හා බිත්තරය දමා කෝප්පයකට කෝපි පානයද දැම්මේය. එසේ දැමූ පසු "දැන් ඔයාට පේන්නේ මොනව ද?" යැයි පියා දියණියගෙන් ඇසීය.

"අල ගෙඩියක් බිත්තරක් කෝපි එකක්" යන්න දියණියගේ ක්ෂණික පිලිතුර විය.

"හොදට ලං වෙලා බලන්න" පියා පැවසුවේය. "අල ගෙඩිය අල්ලලා බලන්න". දියණිය අල ගෙඩිය අල්ලා බැලූ පසු එය හොදින් මෘදුව ඇති බව දැනිණි. බිත්තරය රැගෙන කැඩීමටද පියා ඉන්පසු පැවසුවේය. ඇය එසේ කල විට බිත්තරයේ මධ්‍යය ඝනව ඇති බව දක්නට ලැබුණි. ඉන්පසු කෝපි පානයද තොල ගෑ විට එහි රසය නිසාවෙන් දියණියගේ මුවගට සිනහවක් ද නැගුණි.

"තාත්තේ මොකක් ද මේකෙ තේරුම" දියණිය ඉතා ඕනෑකමින් පියාගෙන් ඇසුවාය.

ඉන්පසු ඔහු මේ සියල්ල පැහැදිලි කලේය. අල ගෙඩිය, බිත්තරය සහ කොපි ඇට එකම තත්ත්ව වලදී විවිධ වූ අයුරින් ප්‍රථිචාර දක්වන ලදි.

අල ගෙඩිය පෙරදී ඉතා ඝනව හා ශක්තිමත්ව තිබූ අතර නටන ජලය හමුවේ එය මෘදු හා දුර්වල විය.

බිත්තරය පහසුවෙන් කැඩෙන බිදෙන සුළු වූ අතර එහි තුනී ඝන තට්ටුව මධ්‍යයේ තිබෙන දියරය ආරක්ෂා කරමින් සිටියේය. නටන ජලය හමුවේ එහි මධ්‍යය ඉතා ඝන විය.

එහෙත් කෝපි ඇට අනෙක් ඒවාට වඩා තරමක් වෙනස් ය. නටන ජලය හමුවේ එය ජලයේ පාට වෙනස් කරමින් අලුතින් දෙයක් නිර්මාණය කලේය.

"මේ අයගෙන් ඔයා කව් ද?" පියා දියණියගෙන් ඇසුවේය. "ප්‍රශ්න කරදර එනකොට ඔයාගෙ ප්‍රතිචාරය කොයි වගේ ද? ඔයා අලගෙඩියක් ද බිත්තරයක් ද එහෙම නැත්තන් කෝපි ඇටයක් ද?"

Saturday, December 16, 2017

අඳ ගායකයා


ඉතාලියේ එක්තරා පවුලකට දාව දරුවෙක් ලැබෙන්නට සිටියේය. එහෙත් එම දරුවා ඉපදීමට පෙරම වෛද්‍යවරු පවසා සිටියේ දරුවා විවිධ වූ ආබාධ සහිතව උපත ලබන බවයි. එහෙයින් කලලය ගබ්සා කරන ලෙස වෛද්‍යවරු දෙමව්පියන්ට දැනුම් දුන්හ. එහෙත් දෙමව්පියන් එයට කැමති වූයේ නැත. ඒ අනුව උපතින්ම දෘෂ්‍යාබාධ ඇතුලු ආබාධ රැසක් සමඟින් මෙම දරුවා මෙලොව එළිය දිටීය. වර්තමානය වන විට දැනට ජීවත්වන විශිෂ්ටතම ටෙනර් ගායකයා ලෙස හේ අවිවාදයෙන් පිලිගනියි. සිංහල නොවන ගායකයන් අතුරින් මාගේ ප්‍රියතම ගායකයා ද මොහුයි. මොහු නමින් ඇන්ඩ්‍රෙයා බොචෙලි.

වයස අවුරුදු 12 දී මොහුගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති විය. එසේ වූයේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන විට වූ අනතුරක් නිසාවෙනි.

මොහු තමන්ගේ ඒක පුද්ගල ගී ඇතුලත් ඇල්බම් 15ක් ද විශිෂ්ටතම ගී එකතු ඇල්බම් 3ක් ද ඔපෙරා 9ක් ද සම්පාදනය කරන ලදි. ලොව පුරා මෙම තැටි මිලියන 80කට අධික ප්‍රමාණයක විකිණුම් ලැබුණි. ක්ලැසිකල් සංගීතය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහලින් තැබීමට මොහුට හැකියාව ලැබුණි.

