Thursday, May 27, 2021

ජේසුස්වහන්සේව රැගෙන යාම - කැරවාජියෝ

 

පහත දැක්වෙන්නේ  1602 දී කැරවාජියෝ විසින් අඳින ලද සිතුවමක්. ජේසුස්වහන්සේගේ ගෝලයෙක් වුනු ජූදස් විසින් උන්වහන්සේව පාවාදෙනවා. ජේසුස්වහන්සේව අත්අඩංගුවට පත්වෙන්නේ ගෙත්සෙමන උයනේ දී. ජූදස් ජේසුස්වහන්සේව පාවා දුන් මොහොතේම ඒ ගැන පසුතැවිලි වී උන්වහන්සේව සිපගන්නවා. කැරවාජියෝ සිතුවමට නගන්නේ ඒ සිදුවීම.



ආගමික චිත්‍ර කලාව තුල කැරවාජියෝගේ සිතුවම් වලට ඔහුගේ කාලයේ දී ඔහුට ලැබුනේ එතරම් හොද ප්‍රථිචාරයක් නෙමේ. එකල ආගමික සිතුවම් වල දේවත්වය ආරූඩ කරන්න විවිද උපක්‍රම යෙදුවක් මොහු තමන්ගේ සිතුවම් තුල ජේසුස්වහන්සේට දේවත්වයක් ආරූඩ කිරීමට ගියේ නැහැ. ඒ නිසයි බොහෝ දෙනෙක් ඒ සිතුවම් විවේචනය කලේ.

මේ සිතුවම එළිදක්වපු අවුරුද්දේ කැරවාජියෝ සිටියේ සිරකුටියේ. ඊට වසරකට පසු අවන්හලක සේවකයෙක්ගේ ඇඟට උණු ආහාරයක් විසි කිරීම නිසා අත්අඩංගුවට පත් වුනා. ඊටත් වසරකට පසු පොලිස් නිලධාරියෙක්ට පහර දීම නිසා අත්අඩංගුවට පත් වුනා. අවසානයේ 1606 දී කැරවාජියෝ අතින් ඝාතනයක් සිදු වූ නිසා ඔහුට තමන්ගේ ජීවිතයේ ඉතිරිය ගත කිරීමට සිදුවූයේ මහමග දිනෙන් දින සංචාරය කරමින්. කැරවාජියෝගේ සිතුවම් වල විවේචනයන්ට ඔහුගේ පෞද්ගලික ජීවිතයත් එක් සාධකයක් වුනා.

15, 16 සියවස් වල රෝමය පුරා ප්‍රොතෙස්තන්ත ඇදහීම් පැතිරීගෙන යනකොට රෝම ආගමික මධ්‍යස්ථාන විවිධාකාරයේ ආගමික සිතුවම් එකතු කිරීමට පටන් ගත්තා. ඒ ප්‍රොතෙස්තන්ත ඇදහීම් වලට විරුද්ධව ජනතාව තමන්ගේ නිකායන්වලට නම්මවා ගැනීමට. කැරවාජියෝ රෝමයට පැමිණෙන්නේ 1592 දී. එවිට ඔහු නිවසක්වත් හිමි නැති තරුණයෙක්. එකල රෝමයේ ආගමික සංස්ථාවත් දූෂණයට ලක්වී තිබුනු නිසා කැරවාජියෝට ජීවත් වීමට එය කදිම තෝතැන්නක් වුනා. ඔහු තමන්ගේ ආගමික සිතුවම් වල ආගමික ඉතිහාසයේ අඳුරු පැතිකඩයන් නිරූපණය කරා. ස්නාවක ජොහාන් තුමාගේ ගෙල සිඳීම, ජේසුස්වහන්සේගේ උදරයේ පිහිටි තුවාලයට ගෝලයන් ඇඟිල්ල එබීම වැනි මිනිසුන් දකින්න අකමැති සිදුවීම් මොහු සිතුවමට නැගුවා. කැරවාජියෝ තමන්ගේ සිතුවම් වලට ආකෘති විදිහට තෝරාගත්තේ එකල සමාජයේ සිටි යාචකයන්, අපරාධකරුවන් ගා ගණිකාවන් ආදීන්. මේ සියලු දේ නිසා ඔහුගේ ආගමික සිතුවම් අනෙකුත් කලාකරුවන්ගේ ආගමික සිතුවම් වලින් විශාල වෙනසකට මුල පුරනවා.




