Monday, April 17, 2017

මකුළුවන්ට මිනිස්සුන්ව කන්න හිතුනොත්

මිනිසුන් බිය සතුන් අතර මකුළුවාද වෙයි. මොවුන් ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවද , මයිල් සහිත කකුල් ඇති සහ ඇස් කිහිපයක් ඇති මෙම සතුන් පෘතුවිය තුල සිටින  සතුන් ගොදුරු කර අල්ලාගන්නා ජිවී විශේෂයන්ගෙන් එකකි. එමෙන්ම ඔවුන්ට අනෙක් සතුන් මෙන් දුව පැන කය වෙහෙසා සතුන් දඩයම් කිරිමට අවශ්‍යතාවයක් නොමැත. ඔවුන් වියනා දැල් මගින් ගොදුරු අල්ලාගැනීමට ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රමයක් ඇත. මකුළුවන්ට සාපේක්ෂව විශාල ශරීර ප්‍රමාණයකට උරුමකම් කියන අපි මකුලුවන්ගෙන් ගොදුරක් වීම ගැන බිය විය යුතු නැත. එනමුත් මකුළුවන් මිනිසුන්ව තම ගොදුරු ලෙස භාවිතා කළහොත් කුමක් සිදුවේද යන්න පිලිබදව යුරෝපියානු විද්‍යාඥයන් දෙදෙනෙක් පරීක්ෂණ කළේය. ඔවුන් සොයාගත් දෑ මෙසේය.



  ජීව විද්‍යාඥයන් දෙදෙනෙක් වන Martin Nyffeler සහ Klaus Birkhofer ට අනුව සමස්ත මකුළු ජනගහනය වසරක් ඇතුලත ටොන් මිලියන 400 සිට ටොන් මිලියන 800 දක්වා ආහාර ප්‍රමාණයක් අනුභව කරයි. එනමුත් සමස්ත මකුළු ජනගහනයේ ස්කන්ධය ටොන් මිලියන 25 කි. මකුළුවන් සෑම තැනකම දක්නට ලැබේ. ඔබ ලෝකේ කොයි කෙරවලක සිටියත් ඔවුන් නිදන කාමරයේ,  නාන කාමරයේ, කුස්සියේ, ගෙවත්තේ සහ එයිට වඩා විශාල ප්‍රමාණයෙන් වනගත පෙදෙස්වල අදී ස්ථාන වල දක්නට ලැබේ. ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව උතුරු කැරෝලිනාහි මකුළුවන් සිටින නිවෙස් ප්‍රතිශතය 100% කි. ඒ අතර 68% ක්  නාන කාමර වලද 75% ක් නිදන කාමර වලද මකුළුවන් සිටියි.


ටයිටැනික් නැවේ ස්කන්ධය ආසන්න වශයෙන් ටොන් 52000 ක් පමණ වේ. පෘතුවිය තුල සිටින සමස්ත මකුළු ජනගහනයේ ස්කන්ධය ටයිටැනික් නැව් 474 කට සමාන වේ. මකුළු ජන ඝනත්වය සාමාන්‍යයෙන් වර්ග මීටරයට 131ක් වන තර එය සමහර තත්ත්ව යටතේ වර්ග මීටරයට මකුළුවන් 1000 දක්වා වර්ධනය විය හැක.

  දැනට මකුළුවන් විශේෂ 45700 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. ඔවුන් ඇන්ටාක්ටිකාවේ සහ ජලයේ හැරැ ගොඩබිමේ ඕනෑම තැනක දක්නට ලැබේ. කාන්තාර වල හා තුන්ද්‍රා පෙදෙස්වල පවා මකුළුවන් දක්නට ලැබේ. මකුළුවන් තම ශරීර ස්කන්ධය මෙන් 10% ක ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගනියි. ඒ අනුව 200 Pound මිනිසෙකු අහාරයට ගැනීමට 2000 Pound මකුළුවන් ප්‍රමාණයක් අවශ්‍ය වේ. [ 1 pound = 0.454 Kg ]


  පෘතුවිය තුල බිලියන හතකට අධික මිනිසුන් ප්‍රමාණයක් සිටින අතර ඔවුන් ටොන් මිලියන ගණනින් ආහාර පරිභෝජනය කරයි. 2005 දී සිදුකරන ලද පරීක්ෂණයකට අනුව පෘතුවිය තුල සිටින වැඩිහිටි මිනිසුන්ගේ සමස්ත ස්කන්ධය ආසන්න වශයෙන් ටොන් මිලියන 287 කි. එනම් කිලෝග්‍රෑම් බිලියන 260 ක් හෝ 574 billion pounds වේ. මේ සියල්ල එක්ව ගත කල අපට පෙනී යන්නේ මකුළුවන්ට මිනිසුන් ආහාරයට ගැනීමට උවමනා වුවහොත් වසර අවසානයේ මිහිපිට සිටින ටොන් මිලියන 287 ක වැඩිහිටි ජනතාව මොලොව හැරයන බවයි.


 මෙයට ළමුන්ගේ ස්කන්ධයද එක්කල විට මෙම අගයන්ට එකතු වන්නේ ටොන් මිලියන 70 ක පමණ ප්‍රමාණයකි. එනමුත් මෙයත් ප්‍රමාණවත් නොවේ. කෙසේවුවත් මකුළුවන්ට මිනිසුන්ව ආහාරයට ගැනීමට සිතක් පහල නොවීම හා ස්වභාවධර්මය විසින් මකුළුවන්ට ආහාරයට ලබා දෙන කුඩා කුඩා කෘමින්ගෙන් මකුළුවන් සෑහීමකට පත් වීම නිසා මිනිසුන් ලෙස අපි වාසනාවන්ත වන්නෙමු.

මූලාශ්‍ර :

1) https://peerj.com/articles/1582/

2) https://www.ncbi.nlm.nih.gov/pubmed/22709383

3) https://en.m.wikipedia.org/wiki/Spider

4) http://www.nationalpost.com/m/wp/news/blog.html?b=news.nationalpost.com/news/spiders-could-theoretically-eat-every-human-on-earth-in-one-year&campaign_id=A100

Monday, April 3, 2017

වර්ග සමීකරණයේ ජීවිත කතාව - 1 කොටස

වර්ගජ සමීකරණයක් යනු ax^2 + bx + c =0 ආකාරයේ සමීකරණයක් බව ඔබ දනී. මෙම සමීකරණයේ x ට විසඳුම පහත පලමු රූපයේ දැක්වෙන සූත්‍රය මගින් ලබා දෙන බව ඔබ දනී. මෙලෙස ඔබ සියලුදෙනා නිරතුරුව භාවිතා කරන මෙම සූත්‍රය පිටුපස සහශ්‍ර කිහිපයක ඉතිහාසයක් සැඟව ඇත.


අවු. 5000කට පෙර ඊජිප්තුවරුන් බැබිලෝනියන්වරුන් සහ චීන ජාතිකයන් ප්‍රථම වරට වර්ගජ සමීකරණ විසඳීමට දැරූ ප්‍රයත්නයේ සිට සහශ්‍ර 5ක් හරහා ගිය ගමනක අවසන් ප්‍රථිපලය ඔබ හමුවේ ඇති මේ සරල සූත්‍රයයි. 19 වන ශතවර්ෂයේ Saqqara නැමැති පැරණි ඊජිප්තියානු සුසාන භූමියේ සිට සොයාගත් ක්‍රි.පූ. 1300 - 1200 කාලයට අයත් වන බර්ලින් පැපිරසයේ පහත සදහන් ගණිත ප්‍රශ්නය නිරූපනය වේ.