1998 වසරේදී ලොව හොදම පුද්ගලයන් පනස් දෙනා අතරටද බොචෙලි එක්විය. 1999 වසරේදී හොදම නව නිර්මාපකයා සදහා වූ ග්‍රැමී සම්මානය සදහා නිර්දේශ විය. බොචෙලි සෙලීන් ඩියෝන් සමග එක්ව ගැයූ 'The Prayer' ගීතය සදහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමිවූ අතර එය ඇකඩමි සම්මානය සදහා ද නිර්දේශ විය.

මොහු Sacred Arias නම් තම ඇල්බමය එලිදැක්වීමත් සමග ගිනස් ලෝක වාර්තා පොතටද තම නම ඇතුලත් කරගැනීමට සමත් විය. එනම්, ඇමරිකානු ක්ලැසිකල් ඇල්බම් ශ්‍රේණිගත කිරීම්වල එකම අවස්ථාවකදී මුල් ස්ථාන ත්‍රිත්වයම හිමි කර ගැනීමෙනි. ඔහුගේ ඇල්බම් හතක්ම බිල්බෝඩ් ශ්‍රේණිගත කිරීම්වල පලමු 10 අතරට පැමිණ තිබේ.

Sacred Arias නම් මොහුගේ ක්ලැසිකල් ඇල්බමය මෙතෙක් වැඩිම විකිණුම් ලැබූ ක්ලැසිකල් ඇල්බමය යි. එමෙන්ම Romanza නම් පොප් ඇල්බමය ඉතාලියේ සියලුම සංගීත අංශ වලින් වැඩිම විකිණුම් ලැබූ ඇල්බමය බවට පත්වූ අතර යුරෝපයේ හා බොහෝ ලතින් ඇමරිකානු රටවල්වල විදේශ සංගීතඥයෙකු ලද වැඩිම විකිණුම් ඇල්බමය බවටද පත් විය.

මෙසේ තව තවත් වාර්තා බොහොමයකට හිමිකම් කියන මොහුට සම්මානද එලෙසම බොහෝ හිමිවිය. මා ක්ලැසිකල් සංගීතය කෙරෙහි වඩාත්ම ඇලුම් කිරීමට පටන් ගත්තේ මොහු නිසා බැවින් මෙම කුඩා සටහන ලිවීමි.

යූ ටියුබ් චැනල් - https://www.youtube.com/user/AndreaBocelliVEVO


Friday, December 15, 2017

ලංකාවේ එක් තැනක පමණක් පිහිටා ඇති මාර්ටෙලෝ බලකොටු


තංගල්ලෙහි පිහිටි බලකොටුවේ සිට මුහුදු වෙරළ අද්දරින් සැතපුම් 25ක් පමණ නැගෙනහිර දෙසින් දකුණු වෙරළ තීරයේ සුවිශේෂී වූ බලකොටුවක් දක්නට ලැබේ. ලංකාවේ කිසිදු ස්ථානයක මෙවන් බලකොටුවක් දක්නට නොලැබේ. හම්බන්තොටෙහි පිහිටි මෙම බලකොටුව ‘මාර්ටෙලෝ කුළුණ’ ක් ලෙස හදුනාගත හැක.

 මෙම මාර්ටෙලෝ කුළුණු සම්ප්‍රදාය නිර්මාණය කලේ බ්‍රිතාන්‍යයන් විසිනි. 1794 වසරේදී මාර්ටෙලෝ තුඩුවෙහි පිහිටි සිලින්ඩරාකාර ප්‍රංශ බලකොටුවකට බ්‍රිතාන්‍ය නාවික හමුදා ප්‍රහාර එල්ල කරන ලදි. එහෙත් අපේක්ෂිත අයුරින් එම බලකොටුවට අලාභ හානි සිදු කල නොහැකි විය. එම ප්‍රංශ බලකොටුවේ සිට බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කල ප්‍රංශ ජාතිකයන් බ්‍රිත්‍යාන්‍යන්ට අති විශාල අලාභ හානි අත්කර දීමට සමත් විය. බ්‍රිතාන්‍ය පාබල සේනා මෙම බලකොටුව අල්ලාගත් පසු එය දැඩි අධීක්ෂණයකට ලක් කලේය.


