Thursday, December 1, 2016

දේව සේවය යනු කුමක් ද?

නත්තල් සමය වන විට ජේසුස්වහන්සේ පිලිබඳ විවිධ තොරතුරු අසන්නට ලැබීම සාමාන්‍ය දෙයකි. එනමුත් ජේසුස්වහන්සේ ඉගැන්වූ දෑ ගැන නිවැරදිව කතා බහකට ලක් වන්නේ ඉතාමත් අඩුවෙනි. අද සිටින්නාවූ පූජකයන් පවා ජේසුස්වහන්සේ පැවසූ ධර්මය නිවැරදිව වටහාගෙන ඇත්දැයි ඔවුන් කරන්නාවූ සහ අනුබල දීම් දැකීමේදී සහ ඇසීමේදී සැකයක් හට ගනියි.

අප සෑම විටම සිදු කරන්නේ යමක අනවශ්‍ය දේ හිස් මුදුනට ගෙන අවශ්‍ය දේ අවඥාවෙන් යුතුව බැහැර කිරීමයි. මෙම ලිපිය සහ ඉදිරියට පලවන ලිපි කිහිපය ජේසුස්වහන්සේ පැවසූ ධර්මය ගැන කෙටියෙන් යම් යම් තැන් පැහැදිලි කිරීම අරමුණයි. ආගම් බේදයකින් තොරව මේවයින් අප සියලුම දෙනාට යමක් ඉගෙනගැනීමට ඇති බව මම තරයේ විශ්වාස කරමි.

දේව සේවය යනු කුමක් ද? යැයි යමෙක් ඔබගෙන් පැවසුවොත් ඔබ ලබා දෙන පිලිතුර කුමක් ද? සෑම ඉරුදිනකම පල්ලි යෑමද?, පල්ලියට නොකඩවා දසයෙන් කොටස ලබා දීමද?, පල්ලියේ මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සැමරීම ද? ඉටිපන්දම් පත්තු කිරීම ද? සැමටම ඇසෙන්න වචනයෙන් පමණක් යාච්ඤා කිරීම ද? හැකි අයුරින් අන් ආගම් වලින් පුද්ගලයින් තම ආගමට කෙසේ හෝ හරවා ගැනීම ද? පල්ලියේ සිටින මිනිසුන්ගේ අභිවෘද්ධිය උදෙසා පමණක් ක්‍රියා කිරීම ද? ආදී වශයෙන්..

  ශු. මතෙව් තුමාගේ ශුභාරංචියේ 31 වන පරිච්ඡේදයේ 42 වන පදයේ සිට මෙසේ සදහන් වේ. " මක්නිසා ද මම බඩගිනිව සිටියෙමි. නුඹලා මට කන්න නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්න නුදුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිලිනොගත්තහුය. වස්ත්‍ර නැතිව සිටියෙමි, නුඹලා මට වස්ත්‍ර නුදුන්නහුය. රෝගාතුරවද සිරගෙදරද සිටියෙමි, නුඹලා මා බලන්නට නාවහුය. එවිට ඔවුනුත් උත්තර දෙමින් ස්වාමීනී, අපි කොයි කලෙක ඔබ බඩගින්නේ, පිපාසිතව, ආගන්තුකව, වස්ත්‍ර නැතිව, රෝගාතුරව හෝ සිරගෙදර සිටිනවා දැක ඔබවහන්සේට උපස්ථාන නොකළෙමුදැයි කියනවා ඇත. එවිට උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්: සැබෑවක් නුඹලාට කියමි, මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයි කියන සේක."

  උක්ත පාඨයේ සදහන් ආකාරයට ජේසුස්වහන්සේ පවසන්නේ අප ජනතාවට සේවය කිරීම යනු දේව සේවය බවයි. ජනතාවට සේවය කිරීමට දේශපාලනඥයින් විය යුතුම නැත. කුඩා කුඩා දේවල්වලින් අපට සේවය කල හැකියි.


අප නිවෙස් කිට්ටුව තිබෙන දේවස්ථානයක වීදි මංගල්‍යය මීට මාස කිහිපයකට පෙර පැවැත්වුනි. දේවස්ථාන මාර්ගයට ඇතුලු වන ස්ථානයේ විශාල තොරණක් ආකාරයට සකසා තිබුණි. එම දේවස්ථානයේ එක්තරා මනුෂයෙක් මේ සියල්ල දෙවියන් උදෙසා යැයි ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් මල්වෙඩි එදින තොරණ අසල පත්තු කරන ලදි. මෙම පුවත ඇසුනු මා හට සිතුනේ මේ මුග්ධ මිනිසාගේ ක්‍රියාවේ ආදීනව නොව මේ පිලිබද දැන දැන නොදැක්කා සේ කට පියාගෙන සිටි දේවස්ථානයේ පියතුමා ඇතුලු නිලධාරීන්ගේ සටකපට සිත් ගැනයි. අද වන විට බොහෝ දේවස්ථාන වල පූජකයන් තම මඩිය තර කර ගැනීමට පමණක් උත්සහ කරන අතර දේව සේවය නිවැරදිව සිදු කරන්නේ නැත. දේව සේවය ගැන මිනිසුන්ගේ නොදැනුවත් කමට මෙවන් පූජකයන් තොග වශයෙන් වගකිව යුතුය.