සමචතුරස්‍ර බිම් කැබලි දෙකකින් වර්ග ඒකක 100ක වර්ගඵලයක් නිර්මාණය කිරීමට අවශ්‍යව ඇත. එක් සමචතුරස්‍රයක දිග අනෙක් සමචතුරස්‍රයේ දිග මෙන් 1/2 + 1/4 ක් වේ. සමචතුරස්‍ර දෙකේ එක් පැත්තක දිග වන්නේ කුමන අගයක්ද යන්න විසඳීමට උත්සහ දරා ඇත.

මෙම ප්‍රශ්නය පහත දැක්වෙන සමීකරණය ආශ්‍රයෙන් දැක්විය හැක. X^2 + Y^2 = 100 X = 3Y/4 වර්ගජ සමීකරණයක් විසඳීමට තැත් කල ලොව පලමු උත්සහය ලෙස මෙය සැලකේ. මෙලෙස වර්ගජ සමීකරණ ජීවිත කතාවේ මුල් පියවර පුරාණ ඊජිප්තුවන්ට හිමි විය.
මෙහි ඊළඟ ජවනිකාව රඟ දක්වන්නේ බැබිලෝනියානුවන් විසිනි. බැබිලෝනියන්වරුන්ට X^2 = 2 නැමැති වර්ග සමීකරණය විසඳීමට හැකියාව තිබූ බවට සාක්ෂි ඇත. බැබිලෝනියානු ශිෂ්ඨාචාරයට අයත් Yale Tablet නැමැති මැටි පුවරුවේ සඳහන් ඉඟිය පැහැදිලි සමචතුරස්‍රයක දක්නට ඇත.
Yale Tablet


 මෙම 1, 24, 51, 10 යන මිශ්‍ර සංඛ්‍යාව 60 පාදයෙන් ලියා ඇත.දැන් මෙම සංඛ්‍යාව සුපුරුදු 10 පාදයට හරවමු. එවිට,

 1 + 24/60  + 51/60×60  + 10/60×60×60   ලැබේ. දැන් මෙය සුළු කරන්න. එවිට 1.414212963 සංඛ්‍යාව ලැබේ. මෙම සංඛ්‍යාව මූල 2 බව පැහැදිලිය.

 මෙයින් පෙනී යන්නේ බැබිලෝනියන්වරුන් X^2 = 2 යන්න විසඳීමට දැන සිටි බවයි. බැබිලෝනියානු මැටි පුවරුවක පහත ප්‍රශ්නය හමුවේ. සෘජුකෝණාස්‍රාකාර ගොවිපලක වර්ගඵලය වර්ග ඒකක 600 කි. එහි දිග සහ පළලේ එකතුව ඒකක 50 කි. මෙම ගොවිපලේ දිග හා පළල සොයන්න. මෙය නූතන සංඛේත වලින් ලියූ විට,
X^2 + 50x + 600= 0 වර්ග සමීකරණය ලැබේ. ඔවුන් එය වර්ගපූර්ණය කිරීමේ ක්‍රමයට විසඳන ලදි.

ක්‍රි.ව. 300 දී පමණ වර්ග සමීකරණ වලට ජ්‍යාමිතික ප්‍රවිශ්ඨයක් පයිතගරස් සහ ඉයුක්ලිඩ් විසින් දෙන ලදි. ඉයුක්ලිඩ්ගේ ජ්‍යාමිතික නිර්මාණයන් ඔහු සෙව්වේ X^2 + ax - a^2 =0 සමීකරණයට විසඳුමකි. මෙහි a යනු ඕනෑම ධන සංඛ්‍යාවකි. ඉයුක්ලිඩ්ට පසු වර්ග සමීකරණ ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ ග්‍රීක දාර්ශනිකයෙකු ලෙස අප දකින්නේ ක්‍රි.ව.210 ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ ඩයොෆොන්ටස් නැමැති ගණිතඥයාය. ඩයොෆොන්ටස් ප්‍රශ්න විසඳීමේදී යොදා ගත්තේ ධන හා පරිමේය විසඳුම් පමණි. ඔහු ඍණ හා "0" ගැන දැන සිටියේ නැත. ඔහු වර්ග සමීකරණ තුන් ආකාරයකට වර්ග කලේ ය.

ax^2 + bx = c

ax^2 = bx + c

ax^2 +c = bx

ඩයොෆොන්ටස් ඍණ විසඳුම් විකාර හෙවත් තේරුමක් නැති විසඳුම් ලෙස සැලකීය. වරක් ඔහු 4 = 4x +20 යන සමීකරණය විකාර සමීකරණයක් ලෙස පැවසීය. ඔහු වර්ග සමීකරණයකට විසඳුම් දෙකක් ඇති බව දැන සිටියේ නැත. ඩයොෆොන්ටස්ගේ ජීවිතය ගැන අප දන්නේ ඉතා ස්වල්පයකි. ඔහුගේ සොහොන් කොතෙහි අපූරු සිහිවටනයක් ඇත. එය ගණිත ගැටළුවකි. එම ගැටළුව විසඳූ විට ඔහුගේ ජීවිතයේ විශේෂ අවස්ථා කුමන වයසේ සිදු වුනි දැයි සෙවිය හැක.
ඩයෝෆොන්ටස්ගේ Arithmetica නම් ග්‍රන්ථය. 1621 දී මෙය ලතින් භාෂාවට පරිවර්තනය කලේ Claude Gaspard Bachet de Méziriac විසිනි. 


 පහත දැක්වෙන්නේ ඩයොෆොන්ටස්ගේ සොහොන් කොතෙහි සඳහන් ගණිත ගැටළුවයි. ඩයොෆොන්ටස් මියයන විට ඔහුගේ වයස ඔබට නිර්ණය කල හැකි ද?

 'Here lies Diophantus,' the wonder behold.

Through art algebraic, the stone tells how old:

'God gave him his boyhood one-sixth of his life,

One twelfth more as youth while whiskers grew rife;

And then yet one-seventh ere marriage begun;

In five years there came a bouncing new son.

Alas, the dear child of master and sage

After attaining half the measure of his father's life chill fate took him.

 After consoling his fate by the science of numbers for four years, he ended his life.'

මූලාශ්‍ර :

1) http://www.maa.org/press/periodicals/convergence/the-best-known-old-babylonian-tablet

2) https://en.m.wikipedia.org/wiki/Diophantus

3) http://www.egyptian-museum-berlin.com/c54.php#q_papyrus_westcar_01.jpg

4) https://en.m.wikipedia.org/wiki/Berlin_Papyrus_6619

දැන් මේ ප්‍රශ්න වලටත් උත්තර දුන්නනන්....

1) මැග්සේසේ සම්මානය එපා කියූ ලාංකිකයා කව් ද? ඔහු එය ප්‍රතික්ෂේප කලේ ඇයි?

2) බයිබලයේ අලුත් ගිවිසුමේ සුභාරංචි පොත් අතරින් මුලින්ම ලියැවුනු සුභාරංචි පොත කුමක් ද?