දැන් අපි කැරවාජියෝගේ ජේසුස්වහන්සේව පාවාදීම සිතුවම දෙස බලමු. ජේසුස්වහන්සේව පාවා දුන් අවස්ථාව සිතුවමට නගපු මුල් අවස්ථාව මෙය නොවේ. මීට පෙරදී කලාකරුවන් අලංකාර වටපිටාවකින් විශාල ජනකායක් ඇතිවයි මේ සිදුවීම සිතුවම් කරන්නේ. නමුත් කැරවාජියෝ යොදාගන්නේ මිනිසුන් හත් දෙනෙක් පමණයි. පසුබිමේ තියෙන්නේ ඝන අන්ධකාරයක්.

අනෙකුත් ආගමික සිතුවම් වලදී ජේසුස්වහන්සේට දේවත්වයක් ලබාදුන්නත් මේ සිතුවමේ උන්වහන්සේව නිරූපණය කරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට. මේ සිතුවමේ චරිත 7ක්  තියෙනවා. වම් පසේ ගෝලයන් අතරින් ලාබාලතමයා වුනු ජෝන්. ඊට පස්සේ ජේසුස්, ජුදාස්, සෙබළු දෙදෙනෙක්, ලාම්පුවක් අතින් ගත් පුද්ගලයෙක් සහ තවත් සෙබලෙක්. ජේසුස්වහන්සේව සෙබලු අල්ලාගන්න ආපු වෙලාවේ සමහරු තමන්ගේ උතුරු සළුව හැරදමා පැන ගියා කියලා සටහන් වෙනවා. මේ සිදුවීම නිරූපණයට කලාකරුවෝ පෙර දී නම් තමන්ගේ සිතුවමේ රතුපැහැති සළුවක් ඇන්දා. නමුත් පලාගිය පුද්ගලයාව ඇන්දේ නැහැ. නමුත් කැරවාජියෝ ඒ පලාගිය පුද්ගලයා ජේසුස්ගේ ලාබාලතම ගෝලයා යැයි උපකල්පනයෙන් ඔහුව නිරූපණය කරනවා. බයිබලයේ අවසන් පොත වූ එළිදරව් පොත රචනා කරන්නේ මොහු.



ජේසුස්වහන්සේ තමන් පාවාදීමකට ලක් වෙනවා කියලා කල් තියා දැනගන්නවා. මේ නිසා කැරවාජියෝ තමන්ගේ සිතුවමේ ජේසුස්ගේ මුහුණෙන් හැඟීමක් පෙන්නුම්කරන්නේ නැහැ. නමුත් ජූදස්ගේ මුහුණ හාත්පසින්ම වෙනස්. ඔහුගේ මුහුණ හැඟීම් වලින් පිරිලා. තමන් ජේසුස්ව මුදල් වලට පාවා දුන්නු නිසා ඒ මොහොතේම පසුතැවීමට ලක් වෙනවා. ජූදස්ට මුදල් ලැබුනාට පස්සේ ඔහු එවෙලේම ඒ මුදල් ආපසු ලබාදෙන්න හදනවා ජේසුස්ව බේරගන්න. නමුත් පරක්කු වැඩියි. මේ පසුතැවිල්ල නිසයි ජූදස් ජේසුස්වහන්සේව ඉඹින්නේ. තමන් කරපු දේ බරපතලකම හා පසුතැවීම ජූදස්ගේ මුහුණෙන් පෙන්නන්න කැරවාජියෝ සමත් වෙනවා. ඒත් එක්කම මැද ඉන්න දිලිසෙන ඇඳුමක් පැලද ඉන්න සෙබලා ජූදස්ගේ අත ජේසුස්ගෙන් ඉවත් කරනවා. සෙබලුන්ගේ ඇඳුමෙන් එකල රෝමානු රජය මිනිසුන් වෙත කෙතරම් බලපෑමක් එල්ල කිරීමට සමත් බලයකින් යුත් පිරිසක්දැයි නිරූපණය වෙනවා.



මේ සිතුවමේ ලාම්පුවක් අතින් ගත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමේ මේ සිතුවම ඇඳපු කැරවාජියෝ. මීට පෙරත් කලාකරුවන් තමන්ව තමන්ගේ සිතුවම් වල ඇතුලත් කරා. නමුත් ඒ කුඩාවට පැත්තකින්. සමහරු පොඩියට අත්සන හෝ නම කෙටුවා. නමුත් මෙහිදී කැරවාජියෝ තමන්ව සිතුවමේ ප්‍රධාන චරිතයක් බවට පත් කරනවා.