 බ්‍රිතාන්‍ය ජාතිකයන් මාර්ටෙලෝ හිදී අත්කරගත් අවාසිදායක තත්ත්වයෙන් පාඩමක් උගෙන එංගලන්තයේ ගිණිකොණ දිග වෙරළ තීරයේ එවැනි බලකොටු වැලක් ඉදිකර ගත්හ. එසේ සිදු කලේ නැපෝලියන්ගේ ආක්‍රමණයන්ගෙන් වැලකීමටයි. පසුව ඔවුන් ලන්දේසීන්ගෙන් අත්පත් කරගත් ප්‍රදේශ වල මෙවැනි බලකොටු තුනක් ඉදිකරන ලදි. ඉන් දෙකක් කේප් හිද එකක් ලංකාවෙ ද ඉදි කලේය. සිමන්ස් ටවුන් හි ඇති බලකොටුව හම්බන්තොට හි ඇති මාර්ටෙලෝ බලකොටුවෙ හි නිවුන් සහෝදරයෙක් වැන්න.

ලංකාවේ හම්බන්තොටෙහි ඉදිකල මෙම බලකොටුවෙහි වැදගත්ම කාර්යභාරය වූයේ ලුණු ලේවා වලටත්, දකුණු පළාතේ කුරුඳු වැවෙන වන ගහනයට පිවිසෙන මාර්ග වලට රැකවරණය සැලසීමත් ය.

මෙම බලකොටුව ඉදිවූයේ 1796 වසරට සුළු කලකට පසුවයි. ප්‍රතිප්‍රහාරක මුරපොළවල් වලින් සමන්විත බලකොටුවක ආරක්ෂාව නොලද එකම මුහුදු බොක්ක හම්බන්තොට වීම නිසා සතුරු සේනාවලට එම ස්ථානයට නිරුපද්‍රිතව ගොඩ බැසිය හැකි විය. මේ හේතුවෙන් සෑම දිශාවකටම කරකැවිය හැකි කාලතුවක්කු මුදුන් තලයෙහි අටවා මෙම හම්බන්තොට බලකොටුව ඉදි කරන ලදි. මෙම බලකොටුවෙහි රැඳවිය හැකි වූයේ තිස් දෙනෙකි. උපරිම පනස් දෙනෙකි. ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම (VOC) තමන්ට නැතිවූ බලය නැවත අත්පත් කරගැනීමට විනා නැවත ක්‍රියාත්මක වේ යැයි සිතූ නිසා මෙවැනි ආකාරයේ බලකොටු ඉන්දියාවට සහ ලංකාවට හිමි විය.

 මෙම කුළුණ අඩි 25 ක් පමණ උසකින්ද අඩි 40ක් පමණ විශ්කම්භයකින්ද යුක්ත වේ. මෙය දෙමහල් ය. බලකොටුව තුලට යාමට ඇති දොරටුව ඇත්තේ උඩු මහලේ ය. අවශ්‍ය වූ විටෙක ඉනිමගක් ඔස්සේ එයට ඇතුලු විය හැක. මෙය මෙම බලකොටුවේ සුවිශේෂී අංගයකි.

මෙහි පවුර වටා කාලතුවක්කු වලින් පහර දීමට කවුළු පිහිටා තිබේ. යට මහලේ කවුළු දෙකක් අතර පරතරය තුල උඩු මහලේ කවුළුව පිහිටා තිබෙන අතර උඩු මහලේ කවුළුව යට මහලේ කවුළුවට සාපේක්ෂව විශාල වේ. බිත්ති ශක්තිමත් ගලින් බැඳ තිබෙන අතර හුණු බදාමයකින් කපරාරු කර ඇති අතර එය ඍජුය.

මෙම බලකොටුව මැද ගලින් බැඳි ශක්තිමත් කණුවක් තිබේ. එය පිහිටා ඇත්තේ බිත්තිය මුදුනට හේත්තු වන දේ ගලින් බැඳි පියස්ස දරා සිටීමටයි. මහල් දෙක සම්බන්ධ කිරීම උදෙසා බිත්තියට වැද්දූ පියගැට පෙළක් තිබේ. ඇතුලට වාතාශ්‍රය අවම වීම හා තෙත් සහිත වීම මාර්ටෙලෝ බලකොටු වලට පොදු කරුණකි. දැවමය කොටස් පහසුවෙන් දිරා වැටෙන්නට වීම සාමාන්‍යයි. අවසානයේ කෙසේ හෝ 1803 වසරේදී සිංහල හමුදා මෙම හම්බන්තොට පිහිටි මාර්ටෙලෝ බලකොටුව වටලා අල්ලා ගත්හ.

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...