3)ජේසුස්වහන්සේගේ ගෝලයන් 12 අතරින් උන්වහන්සේ පලමුවෙන්ම තෝරාගත් ගෝලයා කව් ද?


Saturday, April 1, 2017

අනන්තය දැන සිටි මිනිසා

ගණිත ඉතිහාසයේ 1913 දී වඩා විචිත්‍රවත් සිදුවීමක් සිදුවිය. ඉංග්‍රීසි ගණිතඥ එච්. හාඩි වෙත ඉන්දියාවේ මැඩ්රාස් නුවර සිට නොදන්නා කෙනෙකුගෙන් අරුම පුදුම ලිපියක් ලැබුණි. පිටු 10කින් සෑදුණු මෙම ලිපියෙහි ශ්‍රේණි, තාත්වික සංඛ්‍යා පිළිබඳ ප්‍රකාශ හා ප්‍රමේයයන් 120කින්ද උදාහරණ වලින්ද සමන්විත විය.


සෑම ප්‍රසිද්ධ ගණිතඥයෙකුටම මෙහි පිටපත බැගින් ලැබුණි. නමුත් එච්. හාඩි ක්ෂණිකවම මේ පිළිබඳව ක්‍රියාත්මක විය. ඇතැම් සූත්‍ර දෙස දෙවන වරටත් බැලූ මොහුගේ සහයකයා වන ජේ. ඊ. ලිට්ල්වෝ සමඟද මේ පිළිබඳව අධ්‍යනය කලේ ය. පැය කිහිපයකින් ඔහුගේ අදහස වූයේ මෙය නිවැරදි බවයි. ඒවා නිවැරදි නොවුනහොත් එහි නිරවද්‍යතාවය සනාථ කිරීමට තරම් සමතෙකු එකල නොවීය. ශ්‍රී නිවාස රාමානුජාන් ගණිත ලෝකයට මෙලෙස ප්‍රවිෂ්ඨ විය.

හාඩි සහ රාමානුජාන් 

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ ඉරෝඩි ග්‍රාමයේ1887.12.22 උපත ලැබූ රාමානුජාන් විධිමත් අධ්‍යාපනයක් නොලද විශිෂ්ට ගණිතඥයෙකි. නමුත් ඔහු ගණිතය පිළිබඳ අන්තර් ඥාණයක් ඇති පුද්ගලයෙක් ලෙස හැදින්වේ. ඔහු ස අවු. 10 පටන් ගණිත සූත්‍ර පිළිබඳ අනාවැකි කියන්නට විය. ඉතා දිළිදු පවුලක උපන් රාමානුජාන්ට උසස් අධ්‍යාපනයක් ලබන්නටවත් හැකියාවක් ලැබුනේ නැත.


වයස අවු. 10 දී ලෝනිගේ ත්‍රිකෝණමිතිය පොත තනිවම අධ්‍යනය කල ඔහු වයස අවු. 17 දී සංඛ්‍යා පිළිබඳ පොතක් ගණිත ලෝකයට දායාද කලේ ය. 1912 දී එංගලන්තයෙන් ඔහුට ශිෂත්වයක් පිරිනැමුවද ඔහුගේ දැනුම ගණිත විෂයට පමණක් සීමා වූ බැවින් එම අවස්ථාව අහිමි විය.


1913 දී හාඩි නම් ගණිතඥයා රාමානුජාන්ගේ ගණිත සූත්‍ර අධ්‍යනය කර ඔහුව එංගලන්තයට ගෙන්වා ගත්තාය. කිසිම සාධනයකින් තොරව ගණිත සූත්‍ර 3900 ක් පමණ ලියූ මේ මහා ගණිතඥයාගේ සූත්‍ර දැනට උසස් අධ්‍යාපනයේදී මෙන්ම විශ්ව විද්‍යාලයේදී ද භාවිතා කරන අතර එම සූත්‍ර අඩංගු පොත් කිහිපයක්ද පල වී තිබේ. අවු.32 ක් තරම් කෙටි කාලයක් ජීවත් වූ ගණිත ක්ෂේත්‍රයට අනර්ඝ සේවාවක් සපයමින් ඔහු 1920.4.26 වැනි දින අපගෙන් සමුගත්තේ ය.
 
මූලාශ්‍ර :

Series and Mathematical Induction - Prince Maldeniya


මෙවටත් උත්තර දුන්නනන්...

1) පිරමීඩ වැඩියෙන්ම තියෙන රට මොකක් ද?

2)මමීකරණය ආරම්භ වූයේ කොහේදී ද?

3)පිරිමින්ට වඩා කාන්තාවන් සියදිවි නසා ගන්නා ප්‍රථිශතය වැඩි රටවල් ගනන කීයද? එම රටවල් මොනවාද?

Tuesday, March 28, 2017

යුද්ධයටම උපන් ස්පාර්ටා


මවිසින් අවසාන වරට දැමූ බ්ලොග් පෝස්ටුවට අදහස් දැක්වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තූතුවන්ත වන අතර මා සමඟ කතා කර මා අස්වැසූ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙමි. එම ලිපිය මවිසින් ඉවත් කලේ නැවත මා ලිවීමට ඉටාගත් නිසාවෙනි.

හොදයි. දැන් එමු මාතෘකාවට. ග්‍රීක පුර රාජ්‍යවල (City State) අධ්‍යාපනයේ පරමාර්ථය වූයේ දරුවන්ව රටේ පුරවැසියෙකු වීමට අවශ්‍ය වැඩිහිටි ක්‍රියාකාරකම් පුහුණු කිරීමයි. බොහෝ ග්‍රීක පුර රාජ්‍යවල කුඩා පිරිමි ලමයින් නිවසට වී වගාකටයුතු වලට සහය වී හා මාළු ඇල්ලීමේ කටයුතු වල නිරත වී සිටියහ. වයස අවු. 6 හෝ 7 පමණ වන විට ඔවුන් පාසැල් යාම ආරම්භ කලේය. ඇතැන්ස් හෝ වෙනත් පුරරාජ්‍යවල මෙන් නොව ස්පාර්ටා හි එදිනෙදා ජීවිතය හා අධ්‍යාපනය බොහෝ සෙයින් වෙනස් විය.


හමුදාමය පුර රාජ්‍යයක් වන ස්පාර්ටාහි අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වූයේ ඉතා දක්ෂ, හොද හැදියාවකින් යුත් හමුදා පුරවැසියන් බිහි කිරීමයි. ස්පාර්ටන් පිරිමි රාජ්‍ය වෙත ඉතා ලැදියාවකින් යුක්ත විය. ස්පාර්ටාහි පිරිමි ලමයින් වයස අවු. හත වන විට නිවස අතහැර විවිධ නිලධාරීන් විසින් පවත්වාගෙන යන කණ්ඩායමකට එක්විය යුතුය. එහිදී ඔවුන් අවු. 7 සිට 18 තෙක් තමන්ගේ පුහුණුවීමේ පාඨමාලාව සිදු කරයි.