කැරවාජියෝ තමන්ගේ සිතුවම් නිර්මාණය කලේ අදුරු කුටියක. ඒ කුටියේ පැත්තක ඉහළින් ලාම්පුවක් එල්ලනවා ආලෝකයට. දවසක් තමන් කුලියට හිටපු කාමරේට ඉර එලිය ලැබෙන්න සිවිලිමේ හිලක් විදපු නිසා නඩුවක් අහන්නත් වුනා. සාමාන්‍යයෙන් චිත්‍රයක් අඳිනකොට කිහිප වතාවක්ම කටු සටහන් අඳින්න අවශ්‍යයි. ප්‍රධාන නිර්මාණය කරන්නේ අවසානයට. ලියනාඩෝ ඩා වින්චිගේ අත්පොත් කියවනකොට ඔහුගේ ප්‍රකට නිර්මාණ සදහා කටු සටහන් දකින්න ලැබෙනවා. නමුත් කැරවාජියෝගේ චිත්‍ර වල අධෝරක්ත කිරණ සටහන් වලින් අනාවරණය වුනේ ඔහු එසේ කටු සටහන් නොඇද බොහෝ අවස්ථාවලදී ප්‍රධාන නිර්මාණයේ නියැලී ඇති බවයි. අප අද කතාබහට ලක් කල චිත්‍රයත් එකවර ඇඳි සිතුවමක්. කැරවාජියෝ වෙනස් කර ඇත්තේ ජූදස්ගේ හිස පමණයි. මූලික සිතුවමේ ජූදස්ගේ මුහුණ තරමක් ඉහළින් සිතුවම් වී තිබෙන්නේ.

ඩා වින්චි වැනි චිත්‍ර ශිල්පීන් සිතුවම්කරණයේ යෙදෙන්නේ ඉතා සෙමින්. ඩා වින්චි මේ හේතුවෙන් තමන්ගේ සේවාදායකයන්ගේ දෝෂාරෝපණයට ද ලක්වී ඇත. ඔහු සිතුවම් ස්තරයෙන් ස්තරයට වර්ණ ගන්වයි. පලමු ස්තරය වර්ණ ගන්වා එය වියළුනු පසු ඊට උඩ ස්තරය වර්ණ ගන්වයි. නමුත් කැරවාජියෝ එසේ නොවේ. චිත්‍රයේ ස්තරයක් වර්ණ ගන්වා එය වියළීමට ප්‍රථම අනෙක් ස්ථරය වර්ණ ගන්වයි. මේ නිසා වර්ණ මිශ්‍ර වී නව වර්ණ සෑදෙයි. ඔහු ආලෝකකරණයට හා දිස්නයට භාවිතා කළේ ඊයම්. සෞඛ්‍යයට අහිතකර වුවත් ඔහු ඒවා භාවිතා කරා.

කැරවාජියෝ මියගොස් වසර වසර තුන්සීයක් පමණ ගතවන තෙක් ඔහුගේ මේ සිතුවම අතුරුදහන් වී තිබුනේ. මෙය සිතුවම් කර වසර දෙසීයකට පමණ පසු කැරවාජියෝගෙන් පැවත එන්නන් මෙය ස්කොට්ලන්තයට විකුණයි. 1921 දී ස්කොට්ලන්තයේ සංචාරයක නිරතවෙමින් සිටි අයර්ලන්ත ජාතික කාන්තාවක් පරණ බඩු කඩයකින් මෙම සිතුවම මිලට ගනියි. එතෙක් සියලු දෙනා සිතුවේ ඒ මුල් සිතුවම නොව වෙනත් කලාකරුවෙක් නිර්මාණය කල පිටපතක් කියා. ඉන්පසු ඇය මෙම සිතුවම ජේසුයිට් නිකායේ පූජකයෙක්ට මෙය පරිත්‍යාග කරයි. ඊටත් පසු වසර හැටක් යනතුරු මෙම සිතුවම ඔහුගේ කෑම කාමරයේ කුණු බැඳෙමින් එල්ලී තිබුණි. නමුත් අවසානයේ 1990 දී සොයාගත්තා මේ සිතුවම පිටපතක් නොව කැරවාජියෝගේ මුල් පිටපත ම බව.