පල්ලියේ මංගල්‍ය වලට වියදම් කරන මුදල් වලින් අසරණ මිනිසුන්ට යම් උදව්වක් සිදු කල හැකිනම් එය කෙතරම් වටිනව ද? ශාන්ත නිකලස් තුමා නොහොත් සැවොම හදුනන පරිදි නත්තල් සීයා එකල සිදු කලේ තම පෞද්ගලික ධනයෙන් දුප්පත් මිනිසුන්ගේ දරුවන්ට රහසින් තෑගි ලබා දීමය( අද බොහෝ දෙනා සිදු කරන පරිදි හොරනෑ පිඹමින් නොවේ.) එනමුත් අද වන විට ශාන්ත නිකලස් තුමා මාකට් වී හමාරය. එතුමන්ගෙන් මිනිසුන් ඉගෙනගත්තේ නත්තලට තෑගි ලබා ගැනීම පමණි. අසරණයන්ට පිහිට වීම එතුමන්ගෙන් මිනිසා කිසිදා ඉගෙන ගත්තේ නැත. මා මුලින් පැවසූ පරිදි මිනිසුන් සෑම විටම සිදු කරන්නේ අනවශ්‍ය දේ හිස් මුදුනෙ තබාගෙන අවශ්‍ය දේ අවඥාවෙන් යුතුව බැහැර කිරීම සිදු වී ඇත.

නත්තල් ගස අසල ගවලෙනක් සෑම කිතුනු පවුලක්ම පාහේ සාදයි. මෙහි වැඩියෙන්ම සිටින්නේ එඩේරුන් සහ බැටළුවන් ය. ශාස්ත්‍රවන්තයින් පැමිණියේ වල්ගා තරුව දෙස බලමිනි. ජේසුස්වහන්සේගේ උපත පිලිබද පලමුවෙන්ම දැනුම් දුන්නේ එඩේරුන් හටයි. මිනිසුන් මෙයින් ඉගෙන ගත්තේ ගවලෙන් ආදිය සෑදීමට විසිතුරු භාණ්ඩ සෑදීම සහ නත්තල් නාට්‍යට ජවනිකාවක් පමණි. අසරණ දුප්පත් ජනතාවගේ වටිනාකම හඳුනාගත්තේ නැත.   

නත්තලට රාත්‍රී දේව පූජාවට සහ නත්තල් දින ඇඳීමට විචිත්‍රවත් ඇදුම් පැළදුම් මිලදී ගැනීම සෑම තැනකම සිදුවන මිනිසුන් විසින් චාරිත්‍රයක් කොට ගත් දෙයකි. එදිනම පාරේ හිඟමන් යදින අඳන නොමැති මිනිසුන් දුටුවේ නැති ද? ජේසුස්වහන්සේ ඉපදුනේ ගවහලකය. උන්වහන්සේව නිදි කෙරෙව්වේ ගවයන් කෑම කන ගව ඔරුවකය. නත්තල් දින විචිත්‍රවත්ව හැඳ පැළඳගෙන අල්පේච්ඡව ජීවත් වූ ජේසුස්වහන්සේගේ උපත සැමරීම විහිළුවකි. ඇදුම් නොඇද නත්තල් සමරන්න යැයි මම නොකියමි. එනමුත් අදින්න ඇදුමක්වත් නැති මිනිසුන් ගැන නොහිතා එසේ කිරීම විහිළුවක්ම පමණි.

මෙම නත්තලේවත් දේව සේවය කුමක් දැයි හරිහැටි හඳුනාගෙන ඉදිරියට කටයුතු කිරීම තුලින් මේ සමාජය වඩා යහපත් තැනක් කිරීමට ඔබටත් දායක විය හැක.

9 comments:

  1. සම්පූර්න ඇත්ත​. අද ජේසුස් වහන්සේ හිටියානම් එදා දේව මාලිගාව හොරුන් ගේ ගුහාවක් කර ගත්තා යැයි කියමින් සියලුම වෙළෙඳුන් එලවා දැම්මා වාගේ අද හැම පල්ලියකින්ම පූජකයන් එලවා දමනු අනිවාර්‍ය යි. අද හැම ආගමක්ම මුදල් උපයන ව්‍යාපාර බවට හරවගෙනයි මිනිස්සු ජීවත් වෙන්නේ.
    නියම ලිපියක් ගොඩක් ස්තූති මෙවැනි ලිපියක් පල කලාට​.

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තියානි ආගම ගැන නොදන්න අය අද මේ මිනිස්සු කරන දේවල් ඇත්ත කියලා හිතලා විවේචන කරන්න ගන්නවා... බොහොම ස්තූතියි ඔබට...

      Delete
  2. පොඩුවේ හැම පුද්ගලයෙක්ටම වැදගත් ලිපියක්.
    ජයවේවා!!!

    ReplyDelete
  3. අපේ ආගම ගැනත් ඔච්චරම තමයි බං. කිව්වෙ එකක් අපේ උන් කරන්නෙ එකක්.

    ReplyDelete
  4. දේව සේවය.. ඒ ගැනත් දාපු එක හොඳයි වැදගත් යමක් දැනගත්ත.

    එල එල

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...