  එහිදී එම ලමුන් පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් , බැරැක්ක තුල නිදියමින් තමන්ගේ සහෝදර සඟයක් සමඟ ජීවත් වෙයි. පාසලේදී ඔවුන්ට ජීවිත ආරක්ෂාවට අවශ්‍ය කුසලතා හා වීර සොල්දාදුවෙකු වීමර අවශ්‍ය සමහර කුසලතා ලබා දීම සිදු කරයි. පාසලේ ඇති පාඨමාලා ඉතා අමාරු හා වේදනාකාරී ඒවා විය. ශිෂ්‍යයන්ට ලිවීමට හා කියවීමට උගන්වනු ලැබුවත් පුරාණ ස්පාර්ටන්වරු එම කුසලතාවලින් එතරම් ඵලක් නොවන බව විශ්වාස කලේ ය.


පිරිමි ලමුන්ට ඇති තරම් ආහාරපාන ලැබුනේ නැත. එමනිසා අසුනිවන ලෙස ආහරපාන සොරකම් කිරීමට ඔවුන්ට උගන්වන ලදි. එසේ වුවද සොරකම් කර අසුවුවහොත් ඔවුන්ට පහර දෙන ලදි. ඔවුන් ඇවිද්දේ පාදයේ කිසිවක් නොමැතිවය, නිදාගත්තේ ඉතා තද ඇඳන්වලය, එමෙන්ම ජිම්නාස්ටික්, හෙල්ල විසිකිරීම්, කවපෙත්ත විසිකිරීම්, පිහිනීම් හා දඩයම් කිරීමෙහි ඔවුන් නිරත වූහ. ඔවුන්ව පුහුණු කලේ ඉතා තද විනයකට අනුව මෙන්ම ඔවුන්ගේ දඩුවම් ශාරීරිකව ඉතා පීඩාකාරී විය. වැඩිම වේදනාවක් ඉවසා සිටිය හැකි පුද්ගලයාට යම් ගෞරවයක් හිමි විය.

   වයස අවු. 18 දී ස්පාර්ටන් පිරිමි ලමුන් හමුදා කැඩෙට් නිලදාරියෙකු ලෙආ පත්වී යුධ කලාව ඉගෙනීම අරඹයි. වයස අවු. 20 දී ඔවුන් රාජ්‍ය හමුදාවට බැඳෙයි. එහිදී ඔවුන්ව යොදා ගන්නේ හදිසි අවස්ථාවකදී පමණි. එහි ඔවුන් වයස අවු. 60 ක් පමණ වනතුරු සේවය කරයි.
සාමාන්‍යයෙන් ස්පාර්ටන්වරු කියවීමෙන් එතරම් ඵලක් නිවන බව විශ්වාස කලේ ය. කියවීම, ලිවීම , සාහිත්‍ය හා එවැනි කලා විෂයයන් සොල්දාදුවෙකුට එතරම් ගැලපෙන්නේ නැතිබ්බව ඔවුන් විශ්වාස කලේ ය. එම නිසා එම විෂයයන් ඔවුන්ගේ අධ්‍යාපනයේ අන්තර්ගත නොවීය. එනමුත් සංගීතය හා නර්ථනය ඔවුන්ගේ අධ්‍යාපනයේ කොටසක් විය.


වයස අවු. 18 - 20 අතරතුර කාලයකදී සෑම ස්පාර්ටන් පිරිමි කෙනෙකුම ඉතාම අපහසු ශාරීරික යෝග්‍යතා, හමුදාමය කිසලතා හා නායකත්ව කුසලතා පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ. එම පරීක්ෂණය සමත් වීමට නොහැකි සියලු ස්පාර්ටන් පිරිමින් Perioikos බවට පත්වෙයි. ( Perioikos හෝ මධ්‍යම පාන්තිකයන්ට තමන්ගේ දේපලක් තබා ගැනීමේ අවසරයක් හා වෙළදාම් කිරීමට අවසර ඇත.එනමුත් ඔවුන්ට දේශපාලන අයිතිවාසිකමක් නොවූ අතර රටේ පුරවැසියන්ද නොවීය)
ඔවුන් එම පරීක්ෂණයෙන් සමත් වුවහොත් ඔවුන්ට පූර්ණන්පුරවැසිභාවය හීවන අතර ස්පාර්ටන් සෙබළෙක් බවටද පත්වේ. ස්පාර්ටන් පුරවැසියන්ට මුදල් අතපත ගෑමට අවසර නොවීය. මුදල් පිලිබද වැඩකටයුතු අයත් වූයේ මධ්‍යම පාන්තිකයන්ටය. ස්පාර්ටන් සෙබළු තම ජීවිත කාලයේ වැඩිහරියක් ගත කරන්නේ තම සහෝදර සෙබළුන් සමඟය.

ඔවුන් විවාහ ගිවිසගත්තද ඔවුන් බිරිද හා දරුවන් සමඟ සිටියේ නැත. ඔවුන් ජීවත් වූයේ බැරැක්ක තුලමය. ස්පාර්ටන්  පිරිමියෙකු වයස අවු. 60ක් වනතුරු හමුදා සේවයේ නිරත විය යුතුය. වයස අවු. 60 දී ස්පාර්ටන් සෙබලෙකුට විස්‍රාම ගොස් තම පවුල සමඟ ජීවත් විය හැකිය.


අනෙක් ග්‍රීක පුර රාජ්‍යයන් මෙන් නොව ස්පාර්ටාහි කාන්තාවන්ට සුපුරුදු කලා දැනුමට අමතරව යුධ පුහුණුවක්ද ලබා දේ. කාන්තාවන්ට නිවසින් පිට වීමට බලනොකරන ලදි. එනමුත් කාන්තාවන්ටත් පුහුණුවීම් සිදුකලේ පිරිමින්ට මෙනි. කාන්තාවනුත් දිවීම, පැනීම, හෙල්ලය විසි කිරීම, කවපෙත්ත විසිබ්කිරීම හා මල්ලවපොර වැනි ක්‍රීඩා සිදු කලහ. කාන්තාවනුත් වයස අවු. 6 හො 7 පමණ වන විට පාසල් යාම ආරම්භ කරයි. ඔවුන් නිදාගත්තේ, පුහුණුවීම් කලේ හා ජීවත් වූයේ ඔවුන්ගේ සහෝදරියන් සමඟ බැරැක්ක තුලය. කාන්තාවන්ටත් පාසල් වලදී යුධ හරඹ පුහුණුව ලබා දෙන ලදි.

සමහර ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ පරිදි එකල ස්පාර්ටාහි කාන්තා හා පිරිමි පාසල්වල එක හා සමානව උගන්වන ලද බවයි. මන්ද කාන්තාවන්ටත් පිරිමි ලමයින්ටව්මෙන් දැඩිව උගන්වන ලදි. ස්පාර්ටන්වරු විශ්වාස කලේ තරුණ ශක්තිමත් කාන්හාවන් ශක්තමත් දරුවන් බිහි කරන බවයි.


වයස අවු. 18 දී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කාන්තාවන් අසමත් වුවහොත් ඔවුන් ද Perioikos බවට පත්වේ. බොහෝ ග්‍රීක පුර රාජ්‍යවල කාන්තාවන් නිවස තුලට වී කාලය ගතකල යුතු විය. එනමුත් ස්පාර්ටාහි කාන්තාවන්ටඑසේ නොවුණි. ඔවුන්ට තමන්කැමති තැනකට යා හැකි වූ අතර තම නිදහස උපරිම ලෙස භුක්ති විදිය හැකි විය.