කැරවාජියෝ රෝමයේ දී කල ඝාතනයෙන් පසු මෝල්ටාවට ගොස් ඉන්පසු සිසිලියට යයි. ඒ සෑම තැනකදීම ඔහු තම කලා කටයුතු වල නිරත වෙයි. ඒත් සමගම නව සතුරන්ද සාදා ගනියි. අවසානයේ දී ඔහු මියයන්නේ ටස්කනි හි මුහුදු වෙරළේ කිසිවෙක් නොමැතිව. කැරවාජියෝගේ මේ පෞද්ගලික අත්දැකීම් නිසා ඔහුට අවශ්‍ය වුනා තමන්ගේ ආගමික සිතුවම් එදිනෙදා සිදුවන සිදුවීමක් ලෙසට නිර්මාණය කරන්න. ඔහු දේවත්වය සිතුවමින් ඉවත් කරා. ආගමික සිදුවීම් වල ඇත්ත ඇතිසැටියෙන් කියා පෑවා.

කැරවාජියෝ මියගියේ සිෆිලිස් හෝ මැලේරියා වැලදුනු නිසා බවයි ඉතිහාසඥයන් සිතුවේ. නමුත් 2010 දී ඔහුගේ සිරුර සොයාගත්තා. එහිදී එළිදරව් වුනේ ඔහු මියයාමට හේතුව තීන්ත ලෙස යොදාගත් ඊයම් විෂ වීම බවයි.

8 comments:

  1. මම හිතන් හිටියේ සිප ගැනීම කලින් එකඟ වූ සංකේතාත්මක ඇඟවීම කියලා....

    ReplyDelete
    Replies
    1. සිතුවම් වල නම් ඒ සිදුවීම වචනාර්ථයෙන්ම අරගෙන ඇදලා තියෙනවා. ඔය පාවාදෙනකොට සිප ගැනීම ඉතාලි ජාතිකයෝ අතර ප්‍රසිද්දයි. God father ෆිල්ම් එකෙන් ඒ වගේ සිදුවීමක් තියෙන කොටසක් තියෙනවා.

      Delete
  2. ඇයි රෝමානු රජය ජේසු ස්වාමීන්වහන්සේට අකමැති උනේ? එතුමන් හිරේට ගත්තේ ඇයි?
    -රංග තේනුවර

    ReplyDelete
    Replies
    1. ඒකාලේ ජුදෙව් ආගමික සංස්‍ථාව ජේසුස්වහන්සේගේ ඉගැන්වීම් වලට කැමති වුනේ නැහැ. (බහුතරයක් දෙනා) මේ නිසා පාස්කු දවසේ ජේසුස්වහන්සේව අල්ලගන්නවා "ජුදෙව්වරුන්ගේ රජු" යැයි කීම නිසා. මේකයි චෝදනාව මරණ දඬුවම ලබා දෙන්න. ජේසුස්වහන්සේට අකමැති වුනේ රෝමානු රජයට වඩා ජුදෙව් ආගමික පූජකයෝ. පරිසිවරු හා සද්දුසිවරු. ජේසුස්වහන්සේට දඬුවම නියම කරපු රෝමානු රජය නියෝජනය කරපු පිලාත් පවා ජේසුස්වහන්සේට සමාව දුන්නොත් හොදයි කියලා යෝජනා කරනවා. නමුත් පාස්කු දවසේ නගරයේ සිදුවුනු කැලබීම නවත්වන්න අකමැත්තෙන් වුනත් පිලාත් මරණ දඬුවම ලබාදෙනවා.

      Delete
  3. ඉතිහාසයෙ එක පෙත්තක්
    අපට නුහුරු තව පැත්තක්
    කියලා දුන් මිතිල ඔබට
    මේන්න තුති මල් කළඹක්

    ReplyDelete
  4. මම මේ දවස්වල ඩිලන්ත ලියනගේ සභා පාලක තුමා සහ W.A.D. කිංස්ලි අනාගත වක්තෘ තුමාගේ දේශන අහලා මගේ බයිබල් දැනුම ඔප්නංවා ගනිමින් සිටිනවා.
    ඔය චිත්‍රවල පොඩි වරදක් තියෙනවා. යොෂුවා වහන්සේ අත්අඩංගුවට ගත්තේ රෝම හමුදාව නෙමෙයි. ජෙරුසලම් පල්ලියේ ආරක්ෂනයන් විසින්.
    පල්ලියට ගෙනිහින් නඩු අහලා තමයි ආන්ඩු කාරයට බාර දුන්නේ.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...