මූලාශ්‍ර :

Ancient Greece ( paragon book)

British Museum වෙබ් අඩවිය

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

ප.ලි. 
ස්පාර්ටා පිලිබඳ තවත් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

ඉහත ලිපිය ගැන ඔබගේ කුඩා හෝ අදහසක් ඉතා අගේකොට සලකමි...

අද ඉදන් මේ ලිපිත් එක්ක පොඩි විශේෂාංගයක් කරන්න හිතුනා. මේ ප්‍රශ්න වලට උත්තර දන්නවනම් කියමු බලන්න...

1) මේ ස්ථානය හදුනාගන්න.


2) ගුවන් ගමන් බලපත්‍රයකට ( පාස්පෝට් එකකට) හිමිකම් කියූ පාරාවෝ රජු කව් ද?

3) මේ පින්තූරෙ ඉන්න අයව හඳුනගන්න.








Friday, March 24, 2017

ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 2 කොටස

   ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 1 කොටස

ඉතා සංයමයෙන් ඉවසා සිටි පර්සියන්වරු අවසානයේ පහර දීම ආරම්භ කලේ ය. ග්‍රීකවරු මාර්ගය අවහිර කරමින් තිබූ තාප්පය පිටුපස සිට පර්සියන්වරුන්ට පහර දෙමින් තම ස්ථානය සුරක්ෂිත කලේ ය. මෙම මාර්ගය තරමක් පටු විය. මේ හේතුවෙන් පර්සියන්වරු අති විශාල ප්‍රමාණයක් සිටියද ඔවුන්ට එකවර ග්‍රීකයන්ට පහර දීමට නොහැකි විය. මෙය ග්‍රීකයන්ට ඉතා වාසිදායක විය. ග්‍රීකයන්ගේ හිස් ආවරණ , යුධ ඇඳුම් ආදිය ඉතාමත් ශක්තිමත් ද්‍රව්‍ය වලින් තනා තිබූ අතර පර්සියන්වරුන්ගේ එසේ නොවිනි. ග්‍රීකයන්ගේ යුධ ඇදුම් පමණක් නොව අවි ආයුධ ද පර්සියන්වරුන්ට වඩා දියුණු විය. ග්‍රීකයන්ගේ හෙල්ලවල් ඉතා දිගු වූයෙන් පර්සියන්වරු ලඟට පැමිණීමට පෙරම ඔවුන්ට පහර දී මරා දැමීමට ග්‍රීකයන්ට හැකිවිය.


ස්පාර්ටන්වරු මේ අතරතුර යුධ උපක්‍රම බොහොමයක් භාවිතා කලේ ය. එයින් එකක් නම් පර්සියන්වරුන්ට භියවී පලා යනවා යැයි පෙන්වා පර්සියන්වරු රවටා එකවර හැරී පහර දීමයි. මෙම උපක්‍රමයෙන් ස්පාර්ටන්වරුන්ට පර්සියන්වරු ඉතා විශාල ප්‍රමාණයක් මරණයට පත් කිරීමට හැකිවිය.


මෙසේ දින දෙකක් ගතවිය. පර්සියන්වරුන්ට ඉතා කුඩා ග්‍රීක හමුදාව පරාජය කිරීමට නොහැකි විය. එපමණක් නොව මේ වන විට අති විශාල පර්සියන්වරු ප්‍රමාණයක් ඉතා කුඩා ග්‍රීක හමුදාව විසින් මරණයට පත් කරන ලදි. මේ අතරතුර ග්‍රීකයන්ගේ වාසනාව කනපිට හැරීමේ සිද්ධියක් සිදු වුනි. එනම් ග්‍රීකයෙක් පර්සියානු රජුට ග්‍රීක හමුදාවේ රහස් පවසා තම ජාතිය පාවාදීමයි.


තර්මෝපයිලේ හි මාර්ගයට උඩින් කදු අතරින් අප්‍රකට මාර්ගයක් පැවතිණි. මෙම මාර්ගය දැන සිටියේ සාමාන්‍ය ග්‍රීක ජනතාව පමණි. මෙම මාර්ගයෙන් ගොස් ග්‍රීක හමුදාව පහරදෙන ස්ථානයට වටින් ගොස් ඔවුන්ගේ පිටුපසට පැමිණීමට හැකිවේ. එසේ කල විට ග්‍රීක හමුදාව ඉදිරියෙන් හා පසුපසින් කොටු වනු නියතයි.


අඳුර වැටුනු පසු පර්සියන් රජු තව හොදම සොල්දාදුවන් පිරිසක් රහස් මාර්ගයෙන් ග්‍රීකයන්ව කොටු කිරීමට යැව්වේ ය. තුන්වෙනි දින හිමිදිරිය වන විට තමන් පාවාදීමකට ලක්ව ඇති බව ග්‍රීකයන්ට අවබෝධ විය. තත්වය කෙසේ වුවත් අවසානය තෙක් සටන් කිරීමට ග්‍රීක හමුදාවේ නායකයා වූ ලියෝනයිඩස් තීරණය කලේ ය. ඒ මෙම සටන තමන් පරාජය වන බව හොදාකාරව දැන දැනය. තත්වය මෙසේ වන විට තම සඟයන්ට ඔහු පැවසුවේ හැකි අයුරින් පලා යන ලෙසයි. එසේ නමුත් ස්පාර්ටන්වරු පවසා සිටියේ ඔවුන් අවසානය තෙක් ලියෝනයිඩස් සමඟ සටන් කරන බවයි.


ඉන්පසු ස්පාර්ටන්වරු පලා යාම ප්‍රතික්ෂේප කල අනෙක් සුලු ග්‍රීක පිරිසත් සමඟ මාර්ග බාධකය වෙත ගියේ ය. මෙම ග්‍රීකයන් තම උපරිමයෙන් යුධ වැදුනු අතර පර්සියන්වරු අති විශාල ප්‍රමාණයක් මරණයට පත් විය. ග්‍රීකයන්ගේ අවි ආයුධ කැඩුණු විට ඔවුන් අතින් හා දත්වලින් පහර දුන් බව හෙරඩෝටස් පවසයි. මුහුණට මුහුණලා සටන් කර ජයග්‍රහණය ලබා ගත නොහැකි බව දැනගත් පර්සියන්වරු හී මගින් ඈත සිට පහර දී ග්‍රීකයන්ව සමූලා ඝාතනය කරන ලදි.



ලියෝනයිඩස් රජු මියගියේ හී වැදීමෙන් බව සදහන් වේ. යුද්ධයකින් පරාජය වන සතුරාට ගෞරවාන්විතව සැලකීම පර්සියන්වරුන්ගේ සිරිත විය. එනමුත් මෙම පරාජයෙන් ඉතා කෝප වූ Xerxes ලියෝනයිඩස් ගේ හිස කඳෙන් වෙන්කර කඳ කුරුසිපත් කරන ලෙස අණ කලේ ය.


ස්පාර්ටන්වරු සහ අනෙක් ග්‍රීක සෙබලු මියයන තෙක් සටන් කලේ ය. තර්මෝපයිලේ හි සටන පර්සියන්වරු ජයග්‍රහණය කලද ඔවුන්ට ග්‍රීසිය අල්ලා ගැනීමට නොහැකි විය. ස්පාර්ටන්වරුන්ගේ මෙම අප්‍රතිහත ධෛර්යය අනෙක් ග්‍රීක හමුදා උත්තේජනය කලේ ය.


පර්සියන්වරුන්ට විරුද්ධව ග්‍රීකයන්ගේ මූලික ආරක්ෂිත වීමට සැලැස්ම සකස් කරන ලද්දේ ඇතීනියානු දේශපාලනඥයෙක් හා හමුදාපති කෙනෙකු වූ Themistocles විසිනි. තර්මෝපයිලේ හි සටන් වැඳිය යුතු ස්ථානය තීරණය කලේද ඔහුය. සමස්ථයක් ගත් කල තර්මෝපයිලේ හි සටනේ සුවිශේෂීම තීරණයක් වන්නේ මෙයයි.
Themistocles 



ග්‍රීකයන්ව Ephialtes නම් පුද්ගලයෙක් පාවාදුන් බව ඉහත සදහන් කරන ලදි. මොහු තම මව්බිම පාවාදුන්නේ මුදල් හා දීමනා බලාපොරොත්තුවෙනි. කඳු අතරින් දිවෙන මාර්ගය පිලිබඳ ලියෝනයිඩස් දැන සිටි අතර ඔහු ෆොසියන්වරු 1000ක් එම මාර්ගය රැකවල් කිරීමට මුල සිට යොදා තිබිණි. එනමුත් ඔවුන් එතනින් ගියේ තම මව්බිම වූ ෆොසිස් පහර දීමට ලක්ව ඇති බව යන සාවද්‍ය තොරතුර නිසාවෙනි.


තමන් යුද්ධයෙන් පරාජය වන බව දැනගත් ලියෝනයිඩස් ග්‍රීකභමුදාවට හැකි අයුරින් පැන යාමට අවසර දෙන ලදි. තත්වය එසේ වුවත් අවසානය තෙක් සටන් කිරීමට ස්පාර්ටන්වරු 300ක්, තෙස්පියවරු 700ක්, තීබන්වරු 400ක් තීරණය කලේ ය. තර්මෝපයිලේ හි සටනේ අවසානය තෙක් සටන් කිරීමට රැදුනේ 300 දෙනෙක් පමණක් නොව 1400කට ආසන්න පිරිසකි.


ස්පාර්ටන්වරු යුධ ශිල්පයට මෙතරම් දක්ෂ වූයේ කෙසේදැයි සොයා බැලීම වටී. ස්පාර්ටන්වරුන්ගේ එදිනෙදා ජීවිතය හා මිලිටරි අධ්‍යාපනය ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය
British Museum වෙබ් අඩවිය
Ancient Greece ( paragon book)
The Histories ( John M. Marincola )

Tuesday, March 21, 2017

ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 1 කොටස

Zack Snyder විසින් 2007 දී නිපදවන ලද 300 චිත්‍රපටය ඔබ නරඹා ඇතැයි සිතමි. එම චිත්‍රපටයට පාදක වන්නේ පුරාතනයේ සිදුවූ තර්මෝපයිලේ හි සටනයි. චිත්‍රපටයේ ඉතිහාසයේ සඳහන් දෑට වඩා යම් යම් කොටස් එකතු වී ඇති බව මතක් කර සිටිමි. එනමුත් සාමාන්‍යයෙන් බොහෝ ඓතිහාසික සිද්ධි මුල්කරගත් චිත්‍රපට වල සිදුවන්නේ එයයි. මෙම සටනේ ග්‍රීකවරුන්ගේ නායකයා වන්නේ ස්පාර්ටා හි ලියෝනයිඩස් ය. ලියෝනයිඩස් රජු යනු කව්ද? තර්මෝපයිලේ හි සටනේ සිදුවූයේ කුමක්ද? යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ.


  ග්‍රීක ඉතිහාසඥයෙක් වූ හෙරඩෝටස්ට අනුව ලියෝනයිඩස් යනු ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජුගේ පලමු බිරිඳට දාව දරුවෙකි. බිරිඳගේ නම සදහන් නොවුවද ඇය රජුගේ ඥාතියෙකි. ලියෝනයිඩස් පලමු දරුවා නොවන අතර රජුගේ දෙවන බිරිඳ ක්ලියෝමෙනස් නම් දරුවාව වැදුවා ය. ඉන්පසු රජුගේ පලමු බිරිඳට ඩෝරියස් නම් දරුවා වැදුවාය. ඔහු ලියෝනයිඩස්ගේ වැඩිමහල් සොයුරා ය. ඩෝරියස් ඉපදී වැඩිකල් නොගොස් පලමු බිරිඳ ලියෝනයිඩස් ව ගැබ් ගත්තාය. ඒත් සමඟම ඇයට ක්ලියොම්බ්‍රොටස් ලැබුනාය. හෙරඩෝටස් පවසන අන්දමට ලියෝනයිඩස් සහ ක්ලියොම්බ්‍රොටස් නිමුන්නු යැයිද මත පවතී.


ලියෝනයිඩස්ට ස්පාර්ටා හි කිරුළ හිමි වූයේ ක්‍රි.පූ. 489 දී ය. රජුගේ තුන්වෙනි පුත්‍රයා වූ නිසා ලියෝනයිඩස්ට රජකම පිලිබඳ අදහසක් ඇති කර ගැනීමට නොහැකි විය. ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජු මියගිය පසු වැඩිමහල් පුත්‍රයා වූ ක්ලියෝමෙනස් ස්පාර්ටා හි රජකමට පත් විය. එනමුත් රජතුමා පිරිමි දරුවෙකු නොලබා මිය ගියේ ය. ඉන්පසු වැඩිමහල් පුත්‍රයා වූ ඩෝරියස් සිසිලිහි සටනකදී මියගියේ ය. එමනිසා ජීවත්ව සිටින දරුවන් අතරින් වැඩිමහල් පුත්‍රයා ලෙස ලියෝනයිඩස්ට රජකම හිමි විය. ලියෝනයිඩස් තම වැඩිමහල් සොයුරා වූ ක්ලියෝමෙනස්ගේ දියණිය වූ ගෝර්ගෝ විවාහ කර ගත්තේ ය.


ලියෝනයිඩස්ට ඉදිරියෙන් තිබුනේ පහසු කටයුත්තක් නොවේ. වසර කිහිපයකට පෙර පලමුවන ඩේරියස් රජු යටතේ පර්සියන්වරු ග්‍රීසිය ආක්‍රමණය කලේ ය. ඒ අයෝනියාහි පර්සියන් පාලනය පැවති කාලයේ පර්සියානු පාලනයට විරුද්ධව කැරලි ගැසීමට ඇතැන්ස් හා ඉරේට්‍රියා යන පුර රාජ්‍ය සහය දුන් බැවින් එම රාජ්‍යයන්ට පාඩමක් ඉගැන්වීමටය. ක්‍රි.පූ. 490 දී මැරතන් හි මෙම සටනෙන් ඇතැන්ස් පුර රාජ්‍යයට ජයග්‍රහණය අත් විය. එනමුත් වැඩිකල් නොගොස් ඩේරියස් රජු තම සියලු බලය යොදා නැවත පහර දීමට තැත් කලේ ය. එහෙත් ඩේරියස් රජු ග්‍රීසියට පහර දීමට ඉක්මන් වූයේ නැත. මන්ද ඒ වන විට පර්සියානු අධිරාජ්‍යයේ යම් යම් කොටස් වල කැරලි කෝලහාල ඇතිවූ බැවිනි. ඒත් සමඟම ක්‍රි.පූ. 486 පමණ වන විට ඩේරියස් රජු යුද්ධයක් අතරතුර මියයන ලදි. එමනිසා ඔහුගේ පුත්‍රයා වූ Xerxes රජකමට පත් විය. තම පියාගේ පරාජයට පලිය ගැනීමට ඉටා සිටි මේ පුත්‍රයා තම හමුදාව දිනෙන් දින ශක්තිමත් කිරීමට වග බලාගත්තේ ය. ක්‍රි.පු. 480 පමණ වන විට ඔහු සුවිශාල හමුදාවක් සාදා ගත්තේය. එහි එකසිය පනස් දහසක් ( 150000) මිනිසුන් හා නැව් 600 ක් අඩංගු විය. ක්‍රි.පූ. 480 අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල මොහු ග්‍රීසියට විරුද්ධව යුධ ප්‍රකාශ කලේ ය. තර්මෝපයිලේ හි සටන ලෙස හදුන්වන්නේ මෙයයි.


තර්මෝපයිලේ හි සටන යනු ග්‍රීසිය වෙත පර්සියන්වරුන්ගේ දෙවන ආක්‍රමණයේදී සිදුවූ සුප්‍රකටම සටන වූ අතර පුරාතන යුරෝපා ඉතිහාසයේ සිදුවූ සුප්‍රකටම සටන් වලින් එකකි. අන් සටන් මෙන් නොව මෙහිදී ග්‍රීකයන්ට අත් වූයේ පරාජයකි. මෙහිදී ග්‍රීක පුර රාජ්‍යයන්ගේ ඉතා කුඩා හමුදාව මෙහෙයවූ ස්පාර්ටාහි ලියෝනයිඩස් ගේ ක්‍රියාකලාපය කැපී පෙනුනි.


මෙම සටන සිදුවූයේ මධ්‍යම ග්‍රීසියේ කඳු අතර හා මුහුද අතර පටු පෙදෙසක් වූ තර්මෝපයිලේ හිදීය. ග්‍රීකයන්ගේ පැත්තේ සිටි ස්පාර්ටන් වරු 300 දෙනා ඉතා ප්‍රසිද්ධ වුවද ග්‍රීකයන්ගේ පැත්තේ සිටි එකම ග්‍රීකයන් ඔවුන් පමණක් නොවේ. ග්‍රීකයන්ගේ පැත්තේ අනෙක් ග්‍රීක පුර රාජ්‍ය වල යුධ භටයන්ද සිටියේ ය. හෙරඩෝටස් පවසන අන්දමට ග්‍රීකවරු 5000 ක් පමණ සිටියේ ය. වර්තමාන සොයා ගැනීම් අනුව සම්පූර්ණ ග්‍රීක බලඇණිය මිනිසුන් 20000 කින් පමණ සමන්විත විය.


ලියෝනයිඩස් යුද්ධයට යාමට පෙර ඔරකල් පැවසුවේ ඔහු යුද්ධයේදී මියයන බවයි. එමනිසා ස්පාර්ටන්වරුන් අතරින් දරුවන් සිටින පිරිමින් කිහිපදෙනෙක් ඔහු තෝරාගත්තේ ය. ඒ යුද්ධයෙන් පසු ඔවුන් මියගියහොත් පවුල ඉදිරියට ගෙන යාමට දරුවන්ට හැකි වන නිසා ය. පර්සියානුවන්ට එරෙහිව යුද්ධයේදී මූලිකත්වය ස්පාර්ටා පුර රාජ්‍යයට හිමිවූයේ පෙරදී ඔවුන් යුද්ධ වලදී දැක්වූ දක්ෂතාව හේතුකොටගෙනය.


  ග්‍රීකයන් ග්‍රීසියේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පටු පෙදෙසක් ආරක්ෂා කිරීම සඳහා යොදාගත්තේය. මෙම පෙදෙස තර්මෝපයිලේ ලෙස හැදින්වේ. මෙය ග්‍රීසියට උතුරින් පැමිණෙන මාර්ග වලින් එකකි.



පර්සියන්වරු පැමිණ කඳවුරු ගසා යුද්ධයෙන් තොරව දින කිහිපයක් සිටියේ ය. මේ අතරතුර් පර්සියන්වරුන්ගේ රජු වූ Xerxes පුද්ගලයෙක්ව රහසිගතව පිටත් කරේ ග්‍රීකයන්ගේ යුද්ධයට සූදානම්ව සිටින ස්ථානය දැනගැනීම සඳහාය. ඔහු නැවත රජු වෙත පැමිණ පැවසූ  දෙයින් රජු පුදුමයට පත් විය. එනම් ඉදිරියේ මාර්ගය හරස් කොට බැඳි තාප්පය ඉදිරිපිට ස්පාර්ටන්වරු 300 දෙනෙක් ව්‍යායාම් කරමින් යුද්ධයට සූදානම්ව සිටින බවයි. එම ස්පාර්ටන්වරු ඉතාමත් නිර්භීත බවත් ඔවුන් මියයන තෙක් සටනට සූදානම් බවද පැවසුවේ ය.



ඊළඟ කොටසින් හමුවෙමු.... ඊළඟ කොටසින් යුද්ධයේ ඉතිරි කොටස හා මෙම යුද්ධය පිලිබඳ සුප්‍රකට කරුණු වල ඇත්ත නැත්ත සාකච්ඡා කෙරේ...

අදහස් යෝජනා චෝදනා ඉතාමත් අගේකොට සලකමි.

ලිපිය සඳහා මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

British Museum වෙබ් අඩවිය 

Ancient Greece ( paragon book)

The Histories ( John M. Marincola )

Monday, March 13, 2017

ආදිකාලෙ ෆොටෝෂොප්

වර්තමානය වන විට සුප්‍රකට හා කුප්‍රකට පුද්ගලයන්ගේ ඔලු හා කඳවල් මාරු වී තිබෙන ඡායාරූප දැකගැනීමට ලැබීම සාමාන්‍ය දෙයකි. මේවාට තරමක දිගු ඉතිහාසයක් ඇත. මෙසේ සංස්කරණය වූ අතීත ඡායාරූප කිහිපයක් ගැන තොරතුරු දැක්වීම මෙම ලිපියේ අරමුණයි.


මුල්ම ඡායාරූප සංස්කරණය ලෙස සැලකෙන්නේ 1860 අවධියේදී ගන්නා ලද ඉහත ඡායාරූපයයි. මෙහි ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් වූ ඒබ්‍රහම් ලින්කන්ගේ මුහුණ සම්බන්ධ කර ඇත්තේ ඇමරිකාවේ හත්වෙනි උප ජනාධිපති වූ John C. Calhoun ගේ සිරුරටයි.


ඡායාරූප සංස්කරණ ඉතිහාසයේ මුල්ම අවධියේ ඡායාරූප අතරින් හොදම ඡායාරූප සංස්කරණය තෝරන්නට කිවහොත් ඉහත සංස්කරණය මුල් තැන ලබා ගන්නා බව නිසැකයි. උක්ත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමරිකාවේ 18 වෙනි ජනාධිපති වූ General Ulysses S. Grant  ඇමරිකානු සිවිල් යුද්ධය අවධියේ දී වර්ජීනියා හි දී ගන්නා ලද ඡායාරූපයකි (1864). පසු කාලීනව මෙය ඡායාරූප තුනක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් බව සොයා ගන්නා ලදි. ජෙනරල් ග්‍රාන්ට් ගේ ඡායාරූපයකින් හිස කොටස ලබා ගත් අතර අශ්වයා සහිත මිනිස් ශරීර කොටස ලබාගන්නා ලද්දේ මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් එම්. කුක් ගේ ඡායාරූපයක් ඇසුරෙනි. එසේම පසුබිම සපයා ගන්නා ලද්දේ වර්ජීනියාවේ Fisher's Hill හි සටනේදී අල්ලාගත් සිරකරුවන්ගේ ඡායාරූපයක් ඇසුරෙනි.


ඉතිහාසය මකා දැමීමටද ඡායාරූප සංස්කරණය භාවිතා කොට ඇත. උක්ත ඡායාරූපය එයට එක් උදාහරණයකි. ඉහත ඡායාරූපයේ ජෝසප් ස්ටාර්ලින් සමඟ සිටින පුද්ගලයාව 1930 වන විට එම ඡායාරූපයෙන් ඉවත් කර ඇත. එසේ ඉවත් කර ඇත්තේ ස්ටාර්ලින්ට ඔහු සමඟ විරසකයක් ඇති වූ නිසාවෙනි.


කලක් ගතවෙද්දි තමුන්ට අනවශ්‍ය පුද්ගලයන්ව ඡායාරූපවලින් පවා ඉවත් කල පාලකයන් සිට ඇත. මේ තවත් උදාහරණයකි. ඉහත ඡායාරූපයේ මාඕ සේ තුං සමඟ සිටින පෝ -කු ව 1936 දී ඡායාරූපයෙන් ඉවත් කරන ලදි. මොහු පෙරදී මාඕට ඉතා හිතවත් පුද්ගලයෙක් විය.



1937 දී ගන්නා ලද හිට්ලර් සිටින ඡායාරූපයක Joseph Goebbels ඉවත් කර ඇත. Goebbels යනු හිට්ලර්ට ඉතාමත් හිතවත් පුද්ගලයෙක් වූ අතර දෙවන ලෝක යුද්ධය අවසානයේ දී මේ දෙදෙනාම සිය දිවි නසා ගන්නා ලදි. කෙසේවෙතත් Goebbels ව උක්ත ඡායාරූපයෙන් ඉවත් කිරීමට හේතුව සිතා ගැනීමට අපහසු ය.


උක්ත ඡායාරූපයේ දැක්වෙන්නේ කැනේඩියානු අගමැති කෙනෙක් වූ William Lyon Mackenzie සමඟ  එලිසබෙත් රැජිණ හා හයවන ජෝර්ජ් රජ්ජුරුවන් ය. ඉහත කැනේඩියානු අගමැති තම ඡන්ද ව්‍යාපාර උදෙසා හයවන ජෝර්ජ් රජුව ඡායාරූපයෙන් ඉවත් කර එලිසබෙත් රැජිණ හා තමුන් පමණක් සිටින ඡායාරූපය යොදාගන්නා ලදි.




අභ්‍යවකාශයට ගිය පලමු කණ්ඩායම වූ රුසියානු ගගනගාමී කණ්ඩායමේ ඡායාරූපයක් ඉහත දැක්වේ. මෙය ඡායාරූපයට නංවන ලද්දේ 1961 වසරේදී ය. සත්‍ය වශයෙන්ම මෙම කණ්ඩායමේ සාමාජිකයන් 9 දෙනෙක් සිටියේ ය. එනමුත් Grigoriy Nelyubov ව කණ්ඩායමෙන් ඉවත් කරන ලද්දේ ඔහුගේ හැසිරීම හොද නැති බැවිනි. ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරනවාත් සමඟ ඡායාරූපයෙනුත් ඔහුව ඉවත් කරන ලදි.


බෙනිටෝ මුසොලිනි යනු ලොවක් හදුනන පාලකයෙකි. ඔහුට අශ්වයෙක්ව හරිහැටි පාලනය කරගත නොහැකි යැයි ජනතාව සිතාවි යැයි සිතා ඔහුගේ අශ්වයාව පාලනය කරන පුද්ගලයාව ඡායාරූපයෙන් ඉවත් කරන ලදි. මෙය 1942 ඡායාරූපයකි.



බටහිර ජර්මනියේ චාන්ස්ලර් වූ Willy Brandt , Leonid Brezhnew , කොමියුනිස්ට් පක්ෂයේ පලමු ලේකම් සමඟ මදුවිත බොමින් සුරුට්ටු උරමින් සිටින ඡායාරූපයක් ඉහත දැක්වේ. එනමුත් මෙය පත්තරේ පලවන විට මදුවිත බෝතල් හා සුරුට්ටු අතුරුදහන් කර ඇත.




1920 මැයි 5 වන දින ලෙනින් විසින් සෝවියට් හමුදාවට ප්‍රසිද්ධ දේශනයක් මොස්කව් හිදී ලබා දුන්නේ ය. මෙම ඡායාරූපයේ සිටින ලියොන් ට්‍රොස්කි සහ ලෙව් කාමෙනෙව් පසුකාලීනව ඡායාරූපයෙන් ඉවත් කර ඇත.


සෝවියට් හමුදා බර්ලීනයට පැමිණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල උඩ තම ධජය සවි කරන සුප්‍රකට ඡායාරූපය ඉහත දැක්වේ. එහි සිටින සෙබලුන් දෙදෙනාගේ අත් දෙකෙහිම ඔරලෝසු තිබී ඇත. එනමුත් ඔවුන් ජර්මනියට පැමිණෙම විට අතෙහි ඔරලෝසු තිබී නැත. Ogoniok සඟරාවේ මෙම ඡායාරූපය පලවන විට මේ කරුණ යම් ගැටලුවකට බලපාවි යැයි සිතා ඔරලෝසු අත් දෙකෙන් ගලවන ලදි.




1976 ඔක්තෝම්බර් මාසයේ ගන්නා ලද ඡායාරූපයක් ඉහත දැක්වේ. මෙහි දැක්වෙන්නේ මාඕ සේතුං මියගිය පසු ඔහුව සිහිකිරීමේ උත්සවයකදී ගන්නා ලද ඡායාරූපයකි. මෙහි මාඕට කෲර සංස්කෘතික විප්ලවයට සහය දුන් හතරදෙනා ( හතරදෙනාගේ කල්ලිය ලෙස හැදින්වේ) ඡායාරූපයෙන් ඉවත් කර ඇත.

මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

Daily News වෙබ් අඩවිය

https://www.google.lk/url?sa=t&source=web&rct=j&url=http://pth.izitru.com/&ved=0ahUKEwiM1rmVyNLSAhVFJpQKHbWJBa8QFgh2MA4&usg=AFQjCNGkQB1y8DPzm_grWGOk4fKq2n6ghQ&sig2=eOxBzbRNX7MZja4r584mZA